ඔබේත් දරු­වා­ගේත් ආර­ක්ෂාව වෙනු­වෙන් කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ගන්න | සිළුමිණ

ඔබේත් දරු­වා­ගේත් ආර­ක්ෂාව වෙනු­වෙන් කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ගන්න

 

කොවිඩ් වසංගතය හමුවේ කුඩා දරුවන් සහ ගැබිනි මවුවරුන් කෙරෙහි බොහෝ දෙනකුගේ වැඩි අවධානයක් යොමු වී ඇත. ගැබිනි මවුවරුන් සහ වයස අවුරුදු 1ට වඩා අඩු දරුවන් සිටින කිරි දෙන මවුවරුන් මේ දිනවල සේවයට නොකැඳවීමට රජය තීරණය කර තිබෙන්නේ ද ඒනිසාය. කොවිඩ් සමඟ සාමාන්‍ය ජන ජීවිතයට පුරුදු වීමට සූදානම් වන මේ මොහොතේ ගැබිනි මවුවරුන් සහ කුඩා දරුවන් එයින් ආරක්ෂා කර ගන්නා ආකාරය ගැන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි, වෛද්‍ය දේශානි හේරත් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි මේ.

 

• ගැබිනි මවුවරුන් කොවිඩ් වයිරසය වැලඳීමේ වැඩි අවදානමක් සහිත කාණ්ඩයට ගැනෙන බව අපට දක්නට ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?

කොවිඩ් වයිරසයට ගැබිනි මවුවරුන් ගොදුරු වුණේ මේ අවුරුද්දේ අප්‍රේල් මාසයෙන් පසුව අලුත් අවුරුදු පොකුරෙදී. මේ වන විට ගර්භණි මාතාවන් 57ක් මියගොස් තිබෙනවා. කොවිඩ් වයිරසය ගැබිනි, වැඩිහිටි, ළමා කියලා වෙනසක් නැහැ, කාටත් එක වගේ වැලඳෙනවා. ඒත් ගර්භණී තත්ත්වය නිසා ගර්භණී මාතාවන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩු විය හැකියි. ඒ නිසා ඒ අයට කොවිඩ් වයිරසය වැලඳීමේ අවදානම වැඩියි. සමහර වෙලාවට දරුවන් ලැබෙන්න සිටින කාන්තාවන්ට ගර්භණී සමයේදී අධිරුධිර පීඩනය, දියවැඩියාව ඇති වෙනවා. එවැනි මවකට කොවිඩ් හැදුණොත් තත්ත්වය නරක අතට හැරෙනවා. ඒවගේ රෝගවලින් පෙළෙන ගැබිනි මවුවරුන්ට ඉක්මනින් කොවිඩ් වයිරසය වැලඳීමේ හැකියාව තිබෙනවා. අනෙක් කාරණාව තමයි ගැබිනි මවගේ වයස අවුරුදු 35ට වැඩිවීම, අධික ස්ථූලතාව සහ නිදන්ගත රෝගවලින් පෙළෙන්නේ නම් ඒ අයට කොවිඩ් ආසාදනය වුණාම දරාගන්න අමාරුයි. ඒ නිසයි ගැබිනි මවුවරුන් අවදානම් සහිත කණ්ඩායමක් වශයෙන් සලකන්නේ.

 

• ගර්භණි සමයේදී මව එන්නත් ලබා ඇතිනම්, දරු උපතට පෙර සහ පසු වයිරසයට එරෙහිව සටන් කිරීම සඳහා දරුවාට ප්‍රතිදේහ තිබෙනවාද?

කොවිඩ් එන්නත ලබා ගත් ගැබිනි මවුවරුන්ගෙන් කුස තුළ සිටින දරුවන්ට ප්‍රතිදේහ ගිහින් යම් ආරක්ෂාවක් ලැබෙන්න පුළුවන්. අපේ රටේ කොවිඩ් ආසාදනයෙන් මිය ගිය ගැබිනි මවුවරුන්ගෙන් වැඩි දෙනෙක් එන්නත් එකක්වත් අරගෙන තිබුණේ නැහැ. ඒ අතරින් සමහරු එක් එන්නතක් පමණක් ගෙන තිබුණේ. කොවිඩ් එන්නත් ලබා නොගෙන කොවිඩ් වයිරසයට ගොදුරු වුණු සමහර ගර්භණි මවුවරුන්ගේ ජීවිත බේරුණත් නොමේරූ දරු උපත් සිදු වුණා. සමහර මවුවරුන්ට මළ දරුඋපත් සිදු වුණා. සමහරුන්ගේ දරුවන් බිහි වුණත් උපත් බර හුඟක් අඩු වී තිබුණා. ඒ නිසයි ගැබිනි මවුවරුන්ට නොබියව කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ගන්න කියලා නිර්දේශ කරන්නේ. එයින් මව වගේම කුස තුළ සිටින දරුවාටත් යම් ආරක්ෂාවක් ලැබෙනවා.

 

• ගැබිනි මවකගේ කුස තුළ සිටින දරුවාට වයිරසය සම්ප්‍රේෂණය විය හැකිද?

ප්‍රතිදේහ සම්ප්‍රේෂණය වූ බව සොයාගෙන තිබෙනවා. ඒත් වයිරසය සම්ප්‍රේෂණය වූ බව තවමත් සොයාගෙන නැහැ. ඒ සම්බන්ධයෙන් අදහසක් පළ කරන්න සායනික දත්ත ප්‍රමාණවත් නැහැ.

 

• කොවිඩ් ආසාදනය වූ මවක් තම බිලිඳාට කිරි දෙන විට කොවිඩ් වයිරසය සම්ප්‍රේෂණය විය හැකිද?

මව කොවිඩ් රෝගියකු වුණත් බබාට කිරිදීම නවත්වන්න එපා කියලා උපදෙස් දෙන්න කැමතියි. මොකද මවුකිරිවල ලෙඩ නැති කිරීමේ ශක්තියක් තිබෙනවා. මවුකිරිවලින් දරුවාට ප්‍රතිශක්තිකරණයක් ඇති වෙනවා. ඒනිසා බබාව අතට ගන්න ඉස්සෙල්ලා අත් සබන් ගාලා හොඳින් සෝදාගෙන මුව ආවරණ පැලඳගෙන අම්මා බබාව අරගෙන මවුකිරි දුන්නාට කමක් නැහැ. ඒ විදිහට කිරි දෙනවා නම් බබාට කොවිඩ් වැලඳෙන්නේ නැහැ. කොහොමටත් දරුවාව අතපත ගෑමෙන්, සිප ගැනීමෙන් මව වැළකී සිටිය යුතුයි. කොවිඩ් කිරි මඟින් ආසාදනය වෙන්නේ නැහැ. කෙළ බිඳිතිවලිනුයි කොවිඩ් හැදෙන්නේ. චීනයේ වූහාන් නගරයේදී සොයාගෙන තිබෙනවා කොවිඩ් වැලඳුණු මවුවරුන්ගේ කිරි මඟින් දරුවන්ට ප්‍රතිදේහ සම්ප්‍රේෂණය වූ බව. ඒත් කිරි මඟින් කොවිඩ් වයිරසය සම්ප්‍රේෂණය වූ බව නම් සොයාගෙන නැහැ.

 

• අලුත උපන් බිලිඳුන්ට සහ ළදරුවන්ට කොවිඩ් රෝගයෙන් බලපෑම් එල්ල වන්නේ කෙසේද?

අලුත් උපන් බිලිඳුන්ගේ ප්‍රතිශක්තිකරණය අඩුයි. ඒනිසා රෝග වැලඳීමේ හැකියාව වැඩියි. අලුත උපන් දරුවන්ගේ පෙනහලු සහ ශ්වසන පද්ධතිය පරිණත වී නැහැ. ඒ නිසා බිලිඳුන්ට කොවිඩ් වැලඳුනොත් අමාරු වෙන්න පුළුවන්. ඒවගේම තමයි සංජානනීය ආබාධ සහිත දරුවන්ට නොමේරු දරුවන්ට කොවිඩ් අවදානම වැඩියි. අලුත උපන් බිලිඳුන් රැකබලා ගැනීමේදී වැඩිහිටියන් නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් බබාගේ වැඩකටයුතු කරනවා නම් හුඟක් හොඳයි.

 

• වැඩිහිටියන් සමඟ සැසඳීමේදී ඔවුන්ට වඩා වෙනස් රෝග ලක්ෂණ කුඩා දරුවන් තුළින් පෙන්නුම් කරනවාද?

කොවිඩ් රෝගයට ගොදුරු වෙන්නේ ශ්වසන රෝග පද්ධතිය නිසා කැස්ස, උණ, උගුරේ වේදනාව, සොටු දියර ගැලීම, ඇඟපත වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ පොදු වශයෙන් දකින්න පුළුවන්.

ඒත් බ්‍රිතාන්‍යයේ හාවඩ් විශ්වවිද්‍යාලය සිදු කළ අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා, දරුවන්ට රෝග ලක්ෂණ පෙන්වන්නේ ඉතා අඩුවෙන් බව. දරුවන්ගෙන් පළ වෙන්නේ මෘදු රෝග ලක්ෂණ. ඒවගේම දරුවන්ට සුව වීමේ කාලය ඉක්මන් බවත් හෙළි වී තිබෙනවා.

 

• කොවිඩ් වයිරසය ආසාදනය වූ දරුවන්ට දිගුකාලීන අතුරු ආබාධ හෝ සංකූලතා ඇති විය හැකිද?

වැඩිහිටියන්ට සාපේක්ෂව දරුවන්ට දිගුකාලීන රෝග ලක්ෂණ ඇති වීමේ සම්භාවිතාව අඩුයි. කොවිඩ් රෝගය වැලඳුණු සමහර දරුවන්ට සති 2 - සති 6න් පසුව ඇඟපත වේදනාව, බඩේ අජීර්ණය, වමනය, අප්‍රාණික බව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන අවස්ථාත් තිබෙනවා. මෙය බහු පද්ධති ප්‍රතිදාහ සින්ඩ්‍රෝමය (Multi System Inflammatory Syndrome in children) වශයෙන් හඳුන්වනවා. එම රෝගී තත්ත්වය මුලින්ම හඳුනා ගත්තේ බ්‍රිතාන්‍යයෙන් සහ ඇමෙරිකාවෙන්. ස්විස්ටර්ලන්තයෙනුත් මේ හා සමාන රෝග ලක්ෂණ සහිත දරුවන් හමු වී තිබෙනවා. හැබැයි අවම මට්ටමකින් තමයි මෙම රෝග ලක්ෂණ සහිත දරුවන් හමු වී තිබෙන්නේ. ලංකාවේ දරුවන් 100ක් පමණ හමු වී තිබෙනවා. මෙය මොළය, ස්නායු, හෘදය, පෙණහලු ආදි වශයෙන් සිරුරේ සමස්තයටම බලපෑමක් කරන්න පුළුවන්. ඒනිසා මෙම රෝග ලක්ෂණ පෙන්වන දරුවන්ව නොපමාව රෝහලකට රැගෙන යා යුතුයි. ඒ හැර කොවිඩ් ආසාදනය වූ දරුවන්ට බහුලව දිගුකාලීන අතුරු ආබාධ හෝ සංකූලතා ඇති වෙන්නේ නැහැ.

 

• නිවෙස් තුළටම කොටු වී මාර්ගගත අධ්‍යාපනය ලබන දරුවන් තුළ මානසික ආතතිය වැඩි වන බවට පළවන අදහස ගැන ඔබේ මතය කුමක්ද?

දුරකතනයේ හෝ පරිගණකයේ තිරය දෙස බලාගෙන සිටීම දරුවන්ට වෙහෙසකරයි. බොහෝවිට මාර්ගගත අධ්‍යාපනය සිදුවෙන්නේ One way communication ආකාරයටයි. ඒ නිසා ඇහෙනවා විතරයි. සමහරුන් පාසල් කාලය කියලා උදේ 7.30 සිට දවල් 1.30 වන තුරු එක දිගට මාර්ගගත අධ්‍යාපනය ලබා දෙනවා. මෙය කිසිසේත්ම හොඳ දෙයක් නොවෙයි.

ළමයින්ට අඛණ්ඩවම එක දිගට සිතිවිලි තියාගන්න බැහැ. දරුවන්ට පාඩම් අතරමැද විවේකයක් අවශ්‍යයි. සම වයසේ යාළුවන් ආශ්‍රය කරන්න ක්‍රමයක් නැති නිසා දරුවෝ තව තවත් හුදෙකලා වෙනවා. එයින් වෙන්නේ ඉක්මනට තරහ යනවා, නින්ද යන්නේ නැහැ, පාඩම් එපා වෙනවා, මානසික පීඩනය වැඩි වෙනවා. ආර්ථික ගැටලු තිබෙන පවුල්වල දරුවන්ට ඩේටා මිලදී ගැනීම, ජංගම දුරකථන මිලදී ගැනීම වැනි කාරණා සමඟ තවතවත් මානසික පීඩනය වැඩි වෙනවා. මේ තුළ දරුවන් මානසික ආතතියට ගොදුරු වීමේ අවදානමක් තිබෙනවා.

 

• දරුවන් මානසික පීඩාවෙන් වළක්වා ගැනීමට වැඩිහිටියන්ගෙන් සිදු විය යුතු කාර්යභාරය පැහැදිලි කරනවා නම්?

වැඩිහිටියන් දරුවන්ව තේරුම් ගැනීම ඉතා වැදගත්. ළමයින්ට ෆෝන් එකයි ඩේටා ටිකයි විතරක් දීලා මදි. දරුවන් දෙස සානුකම්පිතව බලන්න ඕනෑ.

දුවන්න පනින්න ඉඩදෙන්න ඕනෑ. දරුවන්ගේ මානසික පීඩාව වැළැක්වීම සඳහා වැඩිහිටියන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග අපි RISE කියලා නම් කර තිබෙනවා. R කියන්නේ Routing. I කියන්නේ Information. S කියන්නේ Social Interaction. E කියන්නේ Exercise. අද ගොඩක් දරුවෝ රෑ තිස්සේ චිත්‍රපට බලලා, පරිගණක ක්‍රීඩා කරලා උදේ 10.00ට විතර නැඟිටිනවා. එයින් සිද්ධ වෙන්නේ උදේ කෑම කන්නේ දවල්ට.

දවල්ට කන්නේ හවස. රෑට කන්නේ රෑ 11.00ට 12.00ට. දරුවන් නිවෙස් තුළ කොටු වෙලා ඉන්නවා කියලා දරුවන්ගේ routing එක වෙනස් වෙන්න බැහැ.

එය සාමාන්‍ය දින චර්යාව විදිහටම යා යුතුයි. නැතිනම් දරුවන් මානසිකව විතරක් නොවෙයි කායිකවත් ලෙඩ වෙන්න පුළුවන්. දරුවන්ගේ ව්‍යායාම සඳහා (exercise) බැඩ්මින්ටන් ක්‍රීඩා කිරීම, බයිසිකල් පැදීම, වතුවැඩවලට උදවු කර ගැනීම වගේ දේවල් වැඩිහිටියන් විසින් සිදු කළ යුතුයි. ඒ වගේම තමයි දරුවන්ට යාළුවන්ගේ ගෙවල්වල, නෑදෑ ගෙවල්වල යෑමට අවස්ථාව නැති වුණත් දුරකතනයෙන් අන්තර් සම්බන්ධතා (Social Interaction) පවත්වා ගැනීමට දරුවන්ට උදවු කිරීම වැඩිහිටියන්ගේ වගකීමක්.

හැබැයි මෙහිදී වැඩිහිටියනුත් තොරතුරු නිවැරදිව දැනගැනීම ඉතා වැදගත්. වැඩිහිටියන් දරුවන් කතා කරන්නේ කා සමඟද? මාර්ගගත අධ්‍යාපනයෙන් ඉගැන්නුවේ මොන විෂයන්ද? පරිගණකයෙන් ක්‍රීඩා කරනවාද කියලා පසු විපරම් කළ යුතුයි. වැඩිහිටියන් වටපිටාවේ සිදුවන දෑ පිළිබඳව නිවැරැදි මූලාශ්‍ර මඟින් තොරතුරු ලබාගෙන යාවත්කාලීන විය යුතුයි. මෙය අපි Information ලෙස හඳුන්වනවා.

 

Comments