
අද වන විට බොහෝ වෙළෙඳසැල් හිමියෝ කොවිඩ් ඇඳිරි නීති අස්සේ පාරිභෝගිකයන්ට අත්‍යාවශ්‍ය දේ හංගති. ඔවුහු කිසිදු අවසරයකින් තොරව පැයෙන් පැය භාණ්ඩ මිල ඉහළ දමති. ඒ අස්සේ මහ මෝල් හිමියන් හා සුළු පරිමාණ මෝල් හිමියන් අතර නැති අර්බුද ය. ඔවුන් විවිධ චෝදනා එහා මෙහා හුවමාරු කර ගත්තද මහ මෝල් හිමිකරුවන්ගේ ඉත්තෙකු බඳු ගොවියෝ සිය වී විකුණා ගත නොහැකිව මැසිවිලි නඟති. තවත් පිරිසක් වී ද හංගන්නේ ඉදිරියේ තවත් වැඩි මිලකට විකුණන්නටය. මේ අතර ඒකාධිකාරියක් වපුරා ගත් මහ මෝල් හිමියෝ මාධ්‍ය සාකච්ඡා පවත්වමින් කියා සිටියේ තමන් හාල් හා වී සඳහා පාලන මිලක් දැමූ බවය. ඒ සියල්ල මැද රජයේ හාල් ගැසට්ටුවද රිවර්ස් විය.
රජය නව පාලන මිලක් හාල් සඳහා දැම්මේ සැප්තැම්බර් මුල් සතියේය. එසේම හාල් හංගන්නට විරුද්ධව දඩයද ඉහළ දැම්මේය. එහෙත් ගැසට්ටුව හකුලා ගැනීමට එයට සිදු විය. අවසානයේ පරාද වූයේ ජනතාවද? හාල් හිඟයට වගකිව යුත්තෝ කවුරුහුද? රජය ජනතාව වෙනුවෙන් සත්භාවයෙන් මේ දේ කළේ ද ජනතාවට කිසිදු හිරිහැරයකින් තොරව හාල් මිලදි ගන්නටය. නමුත් අවසානයේ බොහෝ කඩ හිමියෝ පමණක් නොව ගොවියෝද තම වී හා හාල් හංගා ගෙන ඇත්තේය. සහල් මාෆියාවක් ඇති බවට බොහෝ දෙනාගේ චෝදනාව සත්‍යක් වෙමින් පවතියි. හාල් මාෆියාව අද ඊයේ කරළියට ආවක් නොවේ. රජයට ඇවැසි වූයේ මේ සහල් මාෆියාව නැති කිරීමය. හාල් හැංගීම අද ඊයේ සිදු වූවක් නොවේ. කොවිඩ් වසංගතය හමුවේ අත්‍යාවශ්‍ය දෑ සමීප කිරීම අටියෙන් රජය අවස්ථා ගණනාවකදිම සහල් තොග ගණන් රැස් කරන්නන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක් කරන්නට සැලසුම් කළේ රටේ කිසිදු සහල් හිඟයක් ඇති නොවන්නටය. සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරන්නට රජය කටයුතු කළ ද, සහල් වැඩි මිලට විකුණන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ ද ඉන් නොවැළැක්විය හැකි ප්‍රායෝගික ප්‍රශ්න රැසක් පැන නැඟෙන්නට විය. මේ හේතුවෙන් යළිත් රජය සහල් සඳහා යොදවා තිබු පාලන මිල ගෙවි ගිය සතියේ ඉවත් කළේය. ගැසට්ටුව රිවර්ස් වීමෙන් පසු දැන් අලුත් කතා බහකට මුල පිරීය. නැවතත් සහල් හිඟයක් නිර්මාණය වී ඇත්තේය. සිල්ලරට ගන්නවත් බොහෝ තැන්වල සහල් නැත.
මේ අතර විෂය භාර ඇමැති වන සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න ප්‍රකාශ කර සිටියේ ඉහත ගැසට් නිවේදනය අවලංගු කර සිටියේ සද්භාවයෙන් පාරිභෝගිකයා හා ගොවියා ආරක්ෂා කර ගැනීමට බවත්, ඉන් ප්‍රයෝජන ගෙන යමකු අයුතු ලෙස මිල ඉහළ දැමීමට කටයුතු කරන්නේ නම් ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවත්ය. ඊට අමතරව පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත් නොකර සහල් මෙට්රික් ටොන් ලක්ෂයක් හැකි ඉක්මනින් ආනයනය කිරීමටද කටයුතු කරන බවත්ය. මේ අතර සහල් සඳහා පනවා තිබූ පාලන මිල ගණන් සමඟ රුපියල් 98 ට වූ නාඩු හාල් කිලෝ එකක් රුපියල් 115 ටද, රුපියල් 103 ට පනවා තිබූ සම්බා හාල් කිලෝ එකක් රුපියල් 140 ටද රුපියල් 125 ට තිබූ කීරි සම්බා කිලෝ එකක් රුපියල් 165 කටද ලබා දෙන බව පාලන මිල ඉවත් කිරීමෙන් පසු ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කළේ මහ පරිමාණ මෝල් හිමියන්ය.
“ මිනිස්සු රජයට චෝදන කළත් රජයට විසඳීමට ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ නිසා යම් අතපසු වීම් සිදුවිය හැකියි. රජය විදේශයකින් සහල් ගෙනාවත් අපි ගොවියන්ට පොරොන්දු වෙනවා අපි කියූ මිලට වී ලබා ගන්නා බවට. මෙවර අපිටත් ලැබුණේ වී සුළු ප්‍රමාණයක්. සියයට 70 ක් වී තියෙන්නේ ගොවියන් ළඟ. ඉදිරියේදි ඒ අය ඒවා ලබා දෙයි. අපි වගකීමෙන් කියනවා රටට ප්‍රමාණවත් වී අප සතුව තියෙන බව. ඒ නිසා හාල් සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගත යුතු නැහැ....“ ඒ මහා පරිමාණ මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති ඩඩ්ලි සිරිසේනය.
බොහෝ දෙනා චෝදනා නඟන්නේ ලංකාවේ සහල් ඒකාධිකාරිය පාලනය කරන්නේ සුළු පිරිසක් විසින් බවය. මොවුන් මෙසේ පැවැසුවත් පොරොන්දු වූ මිල ගණන් වලට ගොවින්ගෙන් වී මිලදී නොගන්නා බවත්, ජනතාවට සහලින් ලබා දෙන සහනය දිගින් දිගටම ලබා නොදෙන බවත්ය. නමුත් ඔවුන් ප්‍රකාශ කරන්නේ නැවත දැනුම්දෙන තුරු මේ මිලටම සහල් ලබා දෙන බවයි.
“රජය ගත් මේ තීරණය ඉතා වැදගත්. මුලින් මේ ප්‍රශ්නය නිසා අපිත්, ගොවියෝත් පාරිභෝගිකයෝත් සුළු මෝල් හිමියනුත් අපහසුතාවට පත් වෙලා හිටියේ. අපි හාල් මිල තීරණය කළේ රජයටවත් පාරිභෝගික ජනතාවටත් හානියක් සිදු නොවෙන්න. ඒනිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හාල් පැකට්ටුවේ ඇති මිලටම වෙළෙඳ පොලෙන් ලබා ගන්නා ලෙස. අපි යළිත් දැනුම් දෙනකම් මේ මිලටම සහල් නිකුත් කරනවා.....“ ඒ නිව්රත්න සහල් ව්‍යාපාරයේ අධිපති මිතුපාල ලංකේෂ්වරය.
මුලින් හාල් නිශ්පාදනයේ කේන්ද්‍රස්ථානය මරදගහමුල වුවත් දැන් ඊට නොදෙවෙනිව පොළොන්නරුව මහ පරිමාණ මෝල් හිමියන් මේ එකාධිකාරයේ නියැළී සිටිති. සමහරක් පවසන්නේ ඔවුන් සතු වී සංචිත ප්‍රමාණය කොතෙක්දැයි පැවැසිය නොහැකි තරමට සුවිශාල බවය. ඔවුන් මේ වන විට ගබඩා කරන්නෙ ඉදිරි කන්න සඳහා වන වී ය. ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණයේ වී මෝල් 2000 ක් වන අතර විවිධ හේතු නිසාවෙන් මේ වන විට ඇත්තේ 700 ක් පමණී. එයින් 10 ක් පමණ මහා මෝල් හිමියන්ය.
පාන් හා වෙනත් නිෂ්පාදන පරිහරණයෙන් අගයන් තරමක් වෙනස් වුවද සාමාන්‍යයෙන් දිනකට හාල් කිලෝ ලක්ෂ 1-1.5 ත් අතර ප්‍රමාණයක් පරිභෝජනයට අවශ්‍ය වෙයි. එසේම වසරකට හාල් මෙට්රික් ටොන් ලක්ෂ 30 ක් පමණ අපට ඇවැසි වෙයි. යල කන්නයෙන් හාල් මෙට්රික් ටොන් ලක්ෂ 18 ක්ද, මහ කන්නයෙන් හාල් මෙට්රික් ටොන් ලක්ෂ 30 ක්ද ලැබෙන බව සැලය. සාමාන්‍යයෙන් හාල් මෝල් හිමියන්ට වාසිදායක වසරේ හොඳම කන්න දෙකක් තිබේ. ඉන් එකක් අගෝස්තුය. අනික මාර්තුය. ක්ෂේත්‍රයේ අය චෝදනා කරන්නේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට කන්න සඳහා හාල් ගබඩා කළ නොහැකි හෙයින් මේ හාල් ඒකාධිකාරිය පාලනය කරන්නේ මහා පරිමාණ මෝල් හිමියන් බවය.
“ නාඩු රුපියල් 62 ට, සම්බා රුපියල් 69 ට හා කීරි සම්බා රුපියල් 80 ටයි වි තොග මිල තිබුණේ. නමුත් දැන් ඇති වී ඇති තත්ත්වය ඊට වඩා කනගාටුදායකයි. දැන් මේ ගානට වී නැහැ. පාලන මිල වැඩි කළ නිසා වැඩි මිලට විකුණන්න හාල්, වී හංගනවා. මහ මෝල් හිමියෝ කියන ගාණට වී නැහැ. ඒ වගේම ජනතාවට දෙනවා කියපු ගණනට ඒ අය වැඩි දවසක් හාල් ලබා දෙන්නේ නැහැ. අපි කියන්නේ රජය කළ දේ වැරැදියි. ලක්ෂයක දඩයක් ගෙනැවිත් වෙළෙඳ පොළ සකස් වෙමින් තිබෙද්දිම නැවතත් වෙළෙඳපොළ කඩා වැටෙව්වා. මේ තත්ත්වය පාලනය කිරීමේ වගකීම මහා මොල් හිමියන් අතට ගත යුතුයි. ලාභදායි ලෙස හාල් වෙළෙඳපොළට ලබා දිය යුතුයි. විශාල හාල් සංචිත ඇත්තේ ඔවුන් ළඟයි. ඒ වගේම දැන් ඇති වී අති තත්ත්වය පාලනය කිරීමට ආසන්න ක්‍රියාමාර්ග ගැනීම රජයේ වගකිමක්.
ඉදිරි සති කිහිපයේදි විදේශයකින් හාල් ගෙන්වා හෝ ඉහළ යන හාල් මිල පාලනය කිරීමට කටයුතු කළ යුතුයි......“ ඒ සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති වි. කේ රංජිත්ය.
කෙසේවෙතත් පසුගිය සතිය ආරම්භ වන විට පොලොන්න්රුව දිස්ත්‍රික්කයේ මහ පරිමාන මෝල් හිමියන් විසින් නාඩු රුපියල් 62.50 කටත්, සම්බා රුපියල් 70 කටත්, කීරි සම්බා රුපියල් 80 කටත් ගොවියන්ගෙන් වී මිලදි ගැනීමට තීරණය කර ඇති බවකි. අරලිය සහල් අධිපති, රත්න සහල් අධිපති ඇතුළු මහ පරිමාණ මෝල් හිමි පිරිස පැවැසූයේ මේ මිලට ගොවින්ගෙන් වී මිලදි ගැනීමටත්, අඩු මිල ගණන් යටතේ පාරිභෝගිකයාට හාල් ලබා දිය හැකි බවත්ය. කෙසේ වෙතත් මෙසේ පාලන මිල ඉවත් කිරිම සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සිය නොසතුට පළ කරති.
“අපිට මොකක්ද වෙන්නේ කියලා හිතාගන්නවත් බැහැ. පාලනයකින් තොර වූ පසු විවිධ මිල ගණන්වලට ලබා දෙන්න පුළුවන්. සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සතුව විශාල වී තොග නැහැ. ඒ නිසා දෛනිකව වී මිල ඉහළ යාම පාරිභෝගිකයන්ට වගේම අපිටත් දරා ගන්න බැහැ. සාධාරණ මිලක් ගොවියාට, මෝල් හිමියාට හා පාරිභෝගිකයාට ලබා දිය යුතුයි. තවත් පැත්තකින් හාල් සඳහා පාලන මිලක් ගෙන ආවත් රජය මේ හාල් මිල පාලනය කළේ නැහැ. වෙළෙඳ පොළේ බඩු හිස් වුණේ නිසි ක්‍රමවේදයක් නොමැති වීමෙන්. මේ සෑම දේම හසුරවන්නේ මුදල් තියෙන සුළු මහ පරිමාන මෝල් හිමි පිරිසක් විසිනුයි. ......“ ඒ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති රෝෂාන් ඩි සිල්වාය.
කෙසේ වෙතත් ජනතාවට කන්නට හාල් නැතිනම් සියල්ල අහවරය. ලාංකික අපට අඩුම තරමින් එක වේලක් හෝ බත් අවශ්‍යය. මේ නිසා කිරිපිටි, සිනි, ගෑස්, සිමෙන්ති නැතුව බැට කැ පාරිභෝගික ජනතාවට හාල් නිසා දැන් ඉහ මොළ රත් වී හමාරය. බොහෝ වෙළෙඳසැල් වලින් කිලෝ 5 ක්වත් හාල් දෙන්නේ නැත. ඒවාද දෙන්නේ තවත් නැතිබව පාරිභෝගිකයන්ට අඟවමිනි. “ රජය හාල් සඳහා ගැසෙට්ටු 10 ක් ගැසුවා. ඒ එකක්වත් සාර්ථක වුණේ නැහැ. මේ ප්‍රශ්නය රජය තවමත් තේරුම් ගෙන නැහැ. මේ ප්‍රශ්නයට විසඳුම් තියෙන්නේ හාල් මෝල් හිමියන් දෙතුන් දෙනෙක් අතර. ගොවියෝ මහ මොල් හිමියන්ට ණය වෙලයි, අස්වැන්න නෙළන්නේ. ගොවින්ට වගා කරන්න සල්ලි දෙන්නේ මේ අය. මේ නිසා ගොවියෝ හිරවෙලා. මහ මෝල් හිමියෝ ගොවින්ගෙන් වී ගන්නේ කුණු කොල්ලයට. මේ අය මේ වී ගබඩා කරනවා. හොඳම අවස්ථාව බලලයි මේවා එළියට දාන්නේ. දැන් ගොවියාට පාරිභෝගියාට කිසිම සහනයක් නැහැ. මේ ප්‍රශ්නයට විසඳුම් ලෙස රජය දඩ මුදල වැඩි කළා. ගැසට් නිකුත් කළා. ඒත් සියලු පියවර අසාර්ථක වුණා. දැන් වෙළෙඳ පොළේ හාල් නැහැ. හාල් හංගලා. ඒ නිසා මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීමට යාන්ත්‍රණයක් සැකසිය යුතුයි. ඒ වගේම විපක්ෂයත් එකතු වී මේ ප්‍රශ්නය විසදිය යුතුයි.......“ ඒ පාරිභෝගික අයිතීන් සුරුකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේය.
අවසානයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් දන ගැස්සවීමට ගෙනා ගැසට්ටුවෙන්ම ජනතාවගේ බඩට වැදී ඇතැයි බොහෝ දෙනාගේ චෝදනාවය. රජය සද්භාවයෙන්ම මේ කටයුත්ත සිදු කළත් බලවත් පිරිස් විසින් පාලනය වන මේ හාල් මාෆියාව ඊට වඩා බලවත්ය. බොහෝ දෙනා පවසන්නේ දැන් මහ මෝල් හිමියන් රජවී ඇති බවකි.