
ඉකුත් අප්‍රේල් මාසයෙන් පසු මෙරටින් දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ ගිය අතර ඉකුත් අගෝස්තු 21 වැනිදා සිට රට පුරා ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සහ එන්නත්කරණයේ ප්‍රගතිය හේතුවෙන් පසුගිය දින කිහිපයේදී දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ සහ මරණවල සැලකිය යුතු අඩුවක් දක්නට ලැබේ.
අගෝස්තු මස අවසන් සතියේ හාරදහස ඉක්මවා මෙරටින් දෛනික කොවිඩ් ආසාදිතයන් වාර්තා වූ අතර සැප්තැම්බර් මස මුල සතිය වන විට එම සංඛ්‍යාව තුන් දහසේ සීමාවට පැමිණියේය. සැප්තැම්බර් 2 වැනි සතිය වන විට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව තුන්දහසත් දෙදහසත් අතර සීමාවට පැමිණියේය. ඉකුත් 18 වැනිදා පළමු වරට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව දෙදහසට අඩුවෙන් වාර්තා වූ අතර ඉකුත් 21 වැනිදා එම සංඛ්‍යාව තවත් පහළ යමින් නව ආසාදිතයන් 1,321ක් වාර්තා විය. දිගු කලකට පසුව එසේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 1,500 සීමාවට පහළින් වාර්තා වූ පළමු අවස්ථාවද එය විය. ඒ අනුව මේ වන විට දිනපතා වර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යෙවේ ද සැලකිය යුතු අඩුවීමක් දක්නට ඇත.
නිරෝධායන ඇඳිරි නීතිය සහ රට පුරා සිදු වන කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනේ සාර්ථකත්වය දෛනික කොවිඩ් ආසාදිත සහ මරණ සංඛ්‍යාව අඩු වීමට ඉවහල් වී ඇතත් තවදුරටත් ජනතාව අඛණ්ඩව කොවිඩ් 19 වැළැක්වීමේ මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය විශේෂඥයෝ දිගින්දිගටම අවධාරණය කරති.
•එන්නත්කරණයේ ප්‍රගතිය
කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩසටහන තුළ ශ්‍රී ලංකාව හිමිකරගෙන සිටින සාර්ථකත්වය පිළිබඳ ලෝකයේම අවධානයට ලක්ව ඇත. ඒ සම්බන්ධයෙන් යහපත් වාර්තා කිහිපයකටම හිමිකම් කීමට පසුගිය දිනවල ශ්‍රී ලංකාවට හැකි විය. 23 වැනි බ්‍රහස්පතින්දා වන විට මෙරට සමස්ත ජනගහනයෙන් 14,032,696ක් කොවිඩ් මර්දන පළමු එන්නත් මාත්‍රාව ලබාගෙන තිබූ අතර 11, 306,826ක් 2වැනි එන්නත් මාත්‍රාවද ලබාගෙන තිබුණි.
මේ වන විට මෙරට භාවිත කරන සියලුම එන්නත් වර්ගවලින් මෙරටට ලැබී ඇති සම්පූර්ණ එන්නත් මාත්‍රා සංඛ්‍යාව 31,699,834කි. එයින් එන්නත් මාත්‍රා මිලියන 6.5ක් ප්‍රදාන වශයෙන් ලැබී ඇති අතර සෙසු එන්නත් මාත්‍රා සියල්ල ශ්‍රී ලංකා රජය විසින් මිලදී ගත් ඒවා බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසීය. එබැවින් එන්නත් සම්බන්ධයෙන් පැතිර යන විවිධ මිත්‍යාමතවලට නොරැවටී කඩිනමින් තමාට හිමි එන්නත ලබාගැනීම ජනතාවගේ වගකීම බව හෙතෙම අවධාරණය කළේය.
කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් මියගිය වූවන් අතර වයස අවුරුදු 30ට අඩු සංඛ්‍යාව ඉතා කුඩා ප්‍රතිශතයක් වුවත් වයිසරය ආසාදනය වුවහොත් රෝගය දරුණු වීමේ සම්භාවිතාව අඩුකරගැනීමට සහ සුව වූ පසු ඇතිවන සංකූලතා අවම කර ගැනීමට තරුණ පිරිස් ද එන්නත ලබාගැනීම ඉතා වැදගත් බව වෛද්‍ය මතයයි.
මෙරට අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් එකදු එන්නතක් හෝ ලබානොගත් සංඛ්‍යාව 5%කටත් වඩා අඩු ප්‍රතිශතයක් වන අතර එන්නත් ක්‍රියාවලියට හැකි උපරිමයෙන් සහයෝගය දක්වන ලෙස තරුණ ප්‍රජාවගෙන් රජය ඉල්ලා සිටී.
•නොසලකා නොහැරිය යුතු පසු කොවිඩ් තත්ත්වය
කොවිඩ් ආසාදනය වන බොහෝ දෙනා දින කිහිපයකින්ද, ඇතැම් අය සති කිහිපයකින්ද නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වූවත් ඇතැම් පුද්ගලයන් යළි සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයට පත්වීමට මාසයකටත් අධික කාලයක් ගතවන බව වාර්තා වේ. එම තත්ත්වය ‘පසු කොවිඩ් සංකූලතා‘ තත්ත්වය (Post COVID Conditions) ලෙස හැඳින්වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සිදු කළ දැනුම්වත් කිරීමකට අනුව ඒ සම්බන්ධයෙන් වැදගත්ම කරුණ ලෙස සඳහන් කර ඇත්තේ කොවිඩ් ආසාදිතව දරුණු ලෙස රෝගී තත්ත්වයට පත්වූ පුද්ගලයන්ට මෙන්ම ඉතා සුළු රෝග ලක්ෂණ දැක්වූ හා කිසිදු රෝග ලක්ෂණයක් නොදැක්වූ පුද්ගලයන්ට පවා එකී පසු කොවිඩ් තත්ත්වය ඇතිවිය හැකි බවයි.
හුස්ම ගැනීමේ අපහසුතාව, තෙහෙට්ටුව, අවධානය පවත්වාගෙන යෑමේ අපහසුතා පසු කොවිඩ් තත්ත්වය තුළ සුලබවම දැකිය හැකි අතර ඊට අමතරව ශාරීරික හෝ මානසික වෙහෙසීමකින් පසු අපහසුතාව වැඩිවීම, කැස්ස, විටින් විට වේගවත් වන හෘද ස්පන්දනය, පපුවේ හෝ උදරයේ වේදනාවන්, හිස කැරකැවිල්ල, මාංශ පේශි හා හන්දිපත් වේදනාව, නින්ද යෑමේ අපහසුතා, ගඳ සුවඳ දැනීමේ වෙනස්කම් යනාදී රෝග ලක්ෂණ ගණනාවක් පසු-කොවිඩ් තත්ත්වයට අදාළව වාර්තා වී ඇත.
බොහෝ විට මෙම රෝග ලක්ෂණ කාලයත් සමඟ ක්‍රමයෙන් අඩුවී යන අතර උපරිමයෙන් විවේක ගැනීම ඒ සඳහා අත්‍යවශ්‍ය වේ. අනවශ්‍ය ලෙස ශරීරය හා මනස වෙහෙස කිරීම රෝග ලක්ෂණ වැඩි වීමට හේතුවක් විය හැකි අතර අපහසුවක් නැතිව කළ හැකි එදිනෙදා වැඩ කටයුතුවලට පිවිසීම ක්‍රමිකව කළ යුතුය. සාමාන්‍යයෙන් බර වැඩවල නිරත වූ අයකු පවා එක්වරම ඒ සඳහා යොමු නොවී පියවරෙන් පියවර තම ක්‍රියාකාරකම්වල තීව්‍රතාවය වැඩි කරමින් දරාගතහැකි මට්ටමෙන් පමණක් වෙහෙස වීමට පරරෙස්සම් විය යුතුය. හැකි උපරිමයෙන් විවේකයෙන් සහ සිත සැහැල්ලුවෙන් ගත කිරීම ඉක්මනින් ශරීර සෞඛ්‍යය යථා තත්ත්වයට පත්වීම සඳහා උපකාරී වන බවද වෛද්‍ය මතයයි.
ඉහත කී රෝග ලක්ෂණ කොවිඩ්-19 තත්ත්වයට අදාළ නොවන වෙනත් රෝග නිසාද ඇතිවිය හැකි බැවින් කොවිඩ් සුව වීමෙන් පසුව ඉහත කී රෝග ලක්ෂණ හෝ වෙනත් අපහසුතා තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුය. ඒ සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 ක්ෂණික ඇමතුම් අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.
මේ අතර කොවිඩ් ආසාදනය වී සුවය ලැබූවන්ගෙන් 3% - 40% අතර ප්‍රමාණයකට ස්නායු රෝග ලක්ෂණ ඇතිවීමේ අවදානමක් පවතින බවටද විශේෂ වෛද්‍යවරු අනතුරු අඟවති.
ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, සභාපති විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ පැවසුවේ ස්නායු රෝග ලක්ෂණ බරපතළ ලෙස දැනෙන්නේ නම් වෛද්‍යවරයකු හමුවීම ඉතා වැදගත් බවය.
මෙහි සඳහන් වන සංඛ්‍යාලේඛන 2021.09.24 වැනිදා රාත්‍රි 6.00 වන විට ජනාධිපති ලේකම් කාර්යාලයීය
වෙබ් අඩවියේ සඳහන් වී තිබූ කොවිඩ් දත්තවලට අදාළ ඒවා බව සලකන්න.
දරුවන් සඳහා එන්නත්කරණය ඇරඹෙයි
වයස අවුරුදු 12-19 ත් අතර සංකූලතා පවතින දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත්කරණය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, අනුරාධපුර සහ කුරුණෑගල ශික්ෂණ රෝහල්වලදී 24 වැනි සිකුරාදා ආරම්භ වූයේ මෙරට එන්නත්කරණ වැඩසටහනේ තවත් සුවිශේෂී පියවරක් ඉදිරියට තබමිනි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ උපදෙස් පරිදි පාසල් සිසුන්ගේ එන්නත්කරණ වැඩසටහන එසේ ආරම්භ වූ අතර, ඒ අනුව ප්‍රතිශක්තිය හීන, දියවැඩියාව, ස්නායු රෝග, වකුගඩු රෝග, හෘද රෝග, තැලසීමියාව හා මුත්‍රා සහ ආහාර මාර්ගයේ රෝග ඇතුළු නිදන්ගත රෝගවලින් පෙළෙන දරුවන් සඳහා එන්නත ලබාදෙන අතර ළමා රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සඳහන් කළේ එවැනි දරුවන් ප්‍රතිකාර ගන්නා සායනවලට පැමිණිමෙන් අදාළ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශය සහ මවුපියන්ගේ අවසරය ඇතිව එන්නත ලබාදෙන බවයි.
ළමා වෛද්‍ය විශේෂඥයන්ගේ පූර්ණ අධික්ෂණය යටතේ සංකූලතා පවතින එවැනි දරුවන් 35,000ක් පමණ එන්නත්කරණයට යොමුකිරීමට නියමිතය. ලෝක සෞඛ්‍ය නිර්දේශවලට අනුව සංකූලතා සහිත දරුවන්ට එන්නත්කරණය සඳහා යොදාගනු ලබන්නේ ෆයිසර් එන්නතයි. මේ වන විටත් ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, නොර්වේ, එංගලන්තය වැනි රටවල් ම මෙම වයස් කාණ්ඩවල දරුවන් එන්නත්කරණයට ලක්කර ඇත.
දර්ශීය වැඩපිළිවෙළක් ලෙස කොළඹ, කුරුණෑගල සහ අනුරාධපුර රෝහල්වලදී 24 වැනිදා මෙම එන්නත්කරණ වැඩසටහන ආරම්භ වූ අතර ඊට සමගාමීව ඉදිරි දිනවලදී සියලුම පළාත්, දිස්ත්‍රික් සහ මූලික රෝහල්වලදී දරුවන් එන්නත්කරණයට අවශ්‍ය සියලු කටයුතු සැලසුම් කර ඇත.
දරුවන් එන්නත්කරණය වයස් කාණ්ඩ තුනක් යටතේ සිදු කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව වයස අවුරුදු 12 -19 අතර සංජනනීය දරුවන් සඳහා පළමුව එන්නත්කරණය සිදු කෙරේ. වයස අවුරුදු 15 – 19 කාණ්ඩයේ නිරෝගී දරුවන් සඳහා ඉදිරියේදී එන්නත්කරණය සිදු කෙරෙන අතර වයස අවුරුදු 12 – 15 දරුවන් සඳහා විශේෂඥ නිර්දේශ ලැබුණු වහාම එන්නත්කරණ ආරම්භ කෙරේ. අවුරුදු 12-19 ත් අතර වන මෙරට ජනගහනය ලක්ෂ 20ක් පමණ වේ.
දරුවන් එන්නත්කරණ පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඉකුත් 23 වැනිදා වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වූ අතර, ඒ සඳහා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, ළමා රෝග විශේෂඥ මහාචාර්ය පූජිත, වයඹ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර ඇතුළු විශේෂඥයෝ පිරිසක් සහභාගි වූහ.
වයිරසයට වඩා වේගයෙන් මිත්‍යා මත පැතිර යෑම බරපතළ හානියක් බැවින් දරුවන් එන්නත්කරණය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සේම මාධ්‍ය ද වගකීමෙන් කටයුතු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසීය. මිත්‍යා මතවලට හසු නොවී දරුවන් එන්නත්කරණයට සක්‍රීයව එක්වන ලෙස හෙතෙම මවුපියන්ගෙන් ඉල්ලා සිටී.