වික්ටෝ­රියා ජලා­ශයේ කම්පන ජන­තා­වට කම්ප­න­යක් | Page 3 | සිළුමිණ

වික්ටෝ­රියා ජලා­ශයේ කම්පන ජන­තා­වට කම්ප­න­යක්

 

හනුවර වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශය තුළ පසුගිය වසරේ අගෝස්තු මස අග පළමු භූ කම්පනය සිදුව තෙමසක් ඇතුළත භූ කම්පන නවයක් වාර්තා වූවේ ප්‍රදේශයේ ජනතාව පමණක් නොව වික්ටෝරියා ජලාශය බාර ඉංජිනේරුවරුද දෙගිඩියාවකට පත්කරමිනි. මෙය අනගතයේ ඇතිවිය හැකි ප්‍රබල භූ කම්පනයක පෙර නිමිත්තක් බවට පැතිර ගිය රාවය ප්‍රදේශයේ ඉඩම් මිලද පහත හෙළන්නට තරම් ප්‍රබල වූවේය. වික්ටෝරියා වේල්ලටද මෙමගින් කිසියම් හෝ අයහපත් බලපෑමක් එල්ල විය හැකි බවට මත පළ වෙත්දී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ආචාර්ය,මහචාර්යවරුද මහවැලි අධිකාරියේ ඉංජිනේරුවරුද භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ද සම්බන්ධ කර ගනිමින් මේ පිළිබඳ සොයා බැලීමට පියවර ගත්තේ ඔවුන් සියලු දෙනා නියෝජනය වන කමිටුවක් පත්කරමිනි.

දිගන,අලුත්වත්ත, හාරගම, අනුරගම ආදි ගම්මාන රැසක ජනතාවට මෙම කම්පන හොඳින් දැනී තිබුණු අතර එම ජනතාව නිරන්තරව ප්‍රකාශ කර සිටියේ කම්පන වලට හේතුව කුමක්ද යන්න සොයා බලා ස්ථිර ප්‍රකාශයක් කිරීම බලධාරීන්ගේ යුතුකම බවයි. ඒ අතර පරිසර අමාත්‍යය මහින්ද අමරවීර විසින් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මේ සම්බන්ධව සොයා බැලීමට පත් කරනු ලැබීය. එම කමිටුව මඟින් ලබාදුන් නිර්දේශ පදනම් කර ගනිමින් වික්ටෝරියා ජලාශය ආශ්‍රිත මීටර 100 ක දුරින් පිහිටි හුණු ගල් කැණීම් ස්ථානවල බලපත්‍ර අහෝසි කිරීමට භූ විද්‍යා හා පතල් කාර්යාංශය පියවර ගනු ලැබුවේ පළමු භූ කම්පනය ඇතිවී වසරකට පසුය.

පැරණි තෙල්දෙණිය නගරය මුළුමනින්ම ජලයෙන් යටකරමින් කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ වික්ටෝරියා වේල්ල ඉදිකර ජලාශය විවෘත කරනු ලැබුවේ 1985 දී ය. උසින් මීටර 122 ක් ද දිගින් මීටර 520 ක් ද වන වේල්ලේ පාදම මීටර 25 කි. උපරිම ධාරිතාවට පැමිණි පසු ස්වයංක්‍රීයව විවෘත වන වාන් දොරටු 08 කින් ජලාශය සමන්විතය. කියුබික් ඝන මීටර මිලියන 723 ක උපරිම ධාරිතාවක් ඇති මෙහි ක්‍රියාකාරී ධාරිතාව ඝන මීටර 684 කි. මෙගා වොට් 210 ක ජල විදුලියක් මෙමඟින් ජාතික විදුලි බල පද්ධතියට එකතු කෙරෙයි. උපරිම ධාරිතාවට ළඟා වන විට වේල්ල යම් ආකාරයකට පැද්දෙන ස්වභාවක් පෙන්නුම් කිරීම මෙහි ඇති විශේෂත්වයක් වන අතර එවැනි වේලි ලෝකයේම ඇත්තේ විස්සක පමණ සංඛ්‍යාවකි. හුණුගල් කැණීම සඳහා සිදුකරන වෙඩි දැමීම් මඟින් මෙම වේල්ලට බලපෑමක් එල්ල විය හැකි බවට විද්වත් කමිටුව එළඹි තීරණයක් අනුව අදාළ බලපත්‍ර අහෝසි කිරීම සිදු කර තිබේ. එසේ වුවත් තවමත් වේල්ල ආශ්‍රිත ප්‍රදේශවල ඇතිවූ භූ කම්පන වලට නිශ්චිත හේතුවක් සොයාගෙන නොමැති අතර ඒ සම්බන්ධව තවමත් පරීක්ෂණ සිදු කෙරෙයි.

මේ සම්බන්ධව මහවැලි ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අධ්‍යක්ෂ රෝහණ අරුප්පල මෙසේ කීවේය. වික්ටෝරියා වේල්ල ඉදිකරලා තියෙන්නේ භූ කම්පන සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරලයි. වේල්ල ආශ්‍රිත ප්‍රදේශයේ සිදුවූ භූ කම්පන ඉතාම කුඩා ඒවා නිසා ඒවායින් වේල්ලට කිසිදු බලපෑමක් නැහැ. මේවා වේල්ලට හානිවන මට්ටමක් දක්වා වර්ධනය වෙන්නේ නැහැ කියන විශ්වාසයත් අපිට තියෙනවා. උපකරණ 400 ක් මඟින් අපි මේ වේල්ල පැය 24 පුරාම නීරීක්ෂණය කරනවා. මොනයම් හෝ බලපෑමක් ඇති වෙනවා නම් ඒක ඉතාම කෙටි කාලයකදී අපට දැන ගන්න පුළුවන්. ඒ නිසා දැනට වාර්තා වී තිබෙන කම්පන වලින් වේල්ලට කිසිම අනතුරක් නැහැ කියලා අපිට විශ්වාසයෙන් කිව හැකියි. වේල්ල ආසන්නයේ තිබෙන හුණුගල් කැඩීමේ ස්ථාන සම්බන්ධයෙන් තීරණයක් ගන්න කියලා මහවැලි අධිකාරියත් දිගින් දිගටම භූ විද්‍යා හා පතල් කාර්යාංශයට දැනුම් දුන්නා. එයත් සැලකිල්ලට ගෙන විද්වත් කමිටුව විසින් වේල්ලේ සිට මීටර 100 ක පමණ දුරින් පිහිටි හුණුගල් කැණීම් කරන ආයතන තුනකට බලපත්‍ර නොදිය යුතු බවට නිර්දේශ ලබාදී තිබෙනවා. ඒ අනුව භූ විද්‍යා හා පතල් කාර්යාංශය එම බලපත්‍ර අවංලගු කළ බව දැන ගන්න ලැබුණා. මේ භූ කම්පන වලට හේතුව මේ හුණුගල් කැණීම කියන එක 100% ක්ම තහවුරු වෙලා නැහැ. නිරීක්ෂණ දිගින් දිගටම කරලා ඒ ඔස්සේ තමයි නිගමන වලට එළඹිය හැකි වෙන්නේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය,පල්ලේකැලේ ආශ්‍රිතව සිදුවන භූ කම්පන පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුවේ සභාපති අතුල සේනාරත්න මේ සම්බන්ධව දක්වන්නේ මෙවන් අදහසකි. භූමි කම්පන සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ තල මායිම් වලයි. ඊට අමතරව තල මායිම් ඇතුළෙත් භූ කම්පන සිද්ධ වෙන්න පුළුවන්. ඒකට නොයෙකුත් හේතු තියෙනවා.වැව් වල විශාල ලෙස වතුර පිරුණම ඒවගේ බරට පාෂාණ තට්ටු ගැස්සෙනවා.එතකොට පාෂාණ තට්ටුට කැඩෙන්න බලනවා. එතකොට ලොකු ශබ්දයක් මුදා හරිනවා. ඒක අපට කම්පනයක් විදිහට තමයි දැනෙන්නේ. ඒක භූමි කම්පා සිද්ධ වෙන එක ක්‍රමයක්. තව එකක් තමයි හුණුගල් තිබෙන ප්‍රදේශ යට තියෙනවා විශාල කුහර (Cavity).ඒවට ඕපන් ස්පේෂ් කියලා කියන්නේ. ඒවා අස්සේ වතුර නිතර ගැවසෙන කොට ඉක්මනට ඒවා ඇතුළ හේදීලා ගෙවෙන්න ගන්නවා. ඕනම කුහරයකට වහලයක් තියෙනවා. මේ දියවීමත් එක්ක වහලයේ ඝනකම එන්න එන්න තුනී වෙනවා. ඊට උඩින් තියෙන පස් තට්ටුවේ බර දරාගන්න බැරි වුණාම තට්ටුව පහළට කඩා වැටෙනවා. සමහර වෙලාවට ඒවා කිලෝ මීටර ගණන් ලොකු ඒවා. ඒවා කඩා වැටෙන කොට පොළොව ඇතුළේ කම්පන ඇති වෙනවා. ඒකට කියන්නේ ක-ලැප්ස් බ්රේක් (Collapse Break) කියලා. වික්ටෝරියාව ආශ්‍රිතව සිද්ධ වුණු භූමි කම්පාවේ ලක්ෂණ අනුව මම හිතන්නේ ඒක කලැප්ස් බ්රේක් ( (Collapse Break) එකක් කියලා. හොඳට බැලුවොත් පේනවා වික්ටෝරියා රක්ෂිතයට අයත් නිම්නයේ වතුර පිරිලා තියෙන කොටසේ 50% කට වඩා තියෙන්නේ හුණු ගල්. ඒ හුණුගල් තට්ටු ජලාශයෙන් ඔබ්බට ගමන් කරනවා.ඒවා වැඩිපුර වැටිලා තියෙන්නේ දිගන, රජවැල්ල, පල්ලේකැලේ, අලුත්වත්ත වගේ පැති වලටයි.

දිගන ආශ්‍රිතව මහ පරිමාණයෙන් හුණුගල් කැණීම් කරනවා. සමහර තැන්වල අඩි සීය, එකසිය පනහ, දෙසීය ඇතුළට කැණීම් කරලා තියෙනවා. ඒවා බලපත්‍ර අරගෙන තමයි කරලා තියෙන්නේ. ඒත් බලපත්‍රවල තියෙන කොන්දේසි වලටම ඒවා කරනවාද කියන සැකය තියෙනවා. ජලය වැඩිපුර තිබුණම සාමාන්‍යයෙන් ස්වභාවිකව හුණුගල් තට්ටුවක සිදුවන කඩා වැටීම ඉක්මන් කරනවා. මිනිස්සු කරන කැණීම් නිසා මේක වඩා ඉක්මනින් සක්‍රීය වෙන්න හැකියාව ඇති වෙනවා. රිච්ටර් මාපකයේ 3.5 ක භූමි කම්පාවකට වුණත් ඔරොත්තු දෙන විදිහට තමයි වේල්ල හදලා තියෙන්නේ. ඒ නිසා වේල්ල ගැන බයක් වෙන්න ඕන නැහැ.

පල්ලේකැලේ, මහකනදරාව, හක්මන හා බුද්ධංගල යන ප්‍රදේශවල භූ කම්පන මාන හතරක් සවිකර තිබෙන අතර ඉතා සුළු භූ කම්පන තත්ත්වයන්ට අදාළ දත්ත ලබා ගැනීම අසීරු බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි. ඒ අනුව වික්ටෝරියා ජලාශය අවට අධිසංඛ්‍යාත භූ කම්පන මාන 10 ක් සවි කිරීමට එම කාර්යාංශය පියවර ගනු ලැබුවේ භූ කම්පන වලට හේතුව සෙවීම සඳහා පත්කළ කමිටුවේ නිරීක්ෂණ වැඩපිළිවෙළට සමගාමීවය.

මේ පිළිබඳව අදහස් දැක්වූ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ ගේ අදහස මෙසේය.

‘පේරාදෙණිය විශ්ව විද්‍යාලය, මහවැලි අධිකාරිය,ආපදා කළමනාකරණ ඒකකය ඇතුළු ආයතන නියෝජනය කරමින් 12 දෙනෙකු පමණ මේ සම්බන්ධව සොයා බැලීමට පත් කළ කමිටුව නියෝජනය කළා.වේල්ල ආසන්නයේ සිදු කරන හුණු ගල් කැනීමේදී සිදු කරන පිපිරවීම් මඟින් වික්ටෝරියා වේල්ලට කිසියම් හෝ බලපෑමක් එල්ල වේ යැයි සිතා අපි ඒ ආසන්න මීටර 100 ක සීමාවක තිබෙන හුණුගල් කැණීම් බලපත්‍ර අවලංගු කරන්න තීරණය කළා. ඇත්තටම අපි මේ තීරණය ගත්තේ වේල්ලේ ආරක්ෂාව ගැන හිතලයි. මේ කම්පන වලට හේතුව තාම නිශ්චිතව සොයා ගැනීමට හැකිවී නැහැ. දැනට තිබෙන්නේ අනුමාන පමණයි. පොළොව අභ්‍යන්තරයේ ඇති හුණුගල් පාෂාණ තට්ටු කඩා වැටීම නිසා මෙම කම්පන ඇතිවන බවටද මතයක් තිබෙනවා. තව දුරටත් අපි මේ සම්බන්ධව පරීක්ෂණ සිදු කරනවා‘

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසුවේය.

‘මේ භූ කම්පන ඇතිවීම ගැන තවමත් නිශ්චිත අදහසක් ප්‍රකාශ වී නැහැ. අපි ඒ ගැන සොයා බලන්න ඕන. මොකද ප්‍රදේශයේ ජනතාව ඒ ගැන දැන ගැනීමේ වුවමනාවෙන් පසු වෙනවා. හුණුගල් ආශ්‍රිත කර්මාන්ත වල නියැළෙන විශාල පිරිසක් එම ප්‍රදේශයේ ඉන්නවා. අපි ඔවුන් ගැනත් අවධානය යොමු කළ යුතුයි. ජලාශයේ ආරක්ෂාව වැදගත්. භූ විද්‍යා හා පතල් කාර්යාංශය ජලාශය ආසන්නයේ තිබෙන හුණුගල් කැණීම් බලපත්‍ර අවලංගු කිරීම අගය කළ යුතුයි. පසුගිය වසරේ අගෝස්තු මස සිට මාස දෙක තුනක් ඇතුළත් භූ කම්පන නවයක් පමණ එම ප්‍රදේශයේ ඇති වුණා. මේ නිසා ජනතාව නොසන්සුන් වී විරෝධතා පවා දක්වන්නට උත්සහ කළා. මේ වන විට කම්පන වාර්තා වීමක් දකින්න ලැබෙන්නේ නැහැ. එසේ වුවත් අපි අවධානයෙන් සිටීම වැදගත්. මොකද ජනතාව තමයි මෙහිදී හොඳම සන්නිවේදකයා වන්නේ...

වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවූ භූ කම්පන වලට හේතුව මෙතෙක් නිශ්චිතව සොයා ගෙන නොමැත. පොළොව මතුපිට සිදුවන යම් ක්‍රියාවලියක් දෑසින් දැක තීරණ වලට එළැඹිය හැකි වුවද පොළොව අභ්‍යන්තරයේ සිදුවන එවැනි දේ පිළිබඳව පහසුවෙන් තීරණ වලට එළඹීය නොහැකි බව මහාචාර්ය අතුල සේනාරත්න පවසයි. මේ නිසා ජලාශය ආශ්‍රිත හුණුගල් කැණීම් නතර කළත් ජනතාවට තාමත් ඉන්නට සිදුව තිබෙන්නේ දෙගිඩියාවෙනි. ඒ භූ කම්පන සැබෑවටම සිදුවන්නේ හුණුගල් කැණීම සඳහා යොදා ගන්නා වෙඩි පිපිරවීම් නිසා පොළොව අභ්‍යන්තරයේ ඇති හුණුගල් තට්ටු කඩා වැටීම මඟින්ද නැතහොත් වෙනත් හේතුවක් නිසාද යන්න තවමත් නිශ්චිතව කීමට මෙතෙක් කිසිවෙකුත් සමත්ව නොමැති නිසාය.

ඡායාරූප-රුවන් මීගම්මන

 

Comments