
මෙරට වැසියන්ට ඉන්දියාවට නොගොස් බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුදුවීම, පිරිනිවන් පෑම ඇතුළු මෙකී නොකී සියලුම ප්‍රධාන සිදුවීම් වූ ශාක්‍ය ජනපදය මෙරටදීම දැකබලා ගැනීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණේ පසුගිය ‘යහපාලන‘ සමයේ පිළියන්දල, කහපොළ, රෙජිඩේල්වත්ත නමැති අක්කර 78කින් යුත් භූමියේය.
පිළියන්දල නගරයේ සිට කිලෝමීටර් 10කින් පමණ දුරකින් පිහිටි ඒසා විශාලත්වයකින් යුත් එම භූමිය කොළඹ දිස්ත්‍රික්කයේම තිබෙන මනරම් භූමියකි. රුපියල් මිලියන 500ක් වැය කිරීමට අපේක්ෂිතව ඉදිකිරීමට නියමිත වූ එම ශාක්‍ය ජනපදයට මුල්ගල් තැබුණේ 2017 ජනවාරි 17 වැනිදා එවකට අධිකරණ හා බුද්ධ ශාසන ඇමැතිවරයාව සිටි විජේදාස රාජපක්ෂයන්ගේ අතිනි. එම ව්‍යාපෘතිය 2019 වසරේ වෙසක් උලෙළට විවෘත කිරීමට නියමිතව තිබිණි. ශාක්‍ය ජනපද ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස සුද්ධෝදන රජ මාලිගය හා ලුම්බිණි සල් උයන නිර්මාණය කොට එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළට සමගාමීව 2017 මැයි 11 වැනිදා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ සුරතින් විවෘත කිරීමද සිදුවිණි.
එහෙත් වර්තමානය වන විට එම ගොඩනැඟිලිද ගන කැලෑවකට මැදිව කෝටි ගණනක මුදල් අපතේ යාමක් සිදු වී ඇති බව එහි යනෙන ඕනෑම කෙනකුට දිස්වන දසුනයි. විජයදාස රාජපක්ෂගේ සංකල්පයක් මත ලයිට් ඔෆ් ඒෂියා පදනමේ සභාපති නවීන් ගුණරත්නගේ මෙහෙයවීමෙන් එම ව්‍යාපෘතිය සිදු කෙරිණි. ඊට ඉන්දියාවේ ලුම්බිණියේ වසර 25ක් පුරා උපදේශකවරයකුව සිටි නේපාලයේ පුරා විද්‍යාඥ බසන්ත බිදාරි නමැත්තාගේ අධීක්ෂණයද හිමි වූයේ එම වැඩබිමට සපැමිණෙමිනි. ශාක්‍ය ජනපදයට අමතරව දසදහසකට එකවර භාවනා කිරීමට හැකි දේශන ශාලා, භාෂා 10කින් ධර්ම ප්‍රචාරක මධ්‍යස්ථානයක් ඇතුළුව තවත් බොහෝ දෑ ඉදිකිරීමට නියමිතව තිබූ බව හිටපු ඇමැති විජයදාස රාජපක්ෂ අප කළ විමසීමකදී පැවැසීය. හිටපු ඇමැති විජයදාස පවසන්නෙ,
“ඔය ශාක්‍ය ජනපදය ලයිට් ඔෆ් ඒෂියා ආයතනයෙන් නිර්මාණය කරන්න හැදුවේ ආචාර්ය වෝල්ටර් ජයසිංහ සමඟ එකතුව ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස්වල. ඒ සඳහා ඔවුන්ට අක්කර 500ක පමණ ඉඩමකුත් දීලයි තිබුණේ. 2015 වසරේදී මම තමයි එහි සභාපති නවීන් ගුණරත්නට කිව්වෙ මේ භූමියේ ඒ ව්‍යාපෘතිය කරන්න කියලා. මොකද අපි වගේ බෞද්ධ රටකටයි එය වැදගත් වන්නෙ. පස්සෙ පරිත්‍යාගශීලීන්ගේ මුදල්වලින් ලයිට් ඔෆ් ඒෂියා ආයතනය එහි වැඩ ආරම්භ කළා. මම හිතන විදිහට මිලියන 100ක විතර වැඩ කළා. ඒ අතරේ භාෂා 10කින් 24 පැයේම ධර්ම ප්‍රචාරය කරන්න ජපානය, කොරියාව වගේ බෞද්ධ රටවල් සමඟ ගිවිසුම්වලටත් එළැඹුණා. වැඩපිළිවෙළ සියල්ල කරන්න මුදල් මදි වෙනකොට කොරියාවේ හාමුදුරුනමක් අපිට උදව් කරන්න ඉදිරිපත් වුණා. උන්වහන්සේ මිලියන 5000ක් මේ සඳහා ලබා දෙන්න එකඟ වුණා. ඒ හාමුදුරුවෝ මෙරටට වැඩියා. කොරියාවේ තිබූ දේපළ වෙන්දේසි කිරීමටත් සැලැසුම් කළා. මේ සඳහා මුදල් දෙන්න. ඒ වර්ෂයේ අගෝස්තු 23 මම අමාත්‍ය ධුරයෙන් ඉවත් කළා. බුද්ධ ශාසන ඇමැති වුණේ ගාමිණි ජයවික්‍රම. චම්පික රණවක ඇමැතිවරයා ඒ භූමිය ගිහිල්ලා කැබිනට් පේපර් එකක් දැම්මා එම ස්ථානයේ නගරයක් නිර්මාණය කරන්න. ඒ ගැන පුවත්පත් වාර්තාත් පළ වුණා. පස්සෙ කොරියන් හාමුදුරුවෝ ඒ ව්‍යාපෘතිවලට බය වෙලා නැවත කොරියාවට යන්න ගියා. ජයවික්‍රම ඇමැතිතුමා ශාක්‍ය ජනපද ව්‍යාපෘතිය නතර කරලා නීතිපති උපදෙස් ගන්න ඕන කියලා වැඩේ එහෙමම නතර කරලා දැම්මා. ඕක තමයි වුණේ. සියලු මුදල් ගනුදෙනු සිදු වුණේ ලයිට් ඔෆ් ඒෂියා හරහා.“
එහෙත් එම ව්‍යාපෘතිය එක්වරම ඇණහිටීමත් සමඟ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු මුදල් වුවත් ජනතාවගේ කෝටි ගණනක් මුදල් කන්දරාවක්ද නිරපරාදේ විනාශ මුඛයට යැවිණි..
රෙජිඩේල්වත්ත ඉඩමට අත්වන ඉරණම පිළිබඳව මීට පෙරද සිළුමිණ 2016 අගෝස්තු 07වැනිදා පුවත්පතෙන්ද අප අනාවරණය කළේ ‘පළාතටම විනාශයක් වී ඇති අක්කර 77ක රෙජිඩේල්වත්ත යන සිරස් තලෙයනි. ලියුම්කරු එවරද එම භූමියට ගොස් එහි විනාශය පිළිබඳව ගවේෂණයක නිරත වූවේය. අනතුරුව ඇරැඹි මේසා විශාල ව්‍යාපෘතියකින් පසුවත් අද වන විට එම භූමියට ගිය විට දක්නට ලැබෙන්නෙ මහත් විනාශයක ඛේදනීය සලකුණුය. එහිදී දකින තැන තැන මත්පැන් බෝතල්, ලිංගික කටයුතු සඳහා යොදගත් මෙවලම් ඇතුළු පිළිකුල දනවන දසුන් එමටය.
පැවැති කිසිම රජයකින් මෙකී අගනා වස්තුවෙන් නිසි ඵලප්‍රයෝජන නොගත් බව අවට ගම්වාසීන් දැඩි ස්වරයෙන් නඟන චෝදනාවයි. රෙජිඩේල්වත්ත මායිමේ පිහිටි කහපොළ සමාධි නිකේතනයේ විහාරාධිපති කහපොළ නන්දරතන හිමියෝ මෙසේ පැවසූහ.
“මේ භූමියේ කෝටි ගාණක මුදල් විනාශ වෙලා තියෙනවා. ඒක තමයි ඇත්ත. රෙජිඩේල්වත්ත කියන්නෙ කහපොළ ග්‍රාමයට සම්පතක්. ඒත් අද වන විට නොහොබිනා වැඩ සියල්ලටම විවෘත වූ භූමියක් වෙලා. මේ ඉඩම තුළ මිනීමැරුම් තුනක් පවා සිදු වුණා.
තවත් මුදල් අපතේ යවන වැඩ කරන්න එපා. සමාජයට යහපතක් වන හොඳ ක්‍රියාවකට යොදවන්න. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය අමරතුංග යෝජනා කළ ව්‍යාපෘතියට. ථෙරවාදි බුදුදහම සහිත රටක් වශයෙන් ලෝකයටම ථෙරවාදි දහම ප්‍රචාරය කරන්න එවැනි බෞද්ධ විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කරනවා නම් එය ඉතාම හොඳ දෙයක්.
![]() |
වල් බිහිවූ ශාක්‍ය ජනපදයේ ඉදිකිරීමක් වර්තමානයේදී |
අනික සමරකෝන් මුදලිතුමා මහා භාරකාරවරයාට මෙය බාර දෙද්දී ඇතුළත් වූ වගන්ති 52න් විශේෂම වගන්තියක් තියෙනවා. මේ භූමිය බෞද්ධ කටයුත්තකට පමණක්ම යොදාගන්න කියා.“
මෙකී භූමිය අයත්ව තිබී ඇත්තෙ පිළියන්දල, වෑවල ප්‍රදේශයේ ප්‍රකට වෑවල වලව්වේ විසූ දානපති, ප්‍රකට ව්‍යාපාරිකයකු වූ දොන් සයිමන් විජේවික්‍රම සමරකෝන්ටයි. හෙතෙම පිළියන්දල නගර මධ්‍යයේ පිහිටා තිබෙන මෙරට විශාලතම හෝරා ස්ථම්භය ඉදිකිරීමටද ධන පරිත්‍යාග කළ තැනැත්තායි. ඔහුගේ පුත් රෙජි සමරකෝන්ට පසුව මෙකී ඉඩමේ අයිතිය හිමිව ඇත්තෙ පිය උරුමයෙනි. පසු කලෙකදී මෙකී භූමියට රෙජිඩේල්වත්ත ලෙස නම් පටබැඳි ඇත්තෙ ඔහුගේ නාමයේ කොටසක් සමඟිනි. එහෙත් වර්තමානයේ එම භූමියට ගණිකා මඩම ආදි විවිධ අසංවර නම් පටබැඳි ඇත්තෙ එහි සිදුවන අපචාර සිදුවීම් නිසාවෙනි. රෙජි සමරකෝන් විවාහ වී සිටියේ නැත. ඔහු 1950 ගණන්වලදී එම බූදලය ඔහුගෙන් පසු භාරකාරත්වය මහා භාරකාර දෙපාර්තමේන්තුවට පවරා තිබේ.
එලෙස ඔහු විසින් මහා භාරකාර දෙපාර්තමේන්තුවට පැවරීමේදී වගන්ති 52කින් යුත් කොන්දේසි කිහිපයක්ද පනවා ඇති වගකි. ඒ, මෙකී භූමියෙහි ආගමික කටයුත්තත් සිදු කරන ලෙසටත්, තවද ඉඩමෙන් ලැබෙන ආදායමෙන් කොටසක් කහපොළ ගමේ දුප්පත් වැසියන්ටත්, ඉපැරැණි විහාරස්ථානය මෙන්ම පාසලටද ලැබෙන්නට සලස්වන ලෙසටයි. මහා භාරකාර දෙපාර්තමේන්තුවට පැවැරු මුල් සමයේ එම භූමිය පුරා රබර් වගාවක් තිබී ඇත. ඉන් විශාල ආදායමක් උපයා තිබේ. එසමයෙහි ආදායමෙන් කොටසක් කොන්දේසි ප්‍රකාරව බෙදී ගිය බව පැරැණි ගම්වාසීහු සිහිපත් කරති.
![]() |
ශාක්‍ය ජනපදයට එවක ජනපති මෛත්‍රීපාල සිරිසේන මුල්ගල් තැබූ මොහොත |
එහෙත් පසුව හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේ එම භූමිය ලලිත් කොතලාවලට පවරාදී තිබුණේ ‘මිලේනියම් සිටි‘ නිවාස ව්‍යාපෘතියක් සඳහායි. ඉන් එහි වූ රබර් සහ පොල් වගාව ඉවත්කොට විශාල කාපට් මාර්ග සකසා ව්‍යාපෘතිය ඇරැඹිණි. 2016 දී අප එම භූමියෙහි කළ ගවේෂණයේදී කෝටි ගණනක් වියදම්කොට එම මාර්ග ඉදිකොට තිබූ ආකාරය දිස්විණි. එහෙත් එම ව්‍යාපෘතියද ගම්වාසි ඇතැම් දෙනාගේ විරෝධය මත නතර විණි. එහෙත් වත්මනෙහි කහපොළ ඇතැම් දෙනා පවසන්නෙ එම ව්‍යාපෘතිය හෝ ක්‍රියාත්මක වූවා නම් වසර 20කට අධික කාලයක සිට සිදුවන විනාශය හෝ නතර වන්නට ඉඩ තිබූ බවයි.
අනතුරුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂයන්ගේ සමයේත් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට යෝජනා විණි. එයද නතර විණි. එහෙත් පළාත් නවයට සෑයවල් නවයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ බස්නාහිර පළාත් සෑය ඉදිකිරීමටද සැලැසුම් කරමින් ජයශ්‍රී මහ බෝ සමිඳු අනුරුවද ඉදිකෙරිණි. එහෙත් 2015 වසරේ මහින්ද රාජපක්ෂයන්ගේ පරාජයත් සමඟ පැමිණි රජය එම ව්‍යාපෘතියද නතර කළේය. තවද ඉඩමෙන් කොටසක් හෙවත් වැඩි ප්‍රමාණයක් වනජීවි දෙපාර්තමේන්තුවටද පැවරිණි. ඒ අනුව දෙහිවල සතුන් වත්තෙ රෝගී සතුන් මෙන්ම මළපහද බැහැර කිරීමට එම භූමියේ සූදානම් වුවත් අවට ජනයා ඊට දැඩි විරෝධයක් පෑහ.
එලෙස දිගහැරුණු රෙජිඩේල්වත්ත භූමියේ විනාශය අනතුරුව අන්තර්ජාතිකවද අණබෙර ගසා ඇරැඹි ශාක්‍ය ජනපද ව්‍යාපෘතියෙන් වූ විනාශය මේ වන විට දිස්වන ඛේදවාචකයයි. පසුගියදා මෙකී භූමියේ විනාශය දැකබලා ගත් දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ පැවැසූවේ, ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක්, ජාත්‍යන්තර පිරිවෙන් මධ්‍යස්ථානයක් ඇතුළත් බෞද්ධ සංචාරක කලාපයක් ඉදිකිරීමට පියවර ගන්නා බවත් ත්‍රිපිටක ධර්මය හා පිරිවෙන් අධ්‍යාපනය කෙරෙහි උනන්දු විදේශිකයන්ට මෙහි පැමිණ එම කරුණු අධ්‍යයනය කිරීමේ අවස්ථාව ලබාදීමෙන් මෙරට සංචාරක කර්මාන්තයට නව මුහුණුවරක් ලබාගැනීමට හැකිවනු ඇති බවයි.