බිත්ති හතර ඇතුළේ ගෙවන ලෝක ළමා-වැඩි­හිටි දිනේ | සිළුමිණ

බිත්ති හතර ඇතුළේ ගෙවන ලෝක ළමා-වැඩි­හිටි දිනේ

 

දැයේ දරුවන් හා වැඩිහිටියන් වෙනුවෙන් වෙන්වූ දිනය ඔක්තෝම්බර් පළමුවැනිදාට යෙදී තිබේ. කොවිඩ් වසංගතයත් සමඟ මෙදා දරුවන් හා වැඩිහිටියන් පිළිබඳ අලුතින් සිතන්නට මාවතක් විවර වි තිබේ. පාසලෙන් සිතුවිලි හැකියා මුදාහළ ළමා ජිවිතය අද ගත කරන්නේ නිවසට කොටු වූ බිත්ති සතරක් මධ්‍යයේය. වැඩිහිටි ජිවිතයද සිය සැදෑ කාලයේ අසන්නට දකින්නට ලැබුණේ මහා බියකරු වසංගතයක අඳුරු සෙවණැලිය. බොහෝ වැඩිහිටියෝ කොවිඩ් වසංගතයට බියෙන් මානසිකව ඇඳ වැටෙන්නට විය. තවමත් මේ ඛේදවාචකයේ අවසානයක් නැත. මෙවර ළමා දිනයේ තේමාව “සියල්ලටම පෙර දරුවන්“ ය. ආදරය ,අරක්ෂාව, සතුට පිරුණු ලොවක් ළමයින් වෙනුවෙන් තැනීමට අපි සැවොම එක්වෙමු“ මෙවර ළමා දිනයේ තේමාවය. වැඩිහිටි දිනයේ තේමාව “ සෑම වයසකටම ඩිජිටල් තාක්ෂණය එකසේ යන්නයි“ එනම් කොවිඩ් වසංගතය හමුවේ වැඩිහිටියන්ගේ තනිකම පාළුව වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණය ළඟා කිරීම අරමුණයි.

ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණ අධිකාරිය නව වැඩසටහන් රාශියක් ආරම්භ කර ඇති බව එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ පවසයි.

“මෙතෙක් කල් අපේ අධිකාරියට නොතිබු එහෙත් සිදු කළ යුතු කාර්යය රැසක් එළඹෙන පළමුවැනිදා සිට දියත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අවධානයට ලක්විය යුතු හා අවධානමට ලක්වන දරුවන් හඳුනා ගැනීමට අපි ජාතික දත්ත පද්ධතියක් ඇති කරනවා. සේවකයන් කිහිප දෙනකුගෙන් ක්‍රියාත්මක වන දැනට පවතින දත්ත පද්ධතියට ඉදිරියේදී 14,000 ක් වන ග්‍රාම නිලධාරින්, පෞද්ගලික සෞඛ්‍ය සේවා නිලධාරීන්, උසාවි මෙන්ම ආර්ථික සංවර්ධන නිලධාරින් ඇතුළු ලංකාවේ සියලු පොලිස් ස්ථානවලට ඊට සම්බන්ධ වීමටත් දත්ත ලබාදීමටත් හැකියි. ඉදිරියේදි දරුවන්ට උසාවියට නොගොස් මේ හරහා සාක්ෂි ලබා දීමට හැකි පරිදි පසුබිම සකස් කෙරෙනවා. අනාරක්ෂිත ළමයි, අවදානම් හා ආන්තික ළමුන් මෙන්ම ඇස නොගැටෙන ළමුන් ගැනද මේ හරහා දැඩි අවධානයක් යොමු කරන්නට හැකියාව ලැබෙනවා. මේ වන විට පොලීසියට වාර්තා වන්නේ 5000 ක පැමිණිලි ප්‍රමාණයක්. අපිට වාර්තා වන්නේ 9000 ක ප්‍රමාණයක්. නමුත් නිවැරදි සංඛ්‍යා ලේඛන ඇතුළත් කෙරේ නම් එය 20,000 කටත් වැඩියි. ඒ වගේම අපේ අධිකාරිය හා අධිකරණ සේවා කොමිසම සමඟ එක්ව අධිකරණ වල නඩු ඇසීමේදී දරුවන්ට සුවිශේෂි ක්‍රමවේදයක් වෙනුවෙන් 449 දරන චක්‍රලේකය නිකුත් කළා. ඒ අනුව සියලුම මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේ ළමා නඩු ඇසීමට සතියේ නිශ්චිත දිනක් වෙන් කර ගැනීමට මෙන්ම අනිකුත් නඩු අතර දරුවන්ගේ නඩු ඇසීමේදි ඊට ප්‍රමුඛත්වය ලබා දීමට. ඒ වගේම ළමා දිනයට අපි තවත් වැඩ සටහන් කිහිපයක් ආරම්භ කිරීමට කටයුතු කරනවා. ඇස්නෝ ආයතනයත් එක්ව ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙබ් අඩවියක් ආරම්භ කරනවා. ඒ වගේම ඕනැම අයකුට ළමයින් වෙනුවෙන් අපේ අධිකාරියට අරමුදල් තැන්පත් කිරීමට ළමා අරමුදලක් පිහිටුවනවා. ඒ වගේම දරුවන්ට ආරක්ෂා වන ආකාරය වටහා දෙමින් මොබයිල් ගේම් ඇප් එකක් හඳුන්වා දීමට කටයුතු කරනවා. ඒ වගේම ආබාධිත එහෙත් හඳුනා ගැනීමට අපහසු දරුවන් වෙනුවෙන් අත්වැලක් හඳුන්වාදීමට ද කටයුතු කරනවා.“ඒ මහාචාර්ය මුදිත විදානපතිරණය.

කොවිඩ් නිසා ළමා දිවියේ අහිමි වු දෑ බොහෝය. තවත් ඉදිරියේදි අහිමි වන දෑ බොහෝය. රටක් වශයෙන් ඒවාටද පිළියම් සෙවිය යුතුය.

“කොවිඩ් හේතුවෙන් පාසල් වැසීම සාමාන්‍ය තත්ත්වයත් නෙවෙයි. මුලින්ම එය දරුවන්ට නිවාඩු ලබා දීමක් සේ වුණත්, පසුව මේ තත්ත්වය විශාල බලපෑම් ඇති කළා. කොවිඩ් මෙන්ම ලොක් ඩවුන් නිසා දරුවන්ට අහිමි වන දෑ බොහෝමයි. දරුවකුගේ ප්‍රජනනය වර්ධනය සඳහා බොහෝ දේ අත්‍යාවශ්‍යයි. පාසල් අහිමි වීමෙන් ඒ බොහෝ දේ නතර වුණා. අනිත් පැත්තෙන් චිත්වේගීමය වර්ධනය ඇණ හිටියා. ඔන්ලයින් අධ්‍යාපනය තුළ දරුවාගේ චාලක හැකියා වර්ධනය වීමක් සිදු වන්නේ නැහැ. අන්තර් ක්‍රියාකාරීත්ව, යහළුවන් මෙන්ම ක්‍රීඩා කීම හරහා ගොඩනැඟෙන දරුවන්ගේ වර්ධනය ඇණ හිටියා. මේ වන විට දරුවෝ ලැප්ටොප් හා ෆෝන් ඉදිරිපිට විෂය මාලාවකට කොටු වෙලා. එසේම දරුවන්ගේ විභාග පැවැත්වීමේදි සාධනය ඉලක්කම්වලින් මනින ක්‍රමයකින් එහා ගිය ගුණාත්මක ඇගැයීම් මත ක්‍රියාත්මක වූ ක්‍රමයක් ගොඩනැඟිය යුතුයි. විෂය නිර්දේශයකට හිර නොවිය යුතුයි. කොවිඩ් නිසාවෙන් මේ වන විට දරුවන්ගේ මානසික ව්‍යාකූලත්වය වැඩි වෙලා. සමහර දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලැබෙද්දි තවත් දරුවන්ට එය අහිමි වෙද්දී ඇතිවන මානසික ව්‍යාකූලත්වයෙන් විෂාදය වැනි දරුණු මානසික රෝගාබාධයන්ට යොමුවිය හැකියි. කොවිඩ් හේතුවෙන් දරුවකුට යම් හොඳක් සිදු වී ඇත්ද යන්න තීරණය වන්නේ ඒ රටේ අධ්‍යානය ක්‍රමය අනුවයි. දියුණු රටක යම් සාධනීය තත්ත්වයක් පෙන්නුම් කළත් ආන්තික පැතිවල ජීවත් වන අයට මෙහි හොඳක් දැකීම අපහසු වෙලා තියෙනවා. මේ වන විට අන්තර්ජාල හරහා විවිධ ගැටලු වලට මුහුණ දෙන්නට සිදු වෙලා. විවිධ තර්ජන කිරීම් වැඩි වෙලා. කොවිඩ් කවදා අහවර වේවිදෝයි අපට අනුමාන කළ නොහැකි නිසා දරුවන්ගේ මේ ප්‍රශ්නවලට මුහුණ දිමට අපි කතිකාවක් ඇති කළ යුතු වෙනවා....“ ඒ ළමා ආරක්ෂණ අධිකාරියේ ළමා මනෝ සාමාජයීය අංශයේ අධ්‍යක්ෂ ලක්මාල් පොන්නම්පෙරුමය.

ලංකාවේ වැඩිහිටි ජනගහනය ලක්ෂ 16 පමණ වෙයි. මෙයින් 98% ක්ම සිය සැදැ සමය ගත කරන්නේ තමන්ට හුරු පුරුදු සමීපතමයින් සමඟය. වැඩිහිටි නිවසකට වී සිය අවසාන කාලය ගත කරන්නේ 2% ක් පමණ සුළු පිරිසක්ය. ලංතාවේ වැඩිහිටි නිවාස ලියාපදිංචිය මේ වන විට වැඩිහිටි මහ ලේකම් කාර්යාලය විසින් ආරම්භ කර ඇති අතර තත්ත්වය සහතික කරමින් යන මේ ගමනේදි තවමත් ලියාපදිංචිව ඇත්තේ සුළු ප්‍රමාණයකි. මේ වන විට ලියාපදිංචි වි නැති එහෙත් ඉදිරියේදි ලියාපදිංචිව යුතු වැඩිහිටි නිවාස ප්‍රමාණය 349 කි.

“ වර්තමානයේ වැඩිහිටියන් ඩිජිටල් තාක්ෂණයට සම්බන්ධ වීම අඩුයි. සමහර විට ඔවුන් සතුව හොඳ ජංගම දුරකතනයක් තිබුණත් එය පරිහරණය කරන්නේ සිය දරු මුනුපුරන්. කොවිඩි නිසා ඇති වු හුදෙකලා බව නැති කිරිමට අපි ඔවුන්ව ඩිජිටල් තාක්ෂණයට සම්බන්ධ කළ යුතුයි. මෙවර වැඩිහිටි දිනයෙන් මෙයට ආරම්භයක් සපයා ගන්නවා. එසේම මේ වන විට වැඩිහිටි ජනගහනයෙන් 90% ක් එන්නත්කරණයට යොමු කර අවසන්. එන්නත්කරණයට හසු නොවු අයව අපි සොයා එයට යොමු කිරීම් කරනවා. ඒ වගේම ඕනැම වැඩිහිටියකුට අසාධාරණයක් පීඩාවක් සිදුවේ නම් එය වැඩිහිටි මහ ලේකම් කාර්යාලයට පැමිණිලි කළ හැකියි “ ඒ වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කේ. ජි. ලැනරෝල්ය.

වැඩිහිටියන්ගේ සුබ සාධනය ඇති කිරීමටත්, ඔවුන්ට සුරක්ෂිත ජිවිතයක් ළඟා කිරීමටත් හෙල්පේජ් ශ්‍රී ලංකා ආයතනය ඉමහත් කැප කිරීමක් කරන්නේය. මේ වන විට වැඩසටහන් රාශියක් ඔවුන් සිදු කරන්නේ රට පුරාමය. විශේෂයේ නිවසට වී වැඩිහිටි සමය ගත කරන අය වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම වැඩ පිළිවෙළ අතර අක්ෂි ආබාධ වෙනුවෙන් ඇස් කණ්ණාඩි ලබා දීම, අක්ෂි ශල්‍යකර්මයන්ට දායකත්වය දැක්වීම ඒ අතර ප්‍රධානය.

“අපිට අවශ්‍ය වැඩිහිටි සමයේ හැමෝටම විඳින ජිවිතයක් උරුම කරවන්නට. ඒ සඳහා ඔවුන් සිටිය යුත්තේ වැඩිහිටි නිවාසවල නෙමෙයි, නිවෙස්වලයි. ගම් මට්ටමේ සිට අපි වැඩිහිටියන් වෙනුවෙන් සුබසාධනය ඇති කිරිමට කටයුතු කරනවා. විශේෂයෙන්ම කොවිඩ් සමයේ වැඩි හිටියන්ගේ මනස හැදිම, ඔවුන් දිරිමත් කිරීම, කොවිඩ් ආරක්ෂිත උපකරණ බෙදා දීම, සහන මලු ලබා දීම ආදි කටයුතු කළේ ඒ ඒ ගම් මට්ටමින් වැඩිහිටි සමිති හරහායි. තවමත් මේ කටයුතු නවත්වා නැහැ. ....“ ඒ හෙල්පේජ් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ හා වැඩිහිටියන් සඳහා වූ ජාතික සභාවේ සාමාජික සමන්ත ලියනවඩුගේය.

මේ වනවිට කොවිඩ් වසංගතය හමුවේ ළමා ජිවිත මෙන්ම වැඩිහිටි ජිවිත සුරැකීමේ ප්‍රධානම කාර්ය වූ එන්නත්කරණය මේ සියලු දෙනා වෙනුවෙන් රජය ඉටුකරමින් පවතියි. කොවිඩ් රෝගයේ වැඩි අවදානම් පිරිස ලෙස හඳුනාගත් වැඩිහිටි පිරිසෙන් 90% ක පිරිසකට මේ වන විට එන්නත් දෙකම ලබා දී අවසන්ය. ගෙවුණු සතියේ අනික් වගකීම වූ දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීමට දරුවන් සඳහා එන්නත්කරණය රජය විසින් ආරම්භ කළේය. අනිකුත් සියලු කටයුතු හමුවේ වුවද ආරක්ෂාවට පුමුඛතාව දෙමින් රජය ගෙන ආ මේ පියවර ප්‍රශංසනීයය.

 

Comments