පොලිස් ඉති­හා­සය වෙනස් කළ කාන්තාවෝ | සිළුමිණ

පොලිස් ඉති­හා­සය වෙනස් කළ කාන්තාවෝ

සර 155ක අභිමානවත්වූ මෙරට පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයට නව පිටුවක් පෙරළුණු දිනයක් ලෙස පසුගිය 6 වැනිදා නම් කළ හැකිය. 85000ක පමණ පිරිසකගෙන් යුත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 8,000ක් පමණ වන කාන්තා නිලධාරිනියන් අතරින් එකවර නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වීමට පොලිස් නිලධාරිනියන් තිදෙනෙකුට භාග්‍ය උදා වූයේ පසුගිය 6 වැනිදායි.

එම නිලධාරිනියන් වන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියන්ව සිටි පොලිස් පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාසයේ අධ්‍යක්ෂිකා රේණුකා ජයසුන්දර, පොලිස් සුබසාධන කොට්ඨාසයේ අධ්‍යක්ෂිකා ජයන්තා පද්මිණි වීරසූරිය සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරියක වන නිශානි සෙනෙවිරත්න යන තිදෙනායි.

මෙකී නිලධාරිනියන් තිදෙනාගේ අසමසම වාර්තාවත් සමඟ කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනියන් සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගියේ හරියටම මීට වසරකට පෙර එනම් ගිය වසරේ ඔක්තෝබර් 8 වැනිදා පොලිස් දෙපාර්තමේන්තුවේ පළමු නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස බිම්ෂානි ජාසිංආරච්චි නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීමත් සමඟිනි.

නියෝජ්‍ය පොලිස්පතිනි නිශානි සෙනෙවිරත්න සිය සැමියා සහ දරුවන් සමඟ
නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර සිය සැමියා සහ දරුවන් සමඟ
නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිණි සිය සැමියා සහ දරුවන් සමඟ

නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස උසස් වූ රේණුකා ජයසුන්දර පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව බාර ප්‍රධානියා ලෙස පත් වූවාය. ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශය වෙනම නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතට පත් කෙරුණේ ප්‍රථම වතාවටයි. පද්මිණි වීරසූරිය නියෝජ්‍ය පොලිස්පතිනිය, ඇය දැරූ පොලිස් සුබසාධන අංශය බාර නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙසම පත්වූවාය. ඇය 2019 වසරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරේ සිටියදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ අතර එම තනතුරට පත් පළමු කාන්තාවද පද්මිණි වීරසූරියයි. ඊට අමතරව සිය සේවා කාලයම බුද්ධි සේවයෙහි කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් නිශානි සෙනෙවිරත්න එහි අධ්‍යක්ෂවරියක්ද වූවාය. නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වීමෙන් පසු නිශානි වැඩ බාර ගත්තෙ පොලිස් පර්යේෂණ හා තොරතුරු තාක්ෂණ දිසාව බාර ප්‍රධානියා ලෙසිනි.

රේණුකා ජයසුන්දර පසුගිය කාලය පුරාම පොලිස් කාන්තා නිලධාරිනියන්ගේ උසස්වීම් උදෙසා ඉමහත්සේ කැපවුණු නිලධාරිනියකි. කෑගල්ල, දැදිගම, මැණික්කඩවල ග්‍රාමයේ උපන් නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා පාසල් තුනකින් අධ්‍යාපනය ලැබුවාය. ඒ මැණික්කඩවල කනිටු විදුහල, දැදිගම මහා විද්‍යාලය සහ ශිෂ්‍යත්වය සමත්ව ඇතුළු වූ මෙරට කීර්තිමත් පාසලක් වන තෝලංගමුව ඩඩ්ලි සේනානායක විද්‍යාලයෙනි. පවුලේ එකම දරුවා වන රේණුකා පොලිස් දෙපාර්තමේන්තුවට එක්වූයේ අපොස උසස්පෙළ සමත් වීමෙන් පසු උපපොලිස් පරීක්ෂකවරියක් ලෙස 1997 වසරේයි. ඒ පොලිස් දෙපාර්තමේන්තුවට එකවර නිලධාරිනියන් 140ක පිරිසක් එක්වූ අවස්ථාවයි. කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව ලත් ඇය පුහුණුව තුළදී කාන්තා නිලධාරිනියන් අතුරින් සෑම අතින්ම ඉහළම දස්කම් පෑ නිලධාරිනියද විය. ඇයගේ මුල්ම පත්වීම රුදුරු කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව වවුනියාවටයි. 1998 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (සීඅයිඩී) පැමිණි රේණුකා එහි වසර හයක සේවාවෙන් පසු දෙමටගොඩ, කොටහේන ආදි පොලිස් ස්ථානයන්හි වසර ගණනාවක් සේවය කළාය.

නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා පොලිස් පරීක්ෂක තනතුරට පත්වූයේ 2006 වසරේයි. 2007 වසරේ සහකාර පොලිස් අධිකාරි තනතුර සඳහා පැවැති තරග විභාගයට මුහුණ දුන් රේණුකා ජයසුන්දර ඊට මුහුණ දුන් කාන්තා නිලධාරිනියන් අතුරින් පළමු ස්ථානය ලැබුවාය.

ඒ අනුව 2008 ජනවාරි 01 වැනිදා සහකාර පොලිස් අධිකාරි තනතුරට පත් ඇය නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරියට අනුයුක්ත වූවාය. එහි වසර ගණනක සේවයෙන් පසු කොළඹ වංචා විමර්ශන අංශයේද සේවයට එක්වී ඇත. රේණුකා පොලිස් අධිකාරි තනතුරට පත්ව තිබුණේ 2014 ජනවාරි 01 වැනිදායි. අනතුරුව 2018 ජනවාරි 01 වැනිදා ජ්‍යෙෂ්ඨ පොලස් අධිකාරි තනතුරට පත් වූවාය. නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා විවාහ වී සිටින්නේත් පොලිස් නිලධාරියකු සමඟිනි. ඔහු කොම්පඤ්ඤවීදිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකරයි. රේණුකා නියෝජ්‍ය පොලිස්පතිනිය සිළුමිණට කීවේ, "අප හමුවුණේ 1998 වසරේදී. මුල්ම රාජකාරියට වවුනියාවට ගිය විටයි."

2000 වසරේදී විවාහ වූ දෙදෙනාට මේ වන විට දියණියන් දෙදෙනෙකි. වැඩිමහල් දියණිය කොතලාවල විශ්වවිද්‍යාලයේ නීති ශිෂ්‍යාවකි. බාලයා මියුසියස් විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් ජයන්තා පද්මිණි වීරසූරිය රත්නපුර, කොලොන්නෙ උපන්නියකි. සහෝදර සහෝදරියන් නවදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා ඇයයි. කොලොන්න මහා විද්‍යාලයෙන් සහ රත්නපුර සුමන බාලිකාවෙන් අධ්‍යාපනය හදාරා 1997 පෙබරවාරි 15 වැනිදා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව ලබා පොලිස් සේවයට එක් වූවාය. මුල්ම රාජකාරිය වවුනියාවෙන් ඇරැඹි පද්මිණි 1998 වසරේ සිට පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ රාජකාරියට එක්වූවාය. 2003 ජනවාරි 01 වැනිදා පොලිස් පරීක්ෂක තරග විභාගයෙන් සමත්ව පොලිස් පරීක්ෂකවරියක වූ ඇය 2006 වසරේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එක්ව නැගෙනහිර ටිමෝරයේ සේවයට එක් වී ඇත. 2007 සහකාරි පොලිස් අධිකාරි තනතුරට පත්වීමෙන් පසු පොලිස් වෛද්‍ය කොට්ඨාසයට අනුයුක්ත වූ පද්මිණි 2013 වසරේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ස්ථාන මාරු ලැබ තිබුණාය. එසේම එම වසරේදී නැවතත් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එක්ව හයිටි රාජ්‍යයට ගිය නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිණි ස්ථාන කීපයක රාජකාරියෙන් පසු අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂකවරියක ලෙස අනුයුක්ත වී තිබුණේ 2016 වසරේ මැයි මාසයේයි. එම වසරේදීම පොලිස් අධිකාරි තනතුරට පත් නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිණි 2018 ජනවාරි 01 වැනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස් වූයේ තවත් නිලධාරිනියන් අට දෙනෙකු සමඟිනි. ඇය 2021 නොවැම්බර් මස අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ධුරයට පත්වූයේ එම තනතුරට පත් පළමු කාන්තා නිලධාරිනිය ලෙසිනි.

නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිණි විවාහ වී සිටින්නෙ පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවය කරන මේජර් ඉන්දික කුමාර සමඟිනි. ඇය වයස අවුරුදු 12ක සහ 10ක පුතුන් දෙදෙනෙකුගේ මවකි. දරුවන් දෙදෙනා කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබති.

නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් තිදෙනා අතුරින් පොලිස් සේවයට මුලින්ම එක්වූයේ නියෝජ්‍ය පොලිස්පතිනි නිශානි සෙනෙවිරත්නයි. කාන්තා උපපොලිස් පරීක්ෂකවරියන් මුලින්ම පොලිස් දෙපාර්තමේනතුවට බඳවාගෙන තිබුණේ 1988 වසරේ දෙසැම්බර් 26 දිනයි. එදින එලෙස බඳවාගත් උපපොලිස් පරීක්ෂකවරියන් තිදෙනාගෙන් කෙනෙක් වීමට නියෝජ්‍ය පොලිස්පතිනි නිශානි වරම් ලද්දාය. එම තිදෙනාම බඳවාගෙන තිබුණේ බුද්ධි සේවාවටයි.

මාලඹේ පදිංචි නියෝජ්‍ය පොලිස්පතිනි නිශානිට සහෝදරියන්ම සිවු දෙනෙකි. කොළඹ ආනන්ද බාලිකාවෙන් අධ්‍යාපනය ලත් නිශානි පොලිස් සේවයට එක්ව බුද්ධි සේවයට එක්වීමෙන් වසර 33ක සේවා කාලය තුළ මේ වන විට බුද්ධි සේවයෙහි බොහෝ තනතුරු දරා ඇත. නිශානි සෙනෙවිරත්න නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වීමත් සමඟින් පොලිස් දෙපාර්තමේන්තුවේ තවත් අනභිභවනීය වාර්තාවක්ද තැබුවාය. ඒ, ඇයගේ සැමියාත් මේ වන විට නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන හෙයිනි. කළුතර දිසාව බාරව කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න නියෝජ්‍ය පොලිස්පතිනි නිශානිගේ සැමියායි. මහින්ද ගුණරත්නද පොලිස් සේවයට එක්ව තිබුණේ උපපොලිස් පරීක්ෂකවරයකු ලෙසින් නිශානි එක්වූ වසරේම ඇයට මාස කිහිපයකට පෙරයි. අනතුරුව බුද්ධි සේවයෙහි රාජකාරි අතරතුර හමුවූ දෙදෙනා 1998 වසරේදී විවාහ විය. ඔවුන් දෙපළටද දියණියන් දෙදෙනෙකි. වැඩිමහල් දියණිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබද්දී බාල දියණිය මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව සිටී.

එසේම නියෝජ්‍ය පොලිස්පතිනී නිශානිගේ මව නන්දා සෙනෙවිරත්න සහ පියා ඒ. ජී. සෙනෙවිරත්නත් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ අයවලුන්ය.

එම යුවළද විශ්‍රාම ගොස් තිබුණේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙසිනි. එයද පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්තාගත සිදුවීමකි. පොලිස් දෙපාර්තමේන්තුවට වසර 155ක ඉතිහාසයක් තිබුණත් මුල්ම වරට කාන්තාවන් බඳවාගෙන තිබුණේ 1953 වසරේයි. මෙරට පොලිස් දෙපාර්තමේන්තුවේ කාන්තා පොලිස් නිලධාරිනියන්ට ඉහළ තනතුරු දක්වා උසස් වීමට ඉඩහසර විවර වූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනි ප්‍රමිලා දිවාකර ගෙන ගිය සටන නිසාවෙනි. දීර්ඝ පොලිස් දිවියකින් පසු 2002 වසරේ විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනි ප්‍රමිලා, 1958 කොස්තාපල්වරියක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව 1971 සැරයන් තනතුරටත් 1977 උපපොලිස් පරීක්ෂිකා, 1984 පොලිස් පරීක්ෂිකා, 1986 ප්‍රධාන පොලිස් පරීක්ෂිකා, 1988 සහකාර පොලිස් අධිකාරිනියක, 1994 පොලිස් අධිකාරිනියක සහ 1999 ප්‍රථම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනිය ලෙස උසස්වීම් ලබා තිබුණාය.

පොලිස් දෙපාර්තමේන්තුවේ වර්තමානයේ තනතුරු, උසස්වීම්, වයස් පරතරයන් සසඳද්දී අනාගතයේදී කාන්තා පොලිස්පතිවරියකද බිහිවීමේ ලකුණු දැනටම පහළ වී අවසානය. එම නිසා මෙතෙක් කාන්තාවකට ළඟාවීමට නොහැකි වූ පොලිස්පති තනතුරටත් ඉදිරියේදී කාන්තාවක පත්වුවහොත් ඒ් ගැන පුදුම විය යුතු නොවේ.

Comments