
ග්‍රීක පුරාවෘතවලට අනුව පැන්ඩෝරා යනු ලොව පළමු කාන්තාවයි. දෙවියන්ගේ නිර්මාණයක් වූ පැන්ඩෝරාට කිසිදු අඩුපාඩුවක් නොවීය. එම නිසා ඇයට අඩුපාඩු අඟහිඟකම් මොනවාදැයි යන්න ගැන එතරම් දැනුමක්ද නොතිබුණි. විවාහ වූ පැන්ඩෝරා සිය සැමියා සතු රහස් පෙට්ටියක් දුටුවාය. ඇය ඒ ගැන විමසූ විට සැමියා පැවසුවේ එම පෙට්ටිය කුමන හේතුවකටවත් විවෘත නොකළ යුතු බවයි.
සියලු යස ඉසුරින් පිරී තිබුණද පැන්ඩෝරාට එම පෙට්ටියේ කුමක් ඇත්දැයි සොයා බලන තුරු ඉවසුම් නැති වූවාය. දිනක් ඇය හොර රහසේම මේ පෙට්ටිය විවෘත කළාය. එහෙත් එහි තිබූ වටිනා යමක් නම් නැත. ඒ වෙනුවට මරණය, වෛරය, වසංගත රෝග, ක්‍රෝධය, ද්වේශය, මෝහය, තණ්හාව ඇතුළු සියලු අයහපත පැතිරෙන්නට විය. ඒ අනුව ලෝකයේ දුශ්චරිත වර්ධනය වූයේ එම රහස් පෙට්ටිය විවෘත කිරීමෙන් පසුව බව ග්‍රීක පුරා වෘත්තයන්ගේ පැවසේ.
පැන්ඩෝරාගේ පෙට්ටිය විවෘත කිරීමත් සමඟ ලොව පුරා දුෂ්ටකම් ස්ථාපිත වූ නිසා පසු කාලීනව නොමනා කටයුතු සම්බන්ධව විස්තර කිරීමේදී ‘පැන්ඩෝරාගේ පෙට්ටියෙන් ආවා‘ යන්න කරළියට ආවේය.
ඒ පැන්ඩෝරාගේ පෙට්ටියේ කතාවයි. ඒ අතර අන්තර්ජාල පහසුකම් ලොව පුරා වර්ධනය වීමත් සමඟම කළු සල්ලි උපයන්නන් මෙන්ම ලෝකයේ විවිධ ජාවාරම්කරුවන් ගැන මාධ්‍යවේදීන් විසින් සෙවීමේ කටයුතුද වර්ධනය විය. එහි විශේෂ පියවරක් ලෙසින් තම රටේ ධනය අයථා ලෙස උපයමින් නැත්නම් සූරාකමින් එම ධනය විදෙස් රටවල ආයෝජනය කරන විවිධ පිරිස් ගැන සෙවීම ඇතුළු විශේෂ විමර්ශන සිදු කරන අන්තර්ජාතික ගවේෂණාත්මක මාධ්‍ය සංවිධානයක් ඇමරිකාවේ වොෂින්ටන් නගරය කේන්ද්‍ර කර ගනිමින් ස්ථාපිත විය. එය ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංවිධානය (ICIJ) නමින් හැඳින්වේ.
ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංවිධානය (ICIJ) ලෝකයේ රටවල් 117ක පමණ සිටින ගවේෂණාත්මක මාධ්‍ය කලාවේ ප්‍රබලයන් 280කගෙන් පමණ සමන්විතය. ඔවුන් විවිධ මාධ්‍ය ආයතන හා මාධ්‍ය සංවිධාන 150කට පමණ අයත් වේ. මේ සංවිධානය විසින් අයථා ලෙසින් ධනය උපයන්නන් හා ධන ජාවාරම්කරුවන් ගැන විවිධ අවස්ථාවලදී කරුණු ඉස්මතු කරන්නට විය.
ඔවුන් ‘පැනමා පේපර්ස්‘ නමින් පත්‍රිකාවක් මීට පෙර එනම් වසර 2016 වසරේදී ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක සිටින ජාවාරම්කාරයන් සහ දේශපාලනඥයන් සහ ධනපතියන් පැනමාව නමැති කුඩා රට මූලික කරගෙන පිහිටුවා තිබෙන ජාවාරම්කාර සමාගම් සමූහයක මුදල් ආයෝජනය කළ හැටි එකී පත්‍රිකාව මගින් හෙළි විය. පැනමාව මුල් කරගත් එම ගවේෂණාත්මක හෙළිදරව්ව ‘පැනමා පේපර්ස්‘ නමින් එළි දුටුවේය. එමෙන්ම 2017 වසරේදී පැරඩයිස් පත්‍රිකා නමින් ද පත්‍රිකාවක් එළියට ආවේය එයින්ද කියවුණේ එවැනිම අයථා ඉපයීම්ය. පසුව විකිලීස් වෙබ් අඩවියද මෙවැනිම අනාවරණයක් කළේය.
වසර 4ක පමණ දිගු නිහැඬියාවකින් පසු පසුගිය සතියේ ICIJ සංවිධානය විසින් ‘පැන්ඩෝරා පේපර්ස්‘ නමින් පත්‍රිකාවක් නිකුත් කළේය. එයද එක් ආකාරයකට පැන්ඩෝරාගේ පෙට්ටියෙන් එළියට ආ දුෂ්ටකම් සේ අනිසි ලෙස උපයා ගත් කළු සල්ලිවලින් සැදුම්ලත් අයගේ පැටිකිරිය හෙළි කිරීමකි. ලොව ධන කුවේරයන් සේ පෙනී සිටින රාජ්‍ය නායකයන්ද මේ ගොන්නට අයත් බව හෙළි විය.
පැන්ඩෝරා පත්‍රිකා හෙවත් ‘පැන්ඩෝරා පේපර්ස්‘ හි රටවල් 91ක බිලියනපතියන් 102කගේ හා බලයේ සිටින හිටපු ලෝක නායකයන් 35 දෙනකුගේ රහස්‍ය ලේඛන හා සැඟවූ මූල්‍ය හා දේපළ වත්කම් තිබෙන බව පෙන්වා දී තිබේ. එමෙන්ම හිටපු රාජ්‍ය සේවකයන් හා වර්තමානයේ බලයේ නිරත දේශපාලකයන් සහ රාජ්‍ය සේවකයන් 332කගේ අයථා ගනුදෙනු හා ඔවුන්ගේ ක්‍රියාකරකම් සම්බන්ධයෙන්ද ලිපි ලේඛන මෙහි ඇතුළත් වේ. ඊට අමතරව තවත් දහස් ගණනක පිරිසකගේ සැඟවූ වත්කම් පිළිබඳව පැන්ඩෝරා පේපර්ස් මඟින් හෙළිකොට තිබේ. දේශපාලකයන්ට අමතරව ප්‍රකට නළු නිළියන්, ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම හමුදා නායකයන්ද ප්‍රකට ව්‍යාපාරිකයන්ද මේ අතරට අයත්ව තිබේ.
ICIJ සංවිධානය මඟින් හෙළි කර ඇති පරිදි රසහ්‍ය ලියකියවිලි මිලියන 11.9ක් ඔවුන් සතුය. එහි මුළු විද්යුත් ධාරිතාව ටෙරාබයිට් 2.94 (TB) කි. ලෝකයේ මේ දක්වා හෙළි කළ විශාලතම ගවේෂණාත්මක වාර්තාකරණය ලෙස පැන්ඩෝරා පේපර්ස් හැඳින්විය හැකිය.
එක්සත් රාජධානියේ පරීක්ෂණ මෙහෙයවූයේ බීබීසී පැනොරාමා කණ්ඩායම සහ 'ගාඩියන්' පුවත් සේවය විසිනි.
මේ හෙළිදරව්වට අනුව වත්කම් සඟවා හෝ අයථා උපයා ගැනීම් අතුරින් පළමු තැන ගෙන ඇත්තේ ජෝර්දානයේ දෙවෙනි අබ්දුල්ලා රජුය. ඔහු ඩොලර් මිලියන සියයක වත්කම් සඟවා ඇති ආකාරය මෙහිදී හෙළිකර ඇත. දෙවැනි අබ්දුල්ලා රජු, බ්‍රිතාන්‍ය සහ අමෙරිකා එක්සත් ජනපදයේ පවුම් මිලියන 70ක් දේපළ රහසිගතව රැස්කර තිබේ.
බ්‍රිතාන්‍ය හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් දේපළ සඳහා ගෙවිය යුතු බදු පැහැර හැරී අන්දමත් මෙහි සඳහන් වේ. ටෝනි බ්ලෙයාර් බිරිඳගේ නමින් ලියාපදිංචි කළ සමාගමක් හරහා කළ ආයෝජන ගැනද පැන්ඩෝරා පත්‍ර හෙළි කරයි. එහිදී බ්ලෙයාර් සහ බිරිය චෙරී පවුම් මිලියන 6.45 ක මුදලක් ගෙවා දේපළ මිලදී ගත් අවස්ථාවේදී ඒ වෙනුවෙන් ගෙවිය යුතු පවුම් තුන් ලක්ෂ දොළොස් දහසක මුද්දර ගාස්තු නොගෙවා ඇති බව පැන්ඩෝරා පේපර්ස් මගින් හෙළිකර තිබේ.
ලොව බලවත්ම නායකයකු වන රුසියානු ජනපති පුටින්ගේ රහස් ධනය ගැනද මෙහි අනාවරණයක් සිදුකර ඇත. ජනපතිගේ පෙම්වතිය මොනාකෝ රායෙන් ඩොලර් මිලියන 4 වටිනා අගනා මන්දිරයක් මිලදී ගෙන ඇති අතර ඒ සඳහා මුදල් වියදම් කර ඇත්තේ පුටින් බව හෙළි කර තිබේ. ඊට අමතරව පුටින්ගේ සමීපතමයන් තිදෙනකුගේ රහස් තොරතුරු ද මෙහිදී හෙළි කර තිබේ.
අසර්බයිජානයේ ජනාධිපති ඉලාම් අලියෙෆ් ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් එක්සත් රාජධානියෙන් ලබාගෙන ඇති දේපළවල වටිනාකම ඩොලර් මිලියන 400 කට අධික යැයි පෙන්වා දෙයි. ජනාධිපති ඉලාම් අලියෙෆ් සිය 11 හැවිරිදි පුතුටද ලන්ඩනයෙන් ඩොලර් මිලියන 30 ක මහල් ගොඩනැගිල්ලක් මිලදී ගෙන තිබේ. මෙහි නම සඳහන් ලෝක නායකයන් අතර කෙන්යාවේ ජනාධිපති උහුරු කෙන්යාටා, යුක්රේන ජනාධිපති ස්ලෙකින්සි හා ඩොමිනික් ජනරජයේ ජනාධිපතිද ඇතුළත්ය. එමෙන්ම ලෙබනනයේ, එක්සත් අරාබි එමීරයේ හා චෙක් ජනරජයේ අගමැතිවරු කටාර්හි එමීර්වරයා විසින් අයථා වත්කම් උපයා ගත් ආකාරයද මෙහි අන්තර්ගතය. එමෙන්ම මොරොක්කෝ රජකුමරිය විසින් අයථා උපයා ගැනීම් කර ඇති අයුරුද මෙහි අන්තර්ගතය. වියට්නාමය, ෂීෂෙල්ස්, සිංගප්පූරුව, බහමාස් ඇතුළු රටවල දේශපාලකයන්ගේ සැඟවුණු වත්කම්ද මෙහි හෙළි කර තිබේ.
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් සිය බිරියගේ හා මාමණ්ඩියගේ නමින් කොටස් මිලදී ගෙන විදෙස්හි ආයෝජනය කර ඇත්තේ බදු ගෙවීම් පැහැර හැරීමට බවද පෙන්වා තිබේ. එමෙන්ම ඉන්දීය බිලියනපති ව්‍යාපාරිකයකු වන අනිල් අම්බ්‍රානි 2007 වසරේ සිට 2010 දක්වා බ්‍රිතාන්‍යයේ, සයිප්‍රසයේ හා ඇමරිකාවේ සමාගම් 18ක් සමඟ කළ රහස් ගනුදෙනුද මෙයින් හෙළි කර තිබේ.
ජනප්‍රිය පොප් ගායිකා ශකීරා විදෙස්හි සැඟ වූ වත්කම්ද පැන්ඩෝරා පේපර්ස් අනාවරණය කර ඇත.
වත්කම් සැඟවූ වැඩිම පිරිස වාර්තා වී ඇත්තේ පාකිස්ථානයෙනි. එම පිරිස 700කට අධිකය. එම පිරිස අතර පාකිස්ථාන හමුදා ප්‍රධානීන් මෙන්ම ඉම්රාන් ඛාන්ගේ කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන්ද සිටින බව පැන්ඩෝරා පේපර්ස් මඟින් හෙළි කර තිබේ. එමෙන්ම ඒ ඇමැතිවරුන්ගේ පවුල්වල අයටද ඩොලර් බිලියන ගණනක වත්කම් තිබෙන බවට අනාවරණය කරගෙන තිබේ. දෙවැනියට වැඩි ම පිරිසක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. එම පිරිස 300කට අධිකය.
මීට අමතරව අපරාධකරුවන් ජාවාරම්කාර පුද්ගලයන් හා දූෂිත ක්‍රියාකාරකම්හි යෙදෙන විවිධ සමාගම් ගැනද මේ මඟින් අනාවරණය කර තිබේ.
මේ පිරිස් වැඩි වශයෙන් තම ආයෝජනයන් සිදුකර ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ හා ඇමරිකාවේ බව ද එම පත්‍රිකා පෙන්නුම් කරයි. මේ අයථා ගනුදෙනුවල සම්බන්ධ අයගේ ගමන් බලපත්‍ර විස්තර මෙන්ම බැංකු ප්‍රකාශනද තමන් සතුව ඇති බව ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංවිධානය (ICIJ) පවසා තිබේ.
මෙහි නම කියවෙන ලාංකිකයන් වන්නේ හිටපු නියෝජ්‍ය ඇමැතිනී නිරූපමා රාජපක්ෂ හා ඇයගේ සැමියා වන ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් ය. නිරූපමා රාජපක්ෂ තම සැමියා වන තිරුකුමාර් නඩේසන් සමඟ එක්ව ව්‍යාජ සමාගමක් පවත්වාගෙන ගිය බවත් ඒ හරහා ලන්ඩන් සහ සිඩ්නි නගරවල නිවාස මිලට ගැනීම සහ වෙනත් ආයෝජනවල යෙදීම සිදු වූ බවත් පැන්ඩෝරා පත්‍රිකා අනාවරණය කර තිබේ.
නිරූපමාගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් සමඟ එක්ව ඇය ව්‍යාජ සමාගමක් (shell company) පවත්වාගෙන ගිය බවත් ඒ හරහා ලන්ඩන් සහ සිඩ්නි නගරවල නිවාස මිලට ගැනීම සහ වෙනත් ආයෝජනවල යෙදීම සිදුවූ බවත් පැන්ඩෝරා පත්‍රිකා කියයි. නඩේසන් වෙනත් බදු සහන සහිත ස්ථානවල සමාගම් විවෘත කර ඒ හරහා ශ්‍රී ලංකා රජය සමඟ ගනුදෙනු කරන විදෙස් සමාගම්වලින් උපදේශක කොන්ත්‍රාත්තු ලබාගැනීම සහ වටිනා කලා කෘති මිලට ගැනීමට කටයුතු කළ බව ද සඳහන් ය.
2018 දී එවන් සමාගමක් වූ පැසිෆික් කොමොඩිටීස් විසින් චිත්‍ර සහ වෙනත් දකුණු ආසියාතික කලා නිර්මාණ 31 ක් ස්විට්සර්ලන්තයේ අධි ආරක්ෂිත ගබඩාවක් වන ජිනීවා ෆ්‍රීපෝර්ට් වෙත යවා තිබෙන බව ද ICIJ ය කියයි.
සිංගප්පූරුවේ පිහිටි ආසියාසිටි භාරය (Asiaciti Trust) නම් සමාගම වෙත 2011 දී ඊමේල් පණිවිඩයක් යවන නඩේසන්ගේ උපදේශකයකුට අනුව ඒ වන විට නඩේසන්ගේ වත්කම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර්
මිලියන 160 ඉක්මවූ බව සඳහන්ව තිබේ. ආසියාසිටි භාරය විසින් නඩේසන්ගේ ඇතැම් සමාගම් (සිංගප්පූරුවේ) පරිපාලනය කළ බවත් ඒවායේ වත්කම ඩොලර් මිලියන 18 ක් පමණ වන බවත් ICIJ ය කියයි. 2016 දී නඩේසන්ට එරෙහිව ශ්‍රී ලංකාවේදී අධිකරණ ක්‍රියාමාර්ග ඇරඹුණු පසු ද මෙම සමාගම ඔහු සමඟ ගනුදෙනු කළ බව ICIJ ය පෙන්වා දෙයි.
එසේම නිරූපමා නඩේෂන් යුවළ ඇමරිකාව, බ්‍රිතාන්‍ය, සැමෝවා, වර්ජින් දූපත්, සහ නවසීලන්තයේ ආයතන 8 ක් පිහිටුවා ඇති බව පැන්ඩෝරා පේපර්ස් අනාවරණය කරයි
මේ අතර හෙළිවන තවත් කරුණක් වන්නේ 2016 වසරේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට තිරුකුමාර් නඩේසන් විසින් යවන ලද ලිපියක් ගැනය. එහි සඳහන් වෙන්නේ අත්අඩංගුවට ගැනීමට පෙර, ඔහු තමාගේ නිර්දෝෂීභාවය ප්‍රකාශ කරමින්, නව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට අදාළ ලිපිය යොමු කර තිබුණි.
වසර 7 ක් තිස්සේ ගෝලීය මූල්‍යායතන 14කින් එක්රැස් කරගත් මූල්‍ය ලේඛන පාදක කර ගනිමින් මාස 18ත් 24ත් අතර කාලයක් මේ විශ්ලේෂණ සිදු කර තිබේ.
නිරූපමා රාජපක්ෂගේ පැන්ඩෝරා පේපර්ස් හෙළිදරව්වත් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට දැනුම් දී ඇත්තේ මේ ගැන විමර්ශන පවත්වා මසක් ඇතුළත වාර්තාවක් සපයන ලෙසයි. ඒ අතර ජනාධිපතිවරයා වෙත පසුගිය ඔක්තෝබර් 6 වැනිදා ලිපියක් යොමු කරමින් තිරුකුමාර් නඩේෂන්ද පවසා ඇත්තේ පැන්ඩෝරා පේපර්ස් හරහා එල්ල වන චෝදනා ගැන විමර්ශනයක් සිදු කරන ලෙසයි.
සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසද මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කළ අතර එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය 7 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත ලිපියක් බාරදෙමින් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලීමක් කරන ලදී.
එමෙන්ම එදිනම එම කොමිසමට ලිපියක් බාරදෙමින් ජනතා නීතිඥයන්ගේ සංවිධානය සහ එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය ඉල්ලා සිටියේ රටේ ආර්ථික පරිහානිය කරා ගෙක ගිය මේ වත්කම් ගැන විශේෂ විමර්ශනයක් සිදු කරන ලෙසයි.
එසේම සමඟි තරුණ බලවේගය තොරතුරු දැන ගැනීමේ පනතට අනුව නිරූපමා රාජපක්ෂගේ තොරතුරු මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේ ද පසුගිය 7 වැනිදාය. ඒ 1994 මැතිවරණයට පෙර ඇය ඉදිරිපත් කරන ලද වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙනි.
2016 පැනමා පේපර්ස් මඟින් මෙරට පුද්ගයන් 51 දෙනකුගේ නම් හෙළි කර තිබුණි. ඒ අතර ප්‍රකට ව්‍යාපාරිකයන්, ඇමැතිවරයකුගේ ලේකම්වරයෙක් මෙන්ම කෘතහස්ත සාහිත්‍යධරයකුගේ පුත්‍රයකුද ඇතුළත් විය. එමෙන්ම හමුදාවේ විශ්‍රාමිකයන් කිහිප දෙනකුගේද නම් එහි ඇතුළත් විය.
කෙසේ වෙතත් පසුගිය 8 වැනිදා උදෑසන 9.00ට තිරුකුමාර් නඩේෂන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ගොස් දීර්ඝ ප්‍රකාශයක් ලබා දෙන ලදී. ඒ කොමිසම කළ දැනුම් දීමකට අනුවය.
මේ සම්බන්ධව අදහස් දක්වමින් මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට වඩා බලතල 2008 වසරේ ස්ථාපිත කළ මුදල් විශුද්ධිකරන පනතට ඇති බවයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විශේෂ විමර්ශනයක් මේ සම්බන්ධව කළ හැකි බවද ඔහු පෙන්වා දෙයි.