ඇමැති හේරත්ගේ ලක්ෂ විස්සේ ඇඳ | Page 4 | සිළුමිණ

ඇමැති හේරත්ගේ ලක්ෂ විස්සේ ඇඳ

රාජ්‍ය ඇමැ­ති­ව­ර­යාගේ නිල නිවසේ තිබූ මිළදී ගත් බඩු භාණ්ඩ
රාජ්‍ය ඇමැ­ති­ව­ර­යාගේ නිල නිවසේ තිබූ මිළදී ගත් බඩු භාණ්ඩ

 

මේ දිනවල දේශපාලන කරළියේ බොහෝ දුරට සිදුවන විශේෂ සිදුවීමක් වන්නේ දේශපාලන පුද්ගල චරිත වටා හිටිවනම විවිධ සිදුවීම් මතුවීමයි. මේ සතිය ආරම්භයේදීම ඉස්මතුව කැපී පෙනුණු චරිතය වන්නේ පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන, කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත්ය.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න විසින් රාජ්‍ය අමාත්‍යවරයාට එල්ල කෙළේ රෙදි ගැලවෙන චෝදනාවකි. හේරත් රාජ්‍ය අමාත්‍යවරයා තම යට ඇඳුම හැර සෙසු සියල්ල රාජ්‍ය මුදලින් ලබාගෙන ඇති බවට ඔහු ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කළේය.

නාමල් කරුණාරත්න මාධ්‍යයට පැවසුවේ රාජ්‍ය අමාත්‍යවරයාගේ නිල නිවස අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදලක් වැය කර ඇති බවත් රුපියල් ලක්ෂ විස්සකට වැඩි මුදලකට ඇඳන් හයක් මිලදීගෙන ඇති බවයි.

එම ඇඳන් සමඟ භාණ්ඩ වර්ග හතළිස් අටක් ඔහුගේ නිල නිවසට ලබාගැනීමට අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇති බවද කරුණාරත්න පැවසීය. නාමල් කරුණාරත්නගේ චෝදනාවෙන් පසු රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්ද මාධ්‍යවේදීන් සිය නිල නිවෙසට ගෙන්වා චෝදනාවන්ගේ සත්‍යයක් නොමැති බව පෙන්නුම් කෙළේ නිල නිවසේ ඇති භාණ්ඩද මාධ්‍යයට පෙන්නුම් කරමිනි.

අපි මේ සම්බන්ධයෙන් පළමුවෙන්ම චෝදනාව එල්ල කළ ජවිපෙ හිටපු මන්ත්‍රී නාමල් කරුණාරත්නගෙන් අදහස් විමසුවෙමු.

‘ඩී.බී. හේරත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් තම නිල නිවසට ඉල්ලා ඇති 75X60 SONAT TEAK ඇඳක වටිනාකම රුපියල් 339,000ක්. එමෙන්ම ඉල්ලා ඇති AR..( වෙළෙඳ නාමය)... GREEN PREMIUM 6.75 X60X6 මෙට්ටයක් රුපියල් 77,500ක් බවයි. එමෙන්ම කිසිදු හිරිකිතයකින් තොරව තේ බොන කෝප්පය පීරිසිය පවා රජයේ මුදලින් ලබා ගෙන ඇති බවද ඔහු චෝදනා කළේය.

‘‘ මේ රාජ්‍ය ඇමැතිවරයා තම සම්බන්ධීකරණ ලේකම් ධම්මික රත්නායක මඟින් අමාත්‍යාංශ ලේකම්ගෙන් ඉල්ලා ඇති පරිදි සුපිරි ඇඳන් 6ක් (වටිනාකම 2,634,000/-), මෙට්ට (වටිනාකම රු. 465,000/-), විසිත්ත කාමර කට්ටල (රු.146,900/-), අඟල් 40 රූපවාහිනියක්, අඟල් 32 රූපවාහිනියක්, ශීතකරණයක්, ස්වයංක්‍රීය රෙදි සෝදනයක්, සුපිරි ගෑස් කුකර් (රු.43,500/-), බ්ලෙන්ඩර් එකක්, කෑලි 27 ඩිනර් සෙට් දෙකක්, කැබිනට් එක සහිත අයන් ටේබල් එකක්, අර්ධ අයන් ටේබල් එකක්, ලී ඇඳුම් රාක්ක, ඩිස්ප්ලේ කැබිනට් එකයි, අධ්‍යයන මේස, ස්මාර්ට් කබඩ්, අමුත්තන් සඳහා මේස 3ක්, අමුත්තන් සඳහා කෑලි 6 අතුරුපස හැඳි කට්ටල, ගෑරුප්පු කට්ටල, වානේ හැදි, බත් දීසි, අත්සෝදන බෝල්, වැකුම් ක්ලීනර්, ජල පෙරණයක්, විදුලි ඉස්තිරික්ක 2 , දුරස්ථ පාලක සහිත විදුලි පංකා, විදුලි කේතල තුනක්, පිහි, ට්‍රේ, වීදුරු, පීරිසි, කෝප්ප, අතුරුපස කෝප්ප, තේ කෝප්ප, ඇතුළු භාණ්ඩ 48ක් ඔහු වෙනුවෙන් ඉල්ලා තියෙනවා. ඒ සියල්ල මහජන මුදල්වලින් අරගෙන තියෙන්නෙ. මේ අවුරුද්දෙ පෙබරවාරි 10 වැනිදා තමයි මේ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කර තියෙන්නේ.

රාජ්‍ය අමාත්‍යවරයාගේ අයවැය ලේඛනයේ වැය ශීර්ෂයේ අමාත්‍යවරයාට නිල නිවසට අදාළ කිසිදු භාණ්ඩයක් නැත්නම් සේවාවක් ලබා ගැනීමට මුදල් වෙන්කර නැහැ. ඒ අනුව මහජන මුදලින් අල්පෙනෙත්තක් වත් ගන්න ඇමැතිවරයාට බලයක් නැහැ. අයවැයෙන් වෙන් නොකරපු මුදලක් වැය කරන්නෙ කොහොමද? විමර්ශන පවත්වා වහාම ඔහු සාවද්‍ය මුදල් පරිහරණය යටතේ නීතිය හමුවට පැමිණවිය යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කටයුතු කළ යුතු ආකාරයක් තියෙනවානෙ.

අය වැයෙන් මුදල් වෙන් කරල නැත්නම් අයවැය අධ්‍යක්ෂවරයා මඟින් අදාළ භාණ්ඩ ඕන බවට ලිඛිතව ඉල්ලීමක් කරන්න ඕන. එහෙම ලබා ගන්න බැරිවුණොත් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. එහෙම ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත යුතුයි.

එහෙම අනුමත වුණත් ගන්න බැහැ එතැනින් ප්‍රසම්පාදන කමිටුවට යා යුතුයි. ප්‍රසම්පාදන කමිටුවෙන් අනුමැතිය දුන්නත් මිලදී ගන්න බැහැ. එතැනින් තාක්ෂණික ඇගැයීම් කමිටුවේ නිර්දේශය ලබා ගත යුතු වෙනවා. එතැනින් තාක්ෂණික කමිටුව භාණ්ඩ ලේඛන විශ්ලේෂණය කරලා ඇතැම් දේ කපා හැරලා නිර්දේශ ලබා දෙනවා.

එතැනින් පසුව තමයි අදාළ ටෙන්ඩර් පටිපාටිය සම්බන්ධව කටයුතු කිරීමට සිදුවන්නේ. රාජ්‍ය ආයතනයකින් (දැව සංස්ථාව වැනි) ටෙන්ඩර් කැඳවීමක් නොමැතිව වුවත් කටයුතු කිරීමට හැකිවන අවස්ථා තිබෙනවා. එහෙත් පෞද්ගලික අංශයෙන් මිලදී ගන්නා සියලු අයිතමයන් වෙනුවෙන් අනිවාර්යෙන්ම පිරිවිතරයන්ට අනුව ටෙන්ඩර් කැඳවිය යුතුමයි.

මේ ඇමැතිවරයා ඒ කිසි දෙයක් කරලා නැහැ. එයා ලක්ෂ 50කට කිට්ටු මුදලක් වැය කරලා නිල නිවාසය හැදුවෙ කුමන පදනමකින්ද කියල හෙළි කළ යුතුයි. අදාළ භාණ්ඩ මුදල් වෙන් කළ ආකාරය හෙළි කළ යුතුයි. මේ අවභාවිතාවට අමාත්‍යාංශ ලේකම්වරයාත් ගණකාධිකාරිවරයාත් වගකියන්න ඕන.

මේ චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්ගෙන් විමසුවෙමු. එහිදී ඔහු මෙසේ කීය.

‘‘කොළඹ 07 විජේරාම මාවතේ අංක 110/6 රජයේ නිල නිවාසය මට 2020.09.22 දින සිට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් මට වෙන් කර දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අතිරේක ලේකම්වරයා විසින් ලිඛිතව දන්වා තිබෙනවා අදාළ නිවස ලබාදීම සම්බන්ධයෙන් ගිවිසුම්ගත විය යුතු බවට.

ඒ වගේම මේ නිල නිවස අවුරුදු ගණනාවක් වහල තිබුණු එකක්. සම්පූර්ණයෙන්ම ජරාජීර්ණ වෙලා තිබුණෙ. ඒක නිසා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හරහා අලුත්වැඩියා කරගත්තා. ඒ සඳහා රුපියල් ලක්ෂ 48කට වැඩි මුදලක් වැය වැය වුණා. ඒ මුදල අනුමත කර ඇත්තේ භාණ්ඩාගාරයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්වරිය විසින්. ඇය අලුත්වැඩියා සඳහා රුපියල් 48,12,745.60 ක් අනුමත කර තියෙනවා.

ඒ වගේම එම නිල නිවසේ පදිංචිව සිටින ඇමැතිවරයාට අදාළ භාණ්ඩ සපයා දීමේ වගකීම අමාත්‍යාංශය සතුවනවා. නාමල් කරුණාරත්න කියන ලක්ෂ පහේ හයේ ඇඳන්වත්, සුපිරි භාණ්ඩත් එහි නැහැ. පසුගිය දවසක මම මාධ්‍යවේදීන් එහි ගෙන්වා පෙන්වා දුන්නේ එයයි.

ඒ වගේම රාජ්‍ය ඇමැතිවරයෙක් හැටියට නිල නිවසේ ඉන්නකොට තමාගේ රාජ්‍ය අමාත්‍යාංශයේ සේවය කරනු ලබන පෞද්ගලික කාර්ය මණ්ඩලයට අවශ්‍ය පහසුකම් ද සැපයිය යුතු වෙනවා.

ඒ වගේම අදාළ දැව භාණ්ඩ ලබා ගෙන ඇත්තේ රාජ්‍ය දැව සංස්ථාවෙන් එම නිසා රාජ්‍ය ආයතනයකින් මිලදී ගැනීමේදී ටෙන්ඩර් කැඳවීම් කළ යුතු නැහැ. ඒ මිලදී ගැනීම්වලදීත් කිසිදු නීතියක් උල්ලංඝනය කිරීමක් සිදු කර නැහැ.

ඒ වගේම මම කියන්න ඕන 2020 සැප්තැම්බර් සිට තමයි මේ නිල නිවාසය අලුත්වැඩියා කටයුතු පටන් ගත්තේ. ඒ වගේම මගේ මාසික වැටුපෙන් 12 ½%ක් ඒ වෙනුවෙන් මම ගෙවන්න ඕන. ඒ කියන්නෙ වැටුපෙන් 1/8ක්. නිල නිවාසයේ පදිංචි වෙන්නත් කලින්, ඒ කියන්නෙ අවුරුද්දකට කලින් ඉදල මම අදාළ මුදල වැටුපෙන් ගෙවල තියෙනවා. පදිංචියට ගියේ මීට මාස 5කට කලින්. ඒ වෙනකල් අලුත්වැඩියා කටයුතු කරන සමයේත් මම අදාළ මුදල් ගෙව්වා.

ඒ ගැන නොදැන නෙමෙයි මේ චෝදනා කරන්නෙ. මේවා දේශපාලන මඩ ගැසීම්. නිවසටම ඇවිත් බලන්න පුළුවන් ඔය කියන සුපිරි ඇඳන් තියෙනවද කියලා.

නාමල් කරුණාරත්නත් වයඹ පළාතෙ; මමත් වයඹ නිසා ඔය වෙනත් දේශපාලන කටයුත්තක් කරන්නෙ අභූත චෝදනා එල්ල කරමින්.

කෙසේ වුවත් අමාත්‍යාංශ ලේකම්වරයා හා ගණකාධිකාරිවරයාට නොදැනෙන සේ හෝ ඔවුන්ට හොරෙන් මේ කිසිදු කටයුත්තක් කළ නොහැකිය. නාමල් කරුණාරත්න පවසන ආකාරයට මෙතන යම් අවභාවිතයක් සිදුව ඇත්නම් එම නිලධාරීන්ද මේ අකටයුත්තට හවුල් විය යුතුය. ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි නොදැන ඔවුන් කටයුතු කළා යැයි සිතිය නොහැකිය.

 

Comments