
ආයෝජන මණ්ඩලයේ ප්‍රමුඛ සමාගමක් සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, මර්ස්ක්/ඒපීඑම් ටර්මිනල්ස්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ එවර්ග්‍රීන් මැරීන් කෝපරේෂන් කොටස් හිමිකාරිත්වය ඇති, ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය හා පුද්ගලික අංශයේ හවුල්කාර බහාලුම් පර්යන්තය වන සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් පුද්ගලික සමාගම හෙවත් SAGT, සිය තිරසාර ව්‍යාපාරික පුරුදු පවත්වා ගෙන යාම වෙනුවෙන්, පසුගිය දා සිය පර්යන්තයක අතුරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබේ. එනම්, නවෝත්පාදන විසඳුමක් ලෙස ලංකාවේ එක් වරක් භාවිත කළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය, කාර්මික අමුද්‍රව්‍යයක් බවට පත් කරමින් විකරණය කරන ලද ප්ලාස්ටික් තාර කොන්ක්‍රීට් (PMAC),මාර්ග ඇතිරීමේ ව්‍යාපෘතියට යොදා ගෙන තිබේ.
හරිතාගාර වායූන් අඩු කිරීමට ඉඩ සලසමින් තාර මිශ්‍රණයේ බිටුමන්, පොසිල ඉන්ධන යම් ප්‍රතිශතයකට ආදේශකයක් ලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඇතුළත් කර ඇති අතර, මෙම ව්‍යාපෘතිය මඟින් සිය කාබන් පියසටහන් (carbon footprint) අවම කිරීමට SAGT උත්සාහ කර තිබේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් SAGT හි ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු, දිලූක මහවත්ත පැවසූයේ මෙවැන්නකි.
" මෙම ව්‍යාපෘතිය සඳහා SAGT විසින් විකරණය කරන ලද ප්ලාස්ටික් තාර, කොන්ක්‍රීට් අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගැනීමෙන් මාර්ග ප්‍රතිසංස්කරණ වාර ගණන අඩුවීම, පිරිවැය කාර්යක්ෂමතාව, මාර්ග ආරක්‍ෂාව වැඩි කිරීම සහ ආයතනයක් ලෙස සිය කාබන් පියසටහන් අවම කිරීමට විශාල දායකත්වයක් ලබා දෙනවා.
ඒ වගේම මෙම ව්‍යාපෘතිය, එක්සත් ජාතීන්ගේ 13 වැනි තිරසර සංවර්ධන ඉලක්කය (UNSDG) උදෙසා SAGT හි කැපවීම පිළිඹිබු කරනවා. තිරසාරභාවය ඉලක්ක කරගත් අපගේ අනෙකුත් නවෝත්පාදක ව්‍යාපෘති අතර, රබර් ටයර් සහිත ජංගම දොඹකර සමූහයේ දෙමුහුන් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියසහ යගිරල රක්ෂිතයේ වාර්ෂික නැවත වගා කිරීමේ ව්‍යාපෘතිය දැක්විය හැකියි..." යනුවෙනි.
ප්‍රතිචක්‍රීයකරණයෙන් ඔබ්බට ගිය, අධිචක්‍රීයකරණය හෙවත්, නිර්මාණාත්මක ප්‍රතිචක්‍රීයකරණය පිළිබඳ නිරන්තර පර්යේෂණයන්හි නියැළෙන, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨයේ, සිවිල් සහ පාරිසරික තාක්ෂණ අධ්‍යනාංශයේ ආචාර්ය රන්දිකා ජයසිංහ, තවමත් ශ්‍රී ලංකාවට අලුත් අත්දැකීමක් වන නමුත් පුරුද්දක් තරමට භාවිතයට ගත හැකි මේ සංකල්පය පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.
" ශ්‍රී ලංකාව තුළ දැනටමත් ප්ලාස්ටික් සම්බන්ධයෙන් වන නිර්මාණාත්මක ප්‍රතිචක්‍රීයකරණයේ හොඳ ප්‍රවණතාවක් දකින්නට තිබෙනවා. ප්ලාස්ටික්, වීදුරු, කඩදාසි, ලෝහ වර්ග, කෘත්‍රිම ඇඟලුම්, Tetrapak ඇසුරුම් වැනි බහුල අපද්‍රව්‍යවලින් වටිනා නිෂ්පාදන කරන ආයතන දැන් දැන් බිහි වී තිබෙනවා. Eco Spindles, Rice and Carry, Earthbound Creations, House of Lonali වගේ ව්‍යාපාර, මේ සඳහා හොඳම උදාහරණයි.
ඊට අමතරව ඕස්ට්‍රේලියානු රජයේ ආධාර මත ක්‍රියාත්මක වන අපද්‍රව්‍ය ආශ්‍රිත්‍ර නිර්මාණාත්මක ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපාර බිහි කිරීමේ, 'ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සහයෝගීතා ව්‍යාපෘතිය...' මඟින් නොයෙකුත් ආයතන සහ කණ්ඩායම්වලට මේ සම්බන්ධ පුහුණුවීම් ලබා දී තිබෙනවා. මේ ව්‍යාපෘතිය බටහිර ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයත්, මොරටුව, යාපනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සහ Waste for Life කියන කණ්ඩායමේත් එකතුවක්. මේ මගින් නිර්මාණාත්මක ප්‍රතිචක්‍රීයකරණ/ අධිචක්‍රීයකරණ සමාජ ව්‍යාපාර (Upcycling social enterprises) ඇති කළා. මීගමුවේ Katana Upcycle සහ යාපනයේ Yaal Fibre... මෙසේ ආරම්භ කළ ව්‍යාපාරවලට හොඳම උදාහරණ. මේ දිනවල වසංගතයක් සමඟ මුහුණු ආවරණ, සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් කට්ටල වැනි, ප්ලාස්ටික් භාවිත වන නොයෙකුත් නිෂ්පාදන වැඩිපුර භාවිත වනවා. ඒ නිසා අපිට ප්ලාස්ටික් සම්පූර්ණයෙන් බැහැර කළ හැකි තත්ත්වයක් නැහැ. නමුත්, Reduce, Reuse, Recycle යන මූලික 3R සංකල්පයට අනුව යමින්, භාවිතය අඩු කිරීම, නැවත පාවිච්චි කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණය කරමින් ප්ලාස්ටික් භාවිතය පාලනය කරගන්නට හැකියාව තිබෙනවා.එම සංකල්ප අනුව ක්‍රියාත්මක වූ විට ප්ලාස්ටික් අපද්‍රව්‍යවලට වැඩි වටිනාකමක් දෙන්නට හැකියාව තිබෙනවා. අධිචක්‍රීයකරණය හෙවත් නිර්මාණාත්මක ප්‍රතිචක්‍රීයකරණය යනුවෙන් අප හඳුන්වන්නේ, එම අපද්‍රව්‍යවලට වැඩි වටිනාකමක් සහ වැඩි අගයක් එක් කිරීමේ තත්ත්වයයි.
අනික් අතට අපි මෙසේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය හෝ අධිචක්‍රියකරණය නොකළොත්, ජනතාව ඒවා පුළුස්සා දමනවා. තැන තැන විසිකර දමනවා. සෘජුවම පරිසරයට කරන හානිය වළක්වා, ප්ලාස්ටික් වැඩි කාලයක් භාවිතයට ගන්නට මේ ක්‍රමවේදය ඔස්සේ පුළුවන්කම ලැබෙනවා.සංකල්පයක් විදියට ගත්තත්, මේ නිර්මාණාත්මක ප්‍රතිචක්‍රීයකරණය කියන දේ ලෝකෙට අලුත් දෙයක් නෙවෙයි. මානව ශිෂ්ටාචාරයේ මුල් අවදියේ සිටම මිනිසුන් එය භාවිත කළා. ආහාරයට ගන්නා සතුන්ගේ ඇට කැබලිවලින් ආයුධ සහ නිර්මාණාත්මක ආභරණ හදාගත්තේ ඒවා ජීවිත පුරුදු තරමට සමීප කර ගනිමින්. ඒ අනුව, අපේ දෛනික ජීවිතයේදී භාවිතයට ගන්නා ෂොපින් බෑග්, බත් කොළ, අයිස්ක්‍රීම් පෙට්ටි, ෂැම්පු බෝතල්, පැකේජින් ද්‍රව්‍ය, සෙල්ලම් බඩු, වතුර සහ බීම බෝතල් යනාදී මේ හැමදේම,භාවිතයෙන් පසු යළි නිර්මාණාත්මක වටිනාකමක් ඇති නිෂ්පාදන බවට පත් කරන්නට හැකියාව තිබෙනවා.
රටක් හැටියට මේ සඳහා ජනතාවට දිය හැකි ලොකුම සහයෝගය නම්, නිවෙස්වල භාවිතයට ගන්නා මෙවැනි ප්ලාස්ටික් ද්‍රව්‍ය, කුණු ලෙස බැහැර නොකර ඒවා වෙනම තෝරා බාර දීමයි. එයින් නිර්මාණාත්මක ප්‍රතිචක්‍රිකරණය කරන ආයතන වලට මේ ප්ලාස්ටික් ලබා ගැනීමේදී ඉතාමත් පහසුවක් වනවා. ඒ වගේම, ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් විදුලිය ජනනය කිරීමටත්, මේ ආකාරයේ පාරවල් නිර්මාණය කිරීමටත් එය විශාල පහසුවක් වනවා..."
සාගර දූෂණය පිළිබඳ පර්යේෂණයන්හි නියැළෙන, රුහුණු විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධානී සහ සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ හිටපු සාමාන්‍යාධිකාරි, සාගර විද්‍යාඥ, ටර්නි ප්‍රදීප් කුමාර මෙම කාරණාව පිළිබඳ පැවසුවේ මෙවැනි අදහසකි.
" ලෝකයක් හැටියටත්, රටක් හැටියටත් අප මුහුණ පා සිටින ලොකුම ප්‍රශ්නයක් තමයි, මේ ප්ලාස්ටික් දූෂණය. ප්ලාස්ටික් තාර නිෂ්පාදනය, මේ ගැටලුවට දිය හැකි විසඳුම් අතරෙන් තවත් එක් හොඳම විසඳුමක් ලෙසයි මා දකින්නේ.
ඇත්තටම මේ සංකල්පය, ලෝකයේ වෙනත් රටවල් බහුලව භාවිත කරනවා. අපේ රටේත්, ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වගේ ප්ලාස්ටික් තාර පාරවල් කිහිපයක් තිබෙනවා. ඒ වගේම, රත්මලාන බොරුපන පාරත් එසේ ප්ලාස්ටික් තාර ඇතිරීමේ ක්‍රමයට නිම කළ පාරක්. කොළඹ වරායටත් මේ ක්‍රමය අත්හදා බැලීම හොඳ තත්ත්වයක්. මොකද, මේ ප්ලාස්ටික් මිශ්‍ර තාර ඇතිරීමේ ක්‍රමයෙන් තාර අස්වැන්න වැඩි කරගන්න පුළුවන් වගේම, ශක්තිය සහ කල් පැවැත්ම ඉතාමත් හොඳ තත්ත්වයක පවතිනවා.
මේ ක්‍රමය, ආයතන පරිශ්‍රය ඇතුළේ තිබෙන පාරවල් සහ විශ්වවිද්‍යාල තුළ තිබෙන පාරවල්, වැනි අභ්‍යන්තරික මාර්ගවලට ඉතා හොඳින් ගැළපෙනවා. ඒ වගේම, ආයතනයක් මෙවැනි නව්‍ය විසඳුමකට අතගැසීම, හොඳ පූර්වාදර්ශයක්.
ලංකාවේ එක් දිනකට, පුද්ගලයකු නිසා ජනනය වනවා යැයි, ගණන් බලා තිබෙන ප්ලාස්ටික් ප්‍රමාණය, ග්‍රෑම් 500ක්. මේ ආකාරයට එකතු වන ප්ලාස්ටික් ටොන් මිලියන 1.96ක් වාර්ෂිකව මුහුදට එක් වනවා. මෙයින් 30% ක් ගොඩබිමට යළි ගසාගෙන ආවත්, 70% ක්ම මුහුදු පතුලේ තැන්පත් වනවා. 2015 දී ලෝකයේ ප්ලාස්ටික්වලින් දූෂණය වූ රටවල් අතර ශ්‍රී ලංකාව හිටියේ 05වැනි ස්ථානයේ. ගෝලීය වශයෙන් එය විශාල අපකීර්තියක්. ඒ නිසාම රටක් හැටියට දැන් යම් යම් පියවර ගෙන තිබීම හොඳ දෙයක්.
ඉතාම සරලව කිව්වොත් මේ ක්‍රමය තමයි, තාර උණු කරද්දි ප්ලාස්ටික් බෝතල් වැනි දේ තාරවලට මිශ්‍ර කර උණු කිරීම. එහිදී මේ මිශ්‍රණ ප්ලාස්ටික් ඉතා හොඳින් උණු වීම ඉතා වැදගත්. නැත්නම් වෙන්නේ, කාලයක් යන විට පාරවල් ගෙවෙමින් ක්ෂය වෙද්දි, ඒවායින් මතු වන ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු වාතයට මුසු වෙන්නට ඉඩකඩ පැවතීමයි.
ඕනෑම ව්‍යාපාරික ආයතනයකට පුළුවන්, තමන්ගේ සමාජ සත්කාරක කටයුත්තක් (CSR) ලෙස, විශ්වවිද්‍යාල පරිශ්‍රවල අභ්‍යන්තර මාර්ග වැනි පාරවල්, මෙසේ ප්ලාස්ටික් තාරවලින් නිර්මාණය කර දෙන්නට. ප්ලාස්ටික් ගැටලුවටත්, මේ සංකල්පය ප්‍රචලිත කිරීමටත් එය හොඳ පූර්වාදර්ශයක් වේවි..."