
මීට වසර විස්සකට විසිපහකට ප්‍රථම ඕනෑම ගඟකින් දිය දෝතක් ගෙන මුවකට සෝදා පවස නිවාගැනීමේ හැකියාව අපට තිබුණි. අනූව දශකය මැද භාගයේදී සිවිල් බුද්ධිමතුන් හා විකල්ප දේශපාලන ව්‍යාපාර විසින් ප්‍රකාශ කර සිටියේ ඉදිරි කාලයේදී පානීය ජලය සඳහා මුදල් ගෙවීමට සිදුවන බවය. ඔවුන් එසේ පවසන විට එය කාගේත් මුවග සිනහවක් රැඳ වූ කරුණක් වූයේ එය කිසිදිනක සිදු විය නොහැකි යථාර්ථයක් බව විශ්වාස කළ නිසාය. එහෙත් වසර කිපයක් ගෙවුණ තැන අපගේ යථාර්ථය ප්‍රබන්ධයක් වී ප්‍රබන්ධය යථාර්ථයක් වන්නට පටන් ගෙන තිබුණි. මාසික බිල්පතක් සමඟ නළ දිගේ පානීය ජලය නිවසට පැමිණ තිබුණි. ළිං වැසී ගියේය. බීමට සුපිරිසිදු ජලය බෝතල් වී වෙළෙඳ පොළට පැමිණියේය.
ගංගා ආශ්‍රිතව හෝටල් සංකීර්ණ, කර්මාන්ත ශාලා, ඇඟලුම්කම්හල් ආරම්භ වී තිබුණි, ඒවාහී රැකියා කිරීමට ග්‍රාමීය ජනයා කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට සේන්දු විය. මේ හේතුවෙන් ගංගා ආශ්‍රිතව විශේෂයෙන් කැලණි ගඟ ආශ්‍රිතව පැල්පත් නිවාස ඉදි වුණි. කර්මාන්ත ශාලා මඟින් රසායනික අප ද්‍රව්‍යයත් ඇඟලුම් කර්මාන්ත මඟින් විවිධ සායම් වර්ගත් පැල්පත් නිවාස සහ හෝටල් මඟින් නොදිරන අප ද්‍රව්‍ය, ඉඳුල්, මළ, මූත්‍ර ආදිය ජලයට එකතු වීමට පටන් ගත්තේය. එමඟින් ජල මූලාශ්‍ර දූෂණය වීමට පටන් ගත්තේය. දිනෙන් දින ජලය නිසා ඇතිවන විවිධ රෝගාබාද උග්‍ර විය. පිරිසිදු පානීය ජල අවශ්‍යතාව හා උණු කර නිවාගත් ජලය පානය කිරීම පිළිබඳව පවුල් සෞඛ්‍ය කාර්යාල, පාසල්, පුවත්පත්, අත්පත්‍රිකා, ගුවන් විදුලිය හා රූපවාහිනිය ආදිය මඟින් ජනතාව දැනුම්වත් කෙරිණි. මේ පසුගිය කාලය පුරා විවෘත ආර්ථිකය සමඟ අප විසින් අත්දුටු යථාර්ථයයි.
වත්මන් ආණ්ඩුව බලයට පත් වීමත් සමඟ ආර්ථික ප්‍රතිපත්තිය කිසියම් වෙනසකට භාජනය විය. සංවර්ධනයේදී වඩා ප්‍රමුඛතාව ලබාදිය යුතු දේ කෙරෙහි අවධානය යොමු කෙරිණ. ශ්‍රී ලංකාව තුළ මේතාක් විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වුවද රටේ ජීවනාලිය බඳු ගංගා ද්‍රෝණි සංරක්ෂණය සඳහා කිසිදු වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වී නොතිබුණි. 2020 වර්ෂයේ මේ පිළිබඳව අවධානය යොමු කළ ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධන බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂයන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු වගකිව යුතු නිලධාරීන් කැඳවා මෙම ගංගා ද්‍රෝණි 103 සම්බන්ධයෙන් සොයා බලා ඒවා අපිරිසිදු වී ඇති ආකාරය පිළිබඳ වාර්තාවක් සකස් කර තමා වෙත ලබා දෙන ලෙස දැනුම්වත් කළේය. ඒ අනුව ක්‍රියාත්මක වූ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් එම ව්‍යාපෘතිය "සුරකිමු ගංගා නමින්" නම් කර ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් සකස් කළේය. ඒ අනුව ගංගා ද්‍රෝණි එකසිය තුනෙහිම ජලය අපිරිසිදු වන ස්ථාන 10,401ක් පමණ ඔවුන් විසින් සොයා ගත්තේය.
මෙම වාර්තාව අධ්‍යයනය කළ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මෙය කඩිනමින් විසඳිය යුතු ගැටලුවක් බව අවබෝධකර ගත්තේය. නැවතත් ඕනෑම අයකුට බියකින් තොරව පිරිසිදු ජලය පානය කළ හැකි මට්ටමට මෙම ගංගා ද්‍රෝණි පත් කිරීමට වැඩ පිළිවෙළක් සකස් කරන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව "සුරකිමු ගංගා " වැඩ සටහන සකස් වූ අතර අමාත්‍යවරයා එය කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට පියවර ගත්තේය.
මෙරට ඇති දූෂිතම ගංගා ද්‍රෝණිය කැලණි ගං ද්‍රෝණිය බව පෙනී ගියේය. බොහෝ ජනයාගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලන මෙම ගංගා ද්‍රෝණියට ප්‍රමුඛත්වය ලබා දී මහවැලි ගඟ ඇතුළු ප්‍රධාන ගංගා ද්‍රෙණි කිහිපයක් පවිත්‍ර කර නැවත ඒවා දූෂණය නොවන ලෙස ආරක්ෂණ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස පරිසර අමාත්‍යවරයා උපදෙස් දී තිබුණි. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ගංගා ද්‍රෝණි කිහිපයක් නොව මෙරට තිබෙන ගංගා ද්‍රෝණි 103ම සංරක්ෂණය කිරීමට කටයුතු කරන ලෙසය. ඒ වගේම ඒ සඳහා ප්‍රමුඛතාවක් ලබාදෙන ලෙසද අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව 2021 එක වර්ෂය සඳහා රුපියල් මිලියන 200ක මුදලක් මෙහි මූලික වැඩකටයුතු සඳහා වෙන් කිරීමට එවක මුදල් අමාත්‍යවරයාව සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් කටයුතු කළේය.
ඒ අනුව 'සුරකිමු ගංගා ව්‍යාපෘතිය' යටතේ සියලු ගංගා ද්‍රෝණි පවිත්‍ර කර, නැවත එහි ජලය අපවිත්‍ර නොවීමට ගත හැකි සියලු පියවර ගැනීම සඳහා අමාත්‍යාංශ ඊට සම්බන්ධ සියලු අමාත්‍යාංශ ඒකාබද්ධ වූ වැඩපිළිවෙළක් දියත් කෙරිණ. මේ සඳහා කමිටු තුනක් පිහිටු විය. අන්තර් අමාත්‍යාංශ ජාතික මෙහෙයුම් කමිටුව ප්‍රධානත්වය උසුලන අතර. ඊට අමාත්‍යාංශ දහහතක් සහ රාජ්‍ය ආයතන ගණනාවක් ඇතුළත් වේ. පරිසර අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අමාත්‍යාංශය, රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය, ඉඩම් අමාත්‍යාංශය ... ඒ අතර ප්‍රධාන වේ. මෙහි සභාපතිත්වය දරන්නේ පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වන අතර ලේකම් ලෙස කටයුතු කරන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයායි. සියලුම දිස්ත්‍රික් කාර්යාල නියෝජනය වන පරිදි දිස්ත්‍රික් කමිටුවක් ද එමෙන් ම ලංකාවේ 330ක් පමණ වන ප්‍රදේශීය ලේකම් කාර්යාල එක්කර සියලු ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ද නිර්මාණය කර ඇත. මේ කමිටු දෙක අන්තර් අමාත්‍යාංශ ජාතික මෙහෙයුම් කමිටුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.
මේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය මාර්තු මස 22 වැනිදා කතරගම මැණික් ගඟ අසල ඓතිහාසික රුහුණු කතරගම පූජා භූමි පරිශ්‍රයේ දී සුබ මොහොතින් ආරම්භ විය. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ "රජ කාලයේ සිට අපේ වියළි කලාපය පුරා ක්‍රියාත්මක වන එල්ලංගා පද්ධතිය අද වාරි ඉංජිනේරුවන් පවා පුදුම කරවන්නක්. පරම්පරාවෙන් පරම්පරාවට පෝෂණය වූ ගංගා 103කින් සමන්විත ගංගා ද්‍රෝණි පද්ධතිය අප ලද වටිනාම දායාදයක්. ජලය මානව යහපැවැත්මට මෙන්ම කෘෂි, ධීවර, සංචාරක කර්මාන්තවල වගේම අනෙකුත් කාර්මික අවශ්‍යතා ඉටුකර ගැනීමේදී ප්‍රධාන සාධකයක්. එමෙන්ම මිනිසාගේ පමණක් නොව අනෙක් සතුන්ගේ පැවැත්ම උදෙසා ද ජලය ඉතා වැදගත් සාධකයක් බවයි. අතීතයේ කොළඹ හා තදාසන්න නගරවල තිබූ අපිරිසිදු පරිසර තත්ත්වය මේවනවිට තිබෙන තත්ත්වය ද ජනාධිපතිවරයා එහිදී සිහිපත් කළේය.
ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි “සුරකිමු ගංගා” දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ක්‍රියාත්මක වන අතර, දිස්ත්‍රික් ලේකම්වරයා හෝ දිසාපතිවරයා ගේ සභාපතිත්වයෙන් මෙය ක්‍රියාවට නැංවේ. කමිටුවල ලේකම් ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා ක්‍රියාකරයි.
මේ අනුව එක් එක් ප්‍රාදේශීය සභාවන් තුළ පිහිටි ගංගා ඉවුරු සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය කමිටු විසින් වගකිව යුතු වේ. ගංගා ජලය පිරිසිදු කිරීම, ඉවුරු ශක්තිමත් කිරීම සහ ඒ සඳහා අවශ වැඩපිළිවෙළ සකස් කර ඉදිරිපත් කිරීම ප්‍රාදේශීය කමිටුවට පැවරේ. මේ සියලු දේ සඳහා අන්තර් අමාත්‍යාංශ ජාතික මෙහෙයුම් කමිටුව මඟින් මාර්ගෝපදේශ සපයනු ලැබේ.
මේ සියලු වාර්තා අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් මාර්ගෝපදේශ ලබාදීම සඳහා විශේෂඥ කණ්ඩායමක සහය ලබා ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ අප සමඟ පැවසීය.
ප්‍රධාන වශයෙන් ජල මූලාශ්‍ර තුන් ආකාර වේ. ඒ ජලාශ(ජලය පැතිරුණු ප්‍රදේශ), ජල මාර්ග(මහා ගංගා අතු ගංගා ආදී ජලය ගලාගෙන යන මාර්ග) සහ භූගත ජලය ආදී වශයෙනි. මේ සියලු මුලාශ්‍රවල අවශ්‍ය පමණට ජලය රැඳී තිබීම මෙන් ම නියමිත ප්‍රමිතිය ද තිබීමද අවශ්‍යවේ. අදාළ ප්‍රමිතිය නොමැති නම් ඉන් ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වී යයි. ප්‍රධාන වශයෙන් ක්‍රමදෙකක් නිසා මෙම ජල මූලාශ්‍ර දූෂණය වේ. මෙහිදී ස්ථානීය වශයෙන් ජලය දූෂණය වන අතරම වර්ෂාව ඇද හැලෙනවිට ගලායන ජලයට විවිධ දේ එකතු වීම නිසා ද ජල මූලාශ්‍ර දූෂණය වේ.
කෘෂි රසානික පොහොර අවශ්‍ය ප්‍රමාණයට වඩා යොදන විට අවශ්‍ය ප්‍රමාණය ගසට උරාගෙන ඉතිරිය ජලයට එකතු වේ. එවිට ජලජ ජීවීන් මෙන්ම ජලජ ශාක වර්ගද විනාශ වන අතර මිනිසුන්ට පරිභෝජනයට ගත හැකි ජලය ද අපවිත්‍ර වේ.
මෙනිසා බරපතළ සෞඛ්‍ය ප්‍රශ්න ගණනාවක්ද මේවනවිට නිර්මාණය වී තිබේ. එනිසා මේ ජල මූලාශ්‍ර රැක ගැනීම සඳහා ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු ජල කළමනාකරණ ප්‍රධාන ඉංජිනේරු ප්‍රභාත් විතාරණ පැවසීය.
මෙම ව්‍යාපෘතිය මඟින් සාර්ථක ප්‍රතිඵල අත් කර ගැනීමට නම් ගංගා නිම්නවලට ඍජුවම බලපාන ජල පෝෂක ප්‍රදේශ රැක ගැනීම අත්‍යාවශ කාරණයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හේමන්ති රණසිංහ පවසයි. ඒ සඳහා ගංගා ඉවුරු දෙපස ජල පෝෂක වන වගාවන් ඇති කිරීම සහ ඒ සඳහා ආරක්ෂක ක්‍රියාමාර්ග ගත යුතු බව ඇගේ අදහසයි. මේ සඳහා කටයුතු කිරීමේදී දිස්ත්‍රික්ක වශයෙන් නොගෙන ගංගා නිම්නවල ජලපෝෂක ප්‍රදේශ ආශ්‍රය කරගෙන ඉහළ ජලාධාරක ප්‍රදේශ සහ පහළ ජලාධාරක ප්‍රදේශ වශයෙන් ගෙන මේ කටයුත්ත සිදු කිරීම වඩා යෝග්‍ය බව ඇගේ අදහසය.
මේ වන විට සුරකිමු ගංගා ඇගයීම් කමිටුව වෙත පළාත් අනුව ඉදිරිපත් කර අනුමත වූ ව්‍යාපෘති වාර්තා ගණන 34කි. ඒ බස්නාහිර 8 , දකුණ 6 , ඌව 3 , සබරගමුව 2 , නැගෙනහිර 2, උතුර 3, මධ්‍යම 3, උතුරු මැද 2 හා වයඹ 7 ආදී වශයෙනි. මේ වෙනුවෙන් අනුමත කර ඇති මුදල රුපියල් 119,039,330.64කි. නමුත් මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් 180,000,000.00 කි. රට මුහුණදී සිටින කොවිඩ් තත්ත්වය හමුවේ වේගයෙන් ක්‍රියා කිරීමට ඇති ඉඩකඩ ඇහිරී තිබුණද මේ වන විට බොහෝ ව්‍යාපෘති ආරම්භ වී තිබේ.