නීතිය අතට ගත් නොමි­නි­සුන් පිරි­සක් නිසා දිවි අහිමි වූ ග්‍රාම නිල­ධා­රියා | Page 4 | සිළුමිණ

නීතිය අතට ගත් නොමි­නි­සුන් පිරි­සක් නිසා දිවි අහිමි වූ ග්‍රාම නිල­ධා­රියා

ඝාතනයට ලක්වූ අඹන්පොළ ග්‍රාම නිලධාරි සපුකුමාර ගොවිතැනේ යෙදෙමින් සිටි අවස්ථාවක්
ඝාතනයට ලක්වූ අඹන්පොළ ග්‍රාම නිලධාරි සපුකුමාර ගොවිතැනේ යෙදෙමින් සිටි අවස්ථාවක්

 

නේ අපේ තාත්තට ඇයි මෙහෙම අපරාධයක් කළේ. තාත්තා කාටවත් කරදරයක් කළ කෙනෙක් නෙවේ. තාත්තට මේ දේ කළ අය නීතියට ඉදිරියට ගෙනල්ලා සාධාරණයක් ඉටුකරන්නයි මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.“

මේ ගෙවී ගිය සතියේ මුළු අඹන්පොළ ප්‍රදේශයම කම්පාවට පත්කරමින් ඝාතනය වූ ග්‍රාම නිලධාරි කපිල කුමාර සපුකුමාරගේ දියණිය බලා සිටියවුන්ගේද නෙතඟට කඳුළක් එක්කරමින් හඬා වැටුණු ආකාරයයි.

ඉකුත් 4 වැනිදා පෙරවරු 8.45ට පමණ අනුරාධපුර - පාදෙනිය මාර්ගයේ අඹන්පොළ, උදංගාව ප්‍රදේශයේ පිහිටි හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාසයන්ට අයත්ව තිබූ කහඹිලියාවැටිය වත්ත ගේට්ටුව ඉදිරිපිටදී ‘එව්රි‘ වර්ගයේ අළු පැහැති කුඩා වෑන් රථයකින් පැමිණි පිරිසක් සපුකුමාර ව තියුණු ආයුධවලින් කපා කොටා මාර්ගය දමා සිටියදී ප්‍රදේශවාසීන් විසින් රෝහල්ගත කෙරිණි. ඔහු ඒ වන විටත් මිය ගොස් සිටියේය.

එසැණින් ප්‍රදේශවාසියෙක් අඹන්පොළ පොලිසියට ඇමැතුමක් ගෙන “සර්... පිරිසක් කෙනෙකුව හප්පලා පහර දීලා ගියා... වෑන් එකකින් තමයි ගියේ...“ යැයි සඳහන් කළ එම පුද්ගලයා අදාළ වෑන් රථයේ අංකයද පොලිසියට කියා සිටියේය.

සිද්ධිය පිළිබඳ අඹන්පොළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන ආරම්භ කෙරුණේ ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරින්ගේද උපදෙස් මතයි. පොලිස් නිලධාරිහු එම ස්ථානයට පැමිණෙන විටත් සපුකුමාර රෝහල්ගත කර තිබිණි. රෝහලට ගොස් පොලිස් නිලධාරින් පරීක්ෂා කරද්දී මියගිය සපුකුමාරගේ සිරුර පුරාම කැපුම් තුවාල දක්නට විය. ඉන් පොලිස් නිලධාරින්ට ඒත්තු ගියේ ඔහුගේ මරණය මිනීමැරුමක් විය හැකි බවයි. අනතුරුව අඹන්පොළ පොලිස් නිලධාරින් විසින් සපුකුමාරව හප්පා පලා ගිය රථය පිළිබඳ එහි අංකය ඔස්සේ විමර්ශන ආරම්භ කළේය. එහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අනාවරණය කරගත්තෙ එම රථය නිකවැරටිය පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානයක රාජකාරි කරන ගල්ගමුව ප්‍රදේශයේම පොලිස් නිලධාරියකුට අයත් බවයි.

එම රථයේ හිමිකාර පොලිස් නිලධාරියාගෙන් සැල වූයේ රථය වාහන කුලී පදනම මත ලබා දෙන ආයතනයකට දී ඇති බවයි. මහව ප්‍රදේශයේ එම ආයතනයෙන් කළ විමසීමේදී හෙළිවූයේ රථය කුලී පදනම මත ලබාගෙන තිබුණේ ගල්ගමුව දුම්රිය ස්ථානයේ පුහුණු වන දුම්රිය ස්ථානාධිපති මෙහෙයුම් තනතුරේ සේවය කරන 27 හැවිරිදි චානක නිලාන් කුමාර නමැත්තා බවයි.

ඝාතනය වූ දින රාත්‍රිය වෙද්දීම රථය කුලියට ගත් චානක නමැත්තා අඹන්පොළ පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනිණි. ඒ අතර පොලිස් නිලධාරින් අවට සීසීටීවී කැමරා නිරීක්ෂණය කරමින් සිදු කළ විමර්ශන මඟින් රථය ගල්ගමුව, පාළුකඩවල, කුරුන්දෑව ප්‍රදේශයේ කැලෑබඳ ප්‍රදේශයක අත්හැර දමා ගොස් තිබියදී සොයා ගත්තේය.

එසේම වැඩිදුරටත් සීසීටීවී කැමරාවලින් අනාවරණය වූයේ රතු පැහැති තවත් ඇල්ටෝ කාර් රථයක්ද එම ඝාතනය සඳහා පැමිණ ඇති බවයි. අත්අඩංගුවට පත් චානකගෙන් සපුකුමාර ඝාතනයේ සුලමුල සියල්ල අනාවරණය විය. එසේම රතු පැහැති රථයේ චානක සහ ගල්ගමුවේ ඔහු සමඟ එකට කනබොන හිතවතෙක් වන සඳුන් නමැත්තාත් පැමිණි බවත් හෙළි විණි. ඝාතනය පිළිබඳ පාපෝච්චාරණය කර තිබූ චානකගෙන් හෙළි වී තිබුණේ එය ඉඩම් ආරවුලක් මත සිදු වූවක් බවයි.

චානකගේ බිරියට අයත් දිවුල්දෑවේ ඉඩමක ඔහු දෙමහල් නිවෙසක්ද ඉදිකර පදිංචිවී සිටී. ඔවුන් එම ඉඩම මිලට ගෙන ඇත්තෙ කලෙකට පෙරයි. එම ඉඩමෙන් කොටසක එය විකිණු පුද්ගලයන්ගේම පිරිසක් පදිංචිව සිටින බවත් එකී පාර්ශ්වයට සපුකුමාර ග්‍රාම නිලධාරියා සමීපව කටයුතු කිරීම මෙකී ආරවුලට හේතු වී තිබේ. එම ආරවුල පිළිබඳව ඉහළ නිලධාරීන්ද පරීක්ෂණ සිදුකර තිබෙන බවත් සැල වේ.

ඒ අනුව සපුකුමාර ග්‍රාම නිලධාරියා බියගැන්වීම සඳහා චානක විසින් ගල්ගමුවේ හිතවතා සඳුන් මඟින් හඳුනාගත් ගල්ගමුව මුන්නංකුලමෙන් විවාහ වී සිටි හික්කඩුවේ පුද්ගලයකු වන රෙක්සි නමැත්තාට කොන්ත්‍රාත්තුවක් දී තිබුණේ සපුකුමාර බියවැද්දීමේ අටියෙනි. රෙක්සි ඒ සඳහා හික්කඩුවේම තවත් පුද්ගලයන් දෙදෙනෙක්ද කැඳවාගෙන ඇත්තේ හික්කඩුව ප්‍රදේශයෙන්ම කාර් රථයක්ද කුලියට ගෙනයි. ඒ රථය සපුකුමාර ඝාතනය කළ මොහොතේ චානක සහ ඔහුගේ හිතවතා පැමිණි රතු පැහැති කාර් රථය බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.

සපුකුමාර ඝාතනයට පෙර දින හික්කඩුවෙන් පැමිණි පිරිස නවාතැන්ගෙන තිබුණේ අඹන්පොළ ප්‍රදේශයේම පිහිටි තුරු වදුල නමැති හෝටලයේයි. එම හෝටලයට ගිය චානක කොන්ත්‍රාත්තුවට පොරොන්දු වූ රුපියල් ලක්ෂ එක හමාරක මුදලෙන් හැත්තෑදහසක් දී ඇත. ඒ මොහොතේ චානක කුලියට ගත් එව්රි රථය එම පිරිසට දී ඔවුන් පැමිණි රතු පැහැති රථයට මාරුකරගෙන තිබුණේය.

අනතුරුව චානකගේ හිතවතා සඳුන් ග්‍රාම නිලධාරි සපුකුමාර යන එන තැන් සොයා බලා තිබුණේ සපුකුමාරගේ දුරකථනයටම ඇමැතුම් ගනිමිනි. එමඟින් ඔවුන් දැනගෙන තිබුණේ සපුකුමාර 4 වැනිදා පෙරවරුවේ අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන බවයි. ඝාතනය වූ දින පෙරවරුවේ ද ඇමතුමක් ගත් විට පිළිතුරු දී ඇත්තේ සපුකුමාරගේ බිරියයි.

එදින පෙරවරුවේ 8.40 ට පමණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යාමට නිවෙසෙන් පිටත්වූ චානක රොලව නිවෙසේ සිට ගමන්කර තිබුණේ කිලෝමීටරයක් පමණ දුරකි. උදංගාව ප්‍රදේශයේදී වෑන් රථයෙන් පැමිණි චානකගේ කොන්ත්‍රාත්කරුවන් පිරිස වෑන් රථය ඔහුගේ යතුරුපැදිය දෙසට හරවා නතරකොට සපුකුමාරට මන්නා පිහිවලින් කොටමින් මෙකී අපරාධය සිදු කර තිබේ. පසුව රථය කළුන්දෑව ප්‍රදේශයේ අත්හැර දැමූ කොන්ත්‍රාත්කරුවන් හික්කඩුවේ සිට පැමිණ රතු පැහැති කාර් රථයෙන්ම හික්කඩුවට දෙසට පලා ගොස් තිබුණේ නවාතැන් ගෙන සිටි හෝටලයේ මත්පැන් සාදයක් ද පවත්වමිනි.

ග්‍රාම නිලධාරි සපුකුමාර ඝාතනය වූ ස්ථානය

ඒ අතරේ චානක කුලී පදනම මත ලබාගත් එව්රි රථය පැහැර ගත්තා යැයි පොලිසිය නොමඟ යැවීමට එදින සන්ධ්‍යාවේ අඹන්පොළ පොලිස් පොතේ සටහනක් තැබීමට නිවෙසෙන් පිටත්වීමට සැරැසුණා පමණි. සියල්ල හෙළි කරගෙන සිටි පොලිස් නිලධාරීන් ඒ මොහොතේම චානකව අත්අඩංගුවට ගත්තේ ඔහුගේ නිවෙසේදීමය. ඒ අතරේ හික්කඩුවේ පිරිසද පැමිණ තිබු රථය කුලී පදනම මත ලබාගත් රථයකි. එම ආයතනයෙන් කළ විමසීමෙන් අනතුරුව සපුකුමාර ඝාතනයට පැමිණි රෙක්සි නමැත්තාත් එම රථය සමඟ ම අත්අඩංගුවට ගැනිණි. පසුගිය අඟහරුවාදා සපුකුමාර ඝාතනයට පැමිණි හික්කඩුවේ පදිංචි සෙසු සැකකරුවන් දෙදෙනාත් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කෙරෙන බව අඹන්පොළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් පෙරේරා අපට කීවේය.

අත්අඩංගුවට පත් පුහුණු දුම්රිය ස්ථානාධිපති චානක තිලාන් කුමාර පසුගිය 5 වැනිදා මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන නියෝග කළේ සැකකරු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.

අඹන්පොළ රොලව ප්‍රදේශයේ අනුරාධපුර - පාදෙනිය මාර්ගයට මුහුණලා නිවෙසක විසූ 51 හැවිරිදි සපුකුමාර 18 සහ 14 හැවිරිදි දියණියන් දෙදෙනෙකුගේ පියෙකි. සපුකුමාර මහව අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන කාන්ති විජේකුමාරි හා විවාහ වී සිටි අතර ඔහුගේ මව කලෙකට පෙර මිය ගොස් සිටියහ. එකම සහෝදරිය අනුරාධපුර ප්‍රදේශයේ වෙසෙන බවත් සපුකුමාරගේ පියාණන්ද ඔහුගේ නිවෙසේම වෙසෙයි. 2000 වසරේ ග්‍රාම නිලධාරී තනතුරට පත් සපුකුමාර මීට වසර දෙකකට පමණ පෙරදී අඹන්පොළ දකුණ ග්‍රාම නිලධාරි වසමේ රාජකාරියට පැමිණ තිබේ. ග්‍රාම නිලධාරි රැකියාවට අමතරව සපුකුමාර ගොවි රජෙක් ලෙස ප්‍රදේශයේ කා අතරත් ප්‍රචලිතය.

වසර 20කට අධික කාලයක් ගොවිතැනෙහි නිරත වූ සපුකුමාර ග්‍රාම නිලධාරිවරයා දේශීය වී වර්ග 100කට ආසන්න ප්‍රමාණයක් සංරක්ෂණය කළ ගොවි මහතෙකි. ඒ අතර හීනටි වර්ග දොළහක්, හීන් කුරුලු තුඩ, රන්දැල්, කහවනු, මසුරන්, මඩතාවලු, පුෂ්පරාග, මුතු වැනි පෞරාණික දේශීය වී බීජද වේ. ඔහු විසූ ඉඩමෙහිම ඉපැරැණි ගොවි උපකරණවලින්ද සමන්විත ගොම මැටි යොදා පිදුරු සෙවිලි කළ අලංකාර ගොවි ගෙදරක්ද නිර්මාණය කොට එම බීජ බෝතල්වල අසුරා එම නිවෙසෙහි ප්‍රදර්ශනයද කෙරිණි. එසේම ඔහු ඒවා වගා කර ලියැදිවල ලේබල්ද ගසා ප්‍රදර්ශනය කර තිබුණේ තනිකරම කාබනික පොහොර යොදා ගනිමිනි. සපුකුමාර එලෙස ගොවිකමෙන් පෑ හපන්කම් නැරැඹීමට බොහෝ පිරිස් ගියහ.

ඊට අමතරව සපුකුමාර එළවළු, පලතුරු වර්ගද බොහෝ සේ වගා කර තිබිණි. සපුකුමාර ගොවිතැනෙන් පෑ දස්කම් පිළිබඳ අවස්ථා ගණනාවකදීම මාධ්‍ය අවකාශයන්හිද ඉඩහසර වෙන්විණි. එවැනි අවස්ථාවකදී සපුකුමාර ග්‍රාම නිලධාරිවරයා ගොවිතැනෙන් ලත් අත්දැකීම් පවසා සිටියේ,

“මං ගොවිතැන කරන්නෙ ඉතාම සතුටින්. වස විසෙන් තොර ආහාර රටාවකට අපේ රටේ මිනිසුන් හිරු කිරීමට උදවු වෙන එකයි මගේ අරමුණ. පාරම්පරික වී වර්ග ව්‍යාප්ත කරන්න මං ගොවි මහත්තුරුන්ට නොමිලේ බිත්තර වී ලබා දෙනවා. ඒ වගේ ගොවි මහත්වරුන් 300කට වඩා මං බීජ වී දීලා තියෙනවා... නොමිලේම... ඒ පිරිස අතර යාපනය, මන්නාරම, ගාල්ල මාතර වගේ රටපුරාම විසිරිලා සිටිනවා. ගොඩයක් අය වරද්ද ගන්නෙ ගොයම් ගහ ජලජ ශාකයක් කියලා. ගොයම් ගහට විශාල ජලය ප්‍රමාණයක් අවශ්‍ය නෑ. යාන්තම් පොළොව තෙමුණම ඇති. නමුත් රටේ බොහෝ ගොවි මහත්තුරු ඒක දන්නෙ නැහැ.“

ඒ ඔහුගේ ගොවිතැනෙහි අත්දැකීම්ය. ඊට අමතරව සපුකුමාර ග්‍රාම නිලධාරිවරයා කැලෑවට ගිය අක්කර 20ක පමණ මුඩු බිමක් තුළ තල වගාවක් කර තිබුණේය. ඔහුට එම භූමිය ලබා දී තිබුණේ නාකොලගනේ පුරාණ විහාරයේ විහාරාධිපති වලත්වැවේ රාහුල හිමියන්ය. එම ඉඩමෙහි තල වගාවට අමතරව වන අලින්ගේ පරිභෝජනයටද පිපිඤ්ඤා, වට්ටක්කා, කැකිරි වැනි වෙනමම අතුරු බෝග වගාවක්ද කර තිබිණි.

රාජ්‍ය නිලධාරින් අතරින් ගම්, නගර සිසාරා සෑම අස්සක් මුල්ලක් නෑරම සැරිසරමින් ජනතාව සමඟ උරෙනුර ගැටෙමින් රාජකාරි කරන ‘බිම් මට්ටමේ‘ රාජ්‍ය සේවකයා ග්‍රාම නිලධාරිවරයායි. එලෙස ජනතාව සමඟ ගැටෙමින් රාජකාරි ඉටුකරද්දී ග්‍රාම නිලධාරින්ට එල්ල වන පීඩනයන්, තර්ජනයන් එමටය.

එහෙත් ඉතිහාසයේ කෙදිනකවත් ග්‍රාම නිලධාරියෙක් එවැනි රාජකාරිමය ආරවුලක් නිසාවෙන් ම්ලේච්ඡ ලෙස ඝාතනය වූ පුවතක් නම් ඇසුණේ නැත. සපුකුමාර ග්‍රාම නිලධාරිවරයා ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ අඹන්පොළ ශාඛාවේ උපලේකම්වරයාද වේ. ඔහුගේ ඝාතනය පිළිබඳව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ සභාපති ඩබ්ලිව්. ජී. කමල් කිත්සිරි පැවැසූවේ,

“මෙහෙමයි, අපිත් මාධ්‍යයෙන් තමයි දැනගත්තෙ මේ ඝාතනයට රාජකාරි සම්බන්ධයක් තියෙන බව. ඒ ඇත්ත නැත්ත අපි දන්නෙ නෑ. නමුත් අපට කියන්න තියෙන්නෙ මෙවැනි තත්ත්වයන් යටතේ ග්‍රාම නිලධාරින්ගේ රාජකාරි සම්බන්ධව සිවිල් ජනතාව තීන්දු තීරණ ගැනීම පිළිබඳවවත් නීතිය අතට ගැනීම සම්බන්ධවත් අපි අතිශය කනගාටු වෙනවා.

කෙනෙකුට අගතියක් වුණා නම් ඒ රාජ්‍ය නිලධාරියා ජීවිතක්ෂයට පත්කිරීම නෙවෙයි කළ යුත්තේ. ඒ සඳහා ශිෂ්‍ට සම්පන්න ක්‍රමවේදයක් තියෙනවා. නිලධාරියෙක් වැරැද්දක් කළා නම් ඔහුට ඉහළින් නිලධාරීන් සිටිනවා. ඒ වගේම රටේ නීතියක් තියෙනවා. ඒ අනුව කටයුතු කළ යුතු තත්ත්වයකදී තමන්ට ඕනෑ විදිහට කටයුතු කරන්න ගියහොත් ශිෂ්ට සම්පන්න සමාජයක කටයුතු කරන්න බැහැ. එම නිසා අපි සපුකුමාර ග්‍රාම නිලධාරි අපේ සහෝදර නිලධාරියාගේ ඝාතනය දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා.“

එසේම මෙරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 332ක් පුරා විසිරී තිබෙන ග්‍රාම නිලධාරි වසම් 14022ක් තුළ ග්‍රාම මේ වන විට සේවය කරනු ලබන්නෙ 12000කටත් අඩු සංඛ්‍යාවකි. බොහෝ ග්‍රාම නිලධාරින් වසම් දෙක තුනක රාජකාරි කරමින් ඉතාම දුෂ්කර කර්තව්‍යයක නිරත වන බවද අපට කීවේ ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ සභාපති ඩබ්ලිව්. ජී. කමල් කිත්සිරිය.

මේ පිළිබඳව විමර්ශන වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගේ අධීක්ෂණයෙන්, නිකවැරටිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහගේ උපදෙස් මත, සහකාර පොලිස් අධිකාරි සාලින්ද සමරකෝන්ගේ මෙහෙයවීමෙන්, අඹන්පොළ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් පෙරේරා ප්‍රමුඛ එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ. ආර්. එම්. ජයරත්න ඇතුළු නිලධාරිහු සිදු කරති.

Comments