ඉංජි­නේ­රු­වකු වීම මගේ බලා­පො­රො­ත්තු­වයි - මොහො­මඩ් රිෆ්කාන් මොහො­මඩ් අර්මාෂ් | සිළුමිණ

ඉංජි­නේ­රු­වකු වීම මගේ බලා­පො­රො­ත්තු­වයි - මොහො­මඩ් රිෆ්කාන් මොහො­මඩ් අර්මාෂ්

ධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී ‘ඒ‘ සාමාර්ථ නවයක් ලබා ගැනීම යනු සිසුවෙකුගේ හෝ සිසුවියකගේ උපරිම දක්ෂතාවයකි. සෑම සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමත් සමඟම එවන් විශිෂ්ටයන් ඇගයෙන්නේත් ඒ නිසාය.

 

ඒ අතරිනුත් සමාජය තුළ කතාබහට ලක්වන අති විශිෂ්ටයෝ ද සිටිති. මේද එවැනි සිසු තරුවක කතාවයි.

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ‘ඒ‘ සාමාර්ථ නවයක්ම ලැබූ ඔහු කොළඹ ලුම්බිණි මහා විද්‍යාලයේ සිසුවකු වූ අලුත්ගම ධර්ගා නගරයේ පදිංචි මොහොමඩ් රිෆ්කාන් මොහොමඩ් අර්මාෂ් සිසුවායි.

ව්‍යාපාරිකයකු වූ එම්.කේ.එම්. රිෆ්කාන් සහ එම්.කේ.එම්. රිෆාසාගේ පවුලේ පුතුන් තිදෙනාගෙන් වැඩිමලා වන්නේ ඔහුය.

මුස්ලිම් ජාතිකයෙකු මෙන්ම ඉස්ලාම් භක්තිකයකු වූ මොහොමඩ් අර්මාෂ් සිසුවා දැක්වූ විශේෂ දක්ෂතාව වූයේ බුද්ධ ධර්මය විෂයට මෙන්ම සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයට ද ‘ඒ‘ සාමාර්ථ ලබාගෙන තිබීමයි.

ඔහු තමා ලද ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අප සමඟ මෙසේ කීය.

“මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ අලුත්ගම ජාතික පාසලෙන්. ඒ සිංහල මාධ්‍යයෙන්. 5 වසර ශිෂ්‍යත්වය සමත් වෙලා මම කොළඹ ලුම්බිණි මහා විද්‍යාලයට ගියා. එහිදී මා අධ්‍යාපනය ලැබුවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධ ධර්මයට, සිංහල භාෂාව හා සාහිත්‍යය යන විෂයනුත් ඇතුළුව විෂයන් නවයටම ‘ඒ‘ සාමාර්ථ ලබා ගැනීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා.

මගේ පියා අධ්‍යාපනය ලබා තිබුණේ බෞද්ධ පාසලක. ඒ සිංහල මාධ්‍යයෙන්. ඒ මාලේවන ශ්‍රී ඥානිස්සර විද්‍යාලයෙන්. ඒ පරිසරයත් මට මේ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා පිටිවහලක් වුණා.

ලුම්බිණි මහා විද්‍යාලයේ බුද්ධාගම විෂය භාර පූජ්‍ය ගැටමාන්නේ තිස්ස හිමියන්ටත් විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් මම මේ අවස්ථාවේදී මගේ ස්තුතිය පිරිනමනවා. මම ගණිත විෂය ධාරාවෙන් අපොස උසස් පෙළ හදාරා ඉංජිනේරුවකු වී රටට කැපවීමෙන් සේවය කිරීමට බලාපොරොත්තු වෙනවා.“මොහොමඩ් අර්මාෂ් සිසුවාගේ පියා වන මොහොමඩ් රිෆ්කාන් මෙහිදී අදහස් දක්වමින් මෙසේ කීය.

“මම මාලේවන ඥානිස්සර විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අයෙකු හැටියට මගේ පුත්‍රයා ලබපු මෙම ජයග්‍රහණය ගැන ගොඩක් සතුටු වෙනවා. මෙය ජාතික ආගමික සමගියටත් ලොකු අත්වැලක්. ඒ වගේම ජාතීන් අතර සමගිය හා සමාදානයට මගේ පුතා ඉතා ශක්තිමත් පදනමක් මෙවර දමා තිබීම ගැන මම සතුටු වෙනවා.

මොහොමඩ් අර්මාෂ් සිසුවාගේ මව වන එම්.කේ.එම්. රිෆාසා අදහස් දක්වමින් මෙසේ කීවාය. “පුතා බුද්ධ ධර්මය විෂයට ‘ඒ‘ සාමාර්ථ­්‍යයක් ලබා ගැනීම ගැන මා ද ඉතා සතුටු වෙනවා. පුතා රාමලාන් උපවාස සමය තුළත් නොකඩවා අධ්‍යාපන කටයුතුවල නිරත වුණා.

ඔහු ඉස්ලාම් දහම් අධ්‍යාපනයත් මැනවින් හදාරපු දරුවෙක්. හැම ආගමකම උගන්වන්නේ යහපත් දිවි පෙවෙතක් ගත කරන හැටියි. ඒක පුතා හරි හැටි අවබෝධ කරගෙන තිබෙනවා. මගේ අනෙක් දරුවන් දෙදෙනාත් ඉගෙනුම ලබනුයේ කොළඹ ලුම්බිණි මහා විද්‍යාලයේ. එම පාසලේ ගුරු මණ්ඩලයට මා ස්තුති කරනවා.“

අප නිවසින් යාමට සූදානම් වූ මොහොතේ මොහොමඩ් අර්මාෂ් සිසුවා මෙසේ කීය. “මා මුස්ලිම් ජාතිකයෙකු කියල මගේ පාසලෙන් මට කිසිම වෙනසක් කෙරුණේ නැහැ. අන් අය සමඟ සහෝදරත්වයෙන් හිටියා. අපි අනෙක් ආගම ඉගෙන ගන්නවා නම් අපේ රටේ තවදුරටත් කිසිම ප්‍රශ්නයක් ඇති වන එකක් නැහැ.“

 

(ඡායාරූප : බී.එම්. මුක්තාර් - බේරුවල විශේෂ)

Comments