
රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය පිහිටි පහන්තුඩාව දියඇල්ල ආශ්‍රිතව අසැබි වීඩියෝවක් නිර්මාණය කර සමාජගත කළ බවට වරද පිළිගත් තරුණ යුවළකට බලංගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක රුපියල් 10,800.ක දඩයක් සහ වසර හතකට අත්හිටවූ මාස තුනක සිර දඬුවමක් නියම කළේය. මෙසේ දඬුවම් ලැබුවේ මහරගම පමුණුව පාරේ පදිංචි ලෙන්දූව ලොකුගේ හසිත් මධුශංක (34) නැමති විවාහක පුද්ගලයකු සහ ඇල්පිටිය ඇල්ල පදිංචි කාරියවසම් නදුනි ඉසුරිකා (24) නැමැති අවිවාහක තරුණියකි.
ඔවුන්ට එරෙහිව නගා තිබූ චෝදනාව වූයේ ශ්‍රී ලංකාවේ ස්වභාවික දිය ඇලි ආදී ප්‍රසිද්ධ ස්ථානයන් වල අසභ්‍ය ලෙස ලිංගික කටයුතුවල යෙදෙමින් වෙළඳාම පිණිස නිරුවත් වීඩියෝ දර්ශන නිෂ්පාදනය කර අන්තර්ජාලයේ විවිධ වෙබ් අඩවි වෙත උඩුගත කර ප්‍රචාරය කරමින් මුදල් ඉපයීම සිදු කළ බවටයි. මෙම සැකකරුවන්, චෝදනා සහ දඬුවම් පිළිබඳව බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ තිබූ තොරතුරු අනුව පහත කරුණු අනාවරණය කර ගත හැකි විණි.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සමනලවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිසානායකගේ අමිල චින්තක විජේසිංහ විසින් පැමිණිලි කර තිබුණේ 2021.08.30 වැනි දිනයි.මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී. වී. අයි. ගයාශ්‍රී විසින් 2021.09.16 දින බී.654/21 යටතේ බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි. එදින නීතීඥ පසිදු බටගොඩ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් තම සේවාදායකයන් ඇප ඉල්ලා සිටි අතර ඒ වන විට පොලිස් ඇප මත සිටි සැකකරුවන් ට ඇප නියම කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරෝධතාවයක් නොදැක්වීය. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ පසිදු බටගොඩ වරද පිළිගැනීමක් සඳහා සලකා බලන බව පැවසීය. ඒ අනුව දණ්ඩනීති සංග්‍රහයේ 285, 286 වගන්ති ප්‍රකාරව රුපියල් 50000/= ක ශරීර ඇප මත සැකකරුවන් ට ඇප නියම විය.
මේ සම්බන්ධයෙන් වූ නැවත වැඩිදුර විභාගය 2021.10.01 දින බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දී සිදු වූ අතර එහිදී අංක 84911 යටතේ පහන්තුඩාව දියඇල්ල ප්‍රදේශයේ දී නිරුවත් වීඩියෝ දර්ශනයක් නිෂ්පාදනය කිරීම,අන්තර්ජාලයේ වෙබ් අඩවිය වෙත මුදා හැරීම, මහජන ප්‍රදර්ශනය සඳහා විකිණීම බෙදා හැරීම හා ස්වාමීත්වයේ තබා ගැනීම සහ 2021.08.18 දින හෝ ඊට ආසන්න දිනයකදී නිරුවත්ව ලිංගික ක්‍රියාකාරකම්වල යෙදී නිරුවත් වීඩියෝ දර්ශනයක් නිෂ්පාදනය කිරීම 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන (සංශෝධන )පනතේ 02 (අ) හා (ඈ) යටතේ චෝදනා ඉදිරිපත් කර තිබුණි. ඒ අවස්ථාවේ සැකකරුවන් තමාට එරෙහිව නගා තිබූ චෝදනා පිළිගනු ලැබීය. ස්වේච්ඡාවෙන් නීතීඥ නියෝජනයක් සහිතව වරද පිළිගැනීම මත සැකකරුවන් වරද කරුවන් බවට මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය.
බලංගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මෙම නඩුවේ පළමු චූදිත හසිත් මධුශංක ට පළමු හා දෙවන චෝදනා සඳහා රුපියල් 2500/= බැගින් ද තුන්වැනි චෝදනාවට රුපියල් 1500/= හා වින්දිතයින් සුරැකීමේ අරමුදල ට රුපියල් 1300/= ක්ද චූදිත නදුනි ඉසුරිකා ට රුපියල් 2500/= ක් වින්දිතයින් සුරැකීමේ අරමුදල ට රුපියල් 500/= ක් ද වශයෙන් රුපියල් 10800/=නියම කළේය. දඩ මුදල් නොගෙවන්නේ නම් අමතර මාස දෙකක සිර දඬුවම් හා අමතරව මාස තුනක සිර දඬුවම් නියම කළ මහේස්ත්‍රාත්වරයා සිර දඬුවම් වසර හතකට අත්හිටුවීමට තීන්දු කර ඇත.
මෙම සිදුවීමේ වත ගොත සෙවීමට මමත් නාලක හෙට්ටිආරච්චි සමඟ මුලින් ම ගියේ සමනලවැව පොලීසිය වෙතයි. එහිදී සමනළවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. ඒ. චින්තක විජේසිංහ අප සමඟ පැවසුවේ " ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්‍රීලාල් සෙනරත් 2021.08.27 දින ලිඛිත පැමිණිල්ලක් කළා මෙම සිදුවීම පිළිබඳව. මම මේ පැමිණිල්ල එහි ස්වභාවය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත 2021.08.30 දින යොමු කළා. ඒ විතරක් නෙවෙයි මම මේ පිළිබඳව පරීක්ෂණයක් කළා."
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ අරඹා තිබුණා.
සමනලවැව හා බලංගොඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශය,රාජ්‍ය බුද්ධි අංශය පරීක්ෂණයට එක්විය. අදාළ සැකකරුවන් දෙදෙනා නිවැරැදි ව සොයා ගැනීමට හැකි වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයේ තාක්ෂණික සාක්ෂි මගිනි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ පොලිස් සැරයන් අරුණ ශාන්තගෙන් මේ පිළිබඳව විමසීමක් කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපට තොරතුරු වාර්තා කළේ සමනලවැව පොලීසියයි. ඒ ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්‍රීලාල් සෙනරත් ගේ පැමිණිල්ලකට අනුව. පොලිස් පරීක්ෂක ගයත්‍රී, පොලිස් කොස්තාපල් වරුන් වන නිලුපුල්, මහේෂ්, විරංග සහ කාන්තා පොලිස් කොස්තාපල් මධුෂානි මීට සහභාගි වුණා. පැමිණිල්ල ලැබී පැය හතළිස් අටක් ගතවන්නට මත්තෙන් අපි නියම සැකකරුවන් සිටින තැනටම ගියා. අප එහි යද්දි ප්‍රධාන සැකකරු ට කොවිඩ් ආසාදිතවයි සිටියෙ. ඒ අනුව මෙම පරීක්ෂණයේ ඉදිරි පියවර තරමක් ප්‍රමාද කරන්න වුණා. ඒ අනුව අනෙක් සැකකාරිය ද හඳුනා ගෙන අත්අඩංගුවට ගැනීමට හැකිවුණා. මෙම අසැබි වීඩියෝව සකස් කිරීමට භාවිතා කළ උපකරණ සොයා ගත්තා. ඒ අනුව අනාවරණය කර ගත් තොරතුරු ඔස්සේ පැහැදිලි වුණේ මෙම දෙදෙනා මීට පෙරද මෙවැනි වීඩියෝ තිස් දෙකක් පමණ සිදු කර ඇති බවයි.
එහෙත් පහන්තුඩාව දියඇල්ල ආශ්‍රිතව කරන ලද වීඩියෝව අපේ රටේ නීතියට අනුව පැහැදිලිවම වරදක්. ඒ පිළිබඳව අපි අසභ්‍ය ප්‍රකාශ පනත සහ දණ්ඩනීති සංග්‍රහයේ 285,286 යන වගන්ති ඔස්සේ අධිකරණයට කරුණු වාර්තා කළා.එහිදී සැකකරුවන් දෙදෙනා තමන් කළ වරද පිළිගත්තා. මේ අය මෙවැනි වීඩියෝ අන්තර්ජාලය ට මුදා හරිමින් මුදල් ඉපයීමට හුරු වී සිටියා. අඩු වියදමින් මුදල් සොයා ගැනීමේ උපාය මාර්ගයක් විදිහටයි මේ දෙදෙනා මෙම ක්‍රියාවේ යෙදිල තිබුණෙ.
පළාත් පාලන ආයතනයක ප්‍රධානියකු වශයෙන් ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්‍රීලාල් සෙනරත්ගේ අදහස දැන ගැනීමට ඔහු සමඟ ද කතා කළා.
" ඉඹුල්පේ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ තිබෙන මනස්කාන්ත පරිසරයකින් සැදුම්ලත් බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල කියන්නෙ. ඒ ආශ්‍රිතව අසැබි වීඩියෝවක් යූටියුබ් හි සැරිසරන බව දැන ගන්න ලැබුණා. ඒ අනුව අපි සොයා බැලුවා.
එහිදී අනාවරණය වුණේ මෙම අසැබි වීඩියෝව පහන්තුඩාව කියලා යූටියුබ් එකේ සර්ච් කරද්දී ඉදිරියෙන් ම පෙන්නුම් කරන බව. මේක අපේ පරිසර පද්ධතිය භාවිත කරල කරපු ඉතාම නින්දිත ක්‍රියාවක්. අපිටත් සමාජ මාධ්‍ය තුළ විවිධ කතා දාලා තිබුණා.අපි පහන්තුඩාව දියඇල්ල බලන්න ,එන්න කියන්නෙ පෙම්වතුන් ට නෙවෙයි.පරිසරය ට ආදරය කරන, පරිසරය විඳින සොඳුරු සිත් ඇති නිවුණු මිනිස්සුන්ට‘
මෙම සිදුවීම හරහා පවතින සමාජ බලපෑම පිළිබඳව කතා කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ මහාචාර්ය අනූෂා එදිරිසිංහ සමඟයි.
" කෙනෙකුගේ පුද්ගලිකත්වයට හානි වන හෝ තමාගේ කැමැත්තෙන් තවත් කෙනෙකුගේ පහත් මානසික රුචිකත්වයක් පිනවීම සඳහා යොදා ගැනීම හෝ අපරාධයක්. ඒ වගේම අවකාශය නිදහස් වූ පමණින්ම අසැබි වීඩියෝ හා ඡායාරූප මුදා හැරීම නීතියට පටහැනි ක්‍රියාවක්. මේ තුළ දක්නට ලැබෙන්නේ තවත් භයානක තත්ත්වයක්. තවත් කෙනෙකුගේ ශරීර අඟපසඟ යොදා ගනිමින් පින්තූර නිර්මාණ කරනවා. මුහුණු හා සිරුරු බද්ධ කිරීම් ද සුලබව සිදුවෙනවා. මේවා මානසික විකෘති තත්වයන් මත සිදු වෙන්නෙ. මෙවැනි සාපරාධී වැරදිවලට එරෙහිව සමාජයට දැනෙන ප්‍රමාණවත් නීති රාමුවක් තිබේදැයි කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්"
පහන්තුඩාව සිද්ධිය ඉතා කෙටි කාලයක් ඇතුළත වරදකරුවන් ට බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් දඬුවම් නියම කළා. මේ සම්බන්ධයෙන් නීතීඥ වරුණ දිසානායක අදහස් දැක්වූයේ මෙසේය.
පහන්තුඩාව සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලීසිය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව චෝදනා හතරක් යටතේ දඬුවම් නියම කරන ලදී. 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන (සංශෝධන ) පනතේ 02 (ඇ) වගන්තිය යටතේ අදාළ සැකකරුවන් දෙදෙනා දඬුවම් ලැබිය හැකි වරදක් කර ඇති බව ද 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන (සංශෝධන) පනතේ (ඈ) වගන්තිය යටතේ වරදක් කළ බවද ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 286 වගන්තිය යටතේ වරදක් කළ බවද වේ. මේ අනුව සැකකරුවන් තමන් කළ වරද පිළිගෙන ඇත. ඊට නීතියේ පවතින ප්‍රතිපාදන මත දඩයක් හා අත්හිටුවූ සිර දඬුවමක් ලබා දී තිබේ.
1893 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන (සංශෝධන )පනත ප්‍රකාරව ඉදිරිපත් වූ චෝදනා අනුව ඔවුන් නිරුවත් වීඩියෝ දර්ශන නිර්මාණය කිරීමත් අන්තර්ජාලය හරහා උඩුගත කර පනත උල්ලංඝනය කිරීමත් වරදකි.ඒ අනුව එකී පනතේ " වෙනත් කාර්යයන් " යන්නෙන් අර්ථ නිරූපණය කිරීමේ දී මෙම නඩුව ට අදාළව චෝදනාවක් සැකකරුවන් විසින් සිදු කරඇති බැවින් ඔවුන් ට එරෙහිව එම පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව පියවර ගෙන ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා ජනාධිපතිවරයා ට ලිපිය ලියූ හිමිනමට මේ වන විට බරපතළ බලපෑම් සිදුවන බව දැනගන්නට ඇත. ඒ වෙනුවෙන් කිසිවෙකු පෙනී නොසිටීම සම්බන්ධයෙන් උන්වහන්සේ දැඩි කලකිරීමට ලක්ව සිටී.