කටු අකුලේ මල් පුබුදු කළ කුලි­යා­පි­ටිය මධ්‍ය විදු­හලේ සාමාන්‍ය පෙළ හපන්නු | Page 3 | සිළුමිණ

කටු අකුලේ මල් පුබුදු කළ කුලි­යා­පි­ටිය මධ්‍ය විදු­හලේ සාමාන්‍ය පෙළ හපන්නු

ලෝකයටම මුඛආවරණ පැලැන්ඳූ කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීමට වරින් වර පාසල් වසාදැමීමට සිදු විය. ඉකුත් වසරේ මාර්තු මස සිට දරුවන්ට පාසල් යන්නට අවකාශ සැලසුණේ මාස කිහිපයක් පමණි. එහෙත් පසුගිය දා නිකුත් වූ අ.පො.ස සාමාන්‍යපෙළ විභාගයෙන් දූ දරුවන් රැසක් ඉහළ ප්‍රතිඵල ලබාගෙන තිබුණේ කළු වලාකුළු මතත් රිදී රේඛා පායන බවට සාක්ෂි දරමිනි. ඉකුත් 2020 අ.පො.ස(සා/පෙළ) විභාගයෙන් සමස්ත ලංකා ඉහළම ප්‍රතිඵල දිනාගත් ‘සත්කෝරල පහන්තරුව’ ලෙස විරුදාවලි ලත් කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය ද එවැනි රිදී රේඛා කදම්භයකින් දිලෙන පාසලකි.

2020 වසරේදී එම විද්‍යාලයේ සිසු සිසුවියන් 334ක් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි අතර උසස්පෙළ සඳහා එම 334 දෙනාම සුදුසුකම් ලබා ඇත්තේ සමත්වීමේ ප්‍රතිශතය 100%ක් ලෙස සනිටුහන් කරමිනි. ඒ අතර සියලුම විෂයයන් සඳහා ඒ සාමාර්ථ ලැබූ සංඛ්‍යාව 89කි. වයඹ පළාතේ අධ්‍ය්‍යාපන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට අනුව ගණිතය 100%ක් සමත් වී ඇති එකම විදුහල කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයයි.

“මෙය ගුරු,සිසු, දෙමවුපිය, ආදි ශිෂ්‍යයන් සහ එම සංගමය ඇතුළු සියලු දෙනාගේ දායකත්වයෙන් ලැබූ සාමුහික ජයග්‍රහණයක් බව මුලින්ම කිව යුතුයි. මම මේ පාසලේ විදුහල්පතිවරයා ලෙස පත්වී පැමිණීමෙන් පසු ලැබුණු පළමු විභාග ප්‍රතිඵලය මෙයයි. මීට පෙර වසරේ විභාගයෙන් 100% ප්‍රතිඵලය ගැනීමට නොහැකි වූයේ දරුවන් 8ක් ගණිතය අසමත් වීම නිසයි. මෙවර ගණිතයට එස් සාමාර්ථ තිබෙන්නේ සිසුන් 6 දෙනකුට පමණයි. ඉකුත් වසරේ අපේ සිසුන් 85ක් සියලුම විෂයයන්වලට ඒ සාමාර්ථ ලබාගෙන තිබුණා. මෙවර ඒ සංඛ්‍යාව 89ක්. ඉකුත් වසරට සාපේක්ෂව මෙවර එම සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් සිදුවී නැතත් මේ ප්‍රතිඵලය අපට වඩා වැදගත් වන්නේ ගුණාත්මක බව සලකා බලද්දීයි. ඊට හේතුව කොවිඩ් වසංගතය මැද දීර්ඝ කාලයක් පාසල් වසා තිබූ තත්ත්වයක් තුළයි අපේ දරුවන් 100% සමස්ත ප්‍රතිඵලය ලබාගත්තේ.”

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ වත්මන් විදුහල්පති බී. සී. එස්. විජේසිංහ එසේ පැවසුවේ නිහතමානී ආඩම්බරයකිනි. ශක්තිමත් ගුරුගෝල සබඳතාව, අවබෝධය, කැපවීම සහ විශ්වාසය මේ ජයග්‍රහණයට ඉවහල් වන්නට ඇත. ඒ ජයග්‍රහණයට මාවත තැනුණු ආකාරය ගැනද අප විදුහල්පතිවරයාගෙන් විමසුවෙමු.

කොවිඩ් වසංගතය නිසා 2020 වසරේ මාර්තු මාසයේ පළමු වරට පාසල් වසා දමන විට බොහෝ පාසල්වලට මෙන් කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට ද මාර්ගගත අධ්‍යාපනයට අදාළ තාක්ෂණය ආගන්තුක එකක් විය. එහෙත් පාසලේ ආදි ශිෂ්‍යයන් ප්‍රමුඛ ආදි ශිෂ්‍ය සංගමය සහ විදුහලේ තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන විෂය භාර ගුරුවරු යුහුසුලුව ක්‍රියාත්මක වී ඒ අඩුපාඩුව සපුරාගන්නට කටයුතු කළහ. ආදිශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන් (L.M.S) ඉගැන්වුම් කළමනාකරණ ක්‍රමවේදයක් මිලදී ගත් අතර එහිදී තාක්ෂණය භාවිත කිරීම පිළිබඳ ගුරු මණ්ඩලයට දින 6ක පමණ විධිමත් පුහුණුවක් ලබාදෙන්නට කටයුතු කර තිබිණි.

විභාග ප්‍රතිඵල වර්ධන කරගැනීම වෙනුවෙන් පවත්වන ප්‍රතිපෝෂණ වැඩසටහන් රැසක් ද කුලියාපිටිය මධ්‍ය විදුහල තුළ ක්‍රියාත්මක විය. ඒ අතර විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලයේ වැඩි අවධානයක් යොමුව තිබුණේ ගණිතය විෂය අසමත් වන සිසුන් පිළිබඳවයි.

“අපේ පාසලේ ක්‍රීඩා ශිෂ්‍යත්වධාරී පන්තියක් තිබෙනවා. එහි වැඩිපුර සිටින්නේ ක්‍රීඩා සඳහා දක්ෂතා දක්වන නමුත් ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් දරුවන් නෙවෙයි. ඒ දරුවන් සඳහා අපි මේ වසරේ විශේෂ වැඩසටහනක් කළා.

අපේ පාසලෙන් උසස්පෙළ සමත්වෙලා විශ්වවිද්‍යාලවලට ගිය සහ පිටත සිටින ආදි ශිෂ්‍යයන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා නේවාසිකාගාරයේ නැවතී සිටින ක්‍රීඩා ශිෂ්‍යත්වධාරී දරුවන්ට ගණිතය, විද්‍යාව සහ ඉංගීසි වැනි විෂයයන් ඉගැන්වීම සිදු කළා. ආදි ශිෂ්‍යයන් එසේ කැපවීමෙන් වැඩ කරද්දි අපේ ගුරු මණ්ඩලයත් ඔවුන්ට හැකි පමණ අමතර කාලයක් වැය කරලා ඒ දරුවන්ට ඉගැන්වීම් කළා. මෙවර විභාගයෙන් අපේ පාසලේ එක දරුවෙක්වත් අසමත් නොවී ප්‍රතිඵල ඉහළ මට්ටමට ගෙනඑන්න ඒ කටයුතුත්තත් විශාල උපකාරයක් වූ බව මගේ විශ්වාසයයි. වසංගතයේ බලපෑම මත අප සැලසුම් කර තිබූ බෙහෝ දේ සිදුකිරීමට නොහැකි වුවත් මේ ලැබුණු ප්‍රතිඵලය ගැන අප සියලු දෙනාම ඉතා සතුටු වෙනවා. ”

වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා අනුව එම පළාතේ ජාතික පාසල් 37ක් සහ පළාත් පාසල් 1,207කි. ඒ අතරින් කුලියාපිටිය අධ්‍යාපන කාර්යාලයට අයත් ජාතික පාසල් 2 ක් සහ පළාත් පාසල් 42කි. එම වෙබ් අඩවියේ දත්ත වාර්තා අනුව මෙවර සා.‍ෙපළ ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ අනෙක් පාසල්වල එක් සිසුවකු හෝ අසමත් වී ඇති බවයි. සමස්ත ප්‍රතිඵලය 100% ලබාගත් පාසල් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන පාසලේ සිටින සිසුන් සංඛ්‍යාව 27ක් වන අතර එවැනි ප්‍රතිඵල හිමි පාසල් කිහිපයක්ම සිසුන් 30ට අඩු පාසල් බව පෙනී යයි.

ඒ ජයග්‍රහණය නිදහස් අධ්‍යාපනයේ මාහැඟි වටිනාකම පසක් කරන්නකි. හිටපු අධ්‍යාපන ඇමති සී.ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගරයන්ගේ මධ්‍ය විද්‍යාල පාසැල් සංකල්පයේ ප්‍රතිඵලයක් ලෙස ආරම්භ කළ 54 වැනි මධ්‍ය විද්‍යාලය වන කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය, සී.ඩබ්. ඩබ් කන්නන්ගරයන් ආරම්භ කළ අවසන් මධ්‍ය විදුහල ද වේ. 1947 වසරේ පෙබරවාරි 03 වැනිදා විවෘත වූ එම විදුහල ජාතික පාසලක් බවට පත්වන්නේ 1991 වසරේ ජුලි මස 23 වැනිදාය. මේවන විට සිසුන් 3,600ක් පමණ ඉගෙනුම ලබන අතර ගුරු මණ්ඩලය 175කි.

නිදහස් අධ්‍යාපනයටම හිතකර අක්කර 10ක පමණ භූමියක ඉදිවූ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ මුල්ම විදුහල්පතිවරයා පී. සෙනරත් ය. වත්මන් විදුහල්පති බී. සී. එස්. විජේසිංහ මෙහි 23 වැනි විදුහල්පතිවරයාය.

“භෞතික සම්පත්වලින් අපේ පාසලට අඩුපාඩුවක් නැහැ. පසුගිය රජයේ හිටපු අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පාසලට භෞතික සම්පත් විශාල ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. ජාතික පාසල් වයිෆයි කලාප බවට පත්කිරීමේ වත්මන් රජයේ වැඩසටහන යටතේ එම පහසුකම් ලබාදීම සඳහා මූලික මැනුම් කටයුතු පසුගිය දිනවල සිදු වුණා. ඒ ව්‍යාපතිය ඉක්මනින් සඵල වුණොත් වසංගත සමයේ පාසල වසා තැබීමට සිදු වුණත් දරුවන්ට මාර්ගගත අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන් වඩාත් සාර්ථකව කරගෙන යෑමට අවස්ථාව ලැබෙනවා.”

විදුහල්පතිවරයා පැවසුවේ දරුවන්ගේ අනාගතය පිළිබඳ අපේක්ෂා දල්වාගත් සිතිනි. විද්‍යාලයේ සුබසිද්ධිය ඉතසිතින් පතන විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය ද සා.පෙළ හපනුන්ගේ ජයග්‍රහණය ගැන නිහතමානීව ආඩම්බර වෙයි. එම සංගමයේ අනුශාසක ලෙස කටයුතු කරන 1971- 1991 දක්වා විසි වසරක් එම විද්‍යාලයේ සේවය කළ විද්‍යාලයීය හිටපු නියෝජ්‍ය විදුහල්පතිවරයකු වන ජයසූරිය ආරච්චිගේ කරුණාසේන අප සමඟ අදහස් දැක්වීය.

“මේ ජයග්‍රහණය පිළිබඳ අප සියලු දෙනා ඉතා සතුටට පත්වෙනවා. ආදි ශිෂ්‍යයන් ප්‍රමුඛ ආදි ශිෂ්‍ය සංගමයත් විශේෂයෙන් ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛා මාර්ගගත අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට විශාල සහයෝගයක් ලබාදුන්නා. මා නියෝජ්‍ය විදුහල්පති ලෙස කටයුතු කරද්දී විදුහල්පති ලෙස කටයුතු කළේ ප්‍රේමචන්ද්‍ර දිසානායක මහතා. 1978-1994 දක්වා වසර 16ක් වූ එම විදුහල්පතිවරයාගේ සේවා කාලය කුලියාටිය මධ්‍ය විද්‍යාලයේ දීප්තිමත්ම කාලය ලෙස හැඳින්විය හැකියි. ඒ කාලයේ විභාගවලින් සහ බාහිර ක්‍රියාකාරම්වලින් සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ රැසක් පාසලට ලැබුණා. එතුමාගෙන් පසු සේවය කළ විදුහල්පතිවරුන්ද පාසලේ දියුණුව වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළා. මීට පෙර එක්වරක් මෙවැනි ඉහළ ප්‍රතිඵලයක් අපේ පාසලට ලැබුණා.

නමුත් මෙවර මෙන් සියලු විෂයයන්වලට ඒ සාමාර්ථ තිබුණේ නැහැ. වත්මන් විදුහල්පතිතුමා මානව දයාවෙන් පිරිපුන්, නම්‍යශීලී විදුහල්පතිවරයෙක්. වසංගත තත්ත්වය මැද ගුරුවරු, දෙමවුපියන් සහ ආදි ශිෂ්‍ය සංගමයේ සහයෝගය සහ දායක්වය තුළ මෙවැනි උසස් ප්‍රතිඵලයක් අපේ දරුවන් ලබාගැනීම අප සියලුදෙනා ලැබූ ජයග්‍රහණයක්.”

ඔහු පැවසූ ඒ ජයග්‍රහණයේ සතුට රටටම අයිතිය. මන්ද, ඒ දූ දරුවන් සියලු දෙනා රටේ අනාගත භාරකරුවන් වන නිසාය.


 

Comments