
ඔක්තෝබර් 10 වැනි අද දිනට ලෝක මානසික සෞඛ්‍ය දිනය යෙදී ඇත. ‘අසමාන ලෝකයක මානසික සෞඛ්‍ය’ යන තේමාව යටතේ මෙවර ලොව පුරා මානසික සෞඛ්‍ය දිනය සමරයි. මානසික සෞඛ්‍යය වෙනුවෙන් සැමරුම් දිනයක් ආරම්භ වූයේ 1992දී ජිනීවා නුවරිනි. ඊට මුල් වූයේ රාජ්‍ය නොවන අන්තර් ජාතික සංවිධානයක් වන World federation for mental health සංවිධානයයි. මේ දිනය සැමරීම සඳහා පසුකාලීනව ලෝක සෞඛ්‍ය සංවිධානය ද එක්විය.
මානසික සෞඛ්‍යය සඳහා දිනයක් නියම කිරීමේ ප්‍රධාන අරමුණ මානසික සෞඛ්‍යය සහ ඊට අදාළ ප්‍රශ්න සහ ගැටලු පිළිබඳව මහජනතාවට අවබෝධය ලබාදීම මෙන්ම දැනුම්වත් කිරීමයි. ඒ අනුව සෑම වසරකම එම වසරට අදාළ වන තේමාවක් ඔස්සේ ලෝකය පුරාම මේ දිනය සමරනු ලබයි. ඒ අනුව මෙවර තේමාවට පදනම් වී ඇත්තේ ලොව පුරා පැතිරුණු කොවිඩ් වසංගතය නිසා මතුවූ ඇති-නැති පරතරයේ අසමානතාවන් වඩා තීව්‍ර වීම පිළිබඳවය. මේ තේමාව තෝරා ගැනීමට හේතුව ද එයයි.
එමෙන්ම මානසික සෞඛ්‍ය වැදගත්කම ඉස්මතු වීමට සහ මානසික සෞඛ්‍ය නිසියාකාරයෙන් නොලැබෙන අවස්ථාවලදී සමාජයේ නොයෙක් පරාසයන්ට අයත් වූවන්ට එය බලපානු ලබන ආකාරය ද තේමාව අනුව ඉස්මතු වෙයි. උදාහරණයක් ලෙස වසංගතය පාලනය කිරීමට මහජනතාවට ප්‍රධාන නිවාරණ ක්‍රමවේදයන් තුනක් වෙයි. සරල උපක්‍රම වන්නේ මුව ආවරණ ශාරීරික දුරස්ථ භාවය සහ අත සෝදා ගැනීමයි . මේ තුනම චර්යාවන් වෙයි; එනම් හැසිරීම් වෙයි.
මේ හැසිරිම් සිදුවන්නේ මොළය හරහාය. ඒ හැසිරිම්වලට බලපාන කාරණ දෙකක් වෙයි; එනම් සිතුවිලි, චිත්තවේග සහ හැඟීම් යන මේ තුන එකට ගමන් කරයි. මේ තුන අතර අන්තර් සම්බන්ධතාවක් පවති. මෙසේ හැසිරීම් සඳහා පුද්ගලයකුගේ සිතුවිලි සහ හැගීම් බලපානු ලබයි.
කොවිඩ් මඟින් මානසික සෞඛ්‍යයේ ඇති වැදගත්කම ඉස්මතු වෙයි. මේ වසංගතයෙන් වඩා අසමානතාවන්ට ගොදුරු වූයේ මානසික රෝගීන්ය. එමෙන්ම මේ වසංගතය නිසා ඇතැම් පිරිසකට මානසික ගැටලු මතුවී ඇති ආකාරයක්ද දක්නට ලැබෙයි. වර්තමානයේ සමාජයේ නොයෙකුත් පරාසයන්ට කොවිඩ් නිසා ඇතිවූ සමාජ වෙනස් වීම් නිසා විශාල ගැටලු මතුවී ඇත. විශේෂයෙන් ඉදිරි පරපුර වන දරුවන්ට මෙය විශාල ලෙස බලපෑම් ඇතිකිරීම විශාල සමාජ ගැටලුවකි.
අපේ රටේ පාසල් දරුවන්ට මේ වසංගත රෝගය නිසා දිර්ඝකාලයක් මුළුල්ලේ නිවෙස්වල රැදි සිටීමට සිදුවිය. ඒ තත්ත්වය මානසික වශයෙන් කෙසේ බලපාන්නේද යන කාරණාව ඉතා වැදගත් වෙයි. වසර එක හාමාරකට අධික කාලයක් දරුවන් පාසැල් ජිවිතයෙන් ඈත්වී සිටීම ඉතා අහිතකර තත්ත්වයකි.
එහිදී දරුවන්ට දෛනික ක්‍රියාකාරීත්වය නැතිවීමෙන් ඔවුන්ගේ මානසිකත්වය වෙනසකට භාජනය වී ඇත. දරුවකු පාසල් යෑම යනු ඉගෙනගැනීම පමණක් නොවෙයි. ඔවුන්ට නිවෙසේ කළ හැකි ක්‍රියාකාරකම් අවම වෙයි. මෙය දරුවන්ට විශාල ලෙස බලපානු ලබන මානසික ගැටලුවකි. සමවයස් කණ්ඩායම් ඇසුරු කිරීමට, ක්‍රීඩා කටයුතු සහ විෂය බාහිර කටයුතු කිරීමට, ජය පරාජය විඳදරා ගැනීමට සහ පෞරුෂත්වය වර්ධනය කර ගැනීමට පාසලින් දරුවන්ට අවකාශ ලැබේ. විශේෂයෙන් අන්තර්ජාලය මඟින් මාර්ගගත අධ්‍යාපනය නව අත්දැකීමක් වෙයි. මවුපිය අවබෝධය අඩුවීම නිසා අධීක්ෂණයකින් තොරව දරුවන් මාර්ගගත අධ්‍යාපනික ක්‍රියාවලියේ යෙදීම අහිතකර වෙයි.
වැඩි වේලාවක් අන්තර්ජාලයේ රැදී සිටීමෙන් එයට ඇබ්බැහිවීම ද විශාල ගැටලුවක් බවට පත්ව ඇත. ඇතැම් මවුපියන් කාර්ය බහුලවීම නිසා ඒ පිළිබඳ අධීක්ෂණය කිරීමටද නොහැකි වෙයි. මවුපියන් රැකියාවට යන අවස්ථාවලදී දරුවන් නිවෙස්වල හුදෙකලාවීම ද දරුවන්ගේ මනසට අහිතකර ලෙස බලපානු ලබයි. සමාජ දුරස්ථ භාවය නිසා නිවසේම රැඳීමට සිදුවන නිසා සමවයස් කණ්ඩායම් සමඟ ඇසුරට ද අවස්ථාව නොලැබෙයි.
වර්තමානයේ දරුවන් විශාල ප්‍රමාණයකට අලස බව (boredom) ඉච්චාභංගත්වය, අරමුණක් නැතිවීම සහ කිරීමට කටයුත්තක් නොමැතිවීම හරහා දරුවන්ට සාංකාව, මානසික ආතතිය සහ විශාදය වැනි තත්ත්වයන් විශාල වශයෙන් ඇති වීමේ ප්‍රවණතාවයක් ද වෙයි. එහිදී නිවෙසේ කළ හැකි එකම කාර්ය අන්තර්ජාලය සමඟ කාලය ගත කිරීම නිසා එයට ඇබ්බැහි වෙයි. පාසල් දරුවන් අන්තර්ජාලයේ රැඳී සිටින කාල සීමාව මේ වනවිට වැඩි වී ඇත. මේ අන්තර්ජාලයේ හැසිරීම පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයකට දරුවා පත්වෙයි.
දරුවන් මෙයින් මුදවා ගැනීමට උත්සාහ කිරීමේදී ඉක්මනින් කේන්ති යන තත්ත්වයකට සහ කලහාකාරී වීම සහ විශේෂයෙන් මනස නොසන්සුන් වීමේ තත්ත්වයකට පත්වීම විශාල ගැටලුවක් වෙයි. ඇතැම් දරුවන් එයින් මිදීමට ඇති අකමැත්ත නිසාම ඇතැම් විට මවුපියන් සමඟ ගැටුම් ඇති කරගෙන ඇති අවස්ථාද වාර්තා වෙයි. එමෙන්ම සියදිවි නසා ගත් අවස්ථා පිළිබඳවද පසුගිය කාලයේදී අනාවරණ විය.
පාසලේ අපේක්ෂිත ඉදිරිපත් වීම, සමාජයේ ගැවසීම, එකිනෙකා අතර අන්‍යොන්‍ය අදහස් හුවමාරුව, පෞරුෂත්ව වර්ධනය, ජය පරාජය දරාගැනීම් සියල්ල දරුවන්ට නොලැබී යෑමෙන් මේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමය තුළ සිරවී සිටිමෙන් දරුවන්ගේ එදිනෙදා ක්‍රියාකාරකම් සහ සමාජ සම්බන්ධතාවන්ට සැලකිය යුතු බලපෑමක් ඇතිවීම සහ එම කටයුතු අඩාළ වීමද මෙමඟින් සිදුවෙයි.
ඇතැම් දරුවන් අන්තර්ජාලය භාවිතය සහ ඊට අදාළ කරුණු ගැන මවුපියන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් සැඟවීමට උත්සාහ කිරීම දක්නට ලැබෙන අතර අන්තර් ජාලය හරහා ලිංගික හිංසනයනට cyber bullying හෙවත් සයිබර් හිරිහැරවලට ලක්වූ දරුවන්ද වෙයි. නුසුදුසු ලිංගික ක්‍රියාවලට යොමුවීම නිසා මේ වනවිට විශාල ලෙස ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇත. ඒ අනුව දරුවන්ගේ පෞද්ගලිකත්වයට හානි වන අවස්ථා ද වෙයි.
ඇතැම් දරුවෝ වෙනත් කිසිදු ක්‍රීඩාවක නොයෙදෙන අතර එකම විනෝදංශය අන්තර්ජාලය බවට පත් කරගත් කරගෙන ඇත. අන්තර්ජාලය සමඟ හුදෙකලාව ජීවත් වන දරුවන්ට ඉදිරියේදී ඇතිවිය හැකි අහිතකර තත්ත්වය වන්නේ බාහිර පරිසරය සහ පුද්ගලයන් සමඟ ඇති සම්බන්ධතාවන් අඩුවීම මත සමාජයෙන් දුරස්වී සිටිම මෙන්ම ගැටලුවලදී නොබියව මුහුණදීමේ පෞරුෂත්වය බිඳවැටි භීන්න පෞරුෂත්වයක් සහිත පුද්ගලයන් බවට පත්වීමයි.
විශේෂයෙන් පාසලේදී කරනු ලබන සියලු ක්‍රියාකාරකම් අඩාළ වීමත් සමඟ ශාරීරික ව්‍යායාම නොලැබීම නිසා ශාරීරික සෞඛ්‍යයටද අහිතකර බලපෑම් වේ. ස්ථූලභාවය සහ බෝනොවන රෝග වැනි තත්ත්වයන් බොහෝ විට දක්නට තිබේ. ඇතැම් දරුවන්ට රාත්‍රියේ නින්ද නොයන අතර නින්දට අදාළ රෝගාබාධ රැසකටද ගොඳුරු වෙමින් පවතී. මේ සියලු කරුණු නිසා දරුවන්ගේ බුද්ධි වර්ධනයද අඩාළ වෙයි. මතක ශක්තිය දුර්වලවීම, ධාරණ ශක්තිය අඩුවීම, අවධානය අඩුවීම, සිතීමේ සහ නිර්මාණශීලි භාවය අඩුවීම, තීරණ ගැනීමේ නොහැකියාව වැනි පෞරුෂත්වයට බලපාන හේතු සාධකද මේ තත්ත්වය තුළින් මතු වෙයි.
මෙම තත්ත්වය වළක්වා ගැනීමට හැකි සෑම විටම මවුපියන් දරුවන් සමඟ කාලය ගත කිරීමට වගබලාගත යුතුයි. වැඩිහිටි අධීක්ෂණය යටතේ දරුවන්ට මාර්ගගත අධ්‍යපන කටයුතුවල යෙදීමට අවස්ථාව සලසා දිය යුතුය. දරුවන්ට නිවෙසේදී කළහැකි ක්‍රියාකාරකම් සකසා දිය යුතුය. දරුවන් නිවසේ කටයුතුවලට සහභාගි කරගැනීම, පරිසරය කෙරෙහි යොමු කිරීම සහ සුරතල් සතුන් සමඟ කාලය ගත කිරීම මානසික සුවය ඇති කරලීමට වඩා වැදගත්ය.
කෙසේ වෙතත් කොවිඩ් වයිරසය පැතිරයෑමත් සමඟ සමාජයේ බොහෝ පරාසයන්ට අහිතකර බලපෑම් රැසක් මතු විය. විශේෂයෙන් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද එය අහිතකරලෙස බලපානු ලබයි. අසමාන ලෝකයක මානසික සෞඛ්‍යය යන තේමාව මෙවර ලබාදීමට හේතුවද මේ කොවිඩ් නිසා වැඩි වශයෙන් මතුවූ ඇති නැති පරතරය ඇති හැකි සහ නැති බැරි සමාජ පරතරයන් විශාල වශයෙන් වැඩිවෙමින් තිබීමයි.
ඇති නැති පරතරයන් වැඩිවීම මිනිසුන්ගේ මානසික සෞඛ්‍යයට ඍජුවම බලපානු ලබයි.
පොදුවේ ගත්විට ලෝකය පුරාම මානසික රෝගින්ට ඔවුන්ගේ අවශ්‍ය පහසුකම් ලැබීම අවම වෙයි. ඔවුන්ට ප්‍රතිකාර කළ හැකි වුවත් ප්‍රතිකාර පහසුකම් ලබා ගැනීමේ අපහසුවක් වෙයි. මෙය වඩා තීව්‍ර වන්නේ අඩු ආදායම් සහ මධ්‍ය ආදයම් ලබන රටවලය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමීක්ෂණ අනුව ප්‍රතිකාර ලැබීම් අතර පරතරය එනම් ප්‍රතිකාර අතර හිඩැසක් ඇති බව සඳහන් වෙයි. ඒ අනුව රෝගීන් සියයක් ගත් විට ඒ අයගෙන් ප්‍රතිකාර ලබන පිරිසට අමතරව ඉතිරිවන ප්‍රමාණයය ප්‍රතිකාර හිඩැස ලෙස හැඳින්වෙයි. මේ හිඩැසට හේතුව සමාජ අසමානතාවයයි. අපේ රටේ රජයෙන් ලබාදෙන සෞඛ්‍ය සේවාවන් තල තුනක් අනුව ලබාදෙයි; එනම් ප්‍රාථමික, ද්විතීක සහ තෘතීක ලෙසිනි. යම් කිසි සෞඛ්‍ය සේවාවක් වඩා හොඳින් ලබාදීමට නම් මේ තල තුනෙහිම තිබිය යුතුයි.
මානසික සෞඛ්‍ය සේවාව මෙරට ක්‍රියාත්මක වන්නේද තෘතික සහ ද්වීතික මට්ටමේ සේවාවන් පමණි. ප්‍රාථමික මට්ටමට දිවයින පුරා ව්‍යාප්ත වී නැත. එය සමාජ අසමානතාව මානසික සෞඛ්‍ය සේවාවට බලපාන ආකාරය පෙන්නුම් කරන එක් අවස්ථාවකි. මානසික රෝගයකින් පෙළෙන අය සමාජයේ අපවාදයන්ට ලක් වෙයි. ඒ අපවාද නිසාම ඔවුන්ට වෙනස් කොට සලකයි; මෙය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි. මානසික රෝගයක් යනු මොළයේ ඇති වන යම්කිසි දෝෂ තත්ත්වයකි. වෙනත් රෝග මෙන්ම මෙය ද රෝගි තත්ත්වයකි. පවුල තුළ අධ්‍යාපන කටයුතුවලදී මෙන්ම රැකියා ස්ථානවලදී පවා මේ තත්ත්වය ඇතිවෙයි. මේ අපවාදය සහ වෙනස් කොට සැලකීම ලෝකයේ බොහෝ රටවල්වල වෙයි. සමාජයේ ඇති වැරදි ආකල්ප වැරදි අවබෝධයන් ඊට හේතු වෙයි.
අපේ සෞඛ්‍ය සේවය රෝහල් මූලික සේවාවක් වෙයි. තවද රෝග මූලික සේවාවක් ලෙස මෙය ක්‍රියාත්මක වෙයි. මානසික සෞඛ්‍යය යන කාරණාවේදී රෝගයට එහා යන කරුණු සොයා බැලිය යුතුයි. එනම් ඊට බලපාන ආර්ථීක, සමාජ හා පාරිසරික හේතුන් සොයා බැලිය යුතුය.
එබැවින් මානසික සෞඛ්‍යය ඉදිරියට ගෙන යෑමට නම් අලුත් නිර්දේශ ඉදිරිපත් කළ යුතුයි. ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් දක්වා මෙය ගෙනයා යුතුය. එමෙන්ම රෝහල් සේවාවට පමණක් සීමා නොවී ප්‍රජා මානසික සේවාව දක්වා ගෙන යා යුතුයි.
රෝගයට පමණක් සීමා නොවී පුද්ගලබද්ධ සේවාවක් බවට පත්විය යුතුය. රෝගීන් රැක බලාගනු ලබන පුද්ගලයන් මේ සඳහා ක්‍රියාකාරිව දායකත්වය සහ වගකීම් දැරිය යුතුය. මානසික පීඩාවන් බොහෝ විට මනස මුල්වී ඇතිවන නිසා අපි මේ තත්ත්වය වටහාගෙන කටයුතු කළ යුතුය. සියලු දේට මනස මූලික වන නිසා මානසික සෞඛ්‍ය කෙරෙහි ඇති වැදගත්කම අප වටහාගත යුතුය.