ඖෂධ සංස්ථාව නොමග යැවූ හොරණ ‘බිල්ඩින්’ මගඩිය | සිළුමිණ

ඖෂධ සංස්ථාව නොමග යැවූ හොරණ ‘බිල්ඩින්’ මගඩිය

රුපියල් මිලි­යන 90ට මිලදී ගත් බුල­ත්සිං­හල ගොඩ­නැ­ගි­ල්ල
රුපියල් මිලි­යන 90ට මිලදී ගත් බුල­ත්සිං­හල ගොඩ­නැ­ගි­ල්ල

 

සුගිය සතියකට අධික කාලයක් තිස්සේ රාජිත සේනාරත්නට එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ රුපියල් 60කට 70කට ගන්නට තිබුණු ඖෂධ රුපියල් 600ට 700 ට අධික මුදලකට ගෙන ඇති බවත් තවත් ඖෂධ නියම මිලට වඩා හත් අට ගුණයකින් මිලට ගෙන ඇති බවත්ය.

එහි උණුසුම යන්නටත් පෙර තවත් මරාලයක් රාජිත ඇමැතිවරයාගේ කරපිටට වැටී ඇත. ඒ බුලත්සිංහල මහල් ගොඩනැගිල්ලක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ මුදල් යොදවා මිල දී ගැනීම සම්බන්ධයෙනි. එහි පළමු වෙඩිමුරය පත්තු කෙළේ ඖෂධ නියාමන හා සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන විසිනි. ඔහු පසුගිය සැප්තැම්බර් 22 වැනිදා පාර්ලිමේන්තුවේදී හිටපු ඇමැති රාජිත සේනාරත්නගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන ලදී.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට චෝදනා කර සිටියේ බුලත්සිංහල - ඈගල්ඔය මහල් ගොඩනැගිල්ලක් ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ අරමුදල් මිලියන 90ක් යොදවා ලබා ගැනීමේ පදනම කුමක්ද යන්න ගැනයි.

එහිදී රාජිත සේනාරත්නයන් පිළිතුරු වශයෙන් පැවසුවේ තමන් සෞඛ්‍ය ඇමැති ධුරය දැරූ සමයේ එය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වූ බවයි. වත්මන් රජය එයින් කිසිදු ප්‍රයෝජනයක් නොගන්නා බවද ඔහු පැවසුවේය. එහිදී මහාචාර්යවරයා අභියෝග කෙළේ එසේ යහපාලන රජය සමයේ පුහුණු කළ එක් අයකු හෝ හඳුන්වා දෙන ලෙසයි. අදටත් එම ගොඩනැගිල්ල කිසිදු වැඩකට ගත නොහැකිව අතහැර දමා ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තුවේ වාදය තවත් දෙබස් කිහිපයක් ඉදිරියට ගොස් එතැනින් නතර වුවද සිදුවීම එයින් නතර නොවීය.

තම දිස්ත්‍රික්කයට අයත් මේ ගොඩනැගිල්ල සොයා බැලීමට ගුදම් පහසුකම්, බහාලුම් අංගණ, වරාය සැපයුම් පහසුකම් බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර පසුගියදා එහි ගියේය. එහි අස්සක් මුල්ලක් නෑර සොයා බැලූ රාජ්‍ය ඇමැතිවරයා එහි නිරර්ථකභාවය ගැන සිළුමිණට අදහස් දැක්වූ ඇමැතිවරයා පැවසුවේ මෙවැන්නකි.

‘‘මීට වසර 8කට විතර කලින් බුලත්සිංහල - ඈගල්ඔය පදිංචි මංජුල රණවක කියන පුද්ගලයා ඈගල්ඔය මහල් 5ක ගොඩනැගිල්ලක් ‘දිගාසිරි‘ නමින් ඉදිකර තිබෙනවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 90ක ණය මුදලක් එම පුද්ගලයා බැංකුවකින් ලබාගෙන තිබෙනවා.

ඒත් ඒ ස්ථානය එවැනි රෝහලකට සුදුසු ස්ථානයක් නෙමෙයි. එම නිසා එතැන රෝහලක් ආරම්භ කළත් ඔහුට එය පවත්වා ගෙන යන්නට හැකි වී නැහැ. නැත්නම් කොතැනද රෝහලක් අසාර්ථක වෙන්නෙ.

කොහොම හරි මේ පුද්ගලයා පසුව රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බවට පත්ව තිබෙනවා.

අධික ණය බරින් සිටි මංජුල රණවකගේ පස් මහල් ගොඩනැගිල්ල බැංකුවට සින්න වීමට ගිය අවස්ථාවේ රාජිත සේනාරත්න ඇමැතිවරයා අදාළ ගොඩනැගිල්ල කිසිදු අවශ්‍යතාවයක් නොමැතිව ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ පුහුණු මධ්‍යස්ථානයක් හා පර්යේෂණාගාරයක් ඉදි කිරීමට එලෙස මිල දී ගෙන තිබෙනවා. ඒ මිලදී ගැනීම කර ඇත්තේ බුලත්සිංහල හා අවටින් පුහුණු මධ්‍යස්ථානයක් හා පර්යේෂණාගාරයක් සඳහා වන පුවත්පත් දැන්වීමක් මඟින්. එහි අවශ්‍යතාවයන් සියල්ලම අදාළ ගොඩනැගිල්ලට විශේෂිතව වූ ලෙසින් ඉදිරිපත් කර තිබෙනවා.

ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පවා නොමඟ යවමින් මේ කාර්ය කර තිබෙන බව ඉතා පැහැදිලියි.‘‘

රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙන්නේ මංජුල රණවක විසින් බැංකුවෙන් ලබාගත් මිලියන 90ක ණය මුදල ආපසු ගෙවන ලෙස බැංකුවෙන් දිගින් දිගටම බලපෑම් පැමිණීමත් ඇපකරුවන්ගේ දෝෂාරෝපණ හමුවේ රාජිත

ගුදම් පහ­සු­කම්, බහා­ලුම් අංගණ, වරාය සැප­යුම් පහ­සු­කම් බෝට්ටු හා නැව් කර්මාන්ත සංව­ර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සම­ර­වීර බුල­ත්සිං­හල ඈග­ල්ඔය පිහිටි මත­භේ­ද­යට තුඩු දුන්  ගොඩ­නැ­ගිල්ල පරීක්ෂා කරන අයුරු
 

සේනාරත්නගේ පිහිට යැදීම නිසා ඔහු ඇමැති බලතල අනිසි ලෙස භාවිතා කරමින් මේ කාර්ය කර ඇති බවයි.

වැඩි දුරටත් කරුණු පෙන්වා දුන් ජයන්ත සමරවීර රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේ අදාළ ගොඩනැගිල්ල ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ මුදල් යොදා මිල දී ගන්නා විට ජරාවට පත්ව තිබුණු නිසා සංස්ථාවේ තවත් මුදල් රුපියල් මිලියන 40ක් වැය කර එහි අලුත්වැඩියා කර ඇති බවයි.

එම ගොඩනැගිල්ලෙන් කිසිදු වැඩක් ඖෂධ නිෂ්පාදන සංස්ථාවට ගත නොහැකි බවද ඔහු පෙන්වා දුන්නේය. රත්මලානේ පිහිටි ආයතනයක සිට බුලත්සිංහලටත් වඩා දුරින් පිහිටි මේ ගොඩනැගිල්ලෙන් සංස්ථාවට ගත හැකි ප්‍රයෝජනයක් නොමැති බවත්, කෙසේ වුවත් මහජන මුදල් රැක ගැනීම පිණිස මේ ගොඩනැගිල්ල සුදුසු කටයුත්තක් පිණිස යොදා ගන්නා ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසුවේය.

අපි මේ සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයකු වන ජාතික උරුම, ප්‍රසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකගෙන් විමසුවෙමු.

‘‘ඇත්තටම මටත් හරිම කනගාටුයි මේ ගොඩනැගිල්ල ගැන, එය රජයේ ගොඩනැගිල්ලක් ලෙස වසා තැබීම මහා අපරාධයක්. කොහොම වුණත් මේ ගොඩනැගිල්ල රජයේ වියදමින් මිලට ගත්තා නම් ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කර අනිවාර්යෙන්ම ඊට වගකිය යුතු දේශපාලඥයන් හෝ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ විතරක් නෙමෙයි අදාළ පාඩුව ඒ අයගෙන් අය කර ගත යුතුයි. විශේෂයෙන්ම එම මුදලේ වටිනාකම අද වටිනාකමට තක්සේරු කළ යුතුයි. එවැනි ආකාරයට දෙතුන් දෙනෙකුට දඬුවම් ලැබුණහම රජයේ මුදල් ඒ කියන්නෙ ජනතා මුදල් අපහරණය සිදු කරන එකක් නැහැ.‘‘

අපි මේ සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නයන්ගේ අදහස්ද විමසා බැලුවෙමු.

‘‘ඔය ගොඩනැගිල්ල නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් මිලයට ගත්තේ ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ පුහුණු හා පර්යේෂණ ආයතනයක් ලෙස පවත්වාගෙන යන්නයි. වත්මන් රජය එහි කටයුතු පසෙක දමා මඩ ගහන්න පුරුදු වෙලා. දේශපාලන දෝෂාරෝපණ එල්ල නොකර ඇත්ත රටට හෙළි කළ යුතුයි.‘‘

එම ගොඩනැගිල්ලේ මේ වන විට ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ආරක්ෂක නිලධාරීන්ට වැටුප් ගෙවා රඳවා සිටීම පමණක් සිදු කරනු ලැබේ. ඔවුන් පවසන්නේ කලාතුරකින් සංස්ථාවේ නිලධාරීන් පමණක් එහි පැමිණෙන බවයි. එසේ හැරෙන්නට එහි කිසිදු පුහුණුවක් හෝ වෙනත් යමක් මේ වන විට සිදු නොකෙරෙන බවද ආරක්ෂක නිලධාරීහු පවසති. බුලත්සිංහල - ඈගල්ඔය පමණක් නොව ඒ අවට ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වර්ධනය පිණිස යම් මධ්‍යස්ථානයක් සැකසීම පිණිස හෝ මේ ගොඩනැගිල්ල සකස් කර ගත හැකිය. එසේ නොමැතිව තවත් කාලයක් මේ ගොඩනැගිල්ල වසා තැබීමෙන් වන්නේ රජයේ මුදල් තව දුරටත් නාස්ති වී යාම පමණි.

එසේම මේ ගොඩනැගිල්ල මිල දී ගැනීමේදී රජයේ මුදල් අවභාවිත කර ඇත්නම් ඒ ගැන වහාම පරීක්ෂණයක් කළ යුතුය. පසුගිය යහපාලන රජය සමයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) පරිද්දෙන් නොව නෛතික බලයක් ඇති විශේෂ විමර්ශන ඒකකයක් හරහා හෝ මේ පිළිබඳව විමර්ශනයක් කළ යුතුය.

රාජිත සේනාරත්න හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාද තමන්ට එල්ල වන චෝදනාවන්ට වචනයෙන් දෙකෙන් පිළිතුරු නොදී විධිමත් ලෙස පිළිතුරු සපයා තමන් අතින් වරදක් සිදුව නැත්නම් තම නිරවද්‍ය භාවය රැක ගත යුතුය. විශේෂයෙන් කිසිවකු පුහුණු නොකළ බවට චෝදනා එල්ල වන්නේ නම් එසේ පුහුණු කළ කණ්ඩායම් පිළිබඳව විස්තර ඉදිරිපත් කළ යුතුය. එසේ කිරීමට නොහැකි වූයේ නම් ඒ සඳහා සාධාරණ හේතූන් ඉදිරිපත් කළ යුතුය. එමෙන්ම පර්යේෂණාගාරයද ස්ථාපිත කළේ නම් එහි ප්‍රගතිය හා සිදු කළ පර්යේෂණ මොනවාදැයි හෙළි කළ යුතුය. නොඑසේ නම් එසේ කරන්නට නොහැකි වූ හේතු ඉදිරිපත් කළ යුතුය.අපි හෙට දිනය දෙස බලා සිටිමු.

 

Comments