මහා­චාර්ය දැර­ණි­ය­ග­ල­යන් දිවි­සැ­රිය නිමා කරයි | Page 3 | සිළුමිණ

මහා­චාර්ය දැර­ණි­ය­ග­ල­යන් දිවි­සැ­රිය නිමා කරයි

 

විද්‍යාත්මක කැණීම් මඟින් සාක්ෂි සාධක සහිතව මෙරට ප්‍රාග් මානව ඉතිහාසය ගැන තතු විත්ති පහදා ශ්‍රී ලංකේය ශිෂ්ටාචාරය මානව පරිනාමයේ තොටිල්ලට රැගෙන ගිය පුරාවිද්‍යාඥයා අනෙකකු නොව ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගලයන්ය. හෙතෙම පසුගිය 05 වැනිදා සිය භෞතික කාය අත්හළේය. හෙතෙම අවසන් සුසුම් වාතලයට මුසුවන තෙක් ම මෙරට පුරා විද්‍යා ක්ෂේත්‍රයට කළ මෙහේය අප්‍රමාණය.

වර්ෂ 1942 මාර්තු මස 01 වැනිදා පෝල් එඩ්වඩ් පීරිස් දැරණියගල හා ප්‍රිනී මොලමුරේ ට දාව තෙවැනි දරුවා ලෙස සිරාන් උපේන්‍ද්‍ර දැරණියගල එක්නැලිගොඩ වලව්වේදී මෙලොව එළිය දුටුවේය. ඔහුගේ සීයා වූයේ මෙරට කීර්තිමත් ඉතිහාසඥයකු වූ ශ්‍රීමත් පෝල් පීරිස්ය. හෙතෙම ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ඉතිහාසඥයෙකි.

සිරාන් දැරණියගලයන්ගේ පියාණන් පී.ඊ.පී දැරණියගලයන් මෙරට ප්‍රාග් ඓතිහාසික පර්යේෂණයන්හි පුරෝගාමියකු වේ. හෙතෙම කීර්තිමත් පුරාවිද්‍යාඥයකු මෙන්ම ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්‍ෂවරයකු ද විය. හෙතෙම 1939 වසරේදී බලංගොඩ කඳුකරය ආශ්‍රිතව සිදු කළ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණය නිසා ලොව මානව ශිෂ්ටාචාරයේ සුවිශේෂි ස්ථානයක් ලෙස මෙරට ලෝපතළ විය.

සිරාන් දැරණියගලයන් ප්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය සඳහා යොමු වූයේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයටය. ඔහු අධ්‍යාපනයට මෙන් ම සිතුවම් කරණයටද දක්ෂයකු විය. මේ කලා හැකියාව හෙතෙම සිය පවුල් පසුබිමෙන් ම උරුම කරගත්තකි. ඔහුගේ සීයා, පියා, බප්පා (ජස්ටින් පීරිස් දැරණියගල) මෙන්ම සොයුරු රනිල් දැරණියගලයන්ද කීර්තිමත් සිත්තරුන් විය. විශ්වවිද්‍යාලය වරම් ලැබූ දැරණියගලයන් වාස්තු විද්‍යාව, සංස්කෘත සහ ලතින් භාෂාව යන විෂයන්ගෙන් ශාස්ත්‍රවේදී (1963) උපාධිය ලබා ගත්තේය. අනතුරු ව, බ්‍රිතාන්‍ය බලා ගිය තරුණ දැරණියගලයන් ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති (1966) උපාධියත්, එහි පුරාවිද්‍යා ආයතනයෙන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබා ගත්තේය. මෙහි දී ඔහු වසරේ දක්‍ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යාට හිමි වන ‘ගෝර්ඩන් චයිල්ඩ්’ ත්‍යාගය දිනා ගැනීමට සමත් විය. මේ කාලයේදී (1964 සිට 1976 දක්වා) එංගලන්තය, ප්‍රංශය හා ඉන්දියාව වැනි රටවල දී ලොව කීර්තිමත් පුරාවිද්‍යාඥයන් යටතේ ඔහු ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව දැඩි ශික්ෂණයක් යටතේ ප්‍රායෝගිකවත් න්‍යාත්මකවත් හැදෑරීය. වර්ෂ 1968 දී නැවත ලංකාවට පැමිණි දැරණියගලයන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයේ සහකාර කොමසාරිස්වරයා වශයෙන් පත්විය. එවක ඔහු වයස අවුරුදු විසි පහක තරුණයකු විය. එතැන් පටන් මෙරට ඉතිහාසයේ නවමු පරිච්ඡේදයක් ආරම්භ විය.

එංගලන්තයේ සිටියදී පවා ඔහුගේ එකම අභිප්‍රාය වූයේ සිය මව්රටේ අසිරිය ලොවට කියා පෑමය.

1969 වසරේ දී ඔහු ඒ සඳහා තොරාගත්තේ ලංකා ඉතිහාසයේ තොටිල්ල බඳු වූ අනුරාධපුරයේ ඇතුළුනුවර ගෙඩිගේ ය. එලෙස ශ්‍රී ලංකාවේ ස්තර වින්‍යාසය නම් වූ විද්‍යාත්මක සංකල්පය ප්‍රථමවරට ක්‍රියාවට නඟමින් කැණීම් කටයුතු ආරම්භ විය. ඉන් විවිධ වූ ප්‍රාග්, ප්‍රොටෝ හා මූල ඓතිහාසික කරණු බොහෝමයක් අනාවරණය කර ගත් අතර විජය පැමිණීමට ප්‍රථම ප්‍රභාමත් සංස්කෘතියකට අප රට උරුමකම් කියූ බව හෙළිවිණ. ඒ වන තෙක් මෙරට ඓතිහාසය යුගය ක්‍රි.පූ 500-1000 අතර කාලය පිළිබඳ සිතාවත් නොතිබුණි. ඇතුළු නුවරින් අඩි තිහක් පමණ යටට කැණීම් සිදු කළ දැරණියගලයන් ක්‍රි.පූ 500 ට එහා ගිය පූර්ව ප්‍රාග් යුගය සහ ප්‍රාග් යුගය අතර ශේෂමාන සාධක සොයා ගත්තේය. එයින් නොනැවතුණු හෙතෙම ඉන් ලද උත්තේජනයෙන් හෝර්ටන්තැන්න (1970), බෙල්ලන්බැදිපැළැස්ස (කේ. ඒ. ආර්. කෙනෙඩි – ක්‍රෝනල් සරසවිය සමඟ) (1970), නැඟෙනහිර වෙරළ තීරයේ ගවෙිෂණය (ඩබ්ලිව්. ජී. සෝල්හෙයිම් - හවායි සරසවිය සමඟ) (1970), උතුරු ප්‍රදේශ ගවේෂණය – විල්පත්තු කේන්ද්‍රක වයඹ දිග කලාප ගවේෂණය – යාල කේන්‍ද්‍රික ගිණිකොණ දිග කලාප ගවේෂණය (1971), ඇඹිලිපිටිය කැනීම – බූන්දල කැණීම (1972), හඳපාන් ඇල්ල හා තංගමලෙයි තැන්න ගවේෂණය (1978), කිතුල්ගල බෙලිලෙන ගුහාව කැණීම(1978-1983), කුරුවිට බටදොඹලෙන කැණීම (1980-1982), රාවණා ඇල්ල (1985) සහ වැලිමඩ සූරියකන්ද සිසාරා සිය විද්‍යාත්මක පරික්ෂණයන් ව්‍යාප්ත කළේය. මෙනිසා ලෝක මානව ඉතිහාසය පිළිබඳ නවමු කියවීමකට මඟ හෙළිවිය. මෙම පර්යේෂණයන් මඟින් අදින් වසර 37,000 එපිට ශ්‍රී ලංකාවේ ජ්‍යාමිතික ශුද්‍ර ශිලා මෙවලම් තාක්ෂණ යුගය පිළිබඳ තොරතුරු අනාවරණය විය.

ආදී හෙළයන්ගේ ශිල්පීය ඥානයෙහි විශිෂ්ටත්වය ඉන් අනාවරණය වූ අතර ඒ තුළ ලෝක මානව ශිෂ්ටාචාරය තුළ හමු වූ ප්‍රමුඛතම ශිලා මෙවලම්ද දක්නට ලැබුණි. මින් විශේෂිත කැණීම වූ බූන්දල සිදු කළ කැණීම් මඟින් වසර 1,25,000 ඔබ්බේ සිට වසර 26,000 දක්වා වෙරළබඩ තැන්නේ ජීවත් වූ මෙරට ආදීතම හෙළයන්ගේ ඓතිහාසික සංස්කෘතික පසුබිම පිළිබඳ දත්ත රාශියක් දැරණියගලයන් විසින් සොයා ගත්තේය. මීට අමතරව මිනිහා ගල් කන්ද මාන්කුලම් අවට ප්‍රදේශවලින් වසර 2,50,000 ක් තරමටම ඉපැරණි යැයි සැලකෙන ප්‍රාග් ඓතිහාසික සාධක රැසක් සොයා ගත්තේය. මේත් සමඟම නූතන මානවයාගේ ඇරඹුම අප්‍රිකාව බවට පිළිගෙන තිබූ ලෝක ප්‍රකට පුරාවිද්‍යා නිගමනය ද අභියෝගයට ලක්විය. මේ අනුව අද දිවි ගෙවන නූතන මානවයාගේ ඇරඹුම දකුණු ආසියාාවේ බවට නව ශාස්ත්‍රීය මතවාදී එළඹිමක් නිර්මාණය විය. ලෝක මානව ඉතිහාසය සමඟ අපගේ මාතෘභූමිය සම්බන්ධ කළ පුරා විද්‍යාඥයා ඔහුය.

ප්‍රාග් ඉතිහාසයේ සිට නූතන යුගය දක්වා මෙම සොයාගැනීම වර්ධනය කිරීමෙහි තත්පර වූ හෙතෙම 1969දී නතර කළ තැන සිට 1984 දී නැවත කැණිම් කටයුතු ආරම්භ කළේය. සිය අතීතකාමී සහජාසය ඔස්සේ ඇවිදගිය හෙතෙම ක්‍රි.පූ 06 වන සියවසට අයත් වලන් මැටි කැබැල්ලක් සොයාගත්තේය. මෙය නිකම්ම නිකන් වලන් මැටි කැබැල්ලක් නොව අක්ෂර කෙටූ මැටිවලන් කැබැල්ලක් විය. එහි පැහැදිලිව ‘අනුරද’ යනුවෙන් සටහන්ව තිබුණි. එය සිංහල භාෂාවෙන් ලියා තිබීමද විශ්මය දනවන්නකි. එතරම් පැරණි ලියවිල්ලක් ඉන්දියාවෙන් ද හමු නොවේ. ඒ අනුව දකුණු ආසියාවේ හමු වූ පැරණිතම අක්ෂර සටහන මෙය වන අතර මිසරවාසීන්ට, ඈත ග්‍රීකයන්ට හා චිනයට පසුව ලොව හමු වූ ඉපැරණිම සටහන මෙය වේ. එමෙන්ම බ්‍රහ්මීය ලෙස නම් කෙරුණු අක්ෂරවල අති පැරණිතම මුලාශ්‍ර මෙරටින් හමුවීම ද විශේෂය.

මෙම පුරාණ අකුරු වැල විශ්ලේෂණය කිරීමේදී මිහිඳු හිමියන්ගෙ පැමිණීමෙන් සිංහල බස ලැබුණු බවටත්, විජයගේ ඇමතියකුගේ නම අනුරාධ වූ හෙයින් ඔහුට පැවරූ ග්‍රාමය අනුරාධ ග්‍රාම වූ බවට ගොඩනැඟී තිබූ ජනසම්තය මේ මහපොළවෙන්ම මතු වූ මේ නිධානයෙන් ප්‍රතික්ෂේප වී ගියේය.

මේ කාලය අතරතුර, දැරණියගලයන් ඇමරිකා එක්සත් ජනපදයේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් දර්ශනසූරී අචාර්ය උපාධියට (1988) හිමිකම් කියන්නේ එදා මෙදා තුර ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව සම්බන්ධයෙන් ආසියානු කලාපයෙන් බිහි වූ විශිෂ්ටතම ආචාර්ය උපාධි නිබන්ධනය සඳහාය. ඒ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය (Prehistory of Sri Lanka: an ecological perspective) යන නිබන්ධය වෙනුවෙනි. මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්මරණ නිබන්ධ මාලාවේ 8 වැන්න ලෙස කොටස් දෙකකින් ප්‍රකාශයට පත්කර ඇත.

මෙම කෘතහස්ත කෘතිය ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ගුරු අත්පොත වශයෙන් විද්වතුනගේ ගෞරවාදර පිළිගැනීමට ලක්ව තිබේ.

ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසන්නේ “ආචාර්ය සිරාන් දැරණියගලයන් පුරාවිද්‍යා ප්‍රාඥයකු මෙන්ම ප්‍රායෝගිකව එම දැනුම ක්‍රියාවේ යෙද වූ අයකු බවයි. හෙතෙම මනුස්ස ගුණ ධර්මවලින් පිරි මනුෂ්‍යයකු බවත් ඔහු සමඟ ගත කළ කෙටි කාලය තුළ තමන්ට එය හොඳින් අවබෝධ වූ බවත් ය.

මෑතදී විවිධ වෙනස්කම් වලට පුරාවිද්‍යා ක්ෂේත්‍රය භාජනය කිරීමට ඔහුට අවශ්‍යව තිබුණත් යම් යම් හේතු නිසා එය මඟහැරී ගිය බව හෙතෙම පැවසීය. විශේෂයෙන්ම පුරාවිද්‍යා ආඥපනත නැවත සංශෝධනය කර යාවත්කාලීන කළ යුතු බව එතුමාගේ අදහස වූ බවත්; එසේම පුරාවිද්‍යා සේවා ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිළිබඳ දැඩි වුවමනාවක් ද ඔහු තුළ පැවති බවත්” රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

ආචාර්ය දැරණියගලයන් ක්‍රි.පූ. 2500 තරම් ඈත මොහෙන්ජෝදාරෝ හරප්පා ශිෂ්ටාචාරයෙන් හමු වූ මානව පොසිල අපේ මී මුත්තන්ගේ මානව පොසිල සමඟ තබා අධ්‍යයනය කර ඒ සමඟ දක්වන සබැඳියාව හරප්පා ශිෂ්ටාචාරය දක්වා ගෙන ගියේය. ඔවුන්ගේ සමීපතම ඥාතිත්වය සිංහලයන් සමඟ සබැඳි බව පෙන්වා දුන්නේය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යේෂ්ඨ මහාචාර්ය අනුර මනතුං පවසන්නේ, “දැරණියගලයන් ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය විෂය ක්ෂේත්‍රයට පුරෝගාමී මෙහෙවරක් කළ ශ්‍රේෂ්ට ඉතිහාසඥයෙක් සහ විද්වතෙකු බවයි. එතුමන් මෙරට පමණක් නොව ලෝකයේ ප්‍රාග් ඓතිහාසික විෂය ක්ෂේත්‍රයට විශිෂ්ට මෙහෙවරක් සිදු කළ ඉතිහාසඥයකු බවය.”

ආචාර්ය සිරාන් දැරණියගලයන් 1999 දී සබරගමු සරසවියෙන් විද්‍යාසූරි (D.Sc) සම්මානයෙන් හා 2001 දී පේරාදෙණි සරසවියෙන් සාහිත්‍යසූරි (D.Litt) සම්මානයෙන් ද පිදුම් ලැබී ය.

අතිශය සුවිශේෂී කැණීම් සම්භාරයක් සිදු කළ දැරණියගලයන් “ලංකේය ඉතිහාසය විද්‍යානුකූලව ප්‍රාග් ඓතිහාසික යුගයට ගෙන යාම සම්බන්ධයෙන් සුවිශේෂ කාර්යභාර්යයක් ඉටු කළ විද්වතා බව” හිටපු වැඩ බලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රශාන්ත බන්දුල මණ්ඩාවල පවසයි.

“මෙරට කීර්ති නාමය ලොවට ගෙන යාම කළ හැකි පුද්ගලයින් කලාතුරකින් බිහි වී ඔවුන් සිය කෘත්‍යයන් නිමා කොට සන්සුන්ව සමුගෙන යන බවත් ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල යනු විසිවන සියවස විසින් මෙරටට දායක කළ එවන් දුර්ලභ ගනයේ චරිතයක් බව කැලණිය විශ්වවිද්‍යාල පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යාව පිළිබඳ ෙජ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවයන් පවසන්නේ ය”.

දැරණියගලයන් බොහෝ කලකට පසුව එරන්‍යා සුබසිංහ සමඟ විවාහ දිවියට ඇතුළු විය. මිය යන විට ආචාර්ය දැරණියගලයන් ඇය සහ දොළොස් හැවිරිදි පුතු සමඟ මවගේ උරුමයෙන් ලද රත්නපුර, කුරුවිට, එක්නැළිගොඩ වලව්වේ වාසය කළේය.

Comments