ගෑස් බැස්ස ලිට්ට්‍රො ගෑස් | සිළුමිණ

ගෑස් බැස්ස ලිට්ට්‍රො ගෑස්

මෙරට ජනතාව දැන් වැඩි වශයෙන් සිය ආහාර පිළියෙළ කර ගැනීම සදහා අවශ්‍ය බලශක්ති ප්‍රභවය ලෙස තෝරා ගෙන ඇත්තේ ගෑස්ය. නවතම සංඛ්‍යා ලේඛන හා දත්ත අනුව තහවුරු වී ඇත්තේ මෙරට ජනතාවහේ පරිභෝජනය සඳහා මේ වන විට එක් දිනකට අවම වශයෙන් ගෑස් මෙට්‍රික් ටොන් 1600 ක් අවශ්‍ය වන බවයි.

 

මේ වන විට මෙරට තුළ ගෑස් අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා සමාගම් දෙකක් සිය වෙළෙඳ කටයුතු සිදු කරන අතර එම සමාගම් වන්නේ ලිට්‍රෝ සමාගම හා ලාෆ් සමාගමයි.එම සමාගම් අතරින් ලිට්‍රෝ සමාගම රාජ්‍ය අංශය යටතේ පාලනය වන සමාගමක් වන අතර ලාෆ් සමාගම පෞද්ගලික අංශය යටතේ ක්‍රියාත්මක වේ. මෙරට ජනතාවගේ දෛනික පරිභෝජනය සඳහා අවශ්‍ය කෙරෙන ගෑස් මෙට්‍රික් ටොන් 1600 අතරින් ගෑස් මෙට්‍රික් ටොන් 1250 ක් ලිට්‍රෝ සමාගම මඟින් සපයන අතර ලාෆ් ගෑස් සමාගම මඟින් සපුරාලන ගෑස් ප්‍රමාණය දළ වශයෙන් ගෑස් මෙට්‍රික් ටොන් 350ක් පමණ වේ. මෙම ගෑස් ප්‍රමාණය සපුරාලීම සඳහා ලිට්‍රෝ සමාගම මඟින් දෛනිකව ගෑස් සිලින්ඩර් 90,000 ත් 95,000 ත් අතර සංඛ්‍යාවක් පරිභෝජනය සඳහා වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු යොදා තිබීමද විශේෂත්වයකි.

ඒ අනුව මේ වන විට මෙරට ගෑස් වෙළෙඳ පොළෙන් සියයට 75% කට වඩා වඩා පාරිභෝගික අවශ්‍යතාවන් සපුරාලන ප්‍රමුඛතම ගෑස් අලෙවි සමාගම වන්නේ ලිට්‍රෝ ගෑස් සමාගම බව ඉතාම පැහැදිලිය. මීට පෙර ෂෙල් ගෑස් ලෙස මෙරට තුළ සිය වෙළෙඳ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන ගිය එම ආයතනය 2010 වසරේ නොවැම්බර් මස සිට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ සමාගම අනුබද්ධ ව්‍යවසාය ආයතනයක් ලෙස මෙරට ජනතාවට අවශ්‍ය ගෑස් අලෙවි කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙන්ම එහි අනුබද්ධ ලිට්‍රෝ ගෑස් ආයතනය ද පූර්ණ වශයෙන්ම රජයට හිමිකම් ඇති ව්‍යවසාය ආයතනයන් ලෙස කටයුතු කරන අතර ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මිල අසීමිත ලෙස ඉහළ ගිය අවස්ථාවන්හිදී පවා ගෑස් මිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යමින් සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට ලිට්‍රෝ ගෑස් සමාගම සෑම විටම කටයුතු කර තිබුණි.

කෙසේ වුවත් ලිට්‍රෝ ගෑස් සමාගම මේ වන විට යම් මූල්‍ය අර්බුදයක පැටලී ඇති බවට වාර්තා පළ වන අතර දැනට පවතින මිල ගණන් වලට අනුව ගෑස් අලෙවි කිරීමට වුවහොත් තම සමාගමේ වියදම් කළමනාකරණය කර ගැනීම සඳහා විශාල වශයෙන් ණය ලබා ගැනීමට සිදු විය හැකි බව එම සමාගමේ වත්මන් සභාපති තෙෂාර ජයසිංහ සඳහන් කළ බව මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වී තිබුණි. දැනට පවතින මිල ගණන් අනුව ගෑස් අලෙවි කිරීම මඟින් දිනකට මිලියන අසූවක පමණ පාඩුවක් සිදුවන බව එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණි. මෙලෙස පාඩු පිට ගෑස් විකිණීම නිසා සමාගම සතු සංචිත වල තිබූ රුපියල් බිලියන දහයක් පමණ මෙම වසර තුළ දැනට වියදම් වී ඇතැයි ප්‍රකාශ කර තිබුණු තෙෂාර ජයසිංහ ලිට්‍රෝ ආයතනයේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා ගෑස් මිල අනිවාර්යෙන්ම වැඩි කළ යුතු බවත්, ගෑස් මිල වැඩි කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස බොහෝ කලක සිට කරන ඉල්ලීමට මෙතෙක් යහපත් ප්‍රතිචාර හිමි වී නැති බවත් සඳහන් කර තිබුණි. ලිට්‍රෝ සමාගම මගින් වෙළෙඳපොළ අලෙවිය වෙත මුදා හැරෙන ගෑස් මේ වන විට අලෙවි වන්නේ ලෝක වෙළඳපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 360 ක් ව තිබියදී නියම කරන ලද මිල ගණන් වලට අනුව වන අතර මේ වන විට ලෝක වෙළඳපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඇමෙරිකන් ඩොලර් 665 ක් දක්වා ඉහළ නැංවී තිබේ. ආර්ථික විශේෂඥයන් ප්‍රකාශ කරනු ලබන්නේ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ලබන මාසය වන විට ඇමරිකානු ඩොලර් 740 ක් දක්වා ඉහළ යනු ඇති බවයි.

සෑම විටෙකම ලිට්‍රෝ ආයතනය ජාතික වගකීමක් ඇති ආයතනයක් ලෙස සිය වගකීම් හා යුතුකම් මනාව හඳුනාගෙන කටයුතු කරන අතර සිය ව්‍යාපාර තරගකරු වන ලාෆ් ගෑස් සමාගම ගෑස් මිල වැඩි කර ගෑස් අලෙවි කරන වාතාවරණයකදී පවා පවතින මිල ගණන් වලටම අනුව අඛණ්ඩව සිය වෙළෙඳපොළ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට ඔවුන් සමත්කම් දක්වන ලදී.

ජාත්‍යන්තර ක්‍රමවේදයන්ට අනුකූලව සිය ව්‍යාපාර කටයුතු සිදු කරන මෙම ලිට්‍රෝ ගෑස් සමාගමට ඕනෑම බහුජාතික සමාගමක් සමඟ තරග කිරීමටද හැකියාවක් ඇති අතර අඛණ්ඩව සැපයුම, ගුණාත්මක ගෑස් සැපයීම හා සුරක්ෂිතතාව වැනි ගුණාංග ප්‍රගුණ කර ගනිමින් ගෘහස්ථ, වාණිජ හා කර්මාන්ත යන ක්ෂේත්‍රයන්හී පාරිභෝගිකයන් අතර ස්වකීය විශ්වාසනීයත්වය මැනවින් ආරක්ෂා කර ගැනීමටද ඔවුන් හට හැකි වී තිබේ.මේ වන විට ලිට්‍රෝ සමාගම වාර්ෂිකව රුපියල් බිලියන 50ක ආදායමක් උපයා ගැනීමටද සමත් වී ඇති අතර ගෙවී ගිය දස වසර තුළදී පමණක් රුපියල් බිලියන 13ක මුදලක් ලාභාංශ ලෙස හා රුපියල් බිලියන 37.5 ක බදු මුදලක් රජයට උපයා දී රටේ ආර්ථිකයට මහඟු සේවයක් ඉටු කරන පුරෝගාමී රාජ්‍ය ව්‍යවසාය ආයතනයක් ලෙස ඉදිරියට එන්නටද ඔවුන් හට හැකියාව ලැබී ඇත.

කාලයක් පුරා ගෑස් විකුණුම් මිල වැඩි කිරීමට කටයුතු නොකිරීමෙන් ලිට්‍රෝ සමාගම මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය මේ වන විට යම් තීරණාත්මක සන්ධිස්ථානයක් වෙත පැමිණ ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ලිට්‍රෝ ආයතනයේ සියලුම මුදල් සංචිත අවසන් වී ඇති බවට ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කර තිබුණි. මෙලෙස ආයතනයේ මුදල් සංචිත අවසන් වීම නිසා ලිට්‍රෝ සමාගමට මහා භාණ්ඩාගාරය මගින් යැපෙන ආයතනයක් බවට පත් වීමට සිදු වනු නිසැකය.

මීට අමතරව ගෑස් පිරිවැය අඩු කිරීමේ අරමුණින් අවශ්‍ය නිර්දේශ ලබා දීම සඳහා පත්කරන ලද කැබිනට් මණ්ඩල අනුකමිටුව විසින් ලබා දී ඇති නිර්දේශ ප්‍රකාරව රජය සතු ස්වාධීන හා ශක්තිමත් ව්‍යවසාය ආයතනයක් වන මෙම ලිට්‍රෝ ගෑස් සමාගම වෙළෙඳපොළ තුළ 20% ක පමණ ගෑස් සැපයුමක් ඇති ලාෆ් ගෑස් සමාගම මත රැදෙන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන ව්‍යුහයක් නිර්මාණය විය හැකි බවද ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව සඳහන් කරන අතර එය එසේ සිදු වුවහොත් ලිට්‍රෝ හී අනන්‍යතාවය බිඳ වැටීමකට ලක් විය හැකි බවටද ඔවුන් අනතුරු අගවා තිබුණි.

එපමණක් රාජ්‍ය අංශය යටතේ පාලනය වන තවත් අලුත් ගෑස් සමාගමක් ආරම්භ කිරීමට ඇති සූදානමක් පිළිබඳවද මේ වන විට වාර්තා වී තිබේ. මෙම ආයතනය පිහිටුවීම පිළිබඳව පාර්ශ්ව ගණනාවක් මේ වන විට සිය මත ප්‍රකාශ කරමින් සිටින අතර ලිට්‍රෝ ආයතනය ශක්තිමත් කිරීම වෙනුවට වෙනත් ආයතන පිහිටුවීම මගින් ගෑස් වෙළෙඳපොළ සම්පූර්ණ අර්බුදයක් වෙත තල්ලු වී යනු ඇති බවට ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුවෙහි සභාපති ඒ.කේ.නලින් සමන්ත සඳහන් කළේය මේ සම්බන්ධව වැඩිදුරටත් කරුණු දැක්වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ කළ යුතුව ඇත්තේ වෙනත් ආයතන පිහිටුවීම නොව සියයට සීයක් රාජ්‍ය අංශය සතු ලිට්‍රෝ සමාගම නොපමාව ශක්තිමත් කිරීමට පියවර ගැනීම බවයි .

ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුවෙහි ලේකම් ටෙරන්ස් අප්පුහාමිද පවතින වාතාවරණය පිළිබඳව අදහස් දැක්වූ අතර එහිදී ඔහු අවධාරණය කර සිටියේ ලිට්‍රෝ ආයතනය මෙරට ජාතික ආර්ථිකය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් හා කාර්ය භාරයක් ඉටු කරන දැවැන්තම ආයතනයක් බවට කිසිදු පැකිළීමකින් තොරවම හඳුන්වා දිය හැකි බවයි. ඒ නිසා ගෑස් වෙළෙඳාම හා සම්බන්ධ අලුත් ආයතනයක් ආරම්භ නොකර ලිට්‍රෝ ආයතනය යළි නගා සිටුවීම සඳහා පියවර ගත යුතු බවත් එය හොඳින් වටහා ගෙන ලිට්‍රෝ ආයතනයෙහි අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ යුතු බවත් සඳහන් කළ හෙතම වෙළෙඳපොළ තුළ ගෑස් හිඟයක් ඇතිවූ පසුගිය කාල පරිච්ඡේදය තුළ අඛණ්ඩව සිය සේවා සැපයීමට සමත් වූ ලිට්‍රෝ සමාගම පිළිබඳව ජනතාවගේ ප්‍රසාදය නොමදව හිමි වී ඇති බවද සඳහන් කළේය.

Comments