සාක්ෂ­රතා වර්ධ­න­යේදී හෙට දවසේ අභි­යෝග | Page 3 | සිළුමිණ

සාක්ෂ­රතා වර්ධ­න­යේදී හෙට දවසේ අභි­යෝග

 

ලොව පුරා කොවිඩ් - 19 වසංගත පැතිර යාමත් සමඟ එතෙක් පැවති ජීවන රටා වෙනස් වීමට භාජනය විය. මෙනිසා ලොව පුරා වෙසෙන ජනතාවගේ සිතුම් පැතුම්වල නව ආකල්පමය වෙනසක් ඒ තුළින් ඉල්ලා සිටිති. මෙහිදී සාක්ෂරතාව පිළිබඳ දර්ශකය ඉදිරියට පැමිණ තිබේ.

‘ලිවීමේ හා කියැවීමේ හැකියාව’ සාක්ෂරතාව ලෙස නිර්වචනය කර තිබුණද නූතනය වන විට මේ සංකල්පීය අදහස අභියෝගයට ලක්ව තිබේ. පරිගණක තාක්ෂණය හා අන්තර්ජාල සේවා වැඩි දියුණු වීමත් සමඟ මෙහි නව පැතිමාන ගණනාවක් විවර වී තිබේ. ඒ අනුව ආර්ථික සාක්ෂරතාව, දේශපාලන සාක්ෂරතාව, සංස්කෘතික සාක්ෂරතාව, වාර්ගික සාක්ෂරතාව, ආගමික සාක්ෂරතාව, කාර්යබද්ධ සාක්ෂරතාව, මාධ්‍ය සාක්ෂරතාව, දෘශ්‍ය සාක්ෂරතාව, පරිගණක සාක්ෂරතාව සහ ඩිජිටල් සාක්ෂරතාව ආදී වශයෙනි.

පුද්ගල, ප්‍රජා සහ සමාජයීය විවිධත්වය තුළ සාක්ෂරතාවේ වැදගත්කම ඉස්මතු කරමින් 1966 වර්ෂයේ ඔක්තෝබර් 26 දින යුනෙස්කෝ මහා සභාවේ 14 වැනි සැසියේ දී සැප්තැම්බර් 08 අන්තර්ජාතික සාක්ෂරතා දිනය ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. ඒ අනුව සාක්ෂරතාව මඟින් පුද්ගලයින්ගේ ආර්ථික, සමාජයීය, දේශපාලනික, සෞඛ්‍ය, මානසික, සහ සනීපාරක්ෂක පැවැත්ම වර්ධනය කළ හැකිය යන අදහස ඇතිවය. පත පොත කියැවීමට ඉගැන්වීමෙන් මිනිසුන් සවිබල ගන්වා ඔවුන්ගේ ජීවිත වෙනස් කළ හැකි බව ඔවුන්ගේ අදහස විය. ඊට සාපේක්ෂව ඉදිරි ලෝකය පරිකල්පනය කළ හැකි බව සැමගේ නිගමනය විය.

එමෙන් ම සමාජයේ හා ආර්ථික බාධාවන්ගෙන් මිදීම සඳහා නිදහස කරා යන පළමු පියවර තැබිය හැක්කේ සාක්ෂරතාවෙන් යැයි අවධාරණය කෙරිණි. එය පුද්ගල හා සාමූහික සංවර්ධනය සඳහා වූ පූර්ව කොන්දේසියක් විය. එසේම එය දුප්පත්කම හා අසමානතාව සමාජයෙන් තුරන් කර ආර්ථික සමෘද්ධිය ළඟා කර දෙන ගාමකය විය.

2018 වසර වනවිට ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව 91.7%කි. 2017 වසරේදී එය 91.9% වූ අතර 2021 වසර වන විට සාපේක්ෂව මෙරට සාක්ෂරතාවෙහි කිසියම් අඩුවීමක් දක්නට ලැබුණි.. කොවිඩ් තත්ත්ව ඊට ඍජුවම බලපා ඇති අතර ඒ සඳහා වෙනත් හේතූන් ඇත් නම් ඒවා හඳුනා ගනිමින් ඊට පිළියම් යෙදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි.

“ඩිජිටල් සාක්ෂරතාව ” ශ්‍රී ලංකාව සඳහා අලුතෙන් හඳුන්වා දුන් දර්ශකයකි. වයස අවුරුදු 5 සහ 69 අතර පුද්ගලයකුට පරිගණක, ලැප්ටොප්, ටැබ්ලට් හෝ ස්මාට් දුරකථන භාවිත කිරීමේ හැකියාව අනුව ඔහු, ඇය ඩිජිටල් සාක්ෂරතාවක් ඇති පුද්ගලයකු ලෙස සැලකේ. ශ්‍රී ලංකාව මේ වන විට ඩිජිටල් සාක්ෂරතා අනුපාතය 38.7% කි. පුරුෂ පක්ෂය සහ ස්ත්‍රී පක්ෂය අතර ඩිජිටල් සාක්ෂරතාව පිළිවෙළින් 42.5% හා 35.2% ක් වේ. ඩිජිටල් සාක්ෂරතාව නාගරික අංශයේ 54.5% ක් වන අතර ග්‍රාමීය හා වතු අංශ සඳහා පිළිවෙළින් 36.4% හා 16.4% ක් බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මෑතදී පවත්වන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත. වයස අවුරුදු 15 සහ 19 අතර පුද්ගලයන්ගෙන් ඉහළම පරිගණක සාක්ෂරතාවක් පෙන්නුම් කරන අතර එහි අනුපාතය 60.7% කි. අධ්‍යාපන මට්ටම සලකා බැලීමේදී වැඩිම පරිගණක සාක්ෂරතා අනුපාතය වන 71.2% ක් අ.පො.ස. (උ.පෙළ) හා ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලැබූ පුද්ගලයන්ගෙන් වාර්තා වී තිබීම කැපී පෙනේ. මෙරට ඉංග්‍රීසි දැනුම ඇති අය අතර පරිගණක සාක්ෂරතාව 71.1% වන අතර සියලු දිස්ත්‍රික්ක අතරින් අන්තර්ජාල භාවිත කරන වැඩිම ජනගහන ප්‍රතිශතය වන 44.6% කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. මෙහි අඩුම ප්‍රතිශතය වන 4.9% බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

ලංකාවේ සමාජය ගැන සලකන කල මුල්කාලයේ සිටම සාක්ෂරතාව පිළිබඳ අවධානය යොමු කළ සමාජයක් වූ අතර පැරැන්නන් පවා ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබුණි. සම්භාව්‍ය යුගය අවසන් වී මහනුවර යුගය එනම් 18 වැනි ශතවර්ෂය වනවිටත් වදන් කවි පොත වැනි කෘතිවල පවා උගත්කම කියැවීම සහ අක්ෂර පිළිබඳව අවබෝධයක් හා අවදානයක් යොමු කළ බව පෙනෙන්නට තිබේ.

උගතා පණ්ඩිතයා කියන කාරණා සම්බන්ධයෙන් සමාජය තුළ ඉහළ වැදගත්කමක් හා ගෞරවයක් පැවතුණි. ජාතක කතා පොතට වුවත් ඔවුන් ආමන්ත්‍රණය කළේ පොත්වහන්සේ කියාය. ඒ අනුව පතපොතට ඉතාම ගෞරවයෙන් සැලකූ සමාජයක් තිබූ බව පැහැදිලිය. 20 වන සියවස පමණ වනවිට මුද්‍රණය තාක්ෂණයේ බල පෑමත් සමඟ පුවත්පත් සඟරා ආදිය නිසා මෙම සමාජය පාඨක සමාජයක් දක්වා වර්ධනය විය.

මේ පාඨක සමාජය සමඟ වර්ධනය වූ ඉතා වැදගත්ම දේ වූයේ විශාල ප්‍රජාවක් අතට මේ දැනුම ගමන් කිරීමය. පාසල් අධ්‍යාපනය ඇති වීමත් සමඟ මෙය තවතවත් වර්ධනය වූ අතර පත පොත පැතිරී යාමද මේ නිසා වර්ධනය විය. උදහරණයක් ලෙස මාර්ටින් වික්‍රමසිංහ වැනි ක්‍රමවත් අධ්‍යාපනයක් නොලැබූ අයකුපවා පත පොත කියැවීම නිසා ඉස්මතු වී මහා ගත්කතුවරයකු බවට පත් විය. නොතිත් ආසාවෙන් තමා පතපොත කියැවූ බව වික්‍රමසිංහයන් නිතර සඳහන් කළ කරුණකි. ඒ හුදු දැනුම නිසා පමණක් නොව ආසාවෙන් හා විනෝදයෙන් පත පොත කිය වූ නිසාය.

නමුත් පසුගිය දශකයකට එකහමාරකට පෙර සිට පෙනෙන්ට ඇත්තේ විභාග මානසිකත්වය ඇතිව කියැවීමට නැඹුරුවීම නිසා එය විභාග කෙන්ද්‍රීය කටයුත්තක බවට පත්ව ඇති බවය. පාසල් දරුවන් තුළ කියැවීම වර්ධනය කළ යුතු වූවත් ඔවුන් පෙළපොතට පමණක් සීමා වීම නිසා ආසාවෙන් පත පොත කියවා දැනුුම හා විනෝදය ලබාගැනීමේ මාර්ගයෙන් ඉවත් වී ඇත. අනෙක් අතට වර්තමානයේ අප මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ තාක්ෂණික වශයෙන් සාක්ෂරතාවේ කිසියම් හිඩැසක් නිර්මාණය වී තිබීමය.

විද්යුත් හා ඩිජිටල් අවකාශය තුළ කියැවීම ඉදිරියට පැමිණ ඇත. මෙහිදී කොළඹ සහ නාගරික ප්‍රදේශවල අයට ඇති අවස්ථා ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනයාට අහිමිය. ඔවුන්ට පත පොත පිළිබඳව හෝ වෙනයම් කරුණක් පිළිබඳව දැන ගැනීමට ඇති ඉඩ සීමිතය. එක් අතකින් එය විද්යුත් උපකරණ මිලදී ගැනීමට ඇති නොහැකියාව මෙන් ම නිසි පරිදි විද්යුත් සංඥා නොමැති වීමද හේතු වී තිබේ. අනෙක් අතට සංස්කෘතික කටයුතුවලට එල්ල වූ බලපෑමය.

සාක්ෂර සමාජයක කියවීම ඉතාම වැදගත් ලක්ෂණයක් වන අතර ඒ හා බැඳුණු පොත් ප්‍රදර්ශන පොත් එළිදැක්වීම් පත පොත ගැන සිදු කෙරෙන සාකච්ඡා සාහිත්‍ය උත්සව මේ ආදී සියල්ලක්ම ඇණ හිට ඇත. විශේෂයෙන්ම ඩිජිටල් මාධ්‍ය යොදාගැනීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන අසමානතාවය නිසා ඉදිරියේදී ළමා හා තරුණ පරපුර වෙත කියවීමේ පුරුද්ද ගෙනයන්නේ කෙසේද කියන කාරණය අභියෝගාත්මක ලෙස ඉදිරියට පැමිණ ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ට මහාචාර්ය සඳගෝමී කොපරහේවා සඳහන් කළේය.

මූලික වශයෙන් සාක්ෂරතාව යනු ලිවීමේ හා කියවීමේ හැකියාව ය. මේ කටයුත්තට සම්බන්ධයෙන් අප ආයතනය මඟින් සිදු කරන කාර්යය වන්නේ තම රටේ මවු භාෂාවෙන් කටයුතු කිරීමට සැලැස් වීම හා දෙවන භාෂාවක් ලෙස අනෙකුත් භාෂා මඟින් කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම බව රාජ්‍ය භාෂා කොමිසමේ සභාපති නීතීඥ ඩී. කලන්සූරිය පවසයි. කොවිඩ් තත්ත්වයට පෙර මෙහි යම් යම් අඩුපාඩුකම් පැවති අතර අද වනවිට මේ තත්ත්වය වඩා වැඩි දියුණු වී තිබේ. විශේෂයෙන්ම පාසල් වසා දැමීමත් සමඟ ඔවුන්ට අධ්‍යාපනය ලබාදීමේ විධිමත් ක්‍රමවේදයක් නොමැති වීම මීට මූලික හේතුවයි. අද පෙර පාසල් දරුවන් ගෙදරට වී සිටින අතර වසර දෙකක් තිස්සේ වසර පහ සම්පූර්ණ වූ දරුවන්ට පාසල් යාමට නොහැකි වී තිබේ. මේ නිසා අපට සාක්ෂරතාව වර්ධනය වූ බවක් කිසි ලෙසකින්වත් පැවසිය නොහැකිය. මේ පැමිණි ස්වභාවික ව්‍යසනය මේවනවිටත් දරුවන්ගේ සාක්ෂරතාව නැංවීමට බාධාවක් වී හමාරය.

මේ සඳහා පිළියමක් සෙවීමට රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සහ රජය එක්ව වැඩපිළිවෙළක් සැකසීම අනිවාර්ය වේ. මීට කිසියම් පිළියමක් ලෙස නිවසෙහි හුදකලාව රැඳී ඉන්නා දරුවන් වෙනුවෙන් රචනා තරගයක් පවත්වැත්වීමට රාජ්‍ය භාෂා කොමිසම පසුගිය කාලයේ කටයුතු කළ අතර මේ වන විට එහි ජයග්‍රහකයන් තෝරා ගැනීමේ කටයුතු සිදු කෙරේ.

මින් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ මානසිකත්වය අධ්‍යාපනය කෙරෙහි රඳවා තබාගැනීමය. මින් ලැබෙන උත්තේජනය මඟින් ඔවුන් තුළ විෂයානුබද්ධ කාරණා කෙරෙහි යම් පෙලඹවීමක් ඇති කෙරේ. මෙම කටයුත්ත සඳහා ඉතාම යහපත් ප්‍රතිචාර ලැබී තිබුණි. ඉදිරියෙදී අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව විවිධ වැඩසටහන් සංවිධානය කරමින් රටේ ඉදිරි පරම්පරාවේ සාක්ෂරතාව වර්ධනය කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය භාෂා කොමිසන් සභාව කටයුතු කරයි.

මේ පිළිබඳව අප කළ විමසීමේදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රත්නසිරි අරංගල කියා සිටියේ ලොවපුරා සාක්ෂරතා වර්ධනය සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන්නේ අකුරු කියවා ලියන ලද යමක් වටහා ගෙන ඒ අනුව ක්‍රියා කිරීම මානව සංවර්ධනයට හා සමාජ ප්‍රගතියට අත්‍යවශ්‍ය සාධකයක් නිසා බවයි.

එසේ වුවත් ලොව පුරා සමාන සාක්ෂරතා මට්ටමක් නොමැති බව ලොව ඇතැම් කලාපවල සාක්ෂරතා මට්ටම ඉතා පහළ අගයක් ගන්නා බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිකුත් කළ වාර්තා අනුව පෙනී යයි. මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක් වන්නේ දරිද්‍රතාව වන අතර ඊට හේතු වී ඇත්තේ සම්පත් අසමාන ලෙස බෙදී යෑමයි. මීට අමතරව ස්ත්‍රීන් කොන් කරමින් ඔවුන්ට අධ්‍යාපන අවස්ථා වළකාලීම වැනි සමාජ සාධක ද ආසියා අප්‍රිකා කලාපවල අඩු සාක්ෂරතා මට්ටමක් පැවතීම මේ කෙරෙහි බල පා ඇත. සාක්ෂරතා මට්ටම අඩු වීම අධ්‍යාපන මට්ටමේ අඩු වීමට හා එය සමස්ත වශයෙන් ජාතික සංවර්ධනය පහත වැටීමට හේතු වන බව පිළිගත යුතුවේ. අනික් අතට අද සාක්ෂරතාව අකුරු කියවා තේරුම් ගැනීමට සීමා වන්නක් නොවේ. එහි විවිධ මුහුණුවර හැඳින ගත හැකිය. පරිගණක සාක්ෂරතාව නූතන සමාජ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි.

නොයෙක් සංඛ්‍යා ලේඛන දත්ත මත පදනම්ව සාක්ෂරතාව සියයට අනූ හතයි හෝ අනූදෙකයි කීව හැකි වුවද පොදු මහත් සමාජයක් ලෙස බලන කල සාක්ෂරතාව අතින් නිශ්චිත පොදු අවබෝධයක සිටින බව නිගමනය කළ නොහැකි බව ප්‍රවීණ අක්ෂර නිර්මාණ ශිල්පී පුෂ්පානන්ද ඒකනායක පවසයි. ලොව අනෙකුත් රටවල හා අප රටේ සාක්ෂරතාව සාපේක්ෂව සැසඳීමේදී ඒ ඒ රටවල සමාජයන්වල සාක්ෂරතා වර්ධනයත් සමඟ පොදු අදහස් සම්මුතීන් අනුව යමින් වේගවත් සංවර්ධනයක් කරා ගමන් කර ඇත. එම රටවල දේශපාලනික සාක්ෂරතාවද ඉතා ඉහළය. එය භෞතික සංවර්ධනය තුළ මෙන්ම ආකල්පමය අතින්ද පැහැදිලිව පෙනෙන්නට තිබේ.

 

Comments