
ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය එකිනෙකාට චෝදනා කර ගැනීම සාමාන්‍ය දෙයක් වුව ද පසුගිය දිනවල එක පැත්තේම පිරිස් අතර යම් යම් කෝන්තර තිබූ බව දක්නට ලැබුණි. ආණ්ඩු පක්ෂයේ ජගත් කුමාර මන්ත්‍රීවරයා, ගාමිණී ලොකුගේ සහ සරත් වීරසේකර ඇමතිවරුන් සමඟ ඇති කරගෙන තිබුණු කෝන්තරය යම් ආකාරයකට නිවෙමින් පවතින විට විරුද්ධ පක්ෂයේ යළිත් කෝන්තරයක් ආරම්භ වීමට සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පසුගිය දා මාධ්‍ය හමුවක් පවත්වමින් සිදු කරන ලද යම් ප්‍රකාශයක් හේතුවී තිබුණි.
"ආණ්ඩුවේ වැරදිවලින් හා කොරෝනා දේශපාලන වාසියක් කරගෙන විපක්ෂය දේශපාලනය ගමනක් යෑමට උත්සාහ ගන්නවා නම් එය විහිළුවක්. එහෙම විපක්ෂය උත්සාහ ගන්නවා නම් එහෙම වුණොත් මට ඒ කඳවුරේ ඉන්න බැරි වෙයි." යනුවෙන් චමින්ද විජේසිරි ප්‍රකාශ කළේ කවුරුන් ඉලක්ක කරගෙන ද යන සැකය සමගි ජනබලවේගයේ පක්ෂ නායකයින්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.
විපක්ෂ නායක සමගි ජනෙබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් ඇතුළු බොහෝ දෙනෙකුගේ අවධානය චමින්ද විජේසිරිගේ ප්‍රකාශය කෙරෙහි යොමු වී ඇත.
පසුගිය දා චමින්දගේ දේශපාලන ප්‍රහාරයට සජිත් ද යම් ප්‍රතිචාරයක් දක්වා තිබුණි.
සජබ ක්‍රියාකාරී දේශපාලනය මෙම සතිය තුළ යම් තරමකට ඇරඹිණ. නව ආසන සංවිධායකයන්ට පත්වීම් ලිපි සජිත් අතින් ලබා දීම සිදුකෙරිණි.
චමින්ද විජේසිරි විපක්ෂයේ කටයුතු ගැන ප්‍රහාරයක් එල්ල කළේ ඊට කලින්දාය.
"මේ ආණ්ඩුවේ වැඩ බැරිකම නාස්තිය දූෂණය ගැන කියා බලය අරන් වැඩක් නෑ. අපේ වැඩ පිළිවෙළ කියන්න ඕනෑ" චමින්ද කීවේය.
"අනවශ්‍ය විවේචන පයට පෑගෙන දූවිල්ලක් තරම් ගණං ගතයුතු නෑ. රටට ජනතාවට දියුණුව සලසන නිර්මාණශීලී අදහස් වලටයි ගරුකළ යුත්තේ" සජිත් පිළිතුරු දුන්නේ චමින්දටය.
ජනපති ගෝඨාභයට ඇමෙරිකාවේ දී විශේෂ පිළිගැනීමක්
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සම්මේලනයේ 76 වන සැසිවාරයට සහභාගී වන්නට නිව්යෝර්ක් නුවරට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරටින් ලැබුණු පිළිගැනීම හා සැලකිල්ල කැපී පෙනෙනසුලු එකක් විය. දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කණ්ඩායම් විසින් ගෝඨාභයට විරෝධය පාන්නට කුඩා කුඩා විරෝධතා ව්‍යාපාර කීපයක්ම සංවිධානය කර තිබුණත් රාජ්‍යතාන්ත්‍රිකව ඇමරිකාවෙන් ලැබුණු සැලකිල්ල හා පිළිගැනීම හමුවේ ඒ සියල්ල යටපත්ව ගියේය.
විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ බුටරේස්ගෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට ලැබුණු සැලකිල්ල හා පිළිගැනීම සුළුපටු එකක් නොවීය.
සාමාන්‍යයෙන් සංවත්සරයට පැමිණෙන ඕනෑම රාජ්‍ය නායකයෙකුට ලේඛනයක සටහනක් තබා ඡායාරූපයකටත් පෙනී සිට කතාබහ කරන්නට විනාඩි 15 බැගින් වෙන්ව තිබුණත් අප ජනාධිපතිවරයාට ඒ සඳහා විනාඩි 47 ක කාලයක් ලැබී තිබීම ම විශේෂත්වයකි.
මහලේකම්වරයාගේ ලේකම්වරු විනාඩි 15 ක් ඉක්ම ගිය බව පළමු විනාඩි 15 දීත් දෙවැනි විනාඩි 15 දීත් දෙවරක්ම පැමිණ ඔරලෝසුව පෙන්වා මතක් කර සිටියත් බුටරෙස් මහතා සාකච්ඡාවට තවත් කාලය අවශ්‍ය බව සංඥා කළේය.
මහලේකම්වරයා හමුවූ දිනයට පසුදා (21) රාජ්‍ය නායකවරුන්ගේ හමුව පැවැත්විණි. ජනාධිපතිවරයා එහිදී රාජ්‍ය නායකයින් අමතා කරනු ලැබූ කතාව සමුළුව තුළ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් ලක්වූ කතාවක් විය. අන්තෝනියෝ බුටරේස් මහතා පවා සිය කතාවේ දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ කතාවෙන් කොටස් කිහිපයක් උපුටා ගෙන කියවනු ලැබීම ද විශේෂත්වයකි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය නිල සංචාරය තුළ විශේෂ රාජ්‍ය නායකයන් කිහිප දෙනෙක්ද හමුවිය.
රට සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡා කිහිපයකටම සහභාගි විය. ඒ හැරුණු විට ඇමරිකාවේ සුවිශේෂී සංවිධානවල හා ආයතනවල නියෝජිතයන් සමඟ ද සාකච්ඡා වට කීපයකට සහභාගි විය.
මේවාට අමතරව ජනාධිපතිවරයා කලකට පසු නිදහසේ මඳ විවේකයක් ලැබූ සංචාරයක් ලෙස ද මෙම සංචාරය හැඳින්වූවාට වරදක් නැත.
ඇමරිකාවේ ජීවත්වන ශ්‍රී ලාංකික ඥාතීන්, හිතවතුන් පමණක් නොව, ශ්‍රී ලාංකික සංවිධානවල නියෝජිතයන් සමඟ ද ඔහු මෙම සංචාරයේදී සුහද සාකච්ඡා වට කිහිපයකට සහභාගි විය. මේ අතරතුර පසුගිය සති අන්තයේ ජනාධිපතිවරයා ලංකාවේ නොසිටියත් ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ රැස්විම සුපුරුදු පරිදි පවත්වන්නට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පියවර ගත්තේය.
වෙනදා ඊට සහභාගී වන සෞඛ්‍ය බලධාරීහු, ආරක්ෂක නිලධාරීහු, වෛද්‍යවරු, දේශපාලඥයෝ හා අදාළ නිලධාරීන් සුපුරුදු පරිදි පැමිණ සිටියහ. එදින තවත් තැනක ජීවන වියදම් කමිටුවේ රැස්වීමක් තිබූ බැවින් අගමැතිවරයාට මේ සඳහා පැමිණීමට නොහැකි විය.
කොවිඩ් කමිටුව
අමාත්‍ය බැසිල් මෙවර කමිටුවේ අරමුණු පැහැදිලි කරමින් ලද කථනයෙන් පසුව මුලින්ම විමසුවේ රටපුරා එන්නත්කරණයේ වත්මන් තත්ත්වය ගැනය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඒ පිළිබඳ දිගු විස්තරයක් කළේය.
''එන්නත්කරණය ඉතාම හොඳයි සර්. නමුත් බස්නාහිර පළාතේ විතරක් 20 - 30 අතර වයස පරාසයේ අය එන්නත ගන්න දක්වන උනන්දුව අඩුයි.''
''අපට කියන්න බලන්න ෆිගර්ස්වලින්. අපි දැන් එන්නත් කරණයේ කොතනද ඉන්නේ කියලා.?''
''රටේ සම්පූර්ණ ජනගහනයෙන් 64% කටම පළවෙනි එන්නත ලබා දීලා ඉවරයි. දෙවෙනි එන්නත 52.6% ලබා දීල තියෙනවා මේ වෙනකොට.''
''අපි මේක ගැන ඉතාම සැලකිලිමත්. මූලික රෝහල්වලට වඩා ඉහළින් තියෙන සියලු රෝහල්වල, විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ තමයි මේක කරන්නේ. හදිසි ප්‍රතිකාර ඒකක තියෙන තැන්වල තමයි අපි මේ එන්නත්කරණය සඳහා තෝරාගත්තේ.'' වෛද්‍ය පාදෙනිය විස්තර කළේය.
''හොඳයි. මොනවද මේ දරුවන්ට අපි දැන් ලබාදෙන එන්නත්.?''
''දැනට අපි ෆයිසර් එන්නත තමයි මේ ආබාධ සහිත දරුවන්ට ලබා දෙන්න පටන් අරන් තියෙන්නෙ.''
"මුලින්ම අපි කොළඹ, කුරුණෑගල, අනුරාධපුරය කියන දිස්ත්‍රික්ක්වලින් මේ එන්නත්කරණය පටන් ගන්නවා. මේක මුලින්ම අපි ආරම්භ කරන්නේ කොළඹ ළමා රෝහලෙන්.'' වෛද්‍යවරු ඒ විස්තර ඉදිරිපත් කළේය.
මෙහිදී බැසිල් රාජපක්ෂ එන්නත ගෙන්වීමට තීරණය ගත් ජනාධිපතිවරයාගේ සිට එන්නත්කරණය රට පුරා ගෙන යාම සඳහා වෙහෙස වුණු සෞඛ්‍ය අංශ බලධාරීන්ට සෞඛ්‍ය අංශ නිලධාරීන්ට පවුල් සෞඛ්‍ය සේවක අංශවල අයට හා ආරක්ෂක අංශවල කැපුවුණු සේවක සේවිකාවන්ට දිගු ස්තුතියක් කරන්නට පටන් ගත්තේය.
''එන්නත්කරණය සාර්ථක කරගෙන අපි අද මේ තැනට ඇවිල්ලා තියෙන්නෙ මේ හැම කෙනෙක්ම එක වගේ කැප වෙලා තමන්ගේ රාජකාරිය සේවයක් හැටියට ඉටු කරපු නිසයි.''
ඉන් පසුව කමිටු සාමාජිකයෝ කතා කරන්නට පටන් ගත්තේ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම හා සම්බන්ධයෙනි. අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ආකාරය ගැන ලොකු විස්තරයක් කළේය.
''මං මේ කියන්නේ නගරවල තියන අවශ්‍යතාවයන් ගැන. අපට පුළුවනි නම් අවම සීමාවන් යටතේ නගරවල තියෙන රෙස්ටොරන්ට්වලටත් යම්කිසි සහනයක් දෙන්න මේ වෙලාවේ හොඳයි.'' ප්‍රසන්න රණතුංග පෙන්වා දුන්නේය.
''සමහර අයට මාස ගාණක් තිස්සේ අදින්න රෙදි කෑල්ලක් ගන්න තැනක් නෑ. ගෙවල්වල ඔය ප්‍රශ්නත් තියනව සර්. රෙදි කඩවලටත් යම් සහනයක් දුන්න නම් තමයි හොඳ. ''
''මේ සීමාවල් දාගෙන රට වහගෙන කරගෙන ඉන්න නිසා තමයි අපි රෝගීන් හා මරණ මේ තරමට අඩු කරගන්නේ. නමුත් දැනටත් තත්ත්වය සම්පූර්ණයෙන්ම සතුටුදායකයි කියලා කියන්න බැහැ. දිනකට රෝගීන් 1,500 ක් විතර තවම අසුවෙනවා. මේ තත්ත්වය තවදුරටත් හොඳ අතට ගන්න නම් මේ හිර කිරීම් මේ විදියට තව ටිකක් කල් තියාගන්නම වෙනවා.'' සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉතා සාවධානව කරුණු පැහැදිලි කර දුන්නේය.
ඉන් අනතුරුව සියල්ලෝම කතාබහ කළේ රටට ආදායම් සපයා ගන්නා මාර්ග පිළිබඳවය. මෙහිදී සංචාරක ව්‍යාපාරය ගැන වැඩි අවධානයක් යොමුවිය.
''සංචාරක කර්මාන්තය විවෘත කිරීම පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැහැ. අපට පුළුවන් ඒ ගැන නිර්දේශ ටිකක් හඳුන්වලා දීලා ක්‍රමානුකූලව සංචාරකයන්ට රට විවෘත කරන්න. සංචාරකයෝ හැටියට එන අය එන්නත්කරණය සම්පූර්ණ කරලා තියෙනවනම් ප්‍රශ්නයක් නැහැ නේ.''
''සංචාරක ව්‍යාපාරය පිළිබඳව හොඳ නිර්දේශ ටිකක් හඳුන්වලා දීලා අපට ඒ ප්‍රශ්න විසඳගන්න පුළුවන්. ඒ වුණාට අපට දැන් ප්‍රශ්නයක් තියෙන්නෙ පාසැල් විවෘත කිරීම ගැනයි. පාසල් දරුවෝ මේ වෙනකොට ලොකු පීඩාවක ඉන්නේ. ඒගොල්ලන්ට තව තවදුරටත් පාසල් නැති වුනොත් ළමයින්ට වෙනත් වෙනත් සමාජ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. මොකක්ද අපට තියෙන හැකියාව පාසල් විවෘත කරන්න.'' බැසිල් ප්‍රශ්න කළේය.
ඩලස් පෙරපාසලට
"පෙරපාසල් විවෘත කිරීම් ගැනත් මේ ගමන්ම සලකා බලන එක හොඳයි. මොකද පෙර පාසල් යවන්නේ නැතුව පුංචි දරුවෝ සමාජානුයොජනයට හුරු කරන්න බැහැ." ඇමැති ඩලස් කීවේය.
"අපි මේ වෙලාවේ පාසල් විවෘත කිරීම් ගැන ආණ්ඩුකාරවරු සමඟ සාකච්ඡා කරනවා. මේ අතර ඔයගොල්ලෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශ අරගෙන සාකච්ඡා කරලා ආණ්ඩුකාරවරුන්ට පාසල් විවෘත කිරීම සඳහා නිර්දේශ ලබා දෙන්න." බැසිල් උපදෙස් දුන්නේය.
"අපි දැන්ටමත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමාට ඒ නිර්දේශ ලබා දීල ඉවරයි."
"හරි ඉතින්. ආණ්ඩුකාරවරුන්ටත් ඒ නිර්දේශ ලබා දෙන්න."
"ඩෙංගු ප්‍රශ්නත් තියෙන නිසා ඉතා ඉක්මනින් පාසල් පිරිසුදු කරන්නත් වේවි." මධුර විතානගේ කීවේය.
"පළාත් පාලන ආයතනවලත් සහයෝගය පාසැල් පිරිසුදු කිරීම් සඳහා යොදාගන්න." බැසිල් කීවේය.
මේ අතර සිසිර ජයකොඩි ආයුර්වේද රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර කිරීමේ විශේෂත්වයන් ගැන පැහැදිලි කිරීමක් කළේය.
"අපේ ආයුර්වේද ක්‍රමය තුළ කොවිඩ්වලට හොඳ ප්‍රතිකාර තියෙනවා. නමුත් අපට තවම ඒවා විද්‍යාත්මකව ඔප්පු කරන්න බැරි කමයි තියන ප්‍රශ්නය." රමේෂ් පතිරණ කීවේය.
ඉන්පසුව බැසිල් කමිටුවේ අවධානය යොමු කළේ ලබන මස 01 වෙනිදායින් පසුව රට විවෘත කිරීමෙන් අනතුරුව මතුවන ප්‍රශ්න ගැනය. විශේෂයෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රයේ තිබෙන ප්‍රශ්න ගැන බැසිල් මතක් කළේය.
රට විවෘත කළා වගේ නෙවෙයි. මේ වෙලාවේ ඉස්සර වගේ පොදු ප්‍රවාහනය පටන් ගත්තොත් නැවත වතාවක් රෝගය වර්ධනය වෙන්න පුළුවන්. ඒ අවදානමත් ගනිමින් තමයි අපිට කරන දෙයක් කරන්ඩ පුළුවන් වෙන්නේ.
"ඔව්. පොදු ප්‍රවාහනයේ දී සැලකිලිමත් නොවුනොත් නැවතත් රෝගීන් වැඩි වීම නරක අතට හැරෙන්න පුළුවන්." සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කීවේය.
"ඒක ඇත්ත. එක සැරේ පොදු ප්‍රවාහනය විවෘත කිරීම් හානිකර නම් ඒකට ක්‍රමවේදයක් හදන්න. ඒ වගේම උත්සව, ප්‍රිය සම්භාෂණ, රැස්වීම් වගේ දේවල්වලටත් පොදුවේ වැඩපිළිවෙළක් හදන්න. සෞඛ්‍ය අංශ නිර්දේශවලින් තොරව අපි කිසි දෙයක් කරන්නේ නැහැ. එහෙමනම් අපි මේ වෙලාවේ මේ කතා කරගත්ත විදියට වැඩ කරමු. තවත් මොනවා හරි තියෙනවා නම් අපි ඉදිරියේදී සාකච්ඡා කරමු." කියමින් ඇමති බැසිල් රාජපක්ෂ එදිනට එම කමිටුවේ වැඩ කටයුතු හමාර කළේය.
ආනයන සීමා අවම වන පරිදි සහන දෙන්නැයි
අගමැතිගෙන් උපදෙස්
අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ සඳහා දැනට පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට අවම වන පරිදි සහන ලබා දෙන්නැයි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට උපදෙස් දුන්නේය.
අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණවලට දැනට පනවා තිබෙන ආනයන සීමා හේතුවෙන් ව්‍යාපාරිකයන් සහ ජනතාව පත්ව ඇති අපහසුතා සැලකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යතුමා මෙම උපදෙස් දුන්නේය.
මේ අනුව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඊට අදාළ විසඳුම් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මෙසේ ආනයන සීමා අවම වන පරිදි සහන සලසන ලෙසට අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා මහ බැංකුවට උපදෙස් ලබා දීම ඉතා හොඳ යෝජනාවක් බව ව්‍යාපාරිකයන් මෙන් ම මහජනතාව ද ප්‍රකාශ කර තිබුණි.
අයවැය සඳහා ගමේ යෝජනා ලබා ගැනීමේ අරමුණින් "2021 ඔබට අයවැය" නමින් වැඩසටහන් මාලාවක් ඉකුත් සතිය ආරම්භ විය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂයන්ගේ තීරණයකට අනුව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන් මාලාව මඟින් ගමේ ආර්ථිකය නැංවීම හා ගම සංවර්ධනය කිරීම හරහා ජාතික ආර්ථිකය නැංවීම බලාපොරොත්තු වේ.
එහි පළමු පියවර වශයෙන් සෑම පළාත් පාලන ආයතනයක ම පක්ෂ ක්‍රියාකාරිකයින් හමු වී ගම සමඟ පිළිසඳරක් පැවැත්වීම සිදු කෙරේ.
මෙහිදී කොළඹ දිස්ත්‍රික්කය දැනුම්වත් කිරීම බාර දී ඇත්තේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාටයි. ඔහු ඉකුත් සෙනසුරාදා පළමුව කැස්බෑව ආසනයේ පක්ෂ ක්‍රියාකාරිකයින් හමුවූයේ විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ ගේ සහභාගිත්වයෙනි. දෙවනුව තිබුණේ මොරටුව පක්ෂ ක්‍රියාකාරිකයන් හමුවීමටයි. සහන් ප්‍රදීප්, කෝකිලා හර්ෂණී ගුණවර්ධන මන්ත්‍රීවරු ද අවස්ථාවට එක්ව සිටියහ. මොරටුවේ උත්සව ශාලාවක මෙම පිරිසට දිවා ආහාරය සූදානම් කර තිබිණි.
ප්‍රසන්න කාර්ය බහුල වෙයි
දිවා ආහාරය සඳහා එම ස්ථානයට යන විට ප්‍රේමනාත් දොලවත්ත මොරටුව නගරාධිපති සමන්ලාල් සිල්වා යන අය එතැනට පැමිණ සිටියහ.
පැමිණි පිරිස පිළිගත් සංවිධායකයෝ දහවල් ආහාරය ගන්නා අතර නැවතත් දේශපාලන කතා බහ ඇති විය.
ඒ කතාබහ අතරමැදින් කතා කළ සංචාරක අමාත්‍යවරයා" මොන ප්‍රශ්න තිබුණත් අපි අතර වාද ඇති වෙන්න බැහැ. අපි අතර වාදයක් ඇති වුණොත් එයින් ප්‍රයෝජනය ගන්නෙ අනිත් අය. වැඩිපුරම 3% කට්ටිය. අපේ අදහස් අතර මතවාද වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණාට අපි හැමෝම එක්ක ගමනක් යන පිරිසක්. එකට එකතුවෙලා පක්ෂය ශක්තිමත් කරන්න ඕනේ. පක්ෂය ශක්තිමත් වුණේ නැත්නම් ආණ්ඩුව ශක්තිමත් වෙන්නේ නෑ." කීවේය.
"ඒක සහතික ඇත්ත. අපි අතරේ දේශපාලන මතවාද තිබුණට ගැටුම් නැහැ." දොලවත්ත මන්ත්‍රීවරයා ද පිළිතුරු දුන්නේ ය.
"කොහොමත් බැසිල් මහත්තයා ඉන්නේ ගමේ මිනිස්සු එක්ක. අපේ පක්ෂය හැදුවෙත්, සෞභාග්‍යය දැක්ම වැඩපිළිවෙළ හැදුවෙත් ගමේ අදහස් අරගෙන. ඒ නිසා අයවැයෙන් ගමේ යෝජනාවලට මූලිකත්වය දෙන්නෙ.ඒක බැසිල් මහත්තයාගේ හැටි." ප්‍රසන්න රණතුංග කීවේය.
"මේක තමයි අපේ අලුත් මුදල් ඇමතිතුමාගේ පළමුවැනි අයවැය" සහන් ප්‍රදීප් කීවේය.
ඊට පිළිතුරු දෙමින් කෝකිලා හර්ෂණී ගුණවර්ධන සඳහන් කළේ" ආණ්ඩුව පත්වුණු දවසේ ඉඳලා කළේ කොරෝනා මර්දනය කරන එක. රට වහලා තිබුණ වැඩක් කරන්නවත්, ජනතාවට වුණු පොරොන්දු ඉටු කරන්නවත් බැරි වුණා" යනුවෙනි.
"සමහර ෆේස්බුක් එකවුන්ට් හදල තියෙන්නෙම ආණ්ඩුවට ගහන්න. ආණ්ඩුව අප්‍රසාදයට ලක් කරන්න. අපිත් දැනගන්න ඕනේ 3% කට්ටිය කියන බොරුවලට හරියට උත්තර දෙන්න. අපිට හරියට උත්තර දෙන්න බැරි වුනොත් ආණ්ඩු බලය නැතිවම ජනතාව පාලනය කරන්නේ 3% කට්ටිය." ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කීවේය.
"චමින්ද විජේසිරි මන්ත්‍රිතුමා ගිය සතියේ දවසක කියලා තිබුණා සජිත් ප්‍රේමදාස කොරෝනාවලින් දේශපාලනය කරනවා කියලා. ඒක සහතික ඇත්ත. චමින්ද විජේසිරිලා ඒ වගේ කතා කියන්නෙ සමගි ජන බලවේගෙ ඇතුළෙත් කොරෝනා මර්දනයට ගෙන යන වැඩපිළිවෙළ ගැන ප්‍රසාදයක් තියෙන නිසයි. අනිත් කාරණේ කොරෝනා එකක් දේශපාලනය කරන්න ඒ අයගෙම අය කැමති නැහැ." නැවතත් කෝකිලා හර්ෂණී ගුණවර්ධන මන්ත්‍රීවරිය කීවාය.
"දැන් එන්නත්කරණ වැඩේ හරියට යන නිසා ඒ අයට කරගන්න දෙයක් නැහැ. බඩු මිලයි, පඩි වැඩිකරන්න ඕනේ වගේ දේවල් සෙනගගෙ ඔළුවට දාන්න හදන්නෙ. එයාලගෙම අයගෙ වුනත් හිත් කතා කරනවානේ" කියමින් ඇමතිවරයා කතාව අවසන් කළේ මොරටුව දැනුම්වත් කිරීමේ රැස්වීම සඳහා පිටත්වීමට අත බැඳී ඔරලෝසුව දෙස බලමිනි.
පසුගිය බදාදා උදෑසන ඇමති ප්‍රසන්න හදිසියේම කොළඹ ආසිරි රෝහලට ගියේය. ඒ ඊශ්‍රායල ජාතික තරුණියකගේ සුවදුක් විමසීමටය. මෙම ඊශ්‍රායල ජාතික තරුණිය සැප්තැම්බර් 15 වෙනිදා රාවණා ඇල්ලේ ඉහළට නැඟීමට යාමේදී ඇඳවැටී තිබිණි. කෝමා තත්ත්වයේ පසු වූ ඇයව බදුල්ල මහ රෝහලෙන් කොළඹ ආසිරි රෝහලට ගෙන්වා ගැනීමට සංචාරක සංවර්ධන අධිකාරිය මැදිහත්ව තිබුණේ ඇමති ප්‍රසන්නගේ ද උපදෙස් ඇතිවය. මේ වනවිට සුව වී සිටින එම තරුණිය පසුගිය බ්‍රහස්පතින්දා සිය මව් රට බලා යාමට සූදානම් වෙමින් සිටි අතර ප්‍රසන්න ඇයගේ සුවදුක් බලන්නට ගියේ ඒ අතරය. මෙම තරුණියගේ මාපියන් මෙරටට ගෙන්වීමට පවා ප්‍රසන්න යටතේ තිබෙන සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබිණි.
"මම ශ්‍රී ලංකාවට ආපහු එනවා." රෝහලට ගිය ප්‍රසන්නට ඊශ්‍රායාල තරුණිය පොරොන්දු වූයේ මෙරටදි තමන් මුහුණ දුන් අත්දැකීමෙන් පසු ශ්‍රී ලාංකිකයන් තමන්ට දැක්වූ සත්කාරය පිළිබඳව ස්තූතිය පුද කරමිනි.
ආසියානු බැංකු සමුළුව
කටුනායක ගුවන්තොටුපළේ පී.සී.ආර් පරීක්ෂණාගාරය විවෘත කෙරුණේ පසුගිය 23 වෙනිදාය. මේ පී.සී.ආර්. පරීක්ෂණාගාරය ඉදිකිරීමට ඇමති ප්‍රසන්න කැබිනට් අනුමැතිය ගෙන තිබුණේ ජූලි මස 09 වෙනිදාය. සංචාරකයන් ඉලක්ක කරගනිමින් මේ පරීක්ෂණාගාරය ඉදිකිරීමට සැලසුම් කෙරුණේ පැය 03 කින් අදාළ පරීක්ෂණ වාර්තා ලබාදිමේ අරමුණිනි.
මේ සඳහා අවසර ගැනීම ලේසි පහසු වුණේ නැත. මුල සිටම සෞඛ්‍ය අංශ මේ සඳහා වැඩි කැමැත්තක් නොදක්වන බව පෙණින.
මේ නිසා ප්‍රසන්නට මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරන්නට සිදුවිය. අවසානයේදී කෙසේ හෝ සෞඛ්‍ය අංශ එකඟත්වය ද ඇතිව කටුනායක පී.සී.ආර්. පරීක්ෂණාගාරය ආරම්භ වූ අතර 23 වෙනිදා පැවති පරීක්ෂණාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලය. කෙහෙළිය මුළු පරීක්ෂණාගාරයම පරීක්ෂා කළේය. මෙහෙයුම් ක්‍රියාවලිය ගැන ද ඉතා පරීක්ෂාවෙන් විමසුවේය.
"මේක ඉතා හොඳ වැඩක්." විවෘත කිරීමෙන් අනතුරුව ඇමති කෙහෙළිය ප්‍රසන්නට කීවේය.
කටුනායක පී.සී.ආර් පරීක්ෂණාගාරය විවෘත කිරීමෙන් පසු එහි මෙහෙයුම් ක්‍රියාවලිය ආරම්භ වුයේ පසුගිය සෙනසුරාදාය (25) ඇමති ප්‍රසන්නගේ ඉල්ලීමකට අනුව පසුගිය අඟහරුවාදා (28) සෞඛ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් රැස්වීමක් පැවැත්විණ. රැස්වීම පැවැත්වුණේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු සංවිධාන සමඟය. එහිදී සෞඛ්‍ය බලධාරීන් කිවේ මෙරටට පැමිණෙන සංචාරකයන් හා ශ්‍රි ලාංකිකයන් එන්නත් දෙකම රැගෙන එන්නේ නම් මෙරටට පැමිණි විට සිදුකෙරෙන පී.සී.ආර්. පරීක්ෂාව සිදු නොකිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇති බවයි.
ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික සමුළුව ලබන වසරේ (2022) මැයි මස 02 වැනිදා සිට 05 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතයි. ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පසුගිය 01 වැනිදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී සිදු විය. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයාමා අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී.
මෙම අවස්ථාවේදී අදහස් පළ කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ "ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවස්ථාව උදාකර දීම සම්බන්ධයෙන් බොහොම ස්තූතියි. මෙම සමුළුව සංවිධානය කිරීමේ අවස්ථාව ලැබෙන දකුණු ආසියානු කලාපයේ දෙවන රට ශ්‍රී ලංකාවයි.
මෙම සමුළුව පැවැත්වීම සඳහා වඩාත් සුදුසුම ස්ථානය ශ්‍රී ලංකාව බවයි මගේ විශ්වාසය. යනුවෙන් ද බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා කීවේය.
සජිත් පානම හා පොතුවිල්වලට
විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන යටතේ රෝහල්වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහන් පසුගිය දිනවලදී ක‍්‍රියාත්මක කළේ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදීය. කොරෝනා ව්‍යාප්තියත් සමඟ කොළඹ සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබුණි. එහෙත් පසුගිය සතියේ දී නැවත වරක් ගමේ පිහිටි රෝහලටම යමින් විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබුණි.
ඒ අනුව පානම සහ පොතුවිල් රෝහල්වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ බෙදාදීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම ප්‍රදේශවලටම ගියේය. එහි ගිය ඔහුට ප්‍රදේශවාසීන් පැමිණ කීවේ ප්‍රදේශයේ සිදුවන ඉඩම් මංකොල්ලකෑම් පිළිබඳවය.
"පානම රාගම්වෙල ගම්මානයේ ඉඩම් මංකොල්ලයක් වෙනවා" ජනතාව සජිත්ට තමන්ගේ ප්‍රදේශයේ ගැටලු ගැන කියන්න වූහ.
"ඔය ඉඩම් මංකොල්ලය ගැන මම සොයා බලන්න එනවා" යැයි කී සජිත් පානම ශ්‍රී බෝධිරුක්කාරාමයට පැමිණියේය. පානම ශ්‍රී චන්ද්‍රරතන නායක හිමියන් හමුවූ සජිත් ඉඩම් මංකොල්ලය ගැන වැඩිදුරටත් කරුණු සොයා බැලුවේය.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පසුගිය සති අන්තයේ සුවිශේෂී කටයුත්තක නියැළෙමින් සිය කාලය ගත කළේය. ඒ ඔක්තෝබර් 02 වෙනි දිනට යෙදෙන ශ්‍රේෂ්ඨ භාරත පුත්‍ර මහත්මා ගාන්ධිතුමන්ගේ 152 වෙනි ජන්ම දින සැමරුම් වැඩසටහන වෙනුවෙන් ඉන්දියාවේ සහ මෙරට සියලු මාධ්‍ය වෙත ලිපියක් සකසමින්ය.
අවිහිංසාවාදය පදනම් කරගෙන ගොඩනැඟුණු මහත්මා ගාන්ධිතුමන්ගේ දර්ශනය හා එහි ගමන් මඟ පිළිබඳව මෙම ලිපිය මඟින් දීර්ඝ වශයෙන් කරුණු ගොනු කිරීමට වජිර දැඩි වෙහෙසක් ගෙන තිබුණි.
පළාත් පාලන ඩිජිටල්කරණයට නාමල්ගෙන් පියවර
පළාත් පාලන ආයතන ඩිජිටල්කරණය කිරීම පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තාරුණ්‍යයේ අනාගතය වෙනුවෙන් එම පියවර ගන්නා බවයි.
ඒ අනුව, තොරතුරු තාක්ෂණය දියුණු නව ලෝකයේ ස්මාර්ට් ජංගම දුරකතනයකින් මහජන සේවය ඉටු කරගැනීම සඳහා වූ පළාත් පාලන ආයතන ඩිජිටල්කරණය කිරීම අමාත්‍ය නාමල් රාජපක්ෂයන්ගේ අධීක්ෂණයෙන් යුතුව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහගේ මෙහෙයවීම මත සිදු වේ.