ගුරු සට­නෙන් තැලෙන දරුවෝ | සිළුමිණ

ගුරු සට­නෙන් තැලෙන දරුවෝ

 

ගුරු වැටුප් විෂමතාව ඉවත් කිරීමට ඉල්ලමින් ගුරුවරුන් විසින් ආරම්භ කළ වැඩ වර්ජනයට මේ වන විට දින 100 ක්ය. දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනයද නැවැති ඒ හා සමාන දින ගණනක් ගත වී ඇත්තේය. ගුරු සේවය ආකර්ෂණීය සේවාවක් බවට පත් කිරීමේ අරමුණින් යැයි පවසමින් සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයම අඬපණ කරමින්, දරුවන්ගේ ජිවිත ආකාලයේ කඩා ඉහිරුවමින් ගුරුවරුන් විසින් ආරම්භ කර ඇති මෙම වැඩ වැරුම තවමත් අවසන්ව නැත. රජය,අධ්‍යාපන අමාත්‍යාංශයද මේ වන විට දිගින් දිගටම සාකච්ඡා පවත්වමින් මෙය සමතයකට පත් කිරීමට කෙතෙක් උත්සහ ගත්තද ඊට වෘත්තිය ක්‍රියාකාරින් නම්‍යශිලි වී නැත.

එළැඹෙන 21 වැනිදා කොවිඩ් වසංගතය හේතුවෙන් වසර එකහාමාරකට වැඩි කාලයක් නැවුතුණු පාසල් ගමන යළිත් අදියර 4 ක් යටතේ විවෘත කිරිමට සෞඛ්‍ය බලධාරින්ගේද අනුමැතිය ලබා දී ඇත්තේ එය ප්‍රමුඛතම අවශ්‍යතාවක් වන නිසාය. ඒ අනුව පාසල්

නැවතත් විවෘත කිරීමට අධ්‍යාපන ඇමැතිවරයාගේ උපදෙස් මත අධ්‍යාපන බලධාරීහු මේ කාර්යයට යුහුසුලුව සම්බන්ධ වෙමින් පවති. කොවිඩ් වසංගතය මධ්‍යයේ පාසල් යළි විවෘත කිරීම ලෙසෙහි පහසු කර්තව්‍යක් නොවේ. ඊට පෙර සුදානමක් වශයෙන් ගුරුවන්ට එන්නත් කර අවසන්ය. දෙවැනුව සිසුන්ට එන්නත් කිරීම ආරම්භ කර ඇත්තේය. මේ වන විට උසස් පෙළ විභාගය ඉලක්ක කර ගනිමින් මධ්‍යස්ථාන ගණනාවකදී එම සිසුන්ට එන්නත් කිරිම ඇරඹී ඇත.

ඉතිහාසයේ ප්‍රථම වරට මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන්නට විභාග බලධාරින්ට සිදුවූයේ සෞන්දර්ය විෂයන්ගෙන් තොරවය. ඒ ගුරුවරු විසින් ඇගැයීම් ප්‍රතික්ෂේප කළ නිසාවෙනි. උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව විභාග දරුවන්ගේ මින් පෙර කිසි ලෙසකත් නොවූ පරිදි ලබන වසර දක්වා කල් දැමීමට සිදුවූයේ කොවිඩ් හා ගුරු වර්ජනය නිසාය. සමහර සිසුන් මානසික ව්‍යාධීහූ බවට පත්ව ඇත. තවත් අය ජීවිතයේද සමු ගෙන ඇත්තේය මේ සියල්ලම ගුරු වර්ජනය නිසාවෙන් සිදුවු බව නොපැවසුවද ඊට ප්‍රධාන හේතු වූයේ දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටීමේ අහිතකර විපාකය.

අග­මැ­ති­ව­රයා සමඟ වෘත්තීය සමිති සාක­ච්ඡා­වෙන් අන­තු­රුව ජෝෂප් ස්ටාලිං අග­මැ­ති­තුමා සමඟ කතා­ක­රන අයුරු

“පාසල් 21 වැනිදා විවෘත කරනවා. අපි ඊට පෙර අපේ තීරණය දැනුම් දෙනවා. අපි ඉල්ලන්නේ අපේ වැටුප් වැඩිවීම අදියර දෙකකින් 50% බැගින් ලබා දෙන්න කියලා. එහෙම ලබා දීමට පොරොන්දු වෙනවා නම් අරගලය සම්බන්ධව අපිට සිතා බැලිය හැකියි“ ඒ

සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ ලේකම් යල්වෙල පඤ්ඤාසේකර හිමියෝය. අරගලය නැවැත්වුවහොත්? නැවතුණු දරුවන්ගේ අධ්‍යාපනය පෙර තත්ත්වයට ගෙන ඒමට ඔවුන් කුමක් කරාවිද?

“අපි අතපසු වු වැඩ සියල්ල කරනවා. විෂය නිර්දේශ ආවරණය කරනවා. ළමයින්ගේ මානසික මට්ටම සැකසීමක් කරනවා. ළමයින් නැවතත් සමාජයට අනුගත කරවීමට ආගමික හා සෞන්දර්යාත්මක වැඩ සටහන් කරනවා. “ ඒ සිළුමිණ කළ විමසීමට යල්වෙල පඤ්ඤාසේකර හිමියන් දැක්වු අදහස්ය.

එහෙත් මේ ගෙවි යන්නේ වර්ෂාවසානයයි. තවත් මාස දෙකකින් ඔවුන් අලුත් වසරකය. සමාන්‍යයෙන් නම් මේ වන විට සිසුහු අවසාන වාර විභාගයට හෝ මුහුණ දීමට ආසන්නය. නමුත් ඒ සියල්ල අද ඇණ හිට ඇත. බොහෝ පෙළ පොත් විෂය ආවරණය වී නැත.

“21 වැනිදා පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අපි තවදුරටත් සිතා බලනවා. අපි ඉල්ලු ආකාරයෙන් විසඳුමක් ලැබුණේ නැහැ. මේ නිසා අපේ වෘත්තිය ක්‍රියාමාර්ගය වෙනසකින් තොරව කර ගෙන යනවා. අගමැතිතුමත් සමඟ සාකච්ඡාවේදි අපේ අදහස් විමසීමක් කළේ නැහැ. මේ නිසා දැනට වෘත්තිය ක්‍රියාමාර්ගය ඒ විදියටම කර ගෙන යනවා....“ ඒ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ය.

“21 ට පෙර රජය විසදුම් දිය යුතුයි. මහා භාණ්ඩාගාරය මේ සඳහා රුපියල් බිලියන 140 ක් වැය වෙන බව කියනවා. රජයට මෙය ලොකු මුදලක් නෙමෙයි“ ඒ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිංය.

බොහෝ දෙනෙක් අපේක්ෂාවෙන් සිටියද මේ වන විටත් ගුරු වෘත්තීය සංගම් මේ වැඩ වර්ජනය නැවැත්වීමට තවමත් සූදානමක් නැත. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදි පොරෙන්දු වී ඇත්තේ එකවර රුපියල් බිලියන 30 ක් වැනි විශාල මුදලක් වැඩි කළ නොහැකි හෙයින් ගුරු වැටුප් වැඩිවීම අදියර දෙකකින් සිදු කරන බවත්ය. ඒ අනුව 2022 ජනවාරියේ තුනෙන් එක් පංගුවක් එනම් රුපියල් බිලියන 10 ක වැඩි වීමක් හා ඉතිරි තුනෙන් දෙක එනම් ඉතිරි රුපියල් බිලියන 20 ක් 2023 ජනවාරියේද ගෙවීමට පොරොන්දු විය.

වමේ සිට,  මුරු­ත්තෙ­ට්ටුවේ ආනන්ද හිමි, සමස්ත ලංකා එක්සත් ගුරු සංග­මයේ ලේකම් යල්වෙල පඤ්ඤා­සේ­කර හිමි, අධ්‍යා­පන ඇමැති දිනේෂ් ගුණ­ව­ර්ධන, පොදු ජන අධ්‍යා­පන සේවා සංග­මයේ සභා­ප­තිනි වසන්තා හඳ­පා­න්ගොඩ, ලංකා ගුරු සංග­මයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං, ලංකා ගුරු සේවා සංග­මයේ ප්‍රධාන ලේකම් මහින්ද ජය­සිංහ, ලංකා ප්‍රගති ගුරු සංග­මයේ ප්‍රධාන ලේකම් මයුර සේනා­න­ායක

“මේ ගුරු අරගලය ඇත්තෙන්ම වැටුප් අරගලයක් පමණක් නොවෙයි. අධ්‍යාපන පද්ධතිය රැක ගැනීමේ අරගලයක්. 6/2006 චක්‍රලේඛයෙන් ලංකාවේ වැටුප් විෂමතාවයක් ඇති කළා. මේ නිසා අධ්‍යාපන පද්ධතිය වසර 24 ක් තිස්සේ කඩා වැටීමකට ලක්වුණා. වසර 10 ට වැඩි එකම ස්ථානයේ සේවය කළ ගුරුවරු මාරු කළාම දාන්න ගුරුවරු හිටියේ නැහැ. ගුරුවරුන්ට වැටුප් ගෙවන්නේ මිනිසුන්ගේ බදු මුදලින්. අධ්‍යාපනයේ කඩා වැටීම නිසා ටියුෂන් ලබා දෙන්නත් දෙමවුපියන්ට අමතර වියදමක් දරන්න වෙලා. දෙවරක් අධ්‍යාපනයට වියදම් කිරීම බරපතළ දෙයක්. දක්ෂ ගුරුවරු පන්ති කාමරයෙන් විතැන් කරලා“ ඒ ලංකා ප්‍රගති ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මයුර සේනාන­ායකයි.

ගුරු සංගම් මතුකරන මේ චෝදනා වෙනත් අධ්‍යාපන ගුරු සංගම් දැඩිව විවේචනය කරයි. ගුරු වැටුප් විෂමතාව සම්බන්ධ සුබෝධනි කමිටු යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් අරගලයක් ඇති වන බව ඔවුන්ගේ චෝදනාවයි. සුබෝධනි කමිටුවේ අඩුපාඩු තැන් බොහෝ ඇති අතර එහි සඳහන් වැටුප් වැඩි කිරීමට නම් ගුරුවරුන් සපුරා ගත යුතු සුදුසුකම්ද බොහෝය.

“එදා අවසන් රැස්වීමේදි සවස 2.35 ට මහින්ද ජයසිංහ මට දුරකතන ඇමැතුමක් ලබා දී කිව්වා, අදියර දෙකකින් වැටුප් වැඩිවීම ලබා දෙන්න යැයි ඉල්ලන්න, අපි ඊට එකඟයි කියා. හස්ත මුද්‍රාවෙන්ද ජෝෂප් ස්ටාලිං මට මේ බව ඇඟෙව්වා. ඔවුන්ගේ අදහස වුණේ මෙය දිගින් දිගටම ගෙන යාම හොඳ නැහැ තියලා. මේ අනුව වැටුප් වැඩි වීම අදියර තුනකින් ලබා දෙන්නම් කියලා කිව්වහම අපේ සංගමය එය අදියර දෙකකින් ලබා දෙන ලෙස ඉල්ලුවා. නමුත් අරලිය ගහ මැදුරෙන් එළියට ගිහින් මේ අය වෙන දෙයක් කිව්වා“ ඒ පොදු ජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩය.

21 වැනිදා යළි පාසල් විවෘත කිරීමට සුදානම්ය. ගුරු සංගම් දැඩි මතයක සිටියද බොහෝ ගුරුවරු පාසල් පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව ආරංචිය. විශේෂයෙන් රත්නපුර දිස්ත්‍රික් ගුරු විදුහල්පති සංගම් එකමුතුව පවසා සිටියේ පාසල් විවෘත කළ විට සේවයට වාර්තා කරන බවකි. ඔවුන් පවසනනේ මේ වන විට ගුරු අරගලයේ යම් මධ්‍යස්ථ ස්ථානයකට පැමිණ ඇති බවකි.

“21 වැනිදා පාසල් පැමිණෙන ගුරුවරුන්ට තර්ජනය කළොත් දැඩි පියවර ගන්නවා....“ ඒ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකරය.

“දරුවන්ගේ අධ්‍යාපනය ලබා දීම ඉතා වැදගත් කර්තව්‍යක් වන හෙයින් ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමට රජය ඉතා දුෂ්කර හා වැදගත් තීන්දුවක් ගත්තා. අගමැතිතුමා ගුරු විදුහල්පති සංගම් සමඟ සාකච්ඡා කළා. එම සාකච්ඡාවේදි ඉතා හොඳ විසඳුමක් දුන්නා. අදියර දෙකකින් වැටුප් වැඩි කරනවා. අපේ යුතුකම දරුවන්ට අධ්‍යාපනය ලබා දීම ගුරුවරුන්ගේ අනාගත දියුණුව ඇති කරන බවට අගමැතිවරයා වැදගත් ප්‍රතිඥාවක් දුන්නා. ඒ නිසා සියලු දෙනා එකතු වී තම වගකීම ඉටු කරන්න.....“ ඒ අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධනය.

රටේ මහ සංඝරත්නයේද එකම ඉල්ලීම වන්නේ දරුවන්ගේ අධ්‍යාපනය වැටුප් ප්‍රශ්නයක් හේතුවෙන් කඩා බිඳ නොදමන ලෙසයි.

“මේ රටේ ගුරුවරුන්ට කියන්නේ අනිත් සියලු දේ අමතක කරලා, බඩගින්නේ හරි දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන්න. මේ මොහොතේ සියල්ලට ම වඩා වැදගත් දේ ඒක. ඒ අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නා හිමියන්ගේ ඉල්ලීමය.

“අධ්‍යාපනය මේ විදියට ගියොත් දරුවන් විනාශ වීම නොවැළක්විය හැකියි. භයානක ලෝකයක් නිර්මාණය විමට පෙර පාසල් යළි විවෘත විය යුතුයි..“ ඒ අතිපූජ්‍ය වේඩරුවේ උපාලි හිමිය.

“ගුරුවරුයා ජාතියේ පෙර ගමන්කරුවෙක්. ඔහු සමාජයට ආදර්ශයක් ගෙන දිය යුතුයි. ඔවුන්ටත් ප්‍රශ්න තිබෙන බව පිළිගන්නවා. මෙය වසර 24 ක් පුරාවට එන ප්‍රශ්නයක්. රට ආර්ථිකයෙන් පහතට වැටුණත් දිගු කාලයක් පුරාවට ආ මේ ප්‍රශ්නයට රජය පිළිගත හැකි විසඳුමක් ලබා දුන්නා. මස් රාත්තලම එකවර ලබා ගන්න බැරි බව වෘත්තීය සමිති පිළිගත යුතුයි“ ඒ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමිය. රටේ සියලු දෙමවුපියන්ගේත් එකම ඉල්ලීම එයයි.

 

Comments