
සිතේ සවියෙන් තම දෛවයට අභියෝග කළ රත්මලේ දෙව්මි රන්සරා අද රටේ ප්‍රමුඛ චරිතයක් බවට පත්ව ඇත්තේය. ඒ මෙවර අ. පො. ස. (සා.පෙළ) විභාගයෙන් ඇය පෙනී සිටි සියලු විෂයන්ට විශිෂ්ට සමාර්ථ්‍යයන් (A) ලබාගනිමින් පෙන්වා ඇති අපූරු දක්ෂතාව නිසාය.
විශේෂ අවශ්‍යතා සහිත දියණියක වන රත්මලේ කටුකරුඳුගහහේනේ පදිංචි දෙව්මි රන්සරා කුලතුංග රාපක්ෂ දියණිය මෙලොව එළිය දකින්නේ 2004 ජූලි මස 02 වැනි දින මාතර මහ රොහලේදීය. ඒ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරියකුවූ මහින්ද කුලතුංග රාජපක්ෂ හා ගුරුවරියකවූ කුසුමිණි අබේගුණවර්ධන යුවළගේ කුලුඳුල් දියණිය ලෙසිනි.
දරුවෙකු ඉපදී වසරක් ගතවෙද්දී දෙපයින් නැගිටින්නටත්, ඉඳගන්නටත් උත්සාහ ගත්ත ද දෙව්මිගෙන් එවන් ලක්ෂණයක් පෙනෙන්නට නොලැබීම දෙමාපියන් තුළ ඇති කළේ බියකි; සැකයකි. මහින්ද හා කුසුමිණි යුවළ වහා තම කුලුඳුල් දියණිය මාතර මහ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වූයේය. ඒ තම දයාබර දියණියට කුමක් හෝ අසාමාන්‍යතාවක් ඇතිවී තිබේද යන්න සැකහැර දැනගන්නටය. සිදුවූයේ
![]() |
දෙව්මි ගෙදරදී පාඩම් වැඩ කරන අයුරු. |
වෛද්‍යවරයාගෙන් බැණුම් අසන්නටය. ඒ දෙමාපියන්ට ඕන විදියට දරුවන් ඇවිදින්නේ නැතැයි පවසමිනි.
තවත් මාස හයක් ගතවෙමින් දෙව්මිගේ වයස අවුරුදු එකහමාරක් වෙද්දී ද දෙව්මිගේ පාදවල චලනයන් නැති වීම මව්පියන්ට ඇති කළේ බියකි. ඔවුන් නැවත මාතර මහ රෝහලේ සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකුට යළි දෙව්මි පෙන්වූව ද බාහිර පරීක්ෂාවන් පමණක් සිදු කළ වෛද්‍යවරුන් මුල් වෛද්‍යවරයා සේම දොස් පවරා දරුවා නැගිටින තෙක් ඉවසන්නයි දැන්වූයේය.
දෙව්මිට වයස අවුරුදු දෙකක් සම්පූර්ණවුව ද ඇය ඇවිදින්ට හෝ ඉඳගන්නට උත්සාහ නොකිරීම පිළිබඳ දෙමාපියන් තුළ බිය සැක වැඩිවෙද්දී කාගේත් කීමට දෙව්මි යළිත් වරක් කොළඹ ගෙනගොස් පෙරකී ජනප්‍රිය ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයාට පෙන්වූ අතර මුල් අවස්ථාවේ මෙන් නොව දෙව්මි පිළිබඳ විශේෂ පරීක්ෂාවක් සිදුකළ වෛද්‍යවරයා ඇය මුළු ශරීරයටම බලපාන සුසුම්නාව ආශ්‍රිත ස්නායුවක දුර්වලතාවක් හේතුවෙන් මෙම තත්ත්වයට පත්ව ඇති බව හඳුනා ගත්තේය.
රෝහල්වලත්, වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන වලත් වසරේ වැඩි කාලයක් ගෙවමින් සිටියදි දෙව්මිට අවුරුදු පහක් සම්පූර්ණවද්දී පාසල් යන්නට ඇය තුළ මහත් ආසාවක් ඇතිවූවාය.
අධ්‍යාපනය ලබන්නට දෙව්මි ඇතුළත් කෙරුණේ රත්මලේ සද්ධර්මරාජ මහා විද්‍යාලයටය. විදුහල්පති ආරියසේන ගමගේ ගෙන් හා ගුරු මණ්ඩලයේ ආදරයද දෙව්මිට නොඅඩුව ලැබුණි. එය දෙව්මිගේ දුබල ගතට දිරියක් එක්කළ කදිම අවස්ථාවක් විය.
දෙව්මිගේ මව ඒ වන විට සේවය කරමින් සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසලකවූයෙන් දෙවිමි පාසල් ගෙන යාම හා නැවත රැගෙන ඒම සිදු කළේ දයාබර පියාණන් විසිනි. ඔහු තම දියණිය කුඩා දරුවකු මෙන් වඩාගෙන දිනපතා පාසලට රැඟෙන ආවේය. දෙව්මිගේ ආච්චිලා, නැන්දලා, පාසලේ සිටි කුෂානි දුවගේ මව, රංජනී අක්කා දෙව්මිගේ ආරක්ෂාව හා රැකවරණය වෙනුවෙන් ඉහළ සහායක් ලබාදුන්නාය. එය දෙව්මිගේ දෙමවිපියන්ට මහා අස්වැසිල්ලක් විය. ඉගෙනුමට මනා දක්ෂතාවයන් පෙන්නුම් කළ දක්ෂතාව දුටු එවක දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි චන්දිමා රාසුපුත්‍ර ඇයට දෙන සහායක් ලෙස සිය මවට එම පාසලටම ස්ථාන මාරුවක් ලබා දුන්නේය. එය දෙව්මිගේ අධ්‍යාපනයට මෙන්ම එදිනෙදා ජීවිතයට ද එක්කළේ මහා ශක්තියකි.
2014 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දෙව්මි තම සිතේ සවිය කදිමට පෙන්නුම්කරමින් ලකුණු 177 ක් ලබා ගනිමින් සමත් වූවාය. අනේකවිධ කැපකිරීම් කළ දෙමව්පියන්ට මෙන්ම විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයට ද එය සිත් පිරීගිය මහා සතුටක් විය.
“දෙව්මි දුවට පුංචි සිරුරක් තිබුණත් ඇයට තිබුණේ ශක්තිමත් හිතක්. ශිෂ්‍යත්වය සමත් වුණාට පසු දෙව්මිගෙ අම්මා ඇවිත් මගෙන් ඉල්ලීමක් කළා දුවට උඩ තට්ටුවේ පන්ති කාමර වලට යන්න බෑ. පහළ පන්ති කාමරයක් හයේ පන්ති ළමයින් වෙනුවෙන් දෙන්න කියා. මම එම ඉල්ලීම ඉටු කළත් පන්ති කාමරයේ ආරක්ෂිත දැල් ගසා හෝ විදුලිය සපයා තිබුණේ නෑ. දිනක් පාසලට පැමිණි ඩලස් අලහස්පෙරුම ඇමතිතුමා දෙව්මි ගැන අසා සතුටට පත්ව සිය විමධ්‍යගත මුදල්වලින් දෙව්මි වෙනුවෙන් පන්තිය අලුත්වැඩියා කර ආරක්ෂිත හා පහසුකම් සහිතව සකස් කර දුන්නා. එතැන් සිට 11 ශ්‍රේණිය වනතෙක්ම දෙව්මි ඉගෙනගත්තේ එම පන්තියේ. අනෙක් දරුවන් සියලුම දෙනාත් ඒ වෙනුවෙන් කැපවීමක් කළා. දෙව්මි දුව විභාගයට පෙනීසිටීමට ටික දිනකට පෙර මම විශ්‍රාම ගත්තා. ඒත් මේ ආරංචිය ලැබුණු පසු මට පුදුම සතුටක් දැණුනා” විශ්‍රාමික විදුහල්පති ආරියසේන ගමගේ පැවසුවේය.
ශිෂ්‍යත්වය සමත්වූ දෙව්මි තවදුරටත් රත්මලේ සද්ධර්මරාජ මහා විද්‍යාලයේම රැඳී සිටි අතර සාමාන්‍ය පෙළ දක්වාම කිසිදු උපකාරක පන්තියකට සහභාගී නොවූවාය. මව්පියන්ගේ කැපවීමත්, ගුරු දෙමාපියන්ගේ මඟපෙන්වීමත් මත 2020 අ. පො. ස. (සා.පෙළ) විභාගයට පෙනී සිටි දෙව්මි ඇය පෙනී සිටි සියලු විෂයන් සියල්ලට A සමාර්ථ ලබාගනිමින් විශිෂ්ට ලෙස සමත්වූවාය.
දෙව්මිට මල්ලිලා දෙදෙනෙකු ද සිටින අතර ඔවුන් ද ශිෂ්‍යත්ව විභාගය සමතුන්ය. දිනුක කුලතුංග රාපක්ෂ (13) මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අට ශ්‍රේණියේ හා සිතුක කුලතුංග රජපක්ෂ (11) රත්මලේ සද්ධර්මරාජ මහා විද්‍යාලයේ හය ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටිති.
“අපිට අපේ රත්තරන් දුව ලොකු සතුටක් ගෞරවයක් ගෙන ආවා. එය අපිට පමණක් නොවෙයි පාසලටත්, මාතර අධ්‍යාපන කලාපයටත් ගෙන ආ ලොකු ගෞරවයක්. දුවගේ ජයග්‍රහණය ආරංචි වී ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා අපේ ගෙදරටම ඇවිත් දුව වෙනුවෙන් අවශ්‍ය කටයුතු සොයාබලා සද්ධර්මරාජ මහා විද්‍යාලයේම උසස්පෙළ වාණිජ අංශයෙන් හදාරන්න අවශ්‍ය කටයතු සකසා දෙන්න පියවර ගත්තා. එතුමා හැමදාම තාත්තා කෙනෙක් වගේ දුව ගැන සොයා බලා උදව් කළා. අපේ දුවට මේ තැනට ආ ගමනේදී උදව් කළ, සොයාබලා රැකවරණය දුන් සැමට ස්තූතිය පුදකරනවා” දෙව්මි රන්සරාගේ මව වූ කුසුමිණි අබේගුණවර්ධන පැවසුවාය.
“කුඩා කල සිට දෛවයට අභියෝග කරමින් තම ජීවිතය ජයගන්න උත්සාහවන්ත වූ දෙව්මි රන්සරා දුව අපේ කලාපයට ආඩම්බරයක්. ඇයට පවුලෙන් ඊට ලොකු දිරියක්, ශක්තියක් ලැබුණා. ඇය ශිෂ්‍යත්ව විභාගයෙන් මෙන්ම සාමාන්‍යපෙළ විභාගයෙන් ද ජයගත්තේ අන් හැමටම ආදර්ශයක් දෙමින්” මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඔමිනි මුදලිගේ පැවසීය.
තම ජයග්‍රහණය පිළිබඳ දෙව්මි රන්සරා මෙලෙස පැවසුවාය. “මම ගණිත අංශයෙන් උසස්පෙළ කරන්නයි හිටියේ. මම ආරම්භක පන්තිවලටත් ගියා. ඒ සඳහා ගොඩාක් මහන්සි වෙන්න ඕන නිසා මම වාණිජ අංශයෙන් උසස්පෙළ කරන්න තීරණය කළා. ඒ අපේ පාසලේදීමයි. ඒ සඳහා පහසුකම් සකසා දෙන්නම් කියා ඩලස් ඇමතිතුමා කීවා. මම කිසිම උපකාරක පන්තියකට ගියේ නෑ. ඉස්කෝලෙන් දෙන වැඩ ටිකයි පෙළපොත් ටිකයි හොඳට බලාගත්තා. උසස්පෙළෙනුත් ජයගන්නයි මගේ බලාපොරොත්තුව”