කොවිඩ් සිරුරු ගොඩ ගැසුණු මළ මිනී මාරු වුණු පාන­දුර රෝහලේ සුවවිරු මෙහෙයුම | Page 2 | සිළුමිණ

කොවිඩ් සිරුරු ගොඩ ගැසුණු මළ මිනී මාරු වුණු පාන­දුර රෝහලේ සුවවිරු මෙහෙයුම

පවුලේ ඥාතීන් දෙදෙ­නෙ­කුට පම­ණක් මුද්‍රිත පොලි­තීන් බෑගයේ දැමූ කොරෝනා මළ සිරු­රක්  මොහො­ත­කට විවෘත කර පෙන්වන අයුරු
පවුලේ ඥාතීන් දෙදෙ­නෙ­කුට පම­ණක් මුද්‍රිත පොලි­තීන් බෑගයේ දැමූ කොරෝනා මළ සිරු­රක් මොහො­ත­කට විවෘත කර පෙන්වන අයුරු

 

පානදුර රෝහල බස්නාහිර පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන කළුතර දිස්ත්‍රික්කයේ ඇති මූලික රෝහල් කිහිපයෙන් එකකි. කළුතර දිස්ත්‍රික්කයේ පමණක් නොව යාබද කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර, එගොඩඋයන හා මොරටුව වැනි ප්‍රදේශවල ජනතාවට ද රෝගී සත්කාරක සේවා පවත්වා ගෙන යන ස්ථානයකි.

කොරෝනා ව්‍යාප්තිය වැඩි වී තිබූ පසුගිය කාලයේ පානදුර මූලික රෝහල සම්බන්ධයෙන් බොහෝ අහිතකර මාධ්‍ය වාර්තා පළ විය. ඒ රෝහලේ මෘත ශරීරාගාරය පිරී ඉතිරී ඇති බවත්, කොරෝනා මළ සිරුරු දෙකක් මාරුවී ගොස් ඇති බවත් ඒ මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

ඒ කතාව ඇත්තය. පානදුර රෝහලේ බොහෝ අංශ, ගොඩනැඟිලි වැඩිදියුණු වී විශාල වුවද මෘත ශරීරාගාරය එසේ විශාල නොවීය. ඇත්තට ම කිවවොත් එවැනි විශාල කිරීමක් සඳහා ඒ හැටි අවශ්‍යතාවක් ද නොවීය. රෝහල් මෘත ශරීරාගාරයේ අධි ශීතකරණ තුළ ඉඩ පහසුකම් තිබුණේ මළ සිරුරු දොළහකට පමණි. මෙතුවක් කාලයකට ඒ ඉඩකඩ ප්‍රමාණවත් විය.

එහෙත් ගැටලුව මතු වූයේ කොරෝනා ව්‍යසනයත් සමඟ එක් දිනකදී මළ සිරුරු හතළිහ පනහ රෝහල් මෘත ශරීරාගාරයට එන්නට පටන් ගැනීමත් සමඟය. රෝහලේ කොරෝනා වාට්ටුවල මිය යන රෝගීන්ගේ සිරුරුවලට අමතරව නිවෙස්වල මිය යන පුද්ගලයන්ගේ සිරුරු ද පරීක්ෂණ සඳහා රෝහල් මෘත ශරීරාගාරයට ගෙන ඒමත් සමඟ ය.

දොළහකට ඉඩ ඇති මෘත ශරීරාගාරයට මළ සිරුරු හතළිහ පනහ එන්නට පටන් ගත් විට තත්ත්වය වෙනස් විය. මෘත ශරීරාගාරයේ කොරිඩෝවේ පමණක් නොව ඉන් පිටත භූමියේ ද මළ සිරුරු තැබීමට රෝහල් කාර්ය මණ්ඩලයට සිදු විය. දිනපතා එකතු වන මළ සිරුරු දිනපතාම පිට කර යවන්නට බැරි තරමට එම ස්ථානය කාර්යබහුල විය.

කොරි­ඩෝවේ තබා ඇති නොමිලේ දෙන මිනී පෙට්ටි
කොරෝනා මළ සිරු­රක් ආදා­හ­නා­ගා­රය තුළට ගෙන යමින්
 

කොරෝනා රෝගයෙන් මිය යන පුද්ගලයන් අවසන් කටයුතු සිදුකළ යුතු වන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ අධීක්ෂණය යටතේය. පානදුර මූලික රෝහලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අනුයුක්ත කර නොතිබූ හෙයින් එම කටයුතු සිදු කළ යුතුව තිබුණේ පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කිහිපදෙනා මඟිනි.

එහෙත් මෙම අවස්ථාව වනවිට ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද සිටියේ දිවා රාත්‍රී සේවය කරමින් මහත් කාර්ය බහුල තත්ත්වයකය. කොරෝනා මර්දන එන්නත් ලබාදීම, එම මධ්‍යස්ථාන සංවිධානය කිරීම, පීසීආර් පරීක්ෂණ සිදු කිරීම, හඳුනා ගන්නා රෝගීන් රෝහල්ගත කිරීම හා රෝගීන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිරෝධායනය කිරීම ආදී ඉතා බැරෑරුම් රාජකාරි රැසක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්හට පැවරී තිබුණි. කොරෝනා මෘත දේහ කළමනාකරණය ද ඔවුන් පිට පැටවුණේ ඒ අතරය.

කොරෝනා යැයි පරීක්ෂණවලින් හඳුනාගත් පමණින් මළ සිරුරක් එක්වර ආදාහනය කළ නොහැකිය. එම දේහය රෝහල් වාට්ටුවේ මිය ගිය අයකුගේ නොවී රෝහලේ බාහිර රෝගී අංශයට ගෙන එනවිටත් මිය ගොස් සිටි අයකුගේ හෝ නිවසක මිය ගොස් සිටි අයකුගේ නම් ඒ පිළිබඳ සාක්ෂි සටහනක් කර ගැනීම සඳහා පොලිසිය මැදිහත් විය යුතුය. මරණ පරීක්ෂකවරයෙකු ඉදිරියේ මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතුය. ඉන්පසු මරණය ලියාපදිංචි කර ගැනීම සඳහා උප්පැන්න මරණ ලියාපදිංචි කරන රෙජිස්ට්‍රාර්වරයා වෙත යා යුතුය.

මෙම කරුණු කාරණා සම්පූර්ණ කිරීම සඳහා පසුගිය කාලයේ තිබූ ගැටලු වූයේ මුලින් ම කළ යුතු මිය ගිය අයගේ මළ සිරුර හඳුනා ගැනීම සඳහා මිය ගිය අයගේ පවුලේ සාමාජිකයනට ඇතැම් විට පැමිණීමට නොහැකි වීමයි. ඒ ඔවුන් පවුල් පිටින් නිරෝධායනය වී සිටි නිසාය.

සියල්ල සම්පූර්ණ කරගෙන පැමිණි පසු තම අධීක්ෂණය යටතේ අවසන් කටයුතු සිදු කිරීමට ක්ෂේත්‍ර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු පැමිණ සිටිය ද ඇතැම් අවස්ථාවල ආදාහනාගාරවල ඉඩකඩ ප්‍රශ්න මතු විය. දිවා රාත්‍රියේ කොරෝනා සිරුරු ආදාහනය සඳහා දිස්ත්‍රික්කයේ ආදාහනාගාර විවෘත කර තබන ලෙස පළාත් පාලන ආයතනවලින් ඉල්ලා සිටීමට කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායකට සිදුවිය. ගොඩ ගැසී තිබූ මළ සිරුරු යම් තරමින් හෝ කළමනාකරණය කර ගත හැකිවූයේ දිවා රාත්‍රී සිදු කළ එම මෙහෙයුම සමඟය.

කොරෝනා රෝගයෙන් මිය ගිය කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු මාරුවී ගියේ පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ පැවැති මේ තදබදය සමඟය. මාරුවී ගොස් තිබුණේ මුස්ලිම් ජාතික කාන්තාවකගේ හා සිංහල කාන්තාවකගේ දේහයන් දෙකකි.

මුස්ලිම් දේහයන් මිහිදන් කෙරෙන අතර එම කටයුතු සිදු කෙරෙනුයේ ඔට්ටමාවඩි ප්‍රදේශයේය. අලුයම 5 ට පමණ පානදුර මූලික රෝහලෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ අධීක්ෂණය යටතේ පිට කෙරෙන මෘත දේහ උදෑසන 6.30ට පෙර කොළඹ පොලිස් මෘත ශරීරාගාරය අසලදි යුද හමුදාවට බාර දිය යුතුව තිබේ. වැරදීමකින් ගෙන ගොස් තිබුණේ සිංහල කාන්තාවකගේ මෘත දේහයකි. මුස්ලිම් කාන්තාවගේ දේහය ඉතිරි වී තිබුණි. ඒ අනුව එම මුස්ලිම් දේහය නැවත ඔට්ටමාවඩි ප්‍රදේශයට රැගෙන යාම සඳහා කොළඹට ගෙන යාමට සිදු විය. පටලැවිල්ල බේරා ගත හැකි වූයේ ඒ ආකාරයටය.

කුරුණෑගල රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වශයෙන් කටයුතු කරමින් සිටි කේ. විජයවීර පානදුර මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වශයෙන් පත්ව ආයේ මෑතකදීය. රෝහල් මෘත ශරීරාගාරයේ කොරෝනා මළ සිරුරු පමණට වඩා තිබීමත් මෘත ශරීරාගාර සේවකයන්ට අධිකරණ වෛද්‍ය නිලධාරින්ට ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට මෙන්ම ඒ ආශ්‍රිතව රාජකාරි කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනට හා පොලිස් නිලධාරින්ට ද අනතුරුදායක බවක් පවතින බව වටහා ගත් ඔහු ඊට විසඳුම් ලබා දෙන ලෙස රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩකන්ද ව දැනුවත් කළේය. රෝහලේ කොරෝනා මෘත දේහ කළමනාකරණය සඳහා තාවකාලික පදනමින් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ලබා ගත යුතු බව ඔහු කීවේය.

ඒ අනුව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායකගෙන් ඒ පිළිබඳව කළ ඉල්ලීම අනුව කළුතර ලය චිකිත්සාගාරයේ සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා සතියක් හැර සතියක් වශයෙන් තාවකාලික ලෙස පානදුර මූලික රෝහලට අනුයුක්ත කිරීමට ඔහු කටයුතු කළේය.

ඒ අනුව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩකන්ද සහ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි කේ. විජයවීර යන අයගේ උපදෙස් අනුව විශේෂ වැඩසටහනක් සකස් කරන ලදි.

ඒ යටතේ මිය යන අයගේ පීසීආර් ප්‍රතිඵල ලද වහාම ඥාතීන් දැනුම්වත් කෙරේ. කළ යුතු ක්‍රියාදාමය සම්බන්ධව ඔවුන්ට උපදෙස් දෙයි. පවුලේ සාමාජිකයකු නොමැති නම් ඥාතියකු එසේ නැතිනම් අසල්වැසියකු මිය ගිය අයගේ හැඳුනුම්පත් ඡායාපිටපතක් හා පැමිණෙන අයගේ ජාතික හැඳුනුම්පතේ ඡායාපිටපතක් සමඟ පැමිණෙන ලෙස උපදෙස් ලබාදේ. ඉන්පසු ආදාහනාගාරවල ඉඩ ඇති වේලාවල් දුරකථනය මඟින් දැනගෙන එම වේලාවල් පිළිබඳ මිය ගිය අයගේ ඥාතීන් දැනුම්වත් කෙරේ. අඩු ආදායම්ලාභියකු යැයි සඳහන් කර පෝරම පිරවීමෙන් මෘත ශරීරය සඳහා පෙට්ටියක් රෝහලෙන්ම ලබාගත හැකිය. ඒවා ආදාහනාගාරය වෙත ප්‍රවාහනය කිරීම සඳහා වෙනමම ගිලන් රථයක් වෙන්කර තිබේ.

මේ ආකාරයට සැකසූ වැඩපිළිවෙළ යටතේ පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තදබදය නැති කර ගැන්මට හැකි විය. ඇතැම් දිනවල මෘත ශරීරාගාරය කොරෝනා මෘත දේහවලින් හිස් කර ගැන්මට ද හැකි විය.

පාන­දුර රෝහලේ මෘත ශරී­රා­ගා­රය
මිය ගිය රෝගීන් වෙනුවෙන් ගෙන ආ මිනී පෙට්ටි ගොඩගසා තිබූ අන්දම

“රෝහලේ මෘත ශරීරාගාරය ඉඩකඩ මදි. අධිශීත කුටිවල ඉඩකඩ තිබෙන්නේ සිරුරු දොළහකට පමණයි. මළ සිරුරු ඉවත් කිරීම කඩිනම් කිරීමට මම යෝජනා රැසක් ඉදිරිපත් කළා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ඒ සඳහා ස්ථිරව යොදා ගැනීමේ යෝජනාව ද ඉන් එකක්. කෙසේ වෙතත් මේ මෘත ශරීරාගාරය වඩාත් පුළුල් කළ යුතු මෙන්ම නවීකරණය කළ යුතු වෙනවා.“ යැයි පානදුර මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. විජයවීර මෙහිදී අදහස් දක්වමින් කීය.

පානදුර මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිනි ඉන්ද්‍රානි ගොඩකන්ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කීවාය.

“කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ රෝහලේ මෘත ශරීරාගාරය පිරුණා. සමහර දවස්වල සිරුරු හතළිස් ගණනක් පවා තිබුණා. මෘත ශරීරාගාරයේ ඉඩ මදි වුණා. ඒ අනුව ශීතාගාරයක් සහිත කන්ටේනරයක් අපි මෘත ශරීරාගාරය ළඟම ස්ථාපිත කළා. මළ සිරුරු නරක් නොවී තබා ගැනීමට ඉදිකළ එය අපට පරිත්‍යාගශීලියකුගෙන් ලැබුණු එකක්. මෙම රෝහලට සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රතිපාදනවලින් හැරුණු කොට පරිත්‍යාගශීලීන්ගෙනුත් උදව් උපකාර හුඟක් ලැබෙනවා. රෝහලේ පරිපාලන නිලධාරි ඩී.ඩබ්ලිව්. දහනායක මහතාගේ සහය ද අපට ලැබෙනවා. අපට ලැබුණු ශීතාගාර කන්ටේනරයෙන් මේ දක්වා වැඩක් ගැනීමට නොහැකි වූයේ කොවිඩ් මළ සිරුරු නිසි කළමනාකරණයෙන් යුතුව ඉවත් කිරීමට හැකිවූ නිසයි. මේ වනවිට කොරෝනාවෙන් මිය යන සංඛ්‍යාව ද පහත වැටී තිබෙනවා.

රෝහලේ සුළු සේවා පාලකවරුන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලවල සහය මේ සඳහා ලැබී තිබෙනවා.

කෙසේ වෙතත් පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරය අසල දැන් ප්‍රසන්නය. අවට මල් ගස් ලස්සනට කපා අලංකාර කර ඇත. කාත් කවුරුවත් නැති පුද්ගලයින්ගේ මළ සිරුරු ප්‍රවාහනය සඳහා ඈත අතීතයේ සිට භාවිත කළ මිනී කරත්තය කෞතුක භාණ්ඩයක් ලෙස තබා ඇත්තේ සංචාරක හෝටල්වල ලස්සනට බක්කි කරත්තයක් තබා ඇති ලෙසටය. ඒ අසල කොරෝනාවෙන් මිය යන අයගේ මෘත දේහ සඳහා නොමිලේ ලබා දෙන ඇල්බීසියා මිනී පෙට්ටි ගොඩකි.

ඒත් ඒ අතරින් කොරෝනාවෙන් මිය ගිය අගේ ඥාතීන්ගේ දුක් සුසුම් ඒ අවට ගොඩ ගැසී ඇත. මිනිස්කම් මෙන්ම නොමිනිස්කම් ද මේ පරිශ්‍රයේදී දැක ගත හැකි විය.

තම දූ පුතුන් බොහෝ උගතුන් කර රටේ ඉහළට ගෙන ගිය පියකු මිය ගියේ වැඩිහිටි නිවාසයකය. පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ දී ඔහු කොරෝනා ආසාදිතයකු බව හඳුනා ගැනිණි. ඉහළ පෙළේ දූ පුතුන් ලොකු වාහනවලින් පැමිණියහ. වටිනා මිනී පෙට්ටියක් මෙන්ම මිල අධික අවමංගල්‍ය රථයක් ද ගෙන එන ලදි. ඔවුනට බොහෝ හදිසිය. ඒ මරණ සහතිකය ලබා ගැනීමටය. විශේෂම හේතුව වූයේ එක් පුත්‍රයෙකුගේ නමට තම ප්‍රාණ භුක්තිය තියාගෙන දේපළ ලියාදී තිබීමයි.

එහෙත් මිය ගිය 77 හැවිරිදි තම ස්වාමියාගේ සිරුර පානදුර රෝහලේ මෘත ශරීරාගාරය අසලදී එක මොහොතකට විවෘත කර පෙන්වූ අවස්ථාවේ 75 හැවිරිදි බිරිය නැඟූ විලාපය තවමත් ඒ අවට දෝංකාර දෙයි. ඒ “මගෙ තිලකේ - මට ඔයාව එක වතාවක් ඉඹ ගන්න ඕන....“ යන්නය.

 

Comments