සහන් එළි දල්ව­මින් කොවිඩ් අඩුවී රට යළි පෙරට | Page 3 | සිළුමිණ

සහන් එළි දල්ව­මින් කොවිඩ් අඩුවී රට යළි පෙරට

අසාධ්‍ය කොවිඩ් රෝගීන්ට ලේ ලබාදීම සඳහා ලේ දන්දීමේ ව්‍යාපාරයක් යාපනයේ රෝහලේදී ඉකුත් සතියේදී පැවති අතර හමුදා නිලධාරියකු ලේ දන්දෙන අවස්ථාවේදී හෙදියන් දෙදෙනකු ඊට සහාය වන අයුරු   සිළුමිණ යාපනය වාර්තාකරු සුමති නංගරාසාගේ කැමරා කාචයේ සටහන් වූයේ මෙසේය.
අසාධ්‍ය කොවිඩ් රෝගීන්ට ලේ ලබාදීම සඳහා ලේ දන්දීමේ ව්‍යාපාරයක් යාපනයේ රෝහලේදී ඉකුත් සතියේදී පැවති අතර හමුදා නිලධාරියකු ලේ දන්දෙන අවස්ථාවේදී හෙදියන් දෙදෙනකු ඊට සහාය වන අයුරු සිළුමිණ යාපනය වාර්තාකරු සුමති නංගරාසාගේ කැමරා කාචයේ සටහන් වූයේ මෙසේය.

කොවිඩ් මර්දනය සඳහා සාර්ථකම විසඳුම එන්නත්කරණය බව ලෝකයම පිළිගෙන ඇති පසුබිමක ශ්‍රී ලංකාව ඉතා සාර්ථක ලෙස එන්නත්කරණය සිදු කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත හා සංඛ්‍යාලේඛන තහවුරු කරයි.

ඔක්තෝබර් 7 වැනිදා පස්වරු 8.30 වන විට වාර්තා වූ දත්ත අනුව මේ වන විට මෙරට ජනගහනයෙන් 14,668,211ක් කුමන හෝ එන්නත් මාත්‍රාවකින් පළමු මාත්‍රාව ලබාගෙන ඇති අතර 12,123,409ක් දෙවැනි එන්නත් මාත්‍රාවද ලබාගෙන ඇත. ඒ අනුව වයස අවුරුදු 20 ට වඩා වැඩි ජනගහනයෙන් 99% මේ වන විට පළමු එන්නත ලබා ගෙන ඇති අතර 82%ක් දෙවැනි එන්නත් මාත්‍රාවද ලබාගෙන අවසන්ය. 2021 ඔක්තෝම්බර් මස 07 වැනිදා වන විට මෙරටට රැගෙන එන ලද එන්නත් ප්‍රමාණය 32,835,624කි.

වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනා සඳහා තුන් වැනි එන්නත් මාත්‍රාවක් ලබාදීම සඳහා මූලික නිර්දේශ මේ වන විට ලැබී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඒ සඳහා අදාළ මාර්ගෝපදේශ සහ චක්‍රලේඛ නිකුත් කිරීමෙන් පසු එය ක්‍රියාත්මක වනු ඇති බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය. එන්නත් තොග ලැබෙන පරිදි සහ වඩාත් අවදානම් කණ්ඩායම් සඳහා ප්‍රමුඛත්වය මත තුන්වැනි එන්නත් මාත්‍රාව ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

2021 ජනවාරි 29 වැනිදා පළමු පෙළ සෞඛ්‍ය සේවකයන්ගෙන් මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ආරම්භ වී අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වෙමින් පවතී.

වයස අවුරුදු 12-19ත් අතර විශේෂ අවශ්‍යතා සහ සංකූලතා සහිත දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම මේ දිනවල සාර්ථකව සිදුවෙමින් පවතින අතර වයස අවුරුදු 15- 19ත් අතර නිරෝගී දරුවන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ලබන සඳුදා (11දා) සිට ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය. ඒ අනුව ලබන සඳුදා සිට දිවයින පුරා දිස්ත්‍රික් රෝහල් සහ ඊට ඉහළ මට්ටමේ පවතින රෝහල් තුළදී එම එන්නත්කරණය සිදු කෙරේ.

එන්නත්කරණයේ ප්‍රගතියත් සමඟ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට සංචාරකයන් පැමිණීම වළක්වමින් මාස 3කට වැඩි කාලයක් පනවා තිබූ සංචාරක තහනම ඉකුත් 6 වැනිදා සිට ලිහිල් කිරීමට කටාර් රාජ්‍ය පියවර ගෙන ඇත. ඒ අනුව කටාර්හි මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පිළිගත් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් ශ්‍රී ලංකාව ඇතුළු රටවලින් පැමිණෙන වයස අවුරුදු 12ට වැඩි පුද්ගලයන්ට හෝටලයක දින 2ක නිරෝධායන කාලයකින් පසු රටට ඇතුළු වීමට අවසර ලබාදී ඇත.

එහෙත් කටාර් සහ සෞදි රාජ‍්‍ය යේ රැකියා සඳහා පිටත්ව යන විදෙස් ශ්‍රමිකයන් සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇතත් බූස්ටර් එන්නතක් ලෙස ෆයිසර් එන්නතද ලබාගත යුතු යැයි දන්වා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය පැවසීය. මැදපෙරදිග සහ යුරෝපීය රටවලට යන විදේශ ශ්‍රමිකයන්ට මේ වන විටත් එම රටවල් විසින් ෆයිසර් එන්නත අනිවාර්ය කර ඇත.

සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ (1-5 ශ්‍රේණි) මේ මස 21 වැනිදා ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෙගුලාසි සහ පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශ මත පළමු අදියර යටතේ පාසල් 3,000ක් විවෘත කිරීමට නියමිතය.

මේ වන විට මෙරට නව කොවිඩ් ආසාදිතයන් සහ මරණ වාර්තා වීමේ අඩුවක් පෙන්නුම් කළද විවිධ දුර්මතවලට හසුවී එන්නත් ලබානොගන්නා තරුණ තරුණියන් නිසා රට තුළ යළි කොවිඩ් රෝගය හිස එසවීමේ අවදානමක් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන අංශ ප්‍රධානි වෛද්‍ය සමිත ගිනිගේ පැවසීය.

එබැවින් මිත්‍යා මතවලට නොරැවටී, හොඳම එන්නත සොයමින් තම ජිවිත පමණක් නොව සමීපතමයන්ගේ ජීවිතද අනතුරේ නොහෙළා කඩිනමින් එන්නත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. එන්නත ලබාගත්තද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම පිළිපැදීමේ වගකීමද යළි යළිත් සිහිකරමු.

 

Comments