
කිරිපිටි හිඟයට ඩොලර් හිඟයත් බලපානවා
හිරාන් මීගස්දෙණිය (29) අතුරුගිරිය ගිණුම් සහකාර
අපි සාමාන්‍යයෙන් පිටරට කිරි බොන්නෙ නෑ. හයිලන්ඩ්, පැලවත්ත වගේ දේශීය කිරි තමයි ගන්නේ. ටිකක් වැඩිපුර ගන්නවා එකවර. ලෝකයේ වැඩිපුරම ෆාම් ඔයිල් ගෙන්වන්නේ නවසීලන්තයේ අයයි. එයාලා බොන්න ගන්නේ දියර කිරි. තුන්වන ලෝකයේ රටවල අයට බොන්න ෆාම් ඔයිල් හා මෙලමයින් මිශ්‍ර කරපු කෘත්‍රිම කුඩුවලින් පිටිකිරි හදලා නැවුම් කිරි කියලා ලංකාවට එවනවා. අපේ රටේ විදේශ විනිමය නැති නිසා ඩොලර් මිල වැඩිවෙලා අපට පාලනය කළ නොහැකි විදිහට. එතකොට බඩු මිල ඉහළ යනවා. ලංකාවේ දේශපාලඥයන්ගේ වගේම මහජනතාවගෙත් තියෙන්නේ වඳුරෝ වැස්සට ගෙවල් හදනවා වගේ ප්‍රතිපත්තියක්.
මොන දේ හිඟ වුණත් අරක්කු හිඟයක් නෑ
තම්බිරාජා කනගරුජන් රාජා (57)
වැල්ලම්පිටිය (සුළු රැකියා)
සාමාන්‍යයෙන් බහුතරයක් සාමාන්‍ය මිනිස්සු එදිනෙදා බොන පිටිකිරි පමණක් නෙමෙයි හැම භාණ්ඩයක්ම මේ වන විට ගණන් ගිහින්. කිරිපිටිත් මෙට්‍රික් ටොන් 360ක් වරායේ. හාල්, සීනි, කිරිපිටි, ගෑස්, තිරිඟු, පොහොර, සිමෙන්ති හිඟ වුණාට බාර්වල පෝලිමේ ඉඳලා හරි ගන්න අරක්කු තියනවා. රජයේ රැකියා හා ස්ථිර ආදායම් තියන අයට ගැටලුවක් නෑ. සාමාන්‍ය දුප්පත් ජනතාවටයි බඩේ පහර වැදිලා තියෙන්නේ. උදේට හවසට කිරිපිටි බොන්න හුරුවෙලා ඉන්න අයට දෙයියන්ගෙම පිහිටයි. දේශීය කිරි භාවිත කරන අයට නම් අවුලක් නෑ. දැන්වත් මිනිස්සු පෙරට වඩා බුද්ධිය මෙහෙයවා ජීවත් වෙන්න කාලය ඇවිත්.
කිරි බීලා බඩගින්න නිවා ගන්න අයට කිරි කඳුළක්වත් නෑ
චමින්ද පෙරේරා (49) මරදාන (පෞද්ගලික රැකියා)
කිරිපිටි මිල ඉහළ යාම හා කිරිපිටි හිඟය අපටත් තදින් බලපෑවා. ඉස්සර ඉඳලා පිටරට කිරිවලට හුරුවුණු එක වැරදියි. දේශීය කිරි පමණක් ගන්න පුරුදු වුණා නම් ගැටලුවක් නෑ. අනික පිටිම බොන්නේ නැතුව අපේ රටේ තියන දේශීය ඖෂධ බීම බෙලිමල්, රණවරා, පොල්පලා, ඉඟුරු තේ වගේ දේවලට හුරු වුණා නම් සෞඛ්‍යයටත් ආර්ථිකයටත් දෙකටම හොඳයි. දැනුයි අපටත් තේරෙන්නේ. පොඩි ළමයි පිටිකිරිවලට හුරුවෙලා අඬනවා පිටි නැතුව. සමහරු බඩගින්න නිවාගන්නේ කිරි විතරක් බීලා. ඉස්සර වගේ දෙනුන්ගෙන් දොවාගන්න නැවුම් එළකිරි ගමකවත් නෑ. අපේ හුරුපුරුදු වෙනස් කරගන්න එකපාරටමත් අපහසුයි. රු. 100න් පිටි වැඩිකරත් සමහරු ගන්නවා. ඒ තරමට ඇබ්බැහිවෙලා. ඒත් ගන්න නෑ.
හැමදේම කලින් අරන් තියන නිසා කිරිපිටි ගැටලුවක් නෑ
මනෝ බුද්ධිනී වර්ණකුලසූරිය (48) (හිටපු හිල්ටන් සූපවේදී ලේකම්)
අපි නම් භාවිත කරන්නේ ලංකාවෙ ෆ්‍රෙෂ් මිල්ක්. දේශීය කිරිපිටි; අඹේවෙල. සුපර් මාකට් වලින් මම කලින් වැඩි ප්‍රමාණයක් නිවසේ ස්ටොක් කරලා තියනවා. වෙනත් කිරි පිටිත් මා නම් ගෙනත් තියා ගන්නවා. කිරිපිටි බොන්න පුරුදු වූ අයට නැතුවම බෑ. කිරිපිටි විතරද කහ, හාල්, සීනි, සිමෙන්ති, තිරිඟුපිටි, ගෑස් ඇතුළු බොහොමයක් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගිහින්. ඒ විතරක් නෙමෙයි වැඩි මිලට ගන්නත් නෑ. අද කාලේ කොරෝනා මදිවට කන්න බොන්නත් නැතුව දුප්පතා දුක් විඳිනවා.
කිරිපිටි පුරුදු වූ අය අනාථයි
ජුමාරක් අලි (46) මාලිගාවත්ත (කමියුනිකේෂන් හිමිකරු)
කිරිපිටි පමණක් නෙමෙයි එදිනෙදා ආහාරපාන බොහොමයක් මිල අධිකයි. ජනතාව කබලෙන් ලිපට වැටිලා තියෙන්නේ. සමහර කඩවල කිරිපිටි 50gක් රු. 60ට විකුණනවා. කේක් හදන පිටිත් දැන් පිටිකිරි කියලා විකුණනවා. පිටිවලට පුරුදු වූ අයට කිරිපිටි නැතුව බෑ. දුප්පත් ජනතාවට වැලේ වැල් නෑ. බඩු මිල අඩු නෑ. ඒ මදිවට බඩු ගන්නත් නෑ. තියන මිනිහා ස්ටොක් කර ගන්නවා. නැති මිනිහට හුළං. කඩහිමියා ස්ටොක් කරගෙන වැඩි මිලට විකුණලා ලාබ ගන්නවා. කොරෝනාවෙන් මදිවට බඩු මිල ඉහළ යාම, වෙළෙඳපළේ භාණ්ඩ හිඟය නිසාත් ලංකාවෙ නම් බොහෝ සාමාන්‍ය ජනතාව කිව නොහැකි දුෂ්කරතාවලට අර්බුදවලට මුහුණපාලා තියනවා.
ලංකාවත් ඉන්දියාව වගේ ස්වයංපෝෂිත කළ යුතුයි
අමතුල්ලා ෂරිෆ්ඩීන් (28) දෙමටගොඩ (ඡායාරූප ශිල්පිනි)
මගේ උපන්ගම ඉන්දියාවෙ චෙන්නායි. කොරෝනාව ඉන්දියාවටත් ලංකාවටත් එක වගේ බලපෑවත් භාණ්ඩ මිල හා භාණ්ඩ පැතිරීම ගැන බලද්දි මේ රටවල් දෙක අහසට පොළව වගේ. ඉන්දියාවෙ හැම දෙයක්ම නිෂ්පාදනය කරනවා. ස්වයංපෝෂිත ආර්ථික රටාවක් තියනවා. ඒ නිසා භාණ්ඩ හිඟයක් නෑ. මිල වැඩිත් නෑ. අපි එහේ බොන්නේ දියර කිරි. ෆ්‍රෙෂ් මිල්ක් අඩුවක් නෑ. හැම ගෙදරකම මෙහේ රට කිරිවලට හුරුවෙලා. අපි ලංකාවේ දේශීය කිරි බොන්නේ. ඒවත් ටිකක් අඩුවන වෙලාවල් තියනවා.