ජල­භී­ති­කාව භීති­කා­වක් නොවී­මට නම් | Page 2 | සිළුමිණ

ජල­භී­ති­කාව භීති­කා­වක් නොවී­මට නම්

 

ලභීතිකා රෝගයට ගොදුරු වුවහොත් මරණයෙන් ගැලවීමක් නැත. නමුදු අපේ රටේ වැඩිදෙනකු ජලභීතිකාව රෝගය ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැත. මිනිසුන්ට වැඩි වශයෙන් ජලභීතිකාව ශරීරගත කෙරෙන සුනඛයන් නිසි කලට එන්නත් කිරීමටවත් උනන්දුවක් දක්වන්නේ නැත.

ජලභීතිකාව වැලඳෙන්නේ වයිරසයක් මගිනි. මෙම වයිරසය රුධිරයට හෝ ශ්ලේෂ්මල පටලවල තැවරීමෙන් ශරීරගත වන අතර එය වාතයෙන් හෝ සුළඟින් ශරීරගත නොවේ. මෙම වයිරසය ශරීරගත වී බිජෞෂණ කාලයේදී පමණක් ප්‍රතිකාර කළහොත් එහි සාර්ථකත්වයක් ලබා ගත හැකිය. බිජෞෂණ කාලය සපා කෑ හෝ සීරිමක් හෝ තුවාලයක කෙළ තැවරීමක් සිදු වූ ස්ථානය අනුව වෙනස් වේ. නිදසුනක් ලෙස මොළයට ආසන්න මුහුණ හෝ ගෙල ප්‍රදේශයේ සපා කෑමක් සිදු වූයේ නම් මොළයට හානි වීම ඉක්මනින් සිදුවේ. ඇතැම් විට දීර්ඝ කාලයකින් පසුව රෝග ලක්ෂණ පහළ වන විට රෝගියාට තමා සතකුගේ සපා කෑමකට හෝ සීරීමකට ලක් වූවාද යන්න පවා අමතක වී තිබිය හැකිය. බිජෞෂණ කාලයෙන් පසුව තියුණු තුඩකින් අනින ආකාරයේ වේදනාව, උණ, වමනය, හිසරදය, වෙහෙස, ආහාර අරුචිය, උගුරේ වේදනාව වැනි රෝග ලක්ෂණ මතු වේ.

මෙහි උච්ච අවස්ථාවේදී උගුරේ වේදනාව වැඩි වී ගිලීමේ අපහසුව, ජලයට ඇති බිය, මොළයේ ඉදිමීම, කම්පනය, ශ්වසන අපහසුතා, පේශිවල ක්‍රියාකාරිත්වයේ අඩුවීම, කලහකාරි ලෙස හැසිරීම, උමතු බව වැනි රෝග ලක්ෂණ පහළ වේ. මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ වයිරසය ශරීරගත වී මධ්‍ය ස්නායු පද්ධතියට හා මොළයට හානි වීමෙන් අනතුරුව ශරීරයේ අනෙකුත් අවයවවලට ද හානි වීමෙනි. ජලභීතිකා එන්නත ලබා නොදුන් සතකුගේ සපා කෑමකට හෝ සීරිමකට ලක් වූ විට එම ස්ථානය සබන් ගා සෝදා හැකි ඉක්මනින් රජයේ රෝහලකට යෑමට උපදෙස් දෙනු ලබන්නේ ජලභීතිකාව බිජෞෂණ කාලයේදී පමණක් ප්‍රතිකාර කිරීමෙන් මැඬ පැවැත්විය හැකි නිසාය.

“ජලභීතිකාව මිනිසුන්ට වැලඳෙන්නේ ක්ෂීරපායි සතුන්ගෙන්. ක්ෂීරපායි සතුන් කිව්වාම බල්ලන්, පූසන්, මුගටියන්, හෝතඹුවන්, ගවයන්, එළුවන්, වවුලන් වැනි කිරි බී වැඩෙන සතුන් අයත් වෙනවා. ඒත් මනුෂ්‍යයන්ට ජලභීතිකාව වැලඳීම 98% ක්ම සිද්ධ වෙලා තියෙන්නේ බල්ලන්ගෙන්. සතුන්ට හැදෙන ජලභීතිකාව ගොළු පිස්සුව හා වියරු පිස්සුව වශයෙන් දෙයාකාරයි. වියරු පිස්සුවේදී සෙම වැගිරීම, ඇස් රතුවීම, අසාමාන්‍ය හැසිරීම වැනි ලක්ෂණ පෙන්වනවා. ඉදිරියට හමුවන අයව සපාකෑමට පෙලඹෙනවා. ආහාර ගැනීම නවත්වනවා. වියරු පිස්සුව පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. ඒත් ගොළු පිස්සුව හඳුනාගන්න අමාරුයි. ගොළු පිස්සුවේදී අඳුරු තැන්වල සැඟවීමට උත්සාහ කරනවා. අන්‍යයන්ගේ අනුකම්පාව ලබා ගැනීමේ ස්වභාවයක් පෙන්නුම් කරනවා. ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ප්‍රචණ්ඩත්වයක් පෙන්වන්නේ නැහැ. කොහොම වුණත් ජලභීතිකාව වැලඳුණු සතෙක් දින 14ක් ඇතුළත මිය යනවා.“ යනුවෙන් විස්තර කළේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාවේ විශේෂ ශ්‍රේණියේ මහජන සෞඛ්‍ය පරීක්ෂක උපාලි ගුණවර්ධන ය.

සුනඛයන්ට ජලභීතිකා එන්නත් ලබා දීමෙන් සුනඛයන් ජලභීතිකා රෝගයට ගොදුරු වීම වළක්වා ගත හැකිය. එමගින් මිනිසුන් ජලභීතිකා රෝගයට ගොදුරු වීම පාලනය කර ගත හැකිය.

සුනඛයන්ට නොමිලේ ජලභීතිකා එන්නත්කරණය ආරම්භ වූයේ 1959 වර්ෂයේදී ය. එය සිදු කළේ 1953 වසරේ පිහිටුවනු ලැබූ පශු මහජන සෞඛ්‍ය ඒකකය මගිනි. එය 1959 - 1963, 1976 - 1980 සහ 1981 - 1985 යනුවෙන් පස් අවුරුදු වැඩපිළිවෙළ තුනකින් ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකාවේ වැඩිම ජලභීතිකා මරණ වාර්තා වූයේ 1973 වර්ෂයේදීය. එම සංඛ්‍යාව 377 කි. ඒ අනුව ජලභීතිකාව මර්දනය සඳහා පළාත් පාලන ආයතනවල සහයෝගයෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් විවිධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ අනුව ජලභීතිකා රෝගයට ගොදුරු වීමෙන් සිදුවන මානව මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකි වී තිබේ. 2020 වර්ෂයේ සිදු වූ මානව මරණ සංඛ්‍යාව 31 කි. 2021 අගෝස්තු 31 වැනි දින වන විට පමණක් ජලභීතිකාව වැලඳීමෙන් 17 දෙනෙක් මරණයට පත් වී ඇත. ඉන් 5 ක්ම වාර්තා වන්නේ යාපනයෙනි. ගම්පහින් වාර්තා වන මරණ ගණන 4 කි.

“අද ජලභීතිකා මානව මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමට හැකි වී තිබෙනවා. ඒත් ජලභීතිකාවට ගොදුරු වී මිය යන බල්ලන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. ගෘහාශ්‍රිත බල්ලන්ව නිසි කලට එන්නත් විදලා අයාලේ යෑමට ඉඩ නොදී ආරක්ෂා කරනවා නම් මෙය පාලනය කරන්න පුළුවන්. මිනිසුන්ගේ දැනුම්වත් වීමත් බුද්ධිමත්ව කටයුතු කිරීමත් ඉතා වැදගත්. ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයෙන් පෙන්වා දෙන්නේ රටක සුනඛයන්ගෙන් 70% ක් එන්නත් කළොත් මානව මරණ 0 කරගන්න පුළුවන් කියලා“ යනුවෙන් සඳහන් කළේ ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, පශු වෛද්‍ය එරන්දික ගුණවර්ධන ය.

ජලභීතිකාව වැළැක්වීමේ අරමුණින් සුනඛයන්ගේ එන්නත්කරණය සිදු කෙරෙන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසිනි. ඒ සඳහා මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාවෙ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 25 දෙනෙක් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි කටයුතු කරති. පශු එන්නත් ක්ෂේත්‍ර සහකාරවරු ඊට සහය වෙති.

“කොවිඩ් වසංගතය සමඟ සුනඛයන් එන්නත් කිරීමේ වැඩසටහන් සම්පූර්ණයෙන්ම නැවතිලා. පශු වෛද්‍ය සේවාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්වත් කොවිඩ් කටයුතුවලට සම්බන්ධ කරගෙන. කොවිඩ් වසංගතය යම්තාක් දුරට පාලනය වුණාම මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ව නිදහස් කරනවා නම් හොඳයි. ඒ වගේම එන්නත්කරණ කටයුතු සඳහා අවශ්‍ය වාහන පහසුකම් සපයා දීමට අදාළ පළාත් පාලන හෝ ප්‍රාදේශීය සභා ආයතනවල බලධාරීන් උනන්දු වෙනවා නම් ගොඩාක් හොඳයි.“ යනුවෙන් මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාවේ විශේෂ ශ්‍රේණියේ මහජන සෞඛ්‍ය පරීක්ෂක උපාලි ගුණවර්ධන සඳහන් කළේය.

ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, පශු වෛද්‍ය එරන්දික ගුණවර්ධන පැවසුවේ ජලභීතිකාව තුරන් කිරීම සඳහා සුනඛයන් එන්නත් කිරීමේදී ජලභීතිකාව වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති ප්‍රදේශ ගැන දත්ත ලබා ගැනීමේ අඩුපාඩුවක් පවතින බව ය. සුනඛයකු මිය ගිය විට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට රැගෙන එනු ලබන හිස පරීක්ෂා කිරීමෙන් ජලභීතිකාව වැලඳී තිබේද නැතිද යන්න තහවුරු කෙරෙන නමුත් එයින් ලංකාවේ බහුලව ව්‍යාප්ත වී ඇති ප්‍රදේශ ගැන නිවැරදි තොරතුරු ලබා ගත නොහැකි බව ඔහු පැහැදිලි කළේය.

“ත්‍රිකුණාමලයේ කෙනෙක් බල්ලාගේ ඔළුව අරන් කොළඹ එන්නේ නැහැනේ. ඒනිසා ජලභීතිකාව හැදුණු සුනඛ හිස්වලින් අපිට ජලභීතිකාව වැඩි වී තිබෙන ප්‍රදේශ නිවැරදිව හඳුනාගන්න බැහැ. ඒනිසා මිය ගිය බල්ලන්ගේ හිස් පරීක්ෂා කරන විද්‍යාගාර පළාත් මට්ටමින් පුළුල් කරනවා නම් ගොඩාක් හොඳයි. දැනටමත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයිති විද්‍යාගාර පළාත් මට්ටමින් තිබෙනවා. ඒ ඒ පළාත්වල කුකුළන්ගේ ලෙඩ, හරකුන්ගේ ලෙඩ ගැන පරීක්ෂණ කරන්නේ සතුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන්නේ මේ විද්‍යාගරවල. ඒ නිසා ජලභීතිකාව පරීක්ෂා කිරීමේ කටයුත්තත් මේ විද්‍යාගාරවලට බාර දුන්නා නම් නිවැරදි දත්ත ලබා ගැනීමට පහසුයි. එය සුනඛ එන්නත්කරණයට හොඳ මඟ පෙන්වීමක්“ යනුවෙන් ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, පශු වෛද්‍ය එරන්දික ගුණවර්ධන සඳහන් කළේය.

මේ වන විට මැරුණ සුනඛයන්ගේ හිස් පරීක්ෂා කර ජලභීතිකාව වැලඳී ඇතිද නැතිද යන්න පරීක්ෂා කෙරෙන්නේ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය හා කරාපිටිය ශික්ෂණ රෝහලේ පමණි. එය පළාත් මට්ටමින් පුළුල් කිරීමේ අවශ්‍යතාව පැන නඟින්නේ එබැවිනි.

ජලභීතිකාව තුරන් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ද දැන් මැදිහත් වී සිටියි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජලභීතිකාව තුරන් කිරීමේ පස් අවුරුදු සැලැස්මේ පශු වෛද්‍ය අංශයේ උපදේශක ලෙස කටයුතු කරන්නේ මහාචාර්ය අශෝක දංගොල්ල ය. මේ සම්බන්ධයෙන් ඔහුගෙන් අදහස් විමසුවේ එබැවිනි.

“අද වන විට ජලභීතිකාව ගැන මිනිස්සු දැනුම්වත් වී සිටිනවා. බල්ලෙක් හපපු ගමන් බල්ලා ගෙදරට යන්න ඉස්සෙල්ලා මිනිහා ඉස්පිරිතාලේට දුවනවා. එය ඉතාමත් හොඳ දෙයක්. දැන් බලන්න අවුරුදු 3 කින් මහනුවර කිසිම කෙනෙක් ජලභීතිකාවෙන් මැරුණේ නැහැ. හැබැයි මහනුවර ජලභීතිකාවට ගොදුරු වුණු බල්ලො 60 කට වැඩිය ඉන්නවා. ඒ කියන්නේ මේ බල්ලො කාවවත් කෑවේ නැහැ කියලා නෙමෙයි. හපපු ගමන් රෝහල්වලට යන්න ඒ අය පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම තමයි අපේ සෞඛ්‍ය සේවාව ජලභීතිකාවට ප්‍රතිකාර කිරීමට සැදීපැහැදී ඉන්නවා. ඒ සඳහා ඖෂධ ඕනෑතරම් ගෙන්වලා තිබෙනවා. මානව ජලභීතිකාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා වගේම බල්ලන්ගේ ජලභීතිකාව නැති කිරීමටත් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි. ඒත් එහි පසුගාමි ස්වාභාවයක් තමයි පෙනෙන්නේ. මෙතනදි පොළොන්නරුවෙ වැඩ කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ. එයා උදේ 7.00 ඉඳලා තනියම වැඩ කරනවා. බල්ලන්ව එන්නත් කරන වැඩේ එයාගේ උනන්දුවෙන් කරනවා. මම පොළොන්නරුවෙ ජලභීතිකාව ගැන සොයා බලපුවාම කැලෑ කුට්ටි ඉඩම් ආශ්‍රිතව තමයි බල්ලන්ට ජලභීතිකාව හැදුණේ.

ඊට හේතුව කැලෑවේ ඉන්න පිස්සු හැදුණු සත්තු ගමේ බල්ලන්ව හරකුන්ව සපාකෑම. ගිය අවුරුද්දේ මිල්ලනිය ප්‍රදේශයේ නරි ගමට ඇවිත් මිනිසුන් හපා කෑවා කාටත් මතක ඇති. ඒ නිසා කැලෑ සතුන්ට මස්වලට දාලා මුඛ මාර්ගයෙන් හෝ ජලභීතිකා එන්නත් දීමේ වැඩපිළිවෙළක් අවශ්‍යයි. අනික් වැදගත් කාරණය තමයි ලංකාවේ බලු ගහනය සහ ඒ බල්ලන් කීදෙනකුට ජලභීතිකා එන්නත් ලබා දුන්නාද කියලා දැනගන්න ක්‍රමයක් නැහැ. ආණ්ඩුවෙන් එන්නත් දෙන විට ඒවා වාර්තා වෙනවා. ඒත් ලංකාවේ කොයි තරම් පුද්ගලික සත්ව සායන තිබෙනවාද? ඒ පුද්ගලික සායනවල දවසකට ජලභීතිකා එන්නත් කොයි තරම් විදිනවාද? ඒත් ඒ තොරතුරු වාර්තා වෙන ක්‍රමවේදයක් නැහැ. ඒනිසා පුද්ගලික අංශයේ ජලභීතිකා එන්නත් ලබා දීමේ තොරතුරු රජයට සම්බන්ධ කළ හැකි ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා. කොහොමටත් ජලභීතිකා එන්නත්කරණයේදී සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අතර කඹ ඇදිල්ලක් තිබෙනවා. කඹ ඇදිලි තියාගෙන ජලභීතිකාව තුරන් කරන්න බැහැ. ජලභීතිකාව තුරන් කළ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කරන සහතිකය ගන්න නම් අනිවාර්යයෙන් පශු වෛද්‍යවරුන්වත් මේ වැඩේට සම්බන්ධ කරගන්න වෙනවා.“ යනුවෙන් පශු සායනික විද්‍යා මහාචාර්ය අශෝක දන්ගොල්ල විස්තර කළේය.

 

Comments