
තිස් අවුරුදු රුදුරු කොටි ත්‍රස්තවාදි අරගලයෙන් පසු මෙරට ජනයා මුහුණ දුන් බිහිසුණුම අත්දැකීම පාස්කු ප්‍රහාර බව විවාදයක් නැත. 2019 අප්‍රේල් මස 21 පාස්කු ඉරිදා දින පෙරවරුවේ විනාඩි කිහිපයක් ඇතුළත කොළඹ කොච්චිකඩේ ශාන්ති අන්තෝනි දේවස්ථානය, මීගමුව කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, මඩකළපුව සියෝන් දේවස්ථානය ඇතුළු කොළඹ ශැන්ග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ්, කිංග්ස්බරි සහ දෙහිවල ට්‍රොෆිකල් ඉන් හෝටල්හි පිපිරී ගිය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විදෙස් ජාතිකයන් ඇතුළු 269 දෙනෙකුගේ ජීවිත අහිමි වී 586 දෙනෙකුට බරපතළ තුවාල සිදු විණි.
මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් ඇතුළු අලවුඩීන් අහමඩ් මුවාඩ්, අච්චි මුහම්මදු හස්තුන්, මොහොමඩ් නසාර් අසාඩ්, මොහොමඩ් අසාම් මුබාරක්, මොහොමඩ් ඉබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ්, මොහොමඩ් ඉබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් සහ ජමිල් මොහොමඩ් යන අන්තවාදීන් අටදෙනා එල්ල කළ මරාගෙන මැරෙන ම්ලේච්ඡ ප්‍රහාරයට බොහෝ පිරිසක් කලෙක සිට ම සහාය දෙමින් ආධාර අනුබල දී ඇති බව මේ වන විට සිදුකර ඇති විමර්ශනවලින් හෙළි වී තිබේ.
එකී බොහෝ පිරිස් පසුගිය කාලය පුරාවට ආරක්ෂක අංශ සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට ගැනිණි. ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පිරිස 723 දෙනෙක් බවත් ඉන් 311 දෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාරගත කර විමර්ශන සිදුකරමින් පවතින බව ඉකුත් අගෝස්තු මස 25 වැනි දින විශේෂ ප්‍රකාශයක් කරමින් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් බෙහෝ කරුණු සමාජය ඉදිරියේ දිග හැරියේ එම විමර්ශන අධීක්ෂණය කරන අවසාන නිලධාරියා ලෙසිනි.
එසේම පොලිස්පතිවරයා එදින වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂයන් ජනපති ලෙස පත්වීමත් සමඟ පාස්කු ප්‍රහාරයට අදාළ කුමන තරාතිරමක උදවිය වුවද නීතිය ඉදිරියට පමුණුවීමට අවැසි කටයුතු කරන ලෙස සියලු වගකීම් සහ බලය ලබා දුන් බවද පැවැසුවේය.
එවැනි වටපිටාවක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බලධරයන්ගෙන් හෙළි වෙද්දී ඇතැම් දෙනාද පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට චෝදනා කළහ. එහෙත් වත්මන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පසුගියදා පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් පැවැසුවේ චෝදනා ලත් උදවියගේ චෝදනා සියල්ලම අධිකරණයේදී නිසි පරිදි ඔප්පු කිරීමට අවැසි කරුණු නිසියාකාරයෙන් ගොනුකර නොගෙන අධිකරණයට ඉදිරිපත්කොට එම පුද්ගලයන් එක් චෝදනාවකින් හෝ නිදහස් වුවහොත් ඔවුහු සියලු දෙයින්ම නිදොස් වීමට ඉඩ තිබෙන බවයි.
එම නිසා පාස්කු ප්‍රහාරයේ විමර්ශන කිසි ලෙසකින් හෝ ආපස්සට හැරවීමක් සිදු නොවන බවද ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.
කෙසේ හෝ පසුගිය සිකුරාදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අවැසි බුද්ධි තොරතුරුද ලැබී තිබියදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම නිසාවෙන් එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු සහ එවක පොලිස්පතිවරයා වූ පූජිත් ජයසුන්දර දෙදෙනාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී අධි චෝදනා පත්‍ර බාරදීම සිදු විය.
එදින පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේ එක් විත්තිකරුවකුට චෝදනා 864ක් මුලින් ගොනුකර තිබුණත් එම චෝදනා සංශෝධනය කරමින් එක් විත්තිකරුවකුට චෝදනා 855ක් බැගින් ගොනුකර ඇති බවයි. එසේම ඊට අදාළ පැමිණිල්ලෙ සාක්ෂිකරුවන් ලෙස 1215 දෙනෙකු නම් කර තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කීය. ඒ අනුව ඊට අදාළ නඩු විභාගය ලබන නොවැම්බර් මස 22 වැනිදා සිට නොවැම්බර් 29 වැනිදා දක්වා දිනපතා නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඊර්සදින් යන විනිසුරු මඬුල්ල ඉදිරියේ විභාග කිරීමට නියමිතය. එසේම පසුගියදා නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරියගෙන් කරන ලද ඉල්ලීමක් අනුව පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නඩු විභාගය සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්ද පත් කෙරිණි. ඒ අනුව එම විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ලෙස කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත කටයුතු කරන අතරේ මහාධිකරණ විනිසුරුවරයන් වන අමල් රණරාජා හා නවරත්න මාරසිංහ යන දෙදෙනා සෙසු සාමාජිකයන්ය.
පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් එල්ල කළ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කුමන්ත්‍රණ කිරීම, ආධාර අනුබල දීම, පුපුරණ ද්‍රව්‍ය හා ආයුධ එකතු කිරීම, මිනීමැරුම් සහ මිනීමැරීමට උත්සාහ කිරීම යන චෝදනා මත සැකකරුවන්ට එරෙහිව පසුගිය 4 වැනි සඳුදා පෙරවරුවේ කොළඹ මහාධිකරණය අවට පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාවද යොදවා පළමු වරට පාස්කු ප්‍රහාරයේ නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කැඳවීය. එදින මොහොම්මදු ඉබ්‍රාහිම් මොහොම්මදු නවුෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු මවුලවිවරුන් සහ සෙසු පුද්ගලයන් 25 දෙනෙකුගෙන් 24 දෙනෙකු ම අධිකරණයට කැඳවා අධි චෝදනා පත්‍ර බාර දීම සිදු විණි.
එදින නඩුවේ 15 වැනි විත්තිකරුවා වන මොහොම්මදු හනිෆා සෙයිනුල් ආබ්දින් (අබු හිනා) නමැත්තා කොරෝනා ආසාදිතව සිටින නිසාවෙන් බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් නොකෙරිණි. එදින අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නවුෆර් මවුලවි සමඟ මොහොම්මදු සර්බු ආදම් ලෙබ්බේ (අබූ හදික්), හයාතු මොහොම්මදු මිල්හාන් (අබු සිලා) මොහොම්මදු ඉබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්) මොහොම්මද් ඉබ්‍රාහිම් අබ්දුල් හක් (අබු ෆලා) මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් (අබු තාරික්) මොහොමඩ් මන්සූර් මොහොමඩ් සන්ස්දීන් (අබූ මිසාන්), අබ්දුල් මනාෆ් මොහොමඩ් පිරදවුස්, මොහොමඩ් රමිෂ් මොහොමඩ් සාරික්, අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි (සාෆි මවුලවි/ අබු ෆර්කාන්) හුසේනුල් රිස්වි කාලිද් සමීර්, මොහොමඩ් සවාහිර් මොහොමඩ් හසන් (අබු දාවුද්) මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් (අබු මොහොමඩ්), රෂීඩ් මොහොමඩ් ඉබ්‍රාහිම්, මොහොමඩ් මුස්තාපා මොහොමඩ් හාරිස් (අබු නන්ජියාර්) යාසින් බාවා අබ්දුල් රවුෆ්, රසික් රාසා හුසේන්, කච්චි මොහොමඩ් ජෙස්මින්, සෙයිනූල් ආබ්දීන් මොහොමඩ් ජසීන්, මොහොමඩ් මුස්තාපා, මොහොමඩ් රිස්වාන්, මීරා සයිඩ් මොහොමඩ් නෆ්ලි (අබු සනා) මොහොමඩ් අමීන් අයන්තුල්ලා, මොහොමඩ් අන්සාර් දීන් හිල්මි, මොහොමඩ් අක්‍රම් යන විත්තිකරුවන් පිරිසයි.
එම විත්තිකරුවන් පිරිස අතර 2018 දෙසැම්බර් මාසයේ මාවනැල්ල බුදු පිළිම කැඩීමේ චෝදනාවට අත්අඩංගුවට පත් සහෝදරයන් දෙදෙනා ද වේ.
එම නඩුව වෙනුවෙන් පැමිණිලි පාර්ශ්වය නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ගුණසේකර පෙනී සිටියා ය. ඇය අධිකරණය හමුවේ බොහෝ කරුණු වාර්තා කරමින් ඉතාම සංවේදී කාරණාද ඉදිරිපත් කළාය.
“ස්වාමිනි, මේ නඩුව ඉතිහාසගත වන නඩුවක්. මීට පාදක වන චෝදනා පත්‍ර යේ චෝදනා 23270ක් අන්තර්ගත වෙනවා. එම චෝදනා පත්‍රය ඉදිරිපත් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශන අංශ විශාල මෙහෙවරක් කළා. එය අපි අගය කළ යුතුයි. එසේම ඇතැම් විමර්ශන කටයුතු සඳහා ඇමෙරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ පරීක්ෂණ ආයතනවලත් සහාය ලබාගත්තාය. 2019 අප්‍රේල් 21 ක්‍රිස්තුන් වහන්සේ උත්ථාන වූ පාස්කු ඉරු දින අන්තවාදීන් පිරිසක් එල්ල කළ එම විශාල ත්‍රස්ත ප්‍රහාරය නිසා පුද්ගලයන් 275කට ආසන්න පිරිසක් මියගොස් තවත් 586ක පිරිසක් තුවාල ලබා ඇති බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළාය. පසුගිය 4 වැනිදා අධිකරණයේදී විත්තිකරුවන්ට අධි චෝදනා පත්‍ර බාර දුන් මෙකී නඩුව ලබන නොවැම්බර් 23 වැනි දින කැඳවීමටද ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නියෝග කළේය. එසේම නඩුවේ සෑම දිනකම විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට වග බලා ගත යුතු බවට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කළ විනිසුරු මඩුල්ල යම් හෙයකින් එසේ අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති නම් විද්‍යුත් තාක්ෂණ ක්‍රමවේදයක් මඟින් හෝ විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටීම තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටත් නියෝග කළේය.
මෙදින අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකරුවන් අතර ප්‍රධානම විත්තිකරුවා වන නවුෆර් මවුලවි පාස්කු ප්‍රහාරයේ ප්‍රධානියා වූ සහරාන් හසීම්ගේ ජාතික තවුහිද් සංවිධානයේ න්‍යායාචාර්යවරයා ලෙස කටයුතු කළ තැනැත්තා වේ. ඔහු සහරාන්ගේ බිරිඳ හාදියාගේ මවගේ නැඟණිය වන නාරම්මල, කැකුණගොල්ලෙ පදිංචිව සිටි සිති හජිරා සමඟ විවාහ වී ඇත්තෙ 2003 වසරේයි. සහරාන්ද හාදියා හා සමඟ විවාහ වන්නෙ වී තිබුණේ නවුෆර් සමඟ නාරම්මලට පැමිණීමෙන් වූ දැනහඳුනා ගැනීමෙනි. 2004 වසරේදී පමණ සිට නවුෆර් සහ සහරාන් අතර සබඳතා ගොඩනැඟී ඇති බවත් නවුෆර් 2008 වසරේ කටාර් රාජ්‍යයට ගොස් ඇත. අනතුරුව ඔහු වරෙන් වර මෙරටට පැමිණෙමින් අයිඑස් මතවාදය වැපිරූ පුද්ගලයෙක් බවට ද සැල වේ. නවුෆර් මවුලවි පාස්කු ප්‍රහාරයෙන් පසු වත්තල ප්‍රදේශයේ සිට කාත්තන්කුඩිය බලා යද්දී ප්‍රහාරය දින තුනකට පසු එනම් 2019 අප්‍රේල් 22 වැනිදා දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තෙ දඹුල්ල ප්‍රදේශයේදියි.
ලබන නොවැම්බර් 23 වැනිදා සිට අධිකරණයේ විභාග වන නඩුව ඔස්සෙ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන්ගේ ඉරණම තීන්දු වේ. පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දුන් සියලු දෙනාටම උස් පහත් බේදයකින් තොරව දැඩි දඬුවම් පැමිණ වීම එම ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට වෙනුවෙන් කරන ඉහළම සාධාරණය බව පසක් කරමු.
ඡායාරූපය - හිරන්ත ගුණතිලක