
සුරවිරආරච්චිගේ ගිම්හාන විමුක්ති (16) හැවිරිදි වියේ පසුවු පාසල් සිසුවෙකි. ඔහු ගාල්ල රිචිමන්ඩ් විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබමින් සිටියේය. ගිම්හාන මෙවර අ.පො. සා පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සූදානමින් සිටියේය. ගිම්හාන පවුලේ දෙවැනි දරුවාය. ඔහුගේ වැඩිමහල් සහෝදරයා දෙනෙත් විමුක්ති ඉකුත් වර්ෂයේ අ.පො.ස උසස්පෙළ විභාගයට පෙනී සිට මෙවර ද දෙවැනි වතාවට උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සූදානමින් සිටියේය.
ඔහු අකුරු කරන්නට ගියේ ගාල්ල මහින්ද විද්‍යාලයටය. ගිම්හානගේ එකම නැඟණිය 11 හැවිරිදි වියේ පසු වූ විශේෂිත දැරියකි. පියා රාජ් කුමාර (49) වැලිගම ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ආයතනයක වැද්දුම්කරුවකු ලෙස සේවය කරන්නේය. මව අනුෂා නදිෂානිද සොයිසා (38) රැකියාවක් නොකළ අතර නිවස ඉදිරිපිට වෙළෙඳසැලක් පවත්වාගෙන යනු ලැබුවාය.
මොවුන් ගාල්ල සියඹලාගහවත්ත මහමෝදර ප්‍රදේශයේ පදිංචිව සිටියහ. ගිම්හාන මෙවර අ.පො.ස සා පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි බැවින් තම පුතුගේ අධ්‍යාපන කටයුතු ගැන ගිම්හානගේ පියා නිරන්තරයෙන් සොයා බැලුවේය. ඇතැම් අවස්ථාවලදි තම පුතුට අවවාද කිරිමට ද හේ කටයුතු කළේය. පුතේ විභාගය හොඳට සමත්වෙන්න හේ නිරන්තරයෙන් තම පුතුට කීවේය.
ගිම්හාන පුතුගේ පියාගේ එකම බලාපොරොත්තුව වුයේ තම දරුවන්ගේ අනාගතය සැපවත් කිරීමය. ඔහු ඒ වෙනුවෙන් කටයුතු කළේය. ඉතා දුක්මහන්සියෙන් උපයන මුදලින් දරුවන්ට කිසිදු අඩුපාඩුවක් නොමැතිව අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය කටයුතු ගිම්හාන්ගේ පියා ඉටු කළේය. ගිම්හාන්ගේ මව ද පවුලේ ආර්ථික බර ලිහිල් කිරිම සඳහා කටයුතු කළාය. දරුපවුලේ බඩ වියත රැකගැනීම සඳහා ඇයද දැඩි සටනක නිරතව සිටියාය.
ගිම්හාන විමුක්ති අහිසංක දරුවෙක් වුව ද ඇතැම් විට මුරණ්ඩු ලෙස කටයුතු කළේය. ඇතැම් දිනවල හේ මාර්ගගත අධ්‍යාපන කටයුතුවල නිරත වූයේ නැත. පුතේ ඇයි ඔයා ඔන්ලයින් පන්තිවලට යන්නේ නැත්තේ. ඉගෙන ගත්තු දේ තමයි අන්තිමට ඉතිරිවන්නේ ගිම්හාන්ගේ පියා රාජ් කුමාර කියන්නේය. ඇතැම් දිනවල ගිම්හාන් ඔන්ලයින් පන්තිවලට සහභාගී නොවී පරිගණකයේ ගේම් ක්‍රිඩාවේ නිරතවෙමින් සිටියේය. දිනය ඉකුත් 30 වැනිදාය වෙලාව පස්වරු 2.30ට පමණ වන්නට ඇත. එදින ගිම්හාන්ගේ පියා රැකියාවට නොගොස් නිවසට වී සිටියේය. ගිමිහාන් පරිගණකය අසලට වී ගේම් ක්‍රිඩාවේ නිරත වෙමින් සිටියේය. පුතා ඔයාගේ වැඩේ ගේම් ගහන එක විතරයි. ඔන්ලයින් පන්තිවලට යන්නේ නැහැ. මොනවාද ඔයා කරන්නේ ගිම්හාන්ගේ පියා කේන්තියෙන් කීවේය. ගිම්හාන්ද පියා දුන් අවවාදය ගණන් නොගෙන නොරිස්සුම් ස්වරූපයෙන් තම කාමරය වෙත ගියේය. ගිම්හාන්ගේ පියාට හොඳටම කේන්ති ගියේය.
කරදණ්ඩ උස්මහත්වන විට අපි කියන එවා ගණන් ගන්නේ නැහැ. එසේ කියමින් ගිම්හාන්ගේ පියා නිවසේ තිබූ කොහු මිටෙන් ගිම්හාන්ට පහර දුන්නේය. ගිම්හාන්ගේ මව මැදට පැන එම පහර වැළැක්වීමට කටයුතු කළේය. එහෙත් කොහු මිට වැදුණේ ගිම්හාන්ගේ හිසටය. ගිම්හාන්ගේ පියා මෙය කිසි ලෙසකින්වත් බලාපොරොත්තුවූ දෙයක් නොවීය. ඔහු එල්ල කළ පහර ගිම්හාන්ගේ හිසට වැදුණේය. ගිම්හාන් කාමරයේ තිබු ඇඳ මත හාන්සිවී ටික වෙලාවක් සිටියේය.
අම්මේ මගේ හිසි හිරිවැටීගෙන එනවා ගිම්හාන් කීවේය. ඒ සමඟ ගිම්හාන් සිහිසුන් විය. ගිම්හාන්ගේ මව තම පුතු ත්‍රිරෝද රථයකින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යනු ලැබීය. ගිම්හාන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබීය. ඒ වනවිට ඔහු ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටියේය. ගිම්හාන්ගේ ජිවිතය බේරාගැනීම සඳහා රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය දැඩි උත්සාහයක් ගනු ලැබීය. එහෙත් එම උත්සාහය සාර්ථක නොවීය. ගාල්ල මහමෝදර සියඹලාගහවත්ත ප්‍රදේශයම හඬවා ගිම්හාන් සිසුවා යළි නොඑන ගමනක් ගියේය. සැබවින්ම ගිම්හාන්ට මරණිය තුවාලයක් කිරිමට ගිම්හාන්ගේ පියාට අවශ්‍ය නොවීය. නමුත් අවසානයේ පියාගේ කොහු මිටි ප්‍රහාරයෙන් ගිම්හාන්ට සිය ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය. මම පුතාට පාඩම් කරන්න කිවා. ඔහු මාව ගණන් ගත්තේ නැහැ. මට කෙන්ති ගියා. කොහුමිට අරගෙන ගිහින් එකක් ගැසුවා පසුව පුතා සිහිසුන්වුණා. ගිම්හාන්ගේ පියා වන රාජ් කුමාර පොලිසියට එසේ පවසා තිබුණි.
මේ දරුවාගේ තාත්ත හරි අහිංසකයි. පාඩම් නොකරපු නිසා තමයි තාත්තා ගහලා තියෙන්නේ. අත්වැරදීමක් තමයි වෙලා තියෙන්නේ තාත්තා තවම දන්නේ නැහැ දරුවා මිය ගියා කියලා. පොලිසිය ඇවිත් තාත්තා රැගෙන ගියා. පිටට තමයි ගහලා තියෙන්නේ කරුමය තමයි කියන්නේ මෙය හිතාමතා කරපු දෙයක් නෙවෙයි යැයි මියගිය සිසුවගේ ඥාතිවරයකු වන විරක්කොඩි ලසන්ත නැමැත්තා එසේ කිවේය. ලෝක ළමා දිනය යෙදි තිබුණේ ඔක්තෝබර් මස 01 වැනිදාය. ළමා දිනයට පෙර දින ගිම්හාන් සිසුවාට පවුලේ සියලුදෙනා තනිකර දමා යළි නොඑන ගමනක් යාමට සිදුවිය. මෙකී සිසුවාගේ වියෝවෙන් ගාල්ල මහමෝදර සියඹලගහවත්ත ප්‍රදේශය ශෝකයෙන් ඇළලී ගොස් ඇත්තේය. සැබවින්ම මෙය කනගාටුදායක සිද්ධියකි.
මියගිය සිසුවාගේ ඥාති සහෝදරයකු විසින් මේ සිද්ධිය සම්බන්ධව සිය මුහුණු පොතේ මේ අයුරින් සටහනක් තබා තිබුණි.
ඒ අහිංසක තාත්තා දන්නේ නැහැ. මල්ලි නැති වෙලා කියලා තවමත්. සමාජ මාධ්‍ය මඟින් වලින් කට කතා පතුරවනවා. එහෙම කරන්න එපා. මොකද මේ ඉන්නෙ තමන්ගෙ දරුවාට උගන්නන්න මහන්සි වුණ දුක් විඳපු තාත්තා කෙනෙක්. අපි තමයි ඇත්ත තත්ත්වේ දන්නෙ. කරුණාකරලා ඇත්ත විතරක් සමාජ මාධ්‍යජාලාවල පළ කරන්න. ඔහු එසේ සටහන් කොට තිබුණි.
ළමා රක්ෂණ අධිකාරියේ සභාපති ආචාර්ය මුදිත විදානපතිරණ මාධ්‍ය හමුවකදි ඔහු මෙම සිද්ධිය පිළිබඳ මෙසේ පවසා තිබුණි.
තමන් කළේ එය හොඳ චේතනාවෙන් වුණත් එහි ඇතිවන ප්‍රතිඵලය ඉතාම නරකයි. ළමුන්ට දඬුවම් කිරිම සියයට දෙසියක් වැරදියි. ඒ වෙනුවට කළයුත්තේ ශික්ෂණය ඇතිකිරිම පමණක් බව ළමාරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේය. මේ සිද්ධිය පිළිබඳ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රුබන්ගෙන් අප කළ විමසුමකදී මෙසේ කීවේය.
කොවිඩ් වසංගතයත් එක්ක දරුවන් මෙන්ම දෙමව්පියන්ද මානසික පිඩාවට ලක්වෙලා තියෙනවා. දරුවන්ට අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි කරගන්න විදියක් නැතිවෙලා තියෙනවා. දරුවන්ට ඉගෙන ගන්න තියෙන එකම ක්‍රමය බවට පත්වෙලා තියෙන්නේ ඔන්ලයින් මඟින් කරනු ලබන උපකාරක පන්ති පමණයි. ඔන්ලයින් අධ්‍යාපනය නිසා දරුවන් පිඩාවට ලක්වෙලා තියෙනවා. දරුවන්ගේ සාමාන්‍ය ක්‍රියාකාරකම් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ නිසා දෙමව්පියන් ද පිඩාවට ලක්වෙනවා. මෙවැනි අවස්ථාවලදි දරුවන් දෙමව්පියන් හතුරන් ලෙස සලකනවා. මේ නිසා දරුවන් හා දෙමව්පියන් අතර ගැටිම් ඇතිවෙනවා වැඩියි.
දරුවන් දිගින් දිගටම අධ්‍යාපන කටයුවල නිරතවිම ප්‍රතික්ෂේපකරනවානම් දෙමව්පියන් කළ යුත්තේ එකපාරට කොටුවක් අරගෙන පහරදිම හෝ තර්ජනය කිරිම නෙවෙයි. දරුවන් සමඟ සුහඳව කතා කරලා ඒ අයගේ ගැටලු ගැන අවබෝධයක් ලබා ගැනමයි. දරුවන්ට දිගින් දිගටම කෙන්ති යනවානම් දරුවන් සමඟ ආදරයෙන් කථාකරලා ගුරුවරු දෙමව්පියන් බලන්න ඕන. යැයි ද මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා කිවේය.
පාසල් සිසුවාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකාර පියා ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මෙම මස 13 වැනිදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත. සැකකාර පියාගේ මානසික තත්ත්වය පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත. මියගිය පාසල් සිසුවගේ පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි එස්.රවින්ද්‍රන් සිදුකරනු ලැබීය. මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර පාසල් සිසුවගේ සිරුරේ කොටස් වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා යොමුකොට ඇත. ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩි.ජි ආනන්දගේ මෙහෙයවීම යටතේ පරික්ෂණ පැවැත්විණි.