කෝප් කමිටුව හෙළිකළ ලංගම මගඩිය | සිළුමිණ

කෝප් කමිටුව හෙළිකළ ලංගම මගඩිය

 

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය හෙවත් ලංගම සේවක සංඛ්‍යාව 30,000කට ආසන්නය. වසර කිහිපයකට පෙර ලංගමට අර්ථසාධක අරමුදල් පවා ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබුණි. එවන් තත්ත්වයකදී ලංගම ප්‍රධාන මෙහෙයුම් සේවකයන් වන රියැදුරු හා කොන්දොස්තරවරුන්ගේ සේවක හිඟය උග්‍ර වී වෙනත් සේවක අතිරික්තයක්ද ඇති විය. එයට හේතුව වූයේ රියැදුරු හා කොන්දොස්තරවරුන් ලෙස සේවයට බැඳී දේශපාලන හයිකාරකම් මත ලිපිකරු හෝ වෙනත් කාර්යාල කටයුතු සඳහා ඔවුන් පත්ව තිබීමයි. එවන් තත්ත්වයකින් අයාලේ ගමනක් ගිය ලංගම ගැන පසුගියදා කෝප් කමිටුවේදී තවත් විශාල අනාවරණයක් එළියට ආවේය. ඒ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට පරිගණක මිලදී ගැනීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බවයි. එහිදී ඇස්තමේන්තුගත මුදල ඉක්මවා රුපියල් මිලියන 89ක් හෙවත් කෝටි 9ක් පමණ මුදලක් අමතරව වියදම් කර ඇති බව අනාවරණය කර තිබුණි.

 

කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැති කමිටුවේදී මේ බව අනාවරණය කර ගන්නා ලදී. එහිදී අනාවරණය කර තිබුණේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට 2018 වර්ෂයේ ප්‍රසම්පාදන සැලැස්ම අනුව පරිගණක 139ක් හා ලැප්ටොප් යන්ත්‍ර 74ක් රුපියල් 1,52,90,000ක ඇස්තමේන්තුගත මුදලකට මිලදී ගැනීමට සැලසුම් කොට තිබුණ ද, එය ඉක්මවා පරිගණක යන්ත්‍ර මිලදී ගෙන ඇති බවයි. මේ අනුව පරිගණක යන්ත්‍ර 800ක් හා ලැප්ටොප් යන්ත්‍ර 47ක් රුපියල් 11,33,03,750ක මුදලකට ප්‍රසම්පාදනය කර ඇතැයි කෝප් කමිටුව විසින් හෙළි කර තිබේ.

පරිගණක මිලදී ගැනීමේදී ඇස්තමේන්තුගත මුදල ඉක්මවා යමින් රුපියල් 8,99,77,500ක් හෙවත් මිලියන 90 ක පමණ මුදලක් ගමනාගමන මණ්ඩලයේ සාමාන්‍ය ගිණුම් හරහා වියදම් කොට ඇති බව කෝප් කමිටුව විසින් අනාවරණය කරන ලදී.

නියමිත ක්‍රමවේදයකින් තොරව මෙසේ මුදල් වියදම් කිරීම පිළිබඳව කෝප් කමිටුවේ සභාපතිවරයා සිය අප්‍රසාදය පළ කර තිබුණි.

එසේම සුඛෝපභෝගී බස්රථ 125 ක් සඳහා කැමරා හා ජී.පී.එස්. (GPS) පද්ධති පවත්වාගෙන යාමට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා පෞද්ගලික සමාගමක් සමඟ රුපියල් 3,36,28,840 ක ගිවිසුමකට එළැඹ තිබීම ගැනද කෝප් කමිටුවේ අවධානය යොමු කර තිබුණි.

බස් රථ වල සේවකයන්ම එම උපකරණවලට හිතාමතාම හානි සිදුකර ඇති බවත් මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරමින් පවතින බවත් කෝප් කමිටුව හමුවටට පැමිණි ලංගම නිලධාරීන් විසින් එහිදී පිළිතුරු සපයා තිබේ.

පරීක්ෂණ අවසන් වූ වහාම වාර්තාවක් ලබා දීමටත් ඔවුහු පොරොන්දු වූහ. මීට අමතරව 2018 දෙසැම්බර් 24 දින ලබාගත් රුපියල් 15,00,00,000ක බැංකු ණය මුදල, මුදල් අමාත්‍යවරයාගේ එකඟතාව මත ලබා ගත යුතු වුවත් මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා නොගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. මෙවැනි අධික ණය මුදලක් නිලධාරීන් කිහිපදෙනෙකුගේ හිතුමතයට ලබාගත නොහැකි බව කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය. මේ පිළිබඳව අවශ්‍ය පියවර ඉක්මනින් ගැනීමට කටයුතු කරන ලෙසත් කෝප් කමිටුව මෙහිදී නිර්දේශ කළේය.

එසේම 2017, 2018, 2019, 2020 යන වර්ෂ වලට අදාළ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට සභාගත නොකිරීම පිළිබඳවද කෝප් කමිටුව පැමිණ සිටි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. මෙම කාලසීමාව තුළ මුද්‍රණය කිරීම පිළිබඳ යම් ගැටලු තත්ත්වයන් ඇතිවී තිබූ බව එහිදී නිලධාරීහූ පෙන්වා දුන්හ. කෙසේ නමුත් 2017 සහ 2018 වර්ෂවල වාර්ෂික වාර්තා මේ වන විටත් අමාත්‍යාංශයට බාර දී ඇති බව නිලධාරීහු එහිදී පැවසූහ. දෙසැම්බර් 31 වෙනි දිනට පෙර ඒ සියලු වාර්තා පාර්ලිමේන්තුවට සභාගත කිරීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුව විසින් මෙහිදී දැනුම් දෙන ලදී.

2018 වර්ෂයේ ප්‍රසම්පාදන සැලැස්ම අනුව ඉලෙක්ට්‍රොනික් බස් ටිකට් මැෂින් 1000ක් රුපියල් මිලියන 35 ක් වැයකර කර මිලදී ගැනීමට සැලසුම් කර තිබූ අතර ඒ සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතියද ලබාගෙන තිබුණි. නමුත් 2018 වර්ෂයේ දී ඉලෙක්ට්‍රොනික් බස් ටිකට් මැෂින් 2000ක් මිලදී ගැනීමට රුපියල් 75,900,000ක මුදලක් වියදම් කර තිබුණි. මේ අනුව අනුමැතියකින් තොරව ඉලෙක්ට්‍රොනික් බස් ටිකට් මැෂින් 1000ක් මිලදී ගෙන තිබූ අතර, මෙම මිලදී ගත් මැෂින් මගින් අපේක්ෂිත අරමුණු ඉටු නොවී තිබීම පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය. අදාළ කරුණු පිළිබඳව මාසයක් ඇතුළත වාර්තාවක් කෝප් කමිටුවට ලබාදෙන ලෙසද නිර්දේශ ලබා දෙන ලදී.

එසේම අධ්‍යක්ෂ මණ්ඩලයේ තනතුරු කිහිපයක ගැටලු පිළිබඳව ද, ධාවනයේ පවතින බස් රථ 5921ක සංඛ්‍යාව පිළිබඳව ද, දැනට ධාවනයෙන් ඉවත් කර ඇති බස් රථ සංඛ්‍යාව පිළිබඳවද, වසර 10 කට වඩා පැරණි බස් රථ 2742ක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණි.

ලංගම සම්බන්ධව මතු වූ මේ කරුණු සම්බන්ධයෙන් අපි පළමුවෙන් කරුණු විමසුවේ කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්ගෙනි.

‘‘ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සිදුව ඇති අවභාවිතාවන් පිළිබඳව කමිටුව විසින් හෙළි කරගෙන තිබෙනවා. එම නිසා මේ සම්බන්ධව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාට කමිටුව විසින් නියෝග කර තිබෙනවා.

දුප්පත් අහිංසක ජනතාවට සේවයක් කළ යුතු ලංගම වැනි ආයතනයක් මෙසේ මුදල් වියදම් කිරීම කිසිසේත් අනුමත කරන්න බැහැ. විශේෂයෙන්ම 2018 අවුරුද්දේ දෙසැම්බර් 24 වැනිදා ලබාගත් රුපියල් 150,000,000ක බැංකු ණය මුදලට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා නොගැනීම විශාල ගැටලුවක්. එවන් අධික ණය මුදලක් නිලධාරීන් කිහිපදෙනෙකුගේ හිතුමතයට ලබාගැනීමට කිසිදු හැකියාවක් නැහැ‘‘

මේ චෝදනාව එල්ල වන සමයේ ලංගම සභාපති ධුරය දැරුවේ රමල් සිරිවර්ධනයන් ය. සිළුමිණ රමල් සිරිවර්ධනගෙන් මේ පිළිබඳව කරුණු විමසුවෙමු.

මම සභාපතිවරයා ලෙස කටයුතු කළ 2018 වකවානුවේදී ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරියෙක් ටෙන්ඩර් කමිටුව නියෝජනය කළා. එයින් අදහස් කරන්නේ නැහැ, එම නිලධාරියා සිටි නිසා අප වගකීමෙන් මිදෙන බවක්. අප විසින් කරනු ලබන සියලු මිලදී ගැනීම් සම්බන්ධව අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය නිසි පරිදි ලබා ගෙනයි කටයුතු සිදු කෙළේ. මම නියෝජනය කළ ටෙන්ඩර් කමිටු පමණක් නොව අනෙක් ටෙන්ඩර් කමිටුවලදී පවා ඒ සියලු මිලදී ගැනීම් සිදු කෙළේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ඇතිවයි.

මම අවස්ථා 3කදී ලංගම සභාපති ධුරය දැරුවා. ඒ 1994 -2001, 2006-2007, හා 2015 -2019 වකවානුවලදී. ඒ කිසිදු අවස්ථාවක ගැටලුවක් පැන නැඟී නැහැ. අපේ අරමුණ වුණේ හැම විමට ජනතා සේවය සලසා දීමයි. මට හිතෙන්නේ මේ වෙලා තියෙන්නෙ යම් ආකාරයක කරුණු පිළිබඳ නිසි අධ්‍යයනයක් නොකිරීම හෝ කරුණු නිසි ලෙස ලබා නොදීම වන්නට පුළුවන්.‘‘

ලංගම වත්මන් සභාපති නීතිඥ කිංස්ලි රණවකගෙන්ද අපි කරුණු විමසුවෙමු.

‘‘ මේ සිදුවීම් වසර ගණනාවකට පෙර වූ ඒවා නිසා අපට ඒ පත්‍රිකා, අදාළ තොරතුරු හොයන්න වෙනවා. ඇතැම් නිලධාරීන් විශ්‍රාම ගිහින්. සමහර ලිපි ගොනු නිසි ලෙසින් තියෙනවද නැද්ද කියන එකත් ප්‍රශ්නයක්.

කොහොමත් කෝප් කමිටුව මේ සම්බන්ධව කටයුතු කරන්නට පෙරම අපි මේ සම්බන්ධව පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තිබුණෙ. මම ලංගම අභ්‍යන්තර විගණන අංශයට මේ සම්බන්ධ ලිපි ලේඛන තමන් භාරයට ගන්නා ලෙස දැනුම් දුන්නා.

ඒ අනුව ලංගම විශේෂ විමර්ශන ඒකකයට විමර්ශන සිදු කරන ලෙස මම දැනුම් දී තියෙනවා.

කෝප් කමිටු වාර්තාව ගැන අමාත්‍යාංශයෙන් ලේකම්වරයා විසින් වෙනම පරීක්ෂණයකුත් කෙරෙනවා‘‘

අපි මේ සම්බන්ධව ශ්‍රී ලංගමට සම්බන්ධ වෘත්තීය සමිති අදහස්ද විමසුවෙමු. එහිදී පළමුවෙන්ම සම්බන්ධ කර ගත්තේ ශ්‍රී ලංකා පොදු ජන ප්‍රවාහන සේවක සමිතියේ සභාපති නුරාජිත් සිං ය.

‘‘ මේ රජය බලයට පත් වූ දා සිටම ලංගම සිදුවූ දූෂණයන් ගැන අපි හෙළි කළා. නමුත් ඇතැම් අය ඒවා දැක්කෙ දේශපාලන කෝණයෙන්. අදත් එදා හිටපු ඒ නිලධාරීන් සේවය කරනවා. අනිවාර්යෙන්ම මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කළ යුතුමයි.

ජාතික සේවක සංගමයේ ලංගම වැඩ බලන සමුළු ලේකම් ඩබ්.ඒ අමරසිංහ පැවසුවේද වංචාවක් සිදුව ඇත්නම් නීතිය අනුව කටයුතු කළ යුතු බවයි.

‘‘ අපිට කුමන රජයේද මොන පක්ෂයේද කියන එක නෙමෙයි වැදගත් වෙන්නෙ. ආයතනයයි. එක එක්කෙනාට ඕන විදිහට දූෂණ වංචා කරන්න ගියොත් අනාගත දරු පරපුරට ලංගම නැතිවෙනවා. අද ගෑස්වලට මොකද වෙලා තියෙන්නෙ. රජයේ පරිපාලනයෙන් මිදීමේ විපාකය ලංකාවටම බලපාලා. රාජ්‍ය ආයතයන්ගේ අකාර්ෂයක්ෂමතාව නිසයි මේ කටයුතු වෙන්නෙ. ආයතනවල මුල් පුටුවල ඉන්නේ පරිපාලකයන්. ඔවුන්ගෙන් සොරකම, වංචාව සිදුවනවා නම් කොහොමද ආයතන පවත්වාගෙන යන්නේ. අපිත් ඒ වංචාවන් මැඬලීම පිණිස සහාය දෙනවා. වෘත්තීය සමිතියක් ලෙස අප සේවකයන්ගේ අසාධාරණයන්ට විරුද්ධව පෙළ ගැසෙනවා. ඒත් අපි හොරු ආරක්ෂා කරන්නෙ නැහැ. “

සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේගෙන්ද අපි කරුණු විමසුවෙමු.

‘‘කෝප් කමිටුවෙ චෝදනා ගැන අපි විමර්ශනය කර බැලුවා. සමස්ත රටේ ජනතාවම දන්නවා අපි දූෂණයට විරුද්ධව පළමුවෙන්ම නැඟී සිටින වෘත්තීය සමිතියක් බව. ඒ වුණත් අපට පෙනෙන්නට තියෙන ආකාරයට නම් එතැන කිසිදු ආකාරයක දූෂණයක් හෝ අවභාවිතයක් සිදුව නැහැ.

නිසි ක්‍රියාපටිපාටියට අනුව කටයුතු කර ඇති බවයි පෙනී යන්නේ. ඒත් කෝප් කමිටුවට කරුණු දැක්වීමෙදී නිලධාරීන් අතින් යම් අතපසුවීමක් වුණාදැයි අපට කියන්න බැහැ.

විමර්ශනයක් නිසි ලෙසින් කරන්නේ නම් අපට ඉදිරියේදී බලා ගන්න පුළුවන් වේවි ඇත්ත මොකක්ද කියලා. මට පැහැදිලිවම කියන්න තියෙන්නේ අපි එදත් දූෂණයට විරුද්ධයි. අදත් විරුද්ධයි. ඒත් මෙතන එවැන්නක් සිදුවී ඇතැයි අප සිතන්නේ නැති බව පැවසිය යුත්තේ අප ඒ සම්බන්ධව සොයා බැලූ නිසයි.‘‘

ගමේ අස්සක් මුල්ලක් නෑර ගොස් මඟී ජනතා සේවාවන් පවත්වනු ලබන ලංගම වැනි ආයතනයක කෝප් කමිටුව අනාවරණය කරන තත්ත්වයක් උද්ගතව ඇත්නම් එය ඉතාම බරපතළය. කෝප් කමිටුව හමුවේ හෙළිව ඇති කරුණු පිළිබඳව විමර්ශනය කළ යුත්තේ කමිටුව විසින් ඉදිරිපත් කර ඇති කරුණු වලට අමතරව විගණාකාධිපතිගේ වාර්තා ගැඹුරින් අධ්‍යයනය කිරීමෙය. විශේෂයෙන්ම ලංගම සභාපති කිංස්ලි රණවක පෙන්වා දෙන්නේ 2017 /2018 වසරවල විගණකාධිපතිවරයා විසින් ඉල්ලා ඇති කරුණු හෙළි කිරීමට කටයුතු කර නොමැති බවයි. එවැන්නක් සිදුව ඇත්නම් එයද බරපතළ ගැටලුවකි. එම වාර්තා ඉදිරිපත් නොකරන්නට කටයුතු කළ නිලධාරීන් පිළිබඳව වහාම සොයා බැලිය යුතුය.

මේ සම්බන්ධව ලංගම ප්‍රධාන කාර්යාලයේ තොරතුරු තාක්ෂණ කළමනාකරු මනෝජ් ගුණතිලක හා ප්‍රධාන ගණකාධිකාරී චන්දන හේරත් විසින් ඉදිරියේදී කරුණු දක්වනු ඇතැයි යන්න අප කළ විමර්ශනයේදී හෙළි විය.

ඉන්දියාවෙන් ආනයනය කරන ලද අශෝක් ලේලන්ඩ් බස් රථවල තිරයේ දිස්වන නාමපුවරු හා අභ්‍යන්තර කැමරා සවි කර තිබුණ ද අප දන්නා තරමින් මේ වන විට එම බස්රථවල ක්‍රියාකාරී කැමරා නැත.

නාමපුවරුද කිසිදු වැඩකට නැති අංගයකි. එහි භාෂා තුනෙන්ම ගමනාන්තය දිස්වේ. කොළඹ සිට මහනුවර බලා යන බස් රථයකට අතරමඟදි මඟියකු බස් රථයේ නාමපුවරුව දෙස බලද්දී තමන්ට කියවීමට හැකි භාෂාව දිස්වන විට එය මඟියා පසු කර ගොසිනි. එමෙන්ම ඇතැම් බස් රථවල අතර මඟ සියලු ප්‍රධාන නගර එහි දිස්වේ. පොළොන්නරුව බලා යන බස් රථයක නම් කුරුණෑගල, දඹුල්ල, හබරණ, මින්නේරිය නම් දිස්වන විට බස් රථය මඟියා පසුකර ගොසිනි.

තාක්ෂණික ඇගැයීම් කමිටුව මේ බව ආනයනයට පෙර නොදුටුවේ ඇයිද යන ප්‍රශ්නය අපට මෙහිදී මතුවන්නකි. අප අමතක නොකළ යුත්තේ සෑම ඇණයක් පාසාම අප මුදල් ගෙවිය යුතු බවයි.

එමෙන්ම ලංගම සභාපතිවරයා පවසන පරිදි ලංගම තුළ ඇති ගැටලු ඉක්මනින් විසඳිය යුතුය. කලකට පෙර ලංගම බස් රථයකින් සේවකයන් 7ක් හෝ 8ක් යැපෙන තත්ත්වයක් තිබුණි. එවකට සේවක සංඛ්‍යාව 35,000කට අධිකය. එහෙත් අද වන විට එම යැපෙන සංඛ්‍යාව 5 දෙනකු පමණ වන තත්ත්වයට අඩුවී ගොස් තිබේ.

කලකට පෙර ලංගම බස් රථයක එන්ජිමක් හෝ ජියර් පෙට්ටියක් පූර්ණ අලුත්වැඩියාවකට ලක් කරන්නට වැය කෙළේ උපරිම වශයෙන් එක් දිනක් පමණි. මොණරාගල හෝ අනුරාධපුරයේ හෝ වෙනත් ඕනෑම ඈත ප්‍රදේශයක බස් රථයක් එසේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කළ යුතු නම් එය ආපදා රථයකින් ඇද ගෙන ආවේ බොහෝ විට ඒකල මධ්‍යම වැඩපළට හෝ වේරහැරටය. ඊට අමතරව ලංගම වැඩපොළ පෙට්ටිගලවත්තේ සහ කැප්පෙටිපොළ ද විය. ඇදගෙන එන බස් රථයේ එන්ජිම හෝ ගියර් පෙට්ටිය ගලවා අලුත්වැඩියා කරන ලද එන්ජිමක් හෝ ජියර් පෙට්ටියක් එම බස් රථයට සවි කර එදිනම පිටත් කර හරී. එය පසුදින සිටම මඟී ප්‍රවාහනයේය. ගලවන ලද එන්ජිම හෝ ගියර් පෙට්ටිය අලුත්වැඩියා කර වෙනත් බස් රථයකට සවි කෙරේ. මෙවන් කාර්යක්ෂමතාවක් ලංගම සතු විය.

එහෙත් පෞද්ගලික බස් රථවලට වාසි වන පරිදි කාලසටහන් සකස් කිරීමත් දූෂණය රජකිරීමත් නිසා අද ලංගමට යන එන මං නැත.

Comments