දිසාපාමොක් පරපුරේ ගුරුවරු මාතර දරුවන්ගේ නැණැස පාදන හැටි | Page 3 | සිළුමිණ

දිසාපාමොක් පරපුරේ ගුරුවරු මාතර දරුවන්ගේ නැණැස පාදන හැටි

 

කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමඟ මෙරට පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩාවැටී වසර දෙකකට ආසන්න වෙමින් ඇත. අතරමැදදී ඇතැම් පළාත්වල දරුවන්ට කෙටිකලක් හෝ නැවත පාසල් යාමේ වරම් ලබුණ ද බස්නාහිර වැනි පළාත් දරුවන්ට එය හීනයක්ම විය. දරුවන්ගේ කඩාවැටුණ අධ්‍යාපනයට යළි යම් පණක් ලැබුණේ රට පුරා මාර්ගගත අධ්‍යාපන වැඩසටහන් ආරම්භ කිරීමත් සමඟය. එහෙත් එය ද ටික කාලයකට සීමාවූයේ දරුවන්ගේ අධ්‍යාපනයට යළිත් බාධා පැමිණෙමිනි. ඒ දීපව්‍යාප්ත ඔන්ලයින් ගුරු වර්ජනයත් සමඟය.

 

මෙලෙස බාධා පිට බාධා එල්ල වෙමින් මෙරට දරුවන්ගේ අධ්‍යාපනයේ හෙට දවස අඳුරුවෙමින් තිබියදී ඊට කදිම ආලෝකයක් සපයන්නට මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රාදේශීය සභාවත්, දෙවිනුවර ප්‍රාදේශීය සභාවත් පියවර ගෙන ඇත්තේ මුළු රටට ම ආදර්ශයක් ගෙන දෙමිනි.

කොරෝනාවෙන් අධ්‍යාපනය කඩා වැටුණු දරුවන් වෙනුවෙන් පළාත් පාලන ආයතනයක් මඟින් ආරම්භ කළ මෙරට පළමු අධ්‍යාපන උපකාරක වැඩසටහන වැලිගම ප්‍රාදේශීය සභාවෙන් ආරම්භ කරද්දී එහි දෙවැනි වැඩසටහන දෙවිනුවර ප්‍රාදේශීය සභාවෙන් ආරම්භ කරන්නේ දරුවන් දහස් ගණනින් වැඩසටහන් හා රොද බැඳ ගනිද්දී ය.

“අපිට අපේ පාසල් කාලය කිසිදින අමතක කරන්න බෑ. එදා අපි විඳි සතුට ඒ වාගේම ඉගෙන ගන්න ගත්තු උත්සාහය අදටත් මතකයි. එහෙත් ඒ සුන්දර පාසල් කාලය මේ කොරෝනා නිසා අපේ දරු පිරිසට දැන් කාලයක සිටි අහිමිව තිබෙනවා. අධ්‍යාපනය යම් ප්‍රමාණයකට හෝ ලබා දෙන්න ක්‍රියාත්මක වූ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයත් ගුරු වර්ජනය හමුවේ දරුවන්ට අහිමි වුණා.

අපි මේ පීඩාවට පත්ව සිටින දරුවන්ට යම් අත්වැලක් දෙන්නයි “සිප්දොර” අධ්‍යාපන උපකාර වැඩසටහන දරුවන් වෙනුවෙන් නොමිලයේම ලබා දෙන්න තීරණය කළේ. සභාවේ යෝජනාවක් සම්මත කරගෙන අපි මේ වෙනුවෙන් සක්‍රීය ලෙස කැපවෙන්න පුළුවන් ගුරුභවතුන් පිරිසකුත් එක්කරගෙන වැඩසටහන ආරම්භ කළා. සද්භාවයෙන් ආරම්භ කළ වැඩසටහන සඳහා මුල් අවස්ථාවේ ළමයින් දෙදහසක් පමණ එක්වුණත් මේ වන විට එය දහසය දහස දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ගැන ඇත්තේ පුදුම සතුටක්.

අපි හය ශ්‍රේණියේ සිට එකොළහ ශ්‍රේණිය දක්වා සිසුන්ට සියලු විෂයයන් සඳහා මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබා දෙනවා. ගුරුවරුන් දෙළොස්දෙනකු මේ වෙනුවෙන් කැප වෙනවා. අපි එම පිරිසටත් යම් සහනයක් ලබා දෙන ගමන් දරුවන් වෙනුවෙන් වැඩි අවස්ථාවක් ලබාදී තිබෙනවා” තම සභාවෙන් ක්‍රියාත්මක අධ්‍යාපන උපකාරක වැඩසටහන පිළිබඳ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ පැවසුවේය.

වැලිගම ප්‍රාදේශීය සභාව විසින් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් එලෙස ආරම්භ කළ අධ්‍යාපන උපකාරක වැඩසටහන සාර්ථක තත්වයකට පත්වද්දී අද වන විට පිරිවෙන් හා දහම්පාසල් දරුවන් සඳහා ද “දහම් සිප්දොර” ලෙසින් ද වැඩසටහනක් දියත්කර ඇත්තේ පළමු වැඩසටහනින් ලබාගත් අත්දැකීම් ද සමඟිනි.

“මේ මහා වසංගතයත් සමඟ අපේ දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටී ගෙවල්වල හිරවෙනවිට එදා අපි පාසල් පරිසරය තුළ ලබාගත් අපමණ අත්දැකීම් අපේ දරුවන්ට අහිමි වුණා. විෂයයන් වගේම ජීවිතය ඉගෙනගන්න ලැබෙන අවස්ථා නැතිවුණා.

එකතැන කොටු වුණු ශරීරය හිර වුණු පිරිසක් බවට පත් වුණා. ඒ අතර අපේ දයාබර ගුරුවරු දරුවන් වෙනුවෙන් මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබා දෙන්න ක්‍රියා කරන විට දරුවන්ගේ කඩා වැටුණු අධ්‍යාපනයට යම් සහනයක් ලැබුණත් පසුව ඇති වූ වෘත්තීමය තත්ත්වයන් නිසා අපේ දරුවන්ගේ බලාපොරොත්තු යළි බිඳ වැටුණා. අධ්‍යාපනය කඩාවැටුණු අපේ දරුවන්ට යම් හෝ සහනයක් ලබාදෙන්න අපි සභාවක් විදියට “දෙව්පුර සත්කාර” අධ්‍යාපන උපකාරක වැඩසටහන ආරම්භ කළා. මේ සඳහා ස්වේච්ඡා සේවයක් ලබාදෙන්න අපිට කෘතහස්ත ගුරු පිරිසකුත් එකතු වුණා.

ඒ අය අතර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ගුරුභවතුන්, සේවයේ යෙදී සිටින ගුරුභවතුන් සේම ප්‍රවීණ උපකාරක පන්ති ගුරුභවතුන් ද සිටිනවා. එය අපේ උත්සාහයට ලොකු ශකිතියක්. අපි දරුවන්ට මාර්ගගත අධ්‍යාපන වැඩසටහන නොමිලේම ලබා දෙන අතර අපි දරුවන් වෙනුවෙන් කිසිදු අයකිරීමකින් තොරව විෂයයන් හතක් සඳහා නිබන්ධන ද ලබා දෙනවා. අප ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ගේ සහාය මත සභා යෝජනාවක් සම්මත කරගෙන ගරු දකුණු පළාත් ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය සහිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා” දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ තම වැඩසටහන පිළිබඳ එලෙස පැවසුවේය.

“දෙව්පුර සත්කාර” අධ්‍යාපන උපකාරක වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී සභා ලේකම් නදීරා එල්. ජයවික්‍රම, ප්‍රජා සංවර්ධන නිලධාරී පී. එම්. ප්‍රියාෂා ශිරෝමි, එච්. ඒ. ලක්ෂිකා ද සිදු කරන්නේ ඉහළ කැපකිරීමකි. එමෙන්ම මෙම සත්කාරයේදී ගුරුවරුන් විසින් සකස්කරන ලද නිබන්ධන කට්ටල නොමිලයේම දරුවන්ගේ නිවෙසටම ලැබෙන්නට සැලැස්වීම ද විශේෂත්වයකි.

“අපේ රටේ අධ්‍යාපන අවස්ථා දරුවන්ට ලබාදීමේදී ඇති ප්‍රධානතම ගැටලුවක් තමයි පවුල්වල තිබෙන ඇති හැකි, නැතිබැරි පරතරය. අපි “දෙව්පුර සත්කාර වැඩසටහන තුළින් මෙම ප්‍රශ්නයටත් විසඳුමක් දෙන්න ක්‍රියා කළා. ඒ තමයි සම්පූර්ණ වැඩසටහනම දක්ෂ ගුරුවරුන් මගින් නොමිලයේම ලබාදීමයි. එතකොට මේ කොරෝනා ප්‍රශ්නය නිසා අධ්‍යාපනය අහිමි වුණ දරුවරුන්ගේ හා ඔන්ලයින් පන්ති වලට මුදල් ගෙවාගන්න බැරිව සහභාගී වන්න නොහැකිව සිටි දරුවන්ටත් මින් අපි සාධාරණයක් ලබා දුන්නා. ඒ නිසා දරුවන්ගේ සහභාගීත්වයත් වැඩියි. ගුරුවරයකු ලෙස වසර හතළිහක අත්දැකීම් ඇති කෙනෙක් ලෙස මම මේ වැඩසටහන සකස් කරන්නත් ක්‍රියාත්මක කරන්නත් ඉහළම සහාය ලබා දුන්නා. මේක ප්‍රාදේශීය සභාවක් ලෙස කරන ඉතාම හොඳ වැඩසටහනක්” අධ්‍යාපන උපකාරක වැඩසටහන සඳහා ස්වේච්ඡාවෙන්ම තම දායකත්වය ලබාදෙන ප්‍රවීණ ඉංග්‍රීසි භාෂා ආචාර්ය ලක්ෂ්මන් වෙදගේ පැවසුවේය.

“මෙම වැඩසටහන ප්‍රායෝගිකව ඉතාම වැදගත්. කොරෝනා තත්ත්වය නිසා දරුවන්ට අධ්‍යාපන අවස්ථා නොලැබීම නිසා වගේම විශේෂයෙන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අඩු ප්‍රදේශවලින් මෙය ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත්. අනෙක සුදුසුකම් සහිත හොඳ ගුරුවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් මඟින් මෙය මෙහෙයවීමත් තවත් විශේෂත්වයක්. මෙය දුර දක්නා නුවණින් ගත් හොඳ තීරණයක් ලෙසයි මම දකින්නේ” උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වූ එස්. කොණ්ඩාරගේ පැවසීය.

මෙම උපකාරක වැඩසටහන්හි කදිම ඵලය ලබන්නේ දරුවන්ය. පාසල් වැසුණු පසු තම අධ්‍යාපනයට ඇතිවූ බාධාවන් මගහරවා ගැනීම සඳහා මෙම මාර්ගගත ඉගෙනුම් ක්‍රමවේදය පිහිටවූ ආකාරය මාතර සාන්ත මරියා කන්‍යාරාමයේ ටී. බී. සවින්දි කේෂානි ශිෂ්‍යාව මෙලෙස විස්තර කළාය.

“ඉස්කෝලෙ වැහුවට පසු අපේ පාඩම් වැඩ ගොඩක් අතපසු වුණා. අපි හරිම දුකෙන් හිටියේ. ඒ අතරෙ තමයි මේ දෙව්පුර සත්කාර ඔන්ලයින් පන්තිය අපිට ලැබුණෙ. ඒකෙ උගන්වන ගුරුතුමන්ලා හොඳට තේරෙන විදියට උගන්වනවා. ප්‍රශ්න අසා දැන ගන්නත් පුළුවන්. සරල ලෙස තේරුම් කර දෙනවා. සිංහල, ඉංග්‍රිසි, දෙමළ, බුද්ධාගම, ගණිතය, විද්‍යාව, ඉතිහාසය යන විෂයන් අපි ඉගෙන ගන්නවා. මේ වැඩසටහන අපි වෙනුවෙන් සංවිධානය කරන්න වෙහෙසවුණ හැමදෙනාටම මම පින්දෙනවා”

 

Comments