මත් ජාවා­ර­මුන්ට එරෙහිව පැරදිලා පළා නොගිය පොලිස් සැරයන් | Page 2 | සිළුමිණ

මත් ජාවා­ර­මුන්ට එරෙහිව පැරදිලා පළා නොගිය පොලිස් සැරයන්

CCtv කැමරාවක සටහන්ව තිබූ ත්‍රාසජනක දසුන
CCtv කැමරාවක සටහන්ව තිබූ ත්‍රාසජනක දසුන

 

තළොස්සක් දූෂිත පොලිස් නිලධාරින් අතර බොහොමයක් නිලධාරින් රාජකාරියට කැපව සිටින්නෙ තම ජීවිතයද පරදුවට තබමිනි. එවැනි අභීත නිලධාරින් ඉතිහාසයෙන්ද වාර්තා වේ. පසුගියදා තවත් එවැනි අභීත පොලිස් විරුවකුගේ හපන්කමක් මුළු රටටම දැකගැනීමට හැකි වූයේ එය සීසීටීවී කැමරා දසුන්හිද මනාව සටහන්ව තිබූ හෙයිනි.

 

පසුගිය 20 වැනිදා පෙරවරු 9ට පමණ නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් පස්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ලද තොරතුරක් මත මත්ද්‍රව්‍ය වැටලීමකට යමින් සිටියේ වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය ඔබේසේකරපුර මංසන්ධිය පසුකරමිනි. එහිදී කණ්ඩායමේ සිටි සාජන් වසන්තගේ නෙතඟට හසු වූයේ මාර්ගයේ නවතා තිබූ නිල් පැහැති ත්‍රීරෝද රථයකින් බැසගත් පුද්ගලයකු ඒ අසල වූ අළු පැහැති විට්ස් වර්ගයේ රථයක පිටුපස අසුනට යම්කිසි පාර්සල් දෙකක් රැගෙනවිත් දමන ආකාරයයි. ඔහු ඒ පිළිබඳව කණ්ඩායමේ සිටි උසස් නිලධාරියා දැනුම්වත් කළේ,

“සර් පාර්සල් දෙකක් කාර් එකකට දානව දැක්කා... කුඩුද දන්නෙ නෑ...“

ඒත් සමඟම සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් ක්ෂණයෙන් ගමන්ගත් රථය හරවාගෙනවිත් එම ත්‍රිරෝද රථය අසලට පැමිණියේය. ත්‍රිරෝද රථයේ පුද්ගලයාගෙන් ප්‍රශ්න කළේ ත්‍රිරෝද රථයේ යතුරද නිලධාරින්ගේ බාරයට ගනිමිනි. ඔහු මාලිගාවත්තෙ පුද්ගලයෙක් බව නිලධාරිහු හඳුනා ගත්හ.

ඒ අතරේ නිලධාරින් තිදෙනෙක් අසල නතර කර තිබූ මෝටර් රථයද වට කරමින් මඟ හරස් කළේය. එසැණින් එහි සිටිය වුන්ට ඉන් බසින්නටද නියෝග කළහ. එහෙත් රථයේ දොරගුළු දාගත් රියැදුරු රථය පණ ගන්වා වේගය වැඩි කරමින් ගමන් කරන්නට සැරැසුණේ මඟ හරස් කරගෙන සිටි පොලිස් නිලධාරින්ද යට කර පලා යාමේ අටියෙනි. එහෙත් එක් නිලධාරියෙක් ඉවත් නොවුණේය. රථය ගමන් වේගය වැඩි කරමින් ගමන් කරන්නට සැරැසෙනවාත් සමඟම එම නිලධාරියා රථයේ බොනට්ටුව මතට පැන වයිෆරයේ එල්ලිණි. නිලධාරියාද කැටුව රථය විදුලි වේගයෙන් ධාවනය වන්නට විය. වේගයෙන් ඇදෙන රථයේ එම නිලධාරියා එල්ලී සිටියේ බටහිර චිත්‍රපටයක ත්‍රාසජනක දසුනක් මවනා ආකාරයෙනි. එලෙස එම නිලධාරියා ජීවිතයද පරදුවට තබා සිදු කළ වික්‍රමය අසල සීසීටීවී කැමරාවන්හි මනාව සටහන් වී තිබිණි.

රථයේ බොනට්ටුව මත ඔබේසේකරපුර මාර්ගයේ මීටර් 500ක පමණ දුරක් ගමන් කළ පොලිස් නිලධාරියා රියැදුරාගේ තිරිංග තද කිරීමත් සමඟ රථයෙන් ඇද වැටෙන ආකාරයද තවත් සීසීටීවී කැමරාවක සටහන් වී තිබුණේය. නිලධාරියා එම ස්ථානයේදී ඇද වැටුණු ආකාරයට ඔහුගේ ජීවිතය බේරුණේ හාස්කමකින් මෙනි.

සිය ජීවිතයද පරදුවට තබමින් මත් ජාවාරමුන් වැටලීමට කැප වූයේ ජාවාරම්කරුවන්ගේ මත් ජාවාරම නෙතඟට හසුකරගත් 54478 සාජන් ඩබ්ලිව්. ඒ. වසන්ත පුෂ්ප කුමාර නිලධාරියායි.

මෝටර් රථයෙන් වැටුණු සැණින් වසන්ත සෙසු නිලධාරින් විසින් නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කෙරිණි. ඔහුගේ හිසට සහ පාදයකට දැඩි සේ තුවාල වී තිබූ අතර දෙඅත් සහ පිටකොන්දද තුවාල වී තිබුණේය. එහෙත් මේ වන විට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද පසුගියදා ප්‍රකාශ කළේ ඔහුගේ සුවදුක් විමසීමට යාමෙන් අනතුරුවයි.

වසන්ත එලෙස මත්කුඩු තොගයක්ද රැගෙන පලා යාමට වැළකූ රථය CBK 3981 අංක දරන අළු පැහැති විට්ස් වර්ගයේ රථයක් බව පොලිස් නිලධාරින් අනාවරණය කරගත්තේ අවට සීසීටීවී කැමරා පරීක්ෂාවෙනි. වසන්තගේ එම ත්‍රාසජනක ක්‍රියාව පිළිබඳව මුලින් පොලිස් නිලධාරින් එතරම් අවධානයක් යොමු නොකළේ එය සුළු සිදුවීමක් ලෙස හුවා දක්වමිනි. අඩුම තරමේ නිලධාරියාගේ ජීවිතයටද හානි කිරීමට තැත් කරමින් ධාවනය වූ රථයට වෙඩි තැබීමක් හෝ නොකිරීමට තරම් ඒ මොහොතේ ගිනිඅවියක් අතැතිව සිටි නිලධාරියෙකුට ධෛර්යයක් නොතිබීම හාස්‍යයට කරුණකි.

කෙසේ හෝ එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරින් සියල්ලෝම වසන්ත ගැන අවධානය යොමු කළ හෙයින් අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ත්‍රිරෝද රියේ පැමිණි පුද්ගලයා යතුර නැති වුවද ත්‍රිරෝද රථය පණ ගන්වා පලා ගොස් තිබුණේය. ඒ ත්‍රිරෝද රථය සහ එහි පැමිණි පුද්ගලයන් සොයා දිගින් දිගටම විමර්ශන සිදුවෙමින් පවතී.

මෙකී සිදුවීම පිළිබඳ ව මාධ්‍ය ඔස්සෙ ප්‍රචාරය වීමත් සමඟ නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ලියනගේ පලා ගිය රථය සොයා විමර්ශන සිදු කිරීමට කණ්ඩායම් හයක් යෙද වූයේ විශේෂ බුද්ධි කණ්ඩායම් දෙකක්ද සමඟිනි. එම කණ්ඩායම් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ රථය පදවා ඇත්තෙ තලපත්පිටියේ විපුල නමැත්තෙක් බවත් රථය තුළ දෙදෙනෙකු සිට ඇති බවයි. රථය විපුලගේ බිරිය පුෂ්පකාන්ති බෝපෙගමගේ නමැත්තියට අයත් වූවක් බවත් එය ලියාපදිංචි කර තිබුණේ නුගේගොඩ, මිරිහාන, උඩහමුල්ල, අංක 20/11B දරන ලිපිනයකටයි.

ඒ ලිපිනය සොයා ගිය නිලධාරින් දුටුවේ එහි ඉදිකරමින් පවතින සුඛෝපභෝගි තෙමහල් නිවෙසකි. ඒ මොහොතේ එහි විසුවේ කාන්තාවන් දෙදෙනෙකි. දෙදෙනා කීවේ තම සහෝදරයා 19 වැනිදා රාත්‍රියේ බිරිය සමඟ අදාළ රථයෙන් ගිය බවයි. එදින සිට ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බවත් දුරකථනද විසන්ධි කර ඇති බවයි.

එලෙස නිවෙසෙන් පලා ගොස් සිටියේ රථය පැදවූ බවට සැලවූ තලපත්පිටියේ විපුල නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා බව පොලිසිය හඳුනා ගත්තේය. විපුල කලෙකට පෙර ත්‍රිරෝද රථයක් ධාවනය කළ තැනැත්තෙකි. ඔහු විවිධාකාර මත් ජාවාරම් සහ පොලියට මුදල් දීම් ඔස්සේ මේ වන විට කෝටිපතියකු බවට පත් ව ඇත. අදාළ ලිපිනයේ නිවෙසද ඔහු මෑතකදී ඉදිකරමින් පවතින්නකි. එසේම විපුල නමැත්තා 2013 වසරේදී ටී56 ගිනිඅවියක් සමඟ කෝට්ටේ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවටද පත් වූ අයෙකි.

කෙසේ හෝ රථය පිළිබඳ දිගින් දිගටම සිදු කළ විමර්ශනයන්හි ප්‍රතිඵලයක් මත තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද දිල්රුක්ට ලැබුණු තොරතුරක් මත එහි නිලධාරින් සිදු කළ විමර්ශනයකින් පසුගිය 22 වැනිදා සවස තලංගම, බටපොත, දේවාල පාරේ නිවෙසක රථය සඟවා තිබියදී සොයා ගැනීමට හැකි විණි. එම නිවෙසේ වූයේ විපුලගේ සහෝදරියයි. රථය එම නිවෙසෙහි සඟවා තිබුණේ අංක තහඩුද ගලවා දමමිනි. රථය සමඟ නිවෙසේ විසූ විපුලගේ සහෝදරිය සහ ඇගේ සැමියා සමඟ තවත් අයෙක්ද අත්අඩංගුවට ගැනිණි. එම නිවෙස් හිමියා පොලිසියට පවසා තිබුණේ, අනතුරක් වූ බව පවසා විපුල විසින් එම රථය තම නිවෙසේ ගාල් කර ගිය බවයි.

අත්අඩංගුවට ගත් පිරිස රඳවාගෙන ප්‍රශ්න කර මෙහි ඉදිරි විමර්ශන සිදු කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයට බාර කෙරිණි.

මේ අතර පසුගිය සිකුරාදා මත් ජාවාරමේ ප්‍රධාන සැකකරු විපුල නීතිඥයන් සිව්දෙනකු මාර්ගයෙන් අලුත්කඩේ, අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට බාර වී තිබුණේය. අධිකරණය විසින් ඔහුව හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන තෙක් ලබන 29 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

සැරයන් වසන්ත එක්වූ පෙර වැටලීමක්

විපුල නමැත්තා තවමත් අතුරුදන්ව සිටියත් ඔහු කලෙක සිට මාලිගාවත්ත අයවලුන් සමඟ එක්ව සිදු කළ මත්ද්‍රව්‍ය ජාවාරමේ සුලමුල මේ වන විට අනාවරණය වී අවසානය. එම මත් ජාවාරම අනාවරණය කරගැනීමට හැකි වූයේ සාජන් වසන්තගේ අභීත ක්‍රියාව නිසාවෙනි.

42 හැවිරිදි සාජන් වසන්ත හෝමාගම, කිරිවත්තුඩුවේ පදිංචිකරුවෙකි. සහෝදර සහෝදරියන් අටදෙනකුගෙන් යුත් පවුලේ හතරවැනියාය. විවාහකයෙක් වන වසන්තට දරුවන් තිදෙනෙක් සිටියි.

පන්නිපිටිය කලල්ගොඩ අග්‍රාමාත්‍ය විද්‍යාලයෙන් සහ පැලවත්ත විද්‍යාවර්ධන විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ හෙතෙම පොලිස් සේවයට එක්වී ඇත්තෙ 2002 වර්ෂයේය. තඹුත්තේගම, පහළගම පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් මූලික පුහුණුව ලැබූ වසන්ත මුලින්ම සේවයට එක් වුණේ රුදුරු කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව යාපනය ප්‍රදේශයේ රාජකාරියට එක්වෙමිනි. යාපනයේ වසර 9ක සේවා කාලයකින් පසු මහරගම සහ පිටකොටුව පොලිස් ස්ථානයන්හි සේවය කළ සාජන් වසන්ත 2019 වසරේ සිට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට අනුයුක්තව රාජකාරි කරයි.

යාපනයෙන් පැමිණි දින සිට වසන්ත දූෂණ මර්දන ඒකකයන්හි රාජකාරියන්හි නිරත වෙමින් මත්ද්‍රව්‍ය, නීති විරෝධි මත්පැන් ඇතුළු දූෂණකයන්, වංචාකාරයන් සහ පාතාල සාමාජිකයන් සොයා සිදු කළ වැටලීම් සිය ගණනකට එක් වූ අතිදක්ෂ නිලධාරියෙකි. ඒ බොහෝ වැටලීම්හි බුද්ධි තොරතුරු වසන්තගේ ය. පිටකොටුව පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ සේවය කරද්දී එවකට එහි දූෂණ මර්දන ඒකකයෙහි ස්ථානාධිපතිව සිටි පොලිස් පරික්ෂක නිශාන් පැතුම් ඇතුළු පිරිස වසන්තගේ තොරතුරු මත වැටලීම් විශාල ප්‍රමාණයක් සිදු කර තිබුණේය.

එසේම වසන්ත 2011 වසරේදී මහරගම පොලිසියේ රාජකාරි කරමින් සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු කොටු කරගැනීමට සිටියදී එම ජාවාරම්කරු අත්අඩංගුවට නොගන්නා ලෙස වෙනත් පුද්ගලයකු රුපියල් 50000ක මුදලක් වසන්තට දීමට තැත් කෙරිණි. එහෙත් සාජන් වසන්ත එම මුදල ප්‍රතික්ෂේප කරමින් එකී පුද්ගලයා එම මුදල්ද සමඟ අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට තරම් අවංක රාජකාරියටම කැපවූ නිලධාරියෙක් බව අපට වාර්තා වේ. ඒ ක්‍රියාව අගයා ඔහුට පොලිස් ත්‍යාග මුදල් සහ විශේෂ සම්මානයක්ද පිරිනමා තිබේ. ඊට අමතරව මෑතකදී නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් හෙරොයින් කිලෝග්‍රෑම් එකහමාරක ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගැනීමට සාජන් වසන්තද දායක වී තිබුණේය. එසේම පසුගිය කාලයේ නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා කිලෝ 20ක ප්‍රමාණයත් කොට්ටාව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 18ක ප්‍රමාණය මෙන්ම මීගොඩින් අත්අඩංගුවට ගත් ගංජා කිලෝ 20ක ප්‍රමාණයද අත්අඩංගුවට ගෙන තිබුණේ සාජන් වසන්තට ලැබුණු තොරතුරු ඔස්සේයි.

එවැනි දක්ෂ නිලධාරියෙක් වන වසන්තගේ අභිත ක්‍රියාව නිසා මෙතෙක් පොලිසියට ‘ඉව‘ නොවැටී කලෙක සිටම සිදුව ඇති තවත් මහා පරිමාණ මත් ජාවාරමක සුලමුල මේ වන විට හෙළිවී අවසානය. මෙවැනි දක්ෂ පොලිස් නිලධාරින්ගේ සේවය අගයමින් සමස්ත පොලිස් නිලධාරින්ගේම දිරිය ශක්තිය වඩන්නට කටයුතු කිරීම වගකිවයුතු බලධාරින්ගේ වෘත්තීය යුතුකමකි.

ඡායාරූපය - සමීර අබේසිංහ, නුගේගොඩ සමූහ

 

Comments