නැතුවම බැරි බලශක්තිය | Page 3 | සිළුමිණ

නැතුවම බැරි බලශක්තිය

දැනටමත් බොහෝ සෙයින් ප්‍රමාද ව පවත්නා, MW 550 ක ධාරිතාවෙන් යුතු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට හා විදුලිබල පද්ධතියට එකතු කිරීම අරභයා රජයේ දැඩි අවධානය යොමුව තිබේ.

2030 වසර වන විට මෙරට විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභාවෙන් සැපයීම සඳහා වූ දැවැන්ත ඉලක්කය කරා ළඟා වීමට, සුර්ය බල, සුළං හා ජල විදුලි ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි. ඒ අනුව, මෙගා වොට් 50 ට හෝ ඊට වඩා වැඩි පුනර්ජනනීය බලාගාර එනම්, මහා පරිමාණ සූර්ය, සුළං, ජලාශ මත ඉදි කරනු ලබන පාවෙන සූර්ය බලාගාර, නොගැඹුරු මුහුදු තීරයේ සිදු කරනු ලබන සුළං බලාගාර හා සියලු පුනර්ජනනීය බලශක්ති යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා, දේශීය හා විදේශීය ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීමට රජය තීරණය කර තිබේ.

මෙහිදී අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් පුනර්ජනනීය විදුලිබල උත්පාදනය සඳහා දේශීය හා විදේශීය ආයෝජකයන්ගේ යෝජනා කැඳවන අතර, දේශීය ආයෝජකයන්ට වැඩි ඉඩකඩක් ලබා දීමටද නියමිත ය.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් වෙනුවෙන් පුද්ගලික අංශයේ ද දායකත්වය ලබා ගනිමින්, නව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පසුගිය දා කැබිනට් අනුමැතිය හිමිවූ අතර, ඒ අනුව මෙසේ යෝජනා කැඳවීමට පියවර ගත් බව විෂයභාර රාජ්‍ය අමාත්‍ය, දුමින්ද දිසානායක පවසා තිබේ.

නව ආයෝජකයන්, 2007 අංක 35 දරන පුනර්ජනනීය බලශක්ති අධිකාරි පනතේ සඳහන් සුදුසුකම් සපුරා තිබීම අනිවාර්ය දිය යුතු බව ද අමාත්‍යංශය දන්වා තිබේ. කෙසේ වෙතත්, ආහාර පිසීමට, ආලෝකය සැපයීමට, ගෘහස්ථ වාතාවරණය කළමනාකරණයට, ප්‍රවාහන කටයුතුවලට, විනෝදාස්වාදයට, කෘෂිකාර්මික හා කාර්මික කටයුතුවලට සහ සන්නිවේදනයට ආදී වශයෙන් සෑම මිනිස් අවශ්‍යතාවක් හා සමඟම බල ශක්තිය බැඳී පවතී. රජය ගෙන ඇති මේ සාධනීය පියවර තුළ රටට වන බලපෑම පිළිබඳ, විෂයය පිළිබඳ ප්‍රාමාණිකයන් තිදෙනකුගෙන් අපි අදහස් විමසුවෙමු. මේ සම්බන්ධයෙන් ජීව බලශක්ති සංගමයේ හිටපු සභාපති ඉංජිනේරු පරාක්‍රම ජයසිංහ පැවසූයේ, රටට සෘජුව බලපාන බලශක්ති අර්බුදය පිළිබඳ සාමාන්‍ය ජනතාවට ඇති අවබෝධය අවම වීමෙන් මේ අර්බුදය විසඳා ගැනීම සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමේ ඉඩකඩ ද අවම වන බැවින්, ඒ සඳහා ජනතාව මේ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගත යුතු බවයි.

" ඉහළ යන බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම තවත් ප්‍රමාද කළ යුතු නැහැ. වසර 2030 දී 70% ක පුනර්ජනනීය විදුලි උත්පාදන ඉලක්කය, රජයේ නිශ්චිත ප්‍රතිපත්තිය බවට පත් කිරීම ඉතා හොඳ දෙයක්.

ඒ වගේම වසර 2050 දී 100% කාබන් විමෝචනය සියලු ම අංශවලින් ( විදුලි උත්පාදනයට සිමා නොවී) සම්පුර්ණයෙන්ම ශුන්‍ය කිරීමේ ඉලක්කය ද, ජනාධිපතිතුමා විසින් පසුගිය දිනයක දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී තහවුරු කළා. වැදගත්ම දේ මෙම ඉලක්ක දෙකම සපුරා ගැනීමට අවැසි පුනර්ජනනීය බල ශක්ති ප්‍රභව අප රට සතුව පැවතීමයි.

මන්නාරම් ද්‍රෝණියේ ස්වභාවික වායු ප්‍රභවය ඵලගැන්වීමේ බලාපොරොත්තුව හැර වෙනත් කිසිම භුගත ඉන්ධන සම්පතක් අප සතුව නැහැ. එම නිසා, අප භාවිත කරන සියලුම භූගත ඉන්ධන මිලදී ගැනීම සඳහා අප විසින් විදේශ මුදල් ගෙවිය යුතුයි. අපි දැන් මේ අභියෝගයට මුහුණ දිය නොහැකිව ළතැවෙන අවස්ථාවක්. මෙම ප්‍රශ්නය නුදුරු අනාගතයේ දී තව දුරටත් උග්‍ර වීම නිසැකයි. මොකද, දැනටමත් තෙල් සහ ගල් අඟුරු මිල ලෝක වෙළෙඳපොළේ ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතිනවා.

එම නිසා රටක් ලෙස, 2030 දී හෝ ඊට පෙර වුවත් හැකි නම් යෝජිත 70% ඉලක්කය හඹා යෑම, ආර්ථික වශයෙනුත් ජාතික බල ශක්ති සුරක්ෂිතතාව හා පරිසර හිතකාමිත්වය වශයෙනුත් ඉතාම නුවණැති පියවරක්.

ඉහත කරුණු සලකන විට, විදුලි උත්පාදන ක්‍රියාවලිය හුදෙක් වෙනත් ක්‍ෂේත්‍රවලට විදුලිය සැපයීමෙන් ඔබ්බට ගිය ජාතික දළ දේශීය නිෂ්පාදනයට ඉහළ දායකතත්වයක් දිය හැකි කර්මාන්තයක් කළ හැකියි. මේ සඳහා අත්‍යවශ්‍ය ම ප්‍රතිපත්තිය විය යුත්තේ, දීර්ඝකාලීන වශයෙන් අපගේ බල ශක්ති ක්ෂේත්‍රය ජාතික කර්මාන්තයක් බවට පත් කිරීමයි.

කෙටි කාලින විදේශ විනිමය ලබා ගැනීමට හෝ වෙනත් අරමුණු නිසා විදුලි උත්පාදනය හෝ බල ශක්ති ක්ෂේත්‍රය විදේශ ආධිපත්‍යයට ලක් වීමට ඉඩ තැබීම ඉතාමත් අදූර දර්ශි ක්‍රියාවක්. එමඟින් ඒ ආයෝජකයන් මුලින් රැගෙන එන විදේශ විනිමය මෙන් කිහිප ගුණයක් ඉතා කෙටි කාලයකින් රටින් බැහැර වනවා අනිවාර්යයි. ඇත්තටම කිව්වොත් වාර්ෂික විදේශ විනිමය හානිය ඩොලර් මිලියන පන්දාහ ඉක්මවනවා. මොකද එම ව්‍යාපෘති සඳහා අප ගෙවීම් කළ යුත්තේ ඩොලර්වලින්. එම ගෙවීම් වසරත් පාසා රුපියල් වශයෙන් ඉහළ යනවා. ඒත් එම ව්‍යාපෘති දේශීය ව්‍යවසායකයින්ට ලබා දුන්නොත් එම ගෙවීම රුපියල්වලින් මෙන්ම අදාළ කාලය සඳහා නිශ්චිත ස්ථාවර මිලක් සිමා වනවා.

අපගේ ගැටලුව විදේශ විනිමය මිස, බලශක්ති ප්‍රභවයන් නෙවෙයි. පමණටත් වඩා ස්වාභාවික ශක්තීන් අප සතුව තිබෙනවා. දැන්වත් බලශක්තිය පාරිභෝගිකයාගේ ව්‍යාපාරයක් බවට පත් කරන එක වහා ආරම්භ කළ යුතුයි. ඔහු බලශක්තියේ කොටස්කරුවකු මෙන්ම ප්‍රතිලාභියකු බවට පත් කළ යුතුයි. සෑම වහලයක් ම කුඩා සූර්ය බලාගාරයක් බවට පත් කරන්නත්, සෑම ගෙවත්තක් ම බලශක්ති උයනක් බවට පත් කර පාරිභෝගිකයා විදුලි උත්පාදකයකු බවට පත් කරන්නත් කාලය එළැඹ තිබෙනවා. ඒ නිසා මේ ඉදිරියට තැබූ පියවර යළි පස්සට නොගෙන වේගයෙන් ඉදිරියට යෑමයි රටේ සියලු නායකයන්ගේ වගකීම..."

මෙම රාජ්‍ය ව්‍යාපෘතියේ සම්පත් දායකයකු ව්‍යාපෘති සංවර්ධක සහ පුනර්ජනනීය බලශක්ති උපදේශකවරයකු ලෙස කටයුතු කරන සිවිල් ඉංජිනේරු පී. ආර්. විජේවර්ධන මේ පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

ගෙවුණු වසර 5-10 පුරා පුනර්ජනනීය බලශක්තිය ක්‍රියාත්මක කරන්නට මේ ක්ෂේත්‍රයේ බොහෝ ක්‍රියාකාරීන් උත්සාහ කළත් විවිධ මාෆියා නිසා එම ව්‍යාපෘති යෝජනාව වැළලී ගියා. අපේ රටට ගෙන්වන ගල් අඟුරු සහ තෙල් පිටුපස්සේ විශාල මාෆියාවක් තිබෙනවා. ඒ මාෆියාවත් එක්ක හැප්පෙන්න බොහෝ අයට බැරි වුණා. ඒ නිසා ගෙවුණු වසර 10ක අතීතය තුළ මහා ධනස්කන්ධයක් තෙල් සහ ගල් අඟුරු වෙනුවෙන් පිට රටට ඇදී ගියා. ඕස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය සහ ජර්මනිය වැනි රටවල් මේ වන විට 80%කට වඩා පුනර්ජනනීය බලශක්තිය භාවිත කරන්න පටන් අරන්. අපිට මෙතරම් විදුලි ජනන මූලාශ්‍රය සහ ස්වභාවික සම්පත් තිබියදීත් අපි තවමත් පුනර්ජනනීය බලශක්තිය යොදා ගන්නේ 5%ක් තරම් අඩු ප්‍රමාණයක්. අපේ රටේ ජලාශ තිබුණත් 25%ක් තරම් සුළු ප්‍රමාණයක් විතරයි අපි බලශක්තිය උත්පාදනයට යොදා ගන්නේ. නියං කාලයට එකත් නැහැ. ඒ නිසයි අපි අපේ රටේ නොඅඩුව තිබෙන සුර්ය බලය, සුළං සහ ශාක ශක්තීන් මේ සඳහා භාවිත කළ යුත්තේ.

අනික තමයි අපි පුනර්ජනනීය බලශක්තිය ව්‍යාප්ත කරන විට සූර්ය බලය නිපදවීම සඳහා වටිනා ඉඩම් භාවිතයට නොගත යුතුයි. එවැනි වටිනා ඉඩම් භාවිත කළොත් විශාල පරිසර හානි සිදු වීමට ඉඩ තිබෙනවා. කැලෑ නොකපා, වන සතුන්ගේ වාසභූමි විනාශ නොකර මේ සඳහා අප යොදා ගත යුත්තේ මුඩු ඉඩම්. මන්නාරම, මඩකලපුව වැනි ආර්ථික බෝග වලට නුසුදුසු මුඩු ඉඩම් සූර්ය බලශක්තිය නිපදවීම සඳහා ඉතා හොඳින් ගැළපෙනවා. "

බලශක්ති විශ්ලේෂක, ආචාර්ය විදුර රළපනාව, මේ සම්බන්ධව පැවසූයේ මෙවැනි අදහසකි.

" බොහෝ රටවල් පුනර්ජනනීය බල ශක්තිය භාවිත කරන ශීඝ්‍ර ගමන ආරම්භ කළේ පහුගිය අවුරුදු පහේ දී. නමුත් ශ්‍රී ලංකාවේ අවාසනාවන්ත ම කාල පරිච්ඡේදය වුණේත් ඒ ගෙවුණු අවුරුදු පහමයි. මුළු ලෝකයම තමන්ගේ රටවල් පුනර්ජනනීය බලශක්තියෙන් සංවර්ධනය කරද්දී අපේ රටේ අදාළ ආයතන, තිබුණු ව්‍යාපෘති ටිකත් නවතා දැමුවා. කුඩා ජල විදුලිබලාගාර, කුඩා සුළං සහ සූර්ය බලාගාර, වහලවල් මත ඉදිකළ සෝලා පැනල් ක්‍රමවේදය වගේ, බොහෝ කුඩා ව්‍යාපෘති ක්‍රියාත්මක වුණේ 'සීඩින් ටැරිස්' ක්‍රමවේදයට අනුව. එයින් අදහස් වන්නේ, නියම කරන ලද නිශ්චිත මුදලක්. ඒ ක්‍රමය යටතේ කළ සුර්ය විදුලි බලාගාර පහක් මේ රටේ තිබුණා. එයින් මෙගා වොට් 50 ක් පද්ධතියට එකතු වුණා. නමුත් විදුලිබල මණ්ඩලය 2016 දී, කුඩා විදුලි බලාගාරවලින් විදුලිය ගන්න එක නැවැත්වූවා. එවිට ඒ ව්‍යාපෘති සියල්ලත් නැවතුණා.

ඊට පස්සේ මේ දේශීය ආයෝජකයන් නේපාලය වගේ ආසියාවේ වෙනත් රටවලට ගිහින් ඒ ව්‍යාපෘති කළා. ඊළඟට ඔවුන් අප්‍රිකාවෙත් ආරම්භ කළා. දැනුත් ඒ රටවල සාර්ථක ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපේ රටට ඒ දේ අහිමි වුණා. ඊට පස්සෙ, මෙගා වොට් එකේ දෙකේ සිල්ලර ව්‍යාපෘති හැම එකක්ම ටෙන්ඩර් කළා. මෙගා වොට් 50

ට තිබු එක, දෙතුන් සියයට නංවන්න ඕනෙ වෙනුවට 30ට බැස්සුවා. පුනර්ජනනීය බලශක්තිය අපේ රටේ අඩපණ වුණේ මෙන්න මේ විදියට යි.

මෙවැනි පසුබිමක තමයි විෂය බාර අමාත්‍යතුමා මේ ඍජු තීරණය ගෙන තිබෙන්නේ. එය ඉතා සාධනීය පියවරක්. මේ තැබූ පියවර අඛණ්ඩව ඉදිරියට යන්න නම් අතීතයේ සිදු වූ වැරැදි අප දැන ගත යුතුයි.

මොකද යුරෝපා සංගමය Carbon border tax නමින් අලුතින් බද්ධක් හඳුන්වා දී තිබෙනවා. එයට අනුව 2023 හෝ 2024 වන විට කාබන් විමෝචනය අවම නොකරන රටවල් නිෂ්පාදනය කරන දෑ, යුරෝපයට ගෙන්වන්නේ නම් ඒ රටවල්වලට වැඩිපුර බද්දක් ගැසීමට නියම වෙනවා.

ඉදිරියේදී රටක් ලෙස ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සිදු කිරීමේදී මුහුණ දීමට සිදුවන ගැටලු අවම කර ගැනීමට නම් කාබන් විමෝචනය අවම කිරීම කෙරෙහි අප දැඩි අවධානයක් යොමු කළ යුතු වනවා...."

Comments