කරන්දෙණිය ඩී. එම්. ඕගේ අරුම පුදුම වැඩ | සිළුමිණ

කරන්දෙණිය ඩී. එම්. ඕගේ අරුම පුදුම වැඩ

වෛද්‍ය ප්‍රණීත් ගොඩනැගිල්ලේ වහලය සකසමින්
වෛද්‍ය ප්‍රණීත් ගොඩනැගිල්ලේ වහලය සකසමින්

ප්‍රණීත් තොම්මාදුර වෛද්‍යතුමා කරන්දෙණිය දිස්ත්‍රික් රෝහලේ ඩී.එම්. ඕ ය. නොඑසේනම් කරන්දෙණිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයාය. ෙවෙද්‍ය ප්‍රණීත් හරි අපුරු වෛද්‍යවරයෙකි. හේ රෝගීන් පරික්ෂා කොට ප්‍රතිකාර ලබාදෙන වෛද්‍යවරයකු පමණක් ම නොවේ. රෝහලේ යටිතල පහසුකම් සංවර්ධනය කිරිම සදහා තම ශ්‍රම දායකත්වය ලබාදෙමින් කටයුතු කරන්නේ ය. දිනය ඉකුත් 08 වැනිදාය. එදින රෝහල්වල හෙද හෙදියන් හා කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයන් ඉල්ලිම් කිහිපයක් මුල්කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කොට තිබුණි. එහෙත් කරන්දෙණිය රෝහලේ රෝගි සත්කාරක සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙමින් පැවතුණි.

වෛද්‍ය ප්‍රණීත් තොම්මාදුර තවත් සේවකයන් පිරිසක් සමඟ රෝහල ඉදිරිපස වැසී ආවරණයක් සකස් කරමින් සිටියේය. හේ වහලය මත නැඟී යකඩ බටයක් කපමින් සිටියේය. ප්‍රණීත් වෛද්‍යතුමාගේ සිරුර දහඩියෙන් තෙත්වී තිබුණි. ඔහු කඩියකු මෙන් වැඩ ය. රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ තවත් සේවකයන් පිරිසක් රෝහලේ කැඩී ගිය තාප්පයක් අලුත්වැඩියා කරමින් සිටියහ. වහලයෙන් බැසගත් ප්‍රණීත් වෛද්‍යතුමා සවලක් ගෙන බදාම ඇනීමට පටන් ගත්තේය. හේ සවලෙන් බදාම අනනු ලැබුවේ පළපුරුදුකාරයකු මෙනි. ඉන්පසු වෛද්‍ය ප්‍රණීත් කැඩී ගිය ජලනල පද්ධතියක් අලුත්වැඩියා කිරීමට පටන් ගත්තේය. එම කාරිය අවසන් වී බිත්තියක් බැඳීමට පටන් ගත්තේය. මිනිසුන් කියන්නේ කරන්දෙණිය රෝහලේ ඩී. එම්. ඕ මහත්තයා හරි අපුරු වෛද්‍යවරයකු බවය. රෝහලට පැමිණෙන රෝගීන් සමඟ ඉතා සුහද ව කතාබස් කරමින් රෝගීන්ගේ අවශ්‍යතාවන් ඉටු කිරීමට කටයුතු කරන්නේය

කොටින්ම කිවහොත් කරන්දෙණිය රෝහලේ ඩි.එම්. ඕ මහත්තයා හරි අපුරු චරිතයකි. හිත හොඳ දොස්තර කෙනෙකි. හේ වෛද්‍යවරයකු ලෙස මිනිසුන්ට අසීමිත සේවාවක් කරන්නේය. ප්‍රණීත් වෛද්‍යතුමන් විටෙක පේදරේරුවෙකි. තවත් විටෙක වඩුකාර්මිකයෙකි. වැද්දුම්කරුවෙකි. තවත් අවස්ථාවක හේ ජලනල කාර්මිකයෙකි. කම්කරුවාගේ කටයුතු ද ඔහුට ද හොඳට හුරුපුරුදුය. කොටින්ම කිවහොත් කරන්දෙණිය රෝහලේ ඩී.එම්. ඕ මහත්තයා තුන් ඉරියව් ක්‍රිඩකයෙකි. ඔහුට දොස්තර රැකියාව පමණක් නොව කම්කරු, වඩු කාර්මික, වැද්දුම් ශිල්පය, වාස්තු විද්‍යාව, පේදරේරු යකඩවැඩ, කාර්මික යන වෘත්තීන් හොඳට හුරුපුරුදු ය. හේ වෛද්‍යවරයකු පමණක් නොව මෙකී වෘත්තීන් පිළිබඳ ඇති හසල දැනුම රෝහලේ භෞතික කටයුතු සංවර්ධනය කිරිම සඳහා රෝහලට ලබාදෙයි.

වෛද්‍ය ප්‍රණීත්ගේ උපන්ගම මාදම්පාගමය. ඔහු ඌරුබොක්ක රෝහල, ඇල්පිටිය, අම්බලන්ගොඩ, යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල වෛද්‍ය නිලධාරිවරයා වශයෙන් සේවය කොට ඇත්තේ ය. 49 හැවිරිදිවියේ පසුවන ප්‍රණීත් වෛද්‍යතුමන් දෙදරු පියෙකි. බිරිද වන ඩි.එල් සුරවිර ගුරුවරියකි. පුතු ටී. සහන් ප්‍රණීත් හා දියණිය වන ටී. සචිනි තාරුකා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනුම ලබති.

‘මා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉදලා ප්‍රතිඵල එනතෙක් වඩු මඩුවක වැඩ කළා. පාසලේ දිත් වඩු වැඩ කළා. වෛද්‍ය පිඨයට ඇතුලත් වෙනකම් පේදරේරු වැඩ කළා. මාර්ග අලුත්වැඩියා කරන පුද්ගලික සමාගමක කාලයක් වැඩ කළා. කම්කරු වැඩ කළා. වැද්දුම් වැඩ කළා පින්තාරු කිරිම, වාහන අලුත්වැඩියාව, වාස්තු විද්‍යාව ඇතුළු හැම දෙයක්ම කරන්න පුළුවන්. ඇතැම් දේවල් යුටියුබ් එකෙන් ඉගෙන ගත්තා. කොහොම හරි මා වෛද්‍යවරයකු ලෙස පත්වීමට පෙර රැකියාවල් 11ක් විතර කරලා තියෙනවා.

වෛද්‍ය ප්‍රණීත් කතාවට මුල පුරමින් එසේ කීවේය. වෛද්‍යතුමනි, රෝහලේ ප්‍රධාන පරිපාලකයා වුවද එම කටයුතු මෙහෙයවන්නේ නැතිව අධික්ෂණය කරන්නේ නැතිව රෝහලේ කාර්යමණ්ඩලය සමඟ එකතුවී කම්කරුවාගේ භුමිකාව ද සිදුකරනවා නේද යන මගේ ප්‍රශ්ණයට ඔහු සින­ාසුණේය.

මේකත් එක් පරිපාලන ක්‍රමවේදයක්. ආයතන ප්‍රධානියා වශයෙන් මගේ අරමුණ තමයි රෝගී ජනතාවට හොඳ රෝගී සත්කාරක සේවාවක් ලබාදීම සඳහා රෝහලේ ඇති අඩුපාඩු සම්පුරණ කොට ලබාදීම. ඇත්තටම ඉතා සුළු වියදමකින් මේ කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා රෝගීන්ට ප්‍රතිකාර කිරිමටත් වඩා රෝහලේ පරිපාලනමය කටයුතු සඳහා මා ප්‍රායෝගිකව මැදිහත් වෙනවා. ඒවා ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වනවා. මේ හැම දෙයක්ම කරන්නේ ආත්ම තෘප්තිය වෙනුවෙන් ප්‍රණීත් වෛද්‍යතුමා කියන්නේය.

වෛද්‍ය ප්‍රණීත් ගොඩනැගිල්ලක වැසි ආවරණ සකසමින්

වෛද්‍ය ප්‍රණීත් කරන්දෙණිය රෝහලේ වෛද්‍ය නිලධාරිවරයා ලෙස පත්වී එන්නේ මිට වසර දෙකකට පමණ ඉහතදීය. ඔහු රෝහලේ වැඩ බාරගත් පසු ඔහුගේ පළමු කාරිය වූයේ රෝහලේ පවතින අඩුපාඩු පිළිබඳ සොයා බැලීමය.

මම එනවිට රෝහලේ 02 වාට්ටුව වසා දමලා තිබුණේ. ඒ සඳහා හේතුවෙලා තිබුණේ වැසිකිළි පද්ධතිය අවහිර වීමයි. මා ඇතුළු කාර්යමණ්ඩලය එක්වෙලා පැය 03ක් 04ක් වගේ ඇතුළත එම ගැටලුවට විසඳුම් ලබා දුන්නා. ළමා වාට්ටුවේ වහලයේ සෙවිලි තහඩුවක් රූටා ගිහිපු නිසා ළමා වාට්ටුව වසා දමලා තිබුණේ. එක අලුත්වැඩියා කළා. බෙහෙත් ගබඩාවේ සිවිලිම කඩාගෙන වැටිලා බෙහෙත් ගබඩාව ප්‍රයෝජනයට ගන්න බැරි විදියට තිබුණේ. අපි එකතුවෙලා සිවිලිමක් ගහලා ඒක නැවත ප්‍රායෝජනයට ගත්තා. කොවිඩි වාට්ටුව ආරම්භ කිරිමට ඒ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 40ක් විතර ඇස්තමේන්තු කරලා තිබුණා.

නමුත් රෝහලේ සේවකයන්ගේ ශ්‍රම දායකත්වය හා පරිත්‍යාගශීලීන්ගේ උදව් උපකාර ඇතිව කොවිඩ් වාටුට්වේ වැසිකිළි 12ක් අලුත්වැඩියා කිරිමට කටයුතු කළා. වාට්ටුවේ බිමට ටයිල් ඇල්ලීමට කටයුතු කළා. පරිත්‍යාගශිලීන්ගේ උදව් උපකාර ඇතිව. දානපතියන්ගේ උදව් උපකාර ඇතිව අපේ ශ්‍රමදායකත්වය ලබාදෙමින් එම අඩුපාඩු සපුරාලීමට කටයුතු කළා. කොවිඩ් වසංගතය නිසා රජයට විශාල වශයෙන් ආදායම් මාර්ග අහිමි වෙලා තියෙනවා. ඒ නිසා රජයට බරක් නොවී දානපතියන්ගේ සහයෝගය ඇතිව රෝහලේ අඩුපාඩු සපුරාගැනිමට කටයුතු කිරිමට තමයි අපේ බලාපොරොත්තුව. අපිට තියෙන සම්පත්වලින් රෝගින්ට උපරිම සත්කාරක සේවාවක් ලබාදීම තමයි අපේ අරමුණ රෝහල ඉදිරිපිට මෙම වැසි ආවරණය ඉදිකිරීම සඳහා අවශ්‍ය භාණ්ඩ මිලදි ගන්න ලක්ෂ දෙකහමාරක මුදලක් දානපතියකුගෙන් ලැබුණා. මා ඇතුළු රෝහල් කාර්යමණ්ඩලයේ සේවකයින් අපේ ශ්‍රමය මුදල් බවට පත්කරගෙන ඒ කටයුතු කරගෙන යනවා. රෝහලේ ආරක්ෂිත වැටක් ඉදි කළා; ඒ සදහා ශ්‍රම දායකත්වය ලබා දුන්නේ රෝහල් සේවකයන් විසින්.

කොවිඩි ආරමුදලටත් මගේ පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළා යැයි වෛද්‍ය ප්‍රණීත් කීවේය. කරන්දෙණිය කොවිඩ් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මනස

වෛද්‍ය ප්‍රණීත් තොම්මාදුර සිය බිරිය, පුතු සහන් ප්‍රණීත් සහ දිය­ණිය සචිනි සමඟ

සුවපත් කිරිම සඳහා එම පරිශ්‍රය තුළ සංගීතමය වැඩසටහන් ඇතුළු විවිධ වැඩසයටහන් ක්‍රියාත්මක කිරිමට වෛද්‍ය ප්‍රණීත් කටයුතු කර ඇත්තේ ය. කොවිඩ් රෝගින්ට ක්‍රිඩා කිරීමට අත්පන්දු පිටියක් නිර්මාණය කොට ඇත. ඒ විතරක් නොව කොවිඩි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා පැමිණෙන කොවිඩි ආසාදිත දරුවන්ට අමතර ආහාර සකස්කර ගැනීම සඳහා ගෑස් කුකර් ඇතුළු උපකරණ ලබාදීමට ද ෙවෙද්‍ය ප්‍රණීත කටයුතු කර ඇත්තේ ය.

අපේ රෝහලේ ඩි. එම්. ඕ මහත්තයා සමඟ ඉතා සහයෝගයෙන් අපි කටයුතු කරනවා. දානපතියන්ගේ උදව් උපකාර ඇතිව රෝහලේ සියලු නඩත්තු කිරිමේ කටයුතු රෝහලේ කාර්යමණ්ඩල සේවකයන් තමයි කරන්නේ. මේ නිසා රජයට විශාල මුදලක් ඉතිරි වෙනවා. ප්‍රණීත් වෛද්‍යතුමා ඒ සඳහා අපිට නායකත්වය ලබා දෙමින් අපිත් සමඟ හරි හරියට වැඩ කරනවා. රෝහල් සේවිකාවක් වන මාලි කුසුමලතා එසේ කීවාය.

Comments