සමාජ මාධ්‍ය ඉතා­මත් සැල­සුම් සහ­ග­තව මිනි­සුන් පාල­නය කර­නවා | සිළුමිණ

සමාජ මාධ්‍ය ඉතා­මත් සැල­සුම් සහ­ග­තව මිනි­සුන් පාල­නය කර­නවා

කොවිඩ් 19 පිළිබඳව පුළුල් සමාජ කතිකාවක් පසුගිය සති කිහිපයේ ඇති විය. මේ වනවිට යම් තරමක් රෝගය වහනය වීමේ ප්‍රවණතාව අඩු වී ඇතැයි ජනමාධ්‍ය තුළින් ප්‍රචාරණය වෙයි. එය කෙසේ වෙතත් මතුවෙමින් යළි යට යමින් පවතින මේ කොවිඩ් සමස්ත ලෝකයේ ම සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇත. මෙය සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටලුවක් වුව ද; මෙමඟින් දේශපාලන, සමාජ සහ ආර්ථික යන ක්ෂේත්‍රයන්ට වඩා වැඩි බලපෑමක් ඇති කරයි. වසර එකහාමාරක දීර්ඝ සාකච්ඡාවක් බවට පත් වී ඇති මෙය සංහතික මාධ්‍ය ඹස්සේ මෙන්ම සමාජ ජාල මාධ්‍යවල ද ප්‍රධාන මාතෘකාව වී ඇත. මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, රුසියාව, ජපානය සහ පෙරදිග රටවල සාමාන්‍ය සමාජ ජාල මාධ්‍යවල විවිධාකාරයේ තොරතුරුවලින් 88% වෙන් කරනුයේ කොවිඩ් 19 සම්බන්ධයෙනි; කොවිඩ් 19 සම්බන්ධ තොරතුව ගලා යාම සමාන්‍ය තොරතුරු ගලායන ප්‍රවාහයට වඩා 118% වේගයෙන් යාවත්කාලීන වෙයි. මේ පිළිබඳ සමීක්ෂණයන් අනුව සමස්ත දෛනික තොරතුරුවලින් 60% සම්පූර්ණ ඍණාත්මක තොරතුරු වෙයි.

අදාළ සිදුවීම් සම්බන්ධයෙන් ධනාත්මක චිත්‍රයක් ඇති කර ගැනීමේ හැකියාව 18% පමණ වෙයි; කොවිඩ් 19 සහ සමාජ ජාල මාධ්‍ය අතර වන වෙනස සංහතික මාධ්‍යට වඩා වෙනස් වෙයි. නව පරිශිලකයා විසින් නිර්මාණය කරන තොරතුරු ක්‍රියාවලියේ විශාල සංස්කරණ ක්‍රියාවලියක් සිදු වෙයි. සමස්ත ලෙස පාලන බලයක් එනම් ජාල තන්ත්‍රවාදයක් මාධ්‍ය හිමිකරුවන් නිර්මාණය කර ඇත. කොවිඩ් වසංගතය සමඟ ඇති වූ තොරතුරු වසංගතය පිළිබඳව හැදෑරිය යුත්තේ මේ හේතුකාරණා නිසයි.

සමාජයේ සියලු දෙනාගේ අවධානය දිනාගෙන ඇති මේ කොවිඩ්19 කුමක්ද යන්න නිශ්චිත පිළිතුරක් නැති අභිරහසකි. ඇමරිකාවේ ජෝබයිඩ්න් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නිවේදනක් අනුව මේ පිළිබඳව සොයා බැලීමක් කිරීමේදි ඒ පිළිබඳව නිශ්චිත පැහැදිලි කිරීමක් ලබා දීමට නොහැකි වී ඇත. ලෝක මට්ටමේ විද්‍යාඥයන්ට ද මේ පිළිබදව නිශ්චිත පිළිතුරක් දීමට නොහැකි වීම ගැටලුකාරී තත්ත්වයකි.

මෙය ස්වභාවික වයිරසයක් ද, කෘතිම ව නිර්මාණය වූවක්ද, මේ දෙකෙහිම සංකලනයක් ද , කුමක් සඳහා නිර්මාණය වූයේද යන්න පිළිබඳව පිළිතුරක් නොමැත. මෙහි ඇති භයංකර තත්ත්වය පිළිබඳව එක්තරා භිතියක් ත්‍රාසයක් ඇති කරන මුත් මෙ පිළිබඳ නිවැරදි දත්තයන් සොයා ගැනීමට ගවේෂණාත්මක මාධ්‍යකරණයක් ලෝකයේ නිර්මාණය නොවීම ප්‍රහේලිකාවකි. කොවිඩ් 19 ඉතිහාසයේ පෙර තිබු අනෙක් වසංගත තරම් ප්‍රබල නොවන බව ඇතැම් විද්වත් මතයයි. මෙය ගෝලීය වසංගතයක් එනම් PANDEMIC ලෙසත් ඇතැමුන් හඳුන්වයි. 2020 වසරේ මේ සම්බන්ධයෙන් මුලික හැදෑරීමේදි එහි ලෝක වසංගතයක ස්වභාවයක් නොතිබිණි. EPIDEMIC යනුවෙන් ඇතැමුන් මෙය හඳුන්වයි. කඩින් කඩ පැතිරුණු ස්වභාවයක් පිළිබඳව සඳහන් කරයි. එයට සාධක ඇත. මෙය තැනින් තැන කඩින් කඩ පැතිරෙයි. ඒහෙයින් ඒ පාරිභාෂිතය ද යොදා ගැනීමට හැකිවෙයි.

ලෝක වසංගතයක් ලෙස යොදා ගනු ලැබූයේත් එය මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීමට උත්සාහා කළේත් කුමක් නිසාද යන්න බරපතළ කාරණක් බව මධ්‍යස්ථ විචාරයකයන් පවසයි. මේ කොවිඩ් 19 ඇති වීමට පෙර මේ පිළීබඳව විවිධ බුද්ධිමය පර්ෂද සාකච්ජා දේශන මෙන්ම විද්‍යාඥයන් සමාජ ක්‍රියාකාරීකයන් අදහස් දැක්විණි.

ලෝකයේ මේ පිළිබඳව ජනප්‍රිය සහ ආධිපත්‍ය දරන මතය සහ සියලුම ජාතික රාජ්‍ය මතය මේ වසංගත තත්ත්වය ස්වභාවික ඇති වූවක් බවයි. එය ජනප්‍රිය මතය පමණයි.

පරිණාමයන්ට එහා ලෝකයේ සිට ජීවින් වයිරස සහ බැක්ටිරියාවන් සමඟ ජීවත් විය. මිනිසා ස්වභාව ධර්මයේ නිර්මාණයක් නිසා මනුෂ්‍ය වර්ගයාට එය සුවිශේෂ දෙයක් නොවෙයි; ස්වාභාවික වයිරසයන්ට අදාළ පරිසරවල ඒවාට අවශ්‍ය ප්‍රතිශක්තිය සහ ප්‍රතිදේහ නිර්මාණය වෙයි; ජනප්‍රිය මතයෙන් ඔබ්බට ගිය විට මෙය කෘතිමව නිර්මාණය කරන ලද වයිරසයක්ද යන්න සාධාරණ සැකයක් මතු වෙයි.

මේ සඳහා විද්‍යාත්මකව මතු වූ සාධක වෙයි. කොවිඩ් 19 එක්තරා ගෝලිය සැලැස්මක්, මෙහෙයුමක් ගෝලිය සාපරාධි ක්‍රියාවලියක් ලෙස ඇතැම් විචාරකයන්ගේ මතයයි. නිශ්චිතව ව්‍යප්ත කරන යම්කිසි ක්‍රියාකාරි බලවේග වෙයි. ඒමෙන් හුදෙකලා කිරීම්, සමාජ දුරස්ථභාවය මුල් කරගෙන ගෝලීය අාධිපත්‍ය සඳහා ප්‍රයත්නය යෙදීම ඉතා පැහැදිලිය. ජනතාවට හුවා දක්වන්නේ මේ රෝගයේ භයානක බවයි; එහිදී භිතියක් සංත්‍රාසයක් ජනතාව තුළ ඇති කරයි. මෙහිදි විශාල කාර්ය මාධ්‍යය සිදු කරයි. මතුපිටින් අපට මේ අභිරහසේ වෙනත් පැත්තක් පෙන්වයි. සමාජ සබඳතාවෙන් රෝගය ව්‍යාප්ත වන බව පෙන්නුම් කරයි.

ඇමරිකා එක්සත් ජනපදය චිනය යුරෝපා සංගමය වැනි රටවල් මේ වයිරසය ඇතිවීමට පෙර සිටම අවශ්‍ය ආරක්ෂක විධික්‍රම යම් ප්‍රමාණයකට සකස් කරගෙන ඇත. ට්‍රම්ප් පාලනය කාලයේ දි ඇන්ටනි ෆවුසි නම් පුද්ගලයා ඔහු විසින් ගෝලිය වසංගතයක් ඇතිවී විශාල මිනිසුන් ප්‍රමාණයක් මිය යනු ඇති බව සඳහන් කරයි.

එමෙන්ම බිල්ග්‍රෙට්ස් නම් තොරතුරු තාක්ෂණි අංශයේ ප්‍රමුඛ වූ පුද්ගලයෙක් වන ඔහු ගෝලිය වේදිකාවන් පිළීබඳව වසර දෙකකට පෙර අදහස් ප්‍රකාශ කරයි. ගෝලීය වසංගතයක් පිළිබඳව අභ්‍යාසයක්ද සංවිධානය කරයි. එහිදී ඉදිරි වසරවල මේ වසංගතයට මුහුණ දෙන ආකාරය පිළීබඳවත් ඒ සඳහා එන්නතක් සොයා ගත යුතු බවත් එහිදි සාකච්ඡා කරයි.

එමෙන්ම ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන හැරි වෝර්ක් 2014 වසරේදී සොයා ගනු ලැබූ තොරතුරක් නම් පාලක පන්තියට වඩාත් ඉහළ මට්ටමේ පාලනයක් ඇති කිරීම සඳහා ගෝලිය වසංගතයක් නිර්මාණය කිරීමේ හැකියාවක් අනාගතයේදි ඇතිවිය හැකි බවයි. ලෝක දේශපාලනය සිතියමේ ක්‍රියාවලියක් සමඟ ඇතිවූ වෙනසට මේ අදහස් ඉතා වැදගත් වෙයි. ඔහු එහිදී මතු කරන්නේ ඒකාධිපති පාලනයකට අවශ්‍ය යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට වසංගතය නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයි. ඇන්ටනි පැජ් ක්ෂුද්‍රජිව පර්යේෂකයා විසින් මිනිසුන්ගේ ජාන වෙනස් කරන එන්නතක් නිපදවීම මඟින් එම ජාන නැවත සකස් කර පශ්චාත් මානව අවදියකට අවතීර්ණ කිරීමේ යුගයකට ගෙනයාමක් පිළිබඳව කතා කරයි; තාක්ෂණික මෙහෙයවීමක් මඟින් ජානවලට; දත්ත සැපෑයිම මඟින්; DNA ප්‍රතිලේඛනගත කිරීමෙන් මනුෂ්‍යයන් යම්කිසි ආකාරයකට ගෝලිය වශයෙන් පාලනය කිරිමේ පද්ධතියකට ගමන් කරවන ආකාරයක් පිළිබඳ අදහසක් මතු කරයි. මේ කොවිඩ් ඇතිවෙන්න දශකයකට පෙර මේ අදහස් ඉදිරිපත් කිරීම සුවිශේෂ කරුණකි.

2015 වර්ෂයේ නේචර් සඟරාවේ ඇමරිකානු විද්‍යාඥයන් විසින් දෙමුහුන් වයිරසයක් සොයාගත් බව පළ වෙයි. එය ස්වභාවධර්මය තුළ නොමැති වයිරසයක් බවද සඳහන් කරයි. එය විද්‍යාත්මක සාක්ෂියකි. මේ වයිරසය ඇමරිකාවෙන් උතුරු කැරොලිනා ප්‍රදේශයේ ජෛවවිද්‍යාත්මක පර්යේෂණ කරන අත්හදා බැලීමක් කරයි . එහිදි එය මුදාහැරීමක් සිදු වීමෙන් සොල්දාදුවන් කිහිපදෙනෙක් මිය යයි.

ඉන් අනතුරුව මේ ව්‍යපෘතිය වූහාන්වලට පැමිණෙයි; මේ සඳහා රජයන් මැදිහත් නොවන අතර ගෝලිය සමාගම් හරහා සිදු වෙයි. චීනය අත් හදා බලයි; එහිදී ව්‍යාප්තිය ආරම්භ වෙයි. ව්‍යාප්තිය වූහාන් වලින් වුවත් ආරම්භය ඇමරිකාව වෙයි;

මේ වයිරසය ප්‍රචාරය වීම සහ මාධ්‍යයේ ඇති සම්බන්ධය සලකා බැලීමේදි වැදගත් වෙයි. වයිරස වසංගතය සහ තොරතුරු වසංගතයක් INFORDEMIC ලෙස කොවිඩ් සමබන්ධ ප්‍රචාරණය හැදින්විය. මාධ්‍ය මහා රාක්ෂයෙක් මවන ප්‍රචාරය සැබැවින්ම භිතියක් වෙයි. මෙය ජෛව මානසික ත්‍රස්තවාදයක් නිර්මාණය කිරීමකි. මෙහිදි මිනිසුන්ගේ චින්තනයෙහි මාධ්‍ය විශාල පීඩනයක් ඇති කරයි.

මිනිසුන්ගේ මානසික ක්‍රියාවලිය විකෘති වීම නිසා යථාර්ථය සවිඥානිකව විචාරශිලිව බැලීමට නොහැකි විය. මෙමඟින් ගෝලීය මානසික ත්‍රස්ත්‍රවාදයක් නිර්මාණය විය. සියලු සමාජ සම්බන්ධතා බිඳ වැටීම සිදු විය.

කොවිඩ් ගෝලීය වසංගතය මෙන්ම මාධ්‍ය ද ගෝලීය වසංගතයක් නිර්මාණය වීම දෙමුහුන් ගෝලිය යුද්ධයක් ලෙස හැඳින්වෙයි. පසුගිය දශක කිහිපයෙහි එනම් මෑත ඉතිහාසයේ ධනවාදී සමාජ ක්‍රමයේ යම්කිසි ආකාරයක නවීකරණයවීමක්, පරිවර්තනීය යුගයක අවශ්‍යතාව මතු විය. ධනවාදී සමාජ ක්‍රමයෙන් ඉවතට යන සමාජ පරිවර්තනයක ආරම්භයක් සොයමින් සිටි පිරිසක් විය. පෙර එම පරිවර්තනයන් සිදු වූයේ යුද්ධයක් හරහායි.

‪1914- 1918 පළමු ලෝක යුද්ධය ‪1939- 1945 දෙවැනි ලෝක යුද්ධය සිදු විය. මේ සෑම සිදු වීමකින් අනතුරු ධනවාදි සමාජය සුවිශාල නවිකරණයකට නතු විය. මෙයින් සිදු වන්නේ පැවැති සමාජ ක්‍රමවේදය බිඳවැටී නව සමාජ ක්‍රමයන් ඇති වීමයි. දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව වසර 71ක ගතවී ඇත. එම සමාජ ක්‍රමයෙහි ප්‍රතිවිරෝධතාවන් ගොඩනැඟී ඇත.

1990 අවසානයේ සෝවියට් රාජ්‍ය බිඳවැටීම සිදු විය. විශාල තාක්ෂණික මෙන්ම ලිබරල්වාදි අර්බුදයක්ද එමඟින් මතු විය. 2008 සහ 2009 ගෝලිය මුල්‍ය අර්බුදය මතු විය. අලුත් තාක්ෂණික මාදිලියකට යාමේ අවශ්‍යතාව මතු විය. අද න්‍යෂ්ටික අවි ලෝකයේ බොහෝ රටවල්වල පවතින නිසා යුද්ධයක් සිදුවුවහොත් සියල්ල විනාශයට පත්වෙයි. එසේ නම් කළ යුත්තේ කුමක්ද විකල්පයක් සෙවීමයි. එම නිසා තවදුරටත් සම්ප්‍රදායික යුද්ධ ඔස්සේ ධනවාදී ක්‍රමය නවීකරණය කළ නොහැකිය. එසේ නම් කළ යුත්තේ කුමක්ද? වෙනත් විකල්පයක් සෙවීමයි. එවැනි විකල්පයකට ආදේශනයක් කොවිඩ් මතුවිය. එය ජෛව යුද්ධයේ එක්තරා ස්වරූපයකි.

මාධ්‍ය ප්‍රචාරණය මඟින් කොවිඩ් දැවැන්ත රාක්ෂයා බවට පත්කරයි. මතුපිටින් මිනිසුන් මියයාම දෘෂ්‍ය කෘත්‍ය වෙයි. මහා දැවැන්ත විපර්යාසික යුගපෙරළියක, මූලාරම්භ ක්‍රියාවලිය මෙයයි. මෙතෙක් මිනිසුන් ජිවත් වූ ජිවන මාදිලිය, අධ්‍යාපනික, ආර්ථික මොඩලය වෙනස්වීම දෛනික සම්බන්ධතා බිඳවැටීම මෙහි නොපෙනෙන කෘත්‍යයි.

ජනගහනය අඩුවීම සංසරණය වීම් අඩු වීම, කාර්මිකකරණය අකර්මණ්‍ය කිරීම, ප්‍රාග්ධනය අඩුවීම, මුදල් සංසරණය අඩු වීම; මුල්‍ය ධනවාදය බිඳවැටීම සිදු වෙයි. අකර්මණ්‍ය වූ සමාජයක තාක්ෂණිකව දැවැන්ත පියවරකට මාරුවීමක් මෙයින් ඇති කරයි. ජනතාව මානව සම්බන්ධතා පැවැත්වූ මාදිලියන් වෙනස් වීම ආරම්භ වෙයි. තත්‍යසම කාර්යය ජීවන රටාවක් ඇති වෙයි. සියලු සමාජ පැලැන්තියන් හුදෙකලා ස්වභාවයක් ඇති වෙයි. සමාජජාල මාධ්‍ය මෙවලම බවට පත් වෙයි. තථ්‍යසන්න මාදිලිය අවකාශයකට ගමන් කිරීම සිදුවෙයි. සයිබර් අවකාශය සියලු කාර්ය සම්පාදයේ යොදවයි.

මෙහිදී මාධ්‍ය කාර්යය වන්නේ මිනිසුන්ගේ මානසික ක්‍රියාවලිය මේ නව තත්ත්වයට ගැළපෙන ආකාරයට සකස් කිරීමයි. මෙහිදී සංහතික මාධ්‍යවලට වඩා මිනිසුන්ට සක්‍රීය විඥාපනයක් සකස් කිරීමට සම්බන්ධීකරණය මෙහෙවීමට පාවිච්චි කරනු ලැබුවේ සමාජජාල මාධ්‍යයි. අන්තර්ජාලය පාදක කොට ගත් දැනට ක්‍රියාත්මක වන සියලුම වේදිකාවන් මා හඳුන්වන්නේ සමාජ මාධ්‍ය ලෙසයි. එය ජාල ත්‍රන්ත්‍රවාදයක් (අන්තර් ජාල මඟින් පාලනය) බවට පත්වී ඇත. මේ සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සපයන්නේ මේ ජාලතන්ත්‍රවාදීන් විසිනි. ජාලේශ්වර මාධ්‍ය ඉතාමත් සැලසුම් සහගතව ගෝලිය වශයෙන් මිනිසුන් පාලනය කරන මෙවලමක් බවට පත්වී ඇත.

ධනවාදී සමාජයේ පසුගිය වසර හාරසියය කාලය පුරා පාලනය කෙරුණේ ධනේෂ්වරයයි. ධනපතීන්ගේ මාධ්‍ය බලයේ කාලය නිමාවට පත්වෙමින් පවති. ධනපතිගේ සහ ධනපති මාධ්‍යයේ මාධ්‍ය බලයේ යුගය නිමාවට පත්වෙමින් පවති. ජාලේශ්වර වාදි එනම් අන්තර්ජාල මාධ්‍ය බලයට පැමිණෙමින් පවතී.

කොවිඩ් 19 මෙහෙය වන නව දෘෂ්ටිවාදය ජාලතන්ත්‍රවාදි මාධ්‍ය බලයකට හුවමාරුව වී ඇති අයුරු පෙනෙයි. මේ කොවිඩ් විසින් කරනු ලැබුයේ ජාලතන්ත්‍රවාදයේ ගමන තවත් වේගවත් කිරිමයි. මේ ජාල මාධ්‍ය හිමි සමාගම් මේ ඔස්සේ ජාලතන්ත්‍රවාදය ශක්තිමත් කරයි.

කොවිඩ් යනු කෘත්‍රිම සමාජ දේශපාලනික ක්‍රියාවලියකි. INFORDEMIC නමින් හැඳින්වෙන මෙය සමාජයේ නිශ්චිත බලවේගයක් එනම් ජාලතන්ත්‍රවාදය විසින් මෙහෙයවයි. ගෝලීය අරමුදල් ප්‍රාග්ධනය මතුවන පශ්චාත් ධනවාදයට යෑම වෙනුවෙන් මනුෂ්‍ය වර්ගයා සුදානම් කරන මේ ජාලතන්ත්‍රවාදීන් ඒ කාර්ය ඉටුවනතෙක් එනම් ධනේස්වර රාජ්‍යවල හෙවත් ජාතික රාජ්‍යවල ඇති බලය මේ අයට කේන්ද්‍රගත වනතෙක් කොවිඩ් 19 අවසන් නොවීමට ඉඩ ඇත. INFORDEMIC සහ MEDIA DEMIC එනම් අදහස් වසංගතයක් ලෙස එතෙක් ගලායයි.

මෙහිදී ජෛව අවියක් වන කොවිඩ් හරහා මිනිසුන් සංත්‍රාසයට පත් කිරීම සිදු කරයි. මින් පෙර පාලකයෝ අනුගමනය කළේ ත්‍රස්තවාදයයි. මාධ්‍ය ද පෙර තිබූ මාධ්‍ය නොවෙයි; ගෝලීය ප්‍රාග්ධන ප්‍රවාහය නැවත ප්‍රති ආකෘතිගත කරගැනීමේ දැවැන්ත ගෝලීය මෙහෙයුමකට අප අවතීර්ණ වී ඇත. මාධ්‍ය ඒ ප්‍රවාහයේ මෙවලමක් ලෙස යොදා ගෙන ඇති බව ඉතා පැහැදිලිය.

Comments