නාවලපිටිය මහ පාරේ ‘පුංචි’ මන්ත්‍රී­වරුන්ගේ යුද්දේ | සිළුමිණ

නාවලපිටිය මහ පාරේ ‘පුංචි’ මන්ත්‍රී­වරුන්ගේ යුද්දේ

නාවලපිටියේ ‘පුංචි‘ මන්ත්‍රිවරු සහ ඔවුන්ගේ ආධාරකරුවෝ මහමඟ ගුටිබැට හුවමාරු කරගත්තේ මෙසේය...
නාවලපිටියේ ‘පුංචි‘ මන්ත්‍රිවරු සහ ඔවුන්ගේ ආධාරකරුවෝ මහමඟ ගුටිබැට හුවමාරු කරගත්තේ මෙසේය...

 

නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයට එම නම ලැබී තිබෙන්නේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට කම්කරු පක්ෂයෙන් තේරී පත්වූ ආර්. ඒ. ජයතිලක 1947 දී එය ඉදි කරන්නට මූලිකත්වය ගැනීම හේතුවෙනි. මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ධූර කාලයේදී මෙම ක්‍රීඩාංගණය රුපියල් මිලියන 350 ක වියදමින් සංවර්ධනය කරනු ලැබුවේ ගමේ දරුවන් ජත්‍යන්තරට ගෙන යෑම අරමුණු කරගනිමින් ග්‍රාමීය ක්‍රීඩාංගණ වැඩි දියුණු කිරීමේ මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේය.

එවකට ක්‍රීඩා ඇමැති ධූරය හෙබවූ මහින්දානන්ද අලුත්ගමගේ මුල්වී මෙය අග සම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණයක් ලෙස සංවර්ධනය කරනු ලැබුවේ ක්‍රීඩා 25 ක් සඳහා අවශ්‍ය පහසුකම් ස්ථාපිත කරමිනි. අංග සම්පූර්ණ ගෘහස්ථ ක්‍රීඩාංගණය,පිහිනුම් තටාකය හා මීටර් 400 ක ධාවන පථයක්,පාපන්දු සහ රගර් ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාංගණයක් මෙයට අන්තර්ගතය. මෙවන් පහසුකම් සහිත ජයතිලක ක්‍රීඩාංගණය පිළිබඳව පසුගියදා මුළු රටේම අවධානය යොමු විය. ඒ ක්‍රීඩා අංශයෙන් වාර්තා වූ ජයග්‍රහණයක් නිසා නම් නොවන්නේය. ජනතාව තමන් නියෝජනය කිරීම සඳහා නාවලපිටිය නගර සභාවට පත්කර යැවූ මහජන නියෝජිතයන් පිරිසක් ඔවුන්ගේ අධාරකරුවන්ද සමඟ ක්‍රීඩංගණය ඉදිරිපිට සිදු කරගත් ගුටිබැට හුවමාරුවක් මෙයට හේතු විය. ක්‍රීඩාංගණයේ ඉදි කිරීමට යෝජිත ඇවිදින මං තීරුවක් සම්බන්ධ ඇති වූ ගැටලුවක් සිද්ධියට මුල්වී තිබෙන අතර ගැටුවේ පාර්ශ්වකරුවන් වී තිබෙන්නේ නගර සභාවේ වත්මන් සභාපති අමල් ප්‍රියන්ත සහ හිටපු සභාපති සංසක සම්පත් යන අය ය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී නාවලපිටිය නගර සභාවේ බලය හිමිවූවේ එක්සත් ජාතික පක්ෂයටය.සභික ධූර 15 කින් යුත් නගර සභාවේ එජාපයට සභික ධූර 07 ක් හිමිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධූර 05 ක් පොදුජන පෙරමුණට, ජනතා විමුක්ති පෙරමුණට හා ස්වාධීන කණ්ඩායමකට එක් සභික ධූරය බැගින්ද හිමිව තිබේ. සභාපති ධූරයේ කටයුතු කරමින් සිටි සංසක සම්පත් පසුගිය මහ මැතිවරණයට සමගි ජනබලවේගය යටතේ තරඟ කර පරාජයට පත්විය. ඉන් පසු එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම යටතේ ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට පියවර ගත්තේය. අනතුරුව නව සභාපතිවරයකු පත්කර ගැනීම පිණිස පසුගිය ජූලි මස නිලවරණයක් පැවැත් විණි. එහිදී පොදුජන පෙරමුණේ අමල් ප්‍රියන්ත සභාපති ධූරයට පත්වූයේ ස්වාධීන මන්ත්‍රීවරයාගේ ඡන්දය ද ඇතුළුව ඡන්ද 07 ක් ඔහුට හිමි වීම නිසාය. එජාපය ඉදිරිපත් කළ අනුර පෙරේරාට හිමිවූයේ ඡන්ද 05 කි.

ජයතිලක ක්‍රීඩාංගණය ඉදිරිපිට මහ දවල් දෙනෝදාහක් බලා සිටියදී සිදුවූ ගුටි කෙළියේ ප්‍රධාන චරිත වූවේ නගර සභාවේ සභාපති ධූරය අහිමි වූ සංසක සම්පත් හා වත්මන් සභාපති අමල් ප්‍රියන්ත යන අය ය. සිද්ධියෙන් පසු දෙපාර්ශ්වයම පොලීසියට ගොස් ප්‍රතිපාර්ශ්වය තමන්ට පහර දුන් බවට පැමිණිලි ඉදිරිපත් කළ අතර මේ වන විට එම පැමිණිලි විභාග වෙමින් පවතී. ඇවිදින මංතීරුවක් මුල් කරගනිමින් මෙවැනි ගැටුමක් ඇති වූවේ ඇයිද යන්න ජනතාවට ප්‍රශ්නයකි. මේ නිසාම අපි ඒ සම්බන්ධව නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති සංසක සම්පත් සංජීවගෙන් කළ විමසීමකදී ඔහු දැක්වූවේ මෙවන් අදහසකි. ඇවිදින මංතීරුවක් හදනවට අපි විරුද්ධ නැහැ. අපි විරුද්ධ වෙන්නේ මේක හදන තැනටයි. මොකද ජයතිලක ක්‍රීඩාංගණයේ ඇවිදින මංතීරුවක් තිබෙනවා. ඒ තියෙද්දී මේක හදන්නේ ඇයි කියන එකයි අපි ප්‍රශ්න කරන්නේ. ග්‍රවුන්ඩ් එකේ නැතුව නගරයේ හෝ වෙනත් තැනක හදන්න.ජනතාවගේ මුදල් ලක්ෂ 200 ක් වියදම් කරලා ඇයි මේක හදන්නේ. මේකෙන් අඩුම ගානේ ලක්ෂ 100 ක් හොරා කන්නයි මේ හදන්නේ. මම සභාපති කාලේ මහින්දාන්නද අලුත්ගමගේ ඇමැතිවරයා අප්ලන්ඩ් ලයන්ස් කියලා ක්‍රීඩා සමාජයක් හදාගෙන නොමිලේ ක්‍රීඩාගණයේ පහසුකම් ඉල්ලුවා. දුප්පත් ක්‍රීඩා සමාජ මෙහේ ඕව තරම් තිබෙනවා. පාසැල්වලටත් ග්‍රවුන්ඩ් එක දෙන්නෙ මුදලටයි. ඇයි මහින්දාන්ද අලුත්ගමගේට විතරක් මුදල් අය නොකර දෙන්නේ.මගේ කාල සීමාවේදී ඒක කරන්න දුන්නේ නැහැ. නමුත් දැන් ඒ වැඩේ ක්‍රියාත්මක කරලා.පසුගිය කාලයේ ක්‍රීඩාංගණයෙන් රුපියල් ලක්ෂ 34 ක පාඩු වෙලා තියෙනවා. මම ගියේ මේවා ගැන කතා කරන්නයි. ගැටලුමක් ඇති කරගන්න ගියා නම් මම මාධ්‍යවේදීන්ට එන්න කියන්නේ නැහැ. මමයි එයාලවත් ගෙන්නුවේ. නාවලපිටිය නගරය යට වෙනවා. මේ මුදල්වලින් නගරය යට වෙන එකට පිළියමක් යොදන්න කියලා මම කියන්නේ.

මේ පිළිබඳව නාවලපිටිය නගර සභාවේ වත්මන් සභාපති අමල් ප්‍රියන්ත මෙසේ ප්‍රකාශ කළේය. මේ මංතීරුවේ වැඩ පටන් ගත්තේ පසුගිය මාසේ 28 වැනිදා. ජයතිලක ක්‍රීඩාංගණයේ එක අන්තයකින් තමයි මහවැලි ගඟ ගලා බසින්නේ. ඒ දර්ශනීය පැත්තට වෙන්න ක්‍රීඩාංගණය තුළින් ඇවිදින මංතීරුව ඉදි කරන්න සැලසුම් කරලා තියෙන්නේ. කිලෝ මීටරයක් දුරට මේක හදන්න සැලසුම් කරලා තියෙන්නේ. මහින්දානන්ද අලුත්ගමගේ මේකට මූලිකත්වය ගෙන කටයුතු කරනවා. මීටර 250 ක ඉදිකිරීම් තමයි මුල් අදියරේදී කරන්න සැලසුම් කළේ. මේක ඉදිකරන්නේ නගර සභාව මගින් නොවෙයි. නගරික සංවර්ධන අධිකාරිය තමයි මේකට මුදල් වෙන් කළේ. කොන්ත්‍රාත් කැඳවලා ඒ සියල්ල කළෙත් ඒ අයයි. නගර සභාව කළේ මේ වැඩේට අනුමැතිය ලබාදීම පමණයි. මේකට අමතරව මිනි ජිම් එකකුත් ගේනවා. සංසක සම්පත් සංජීව අද තමන්ගේ මන්ත්‍රීකමත් එක්ක බලතල අහිමි වීමෙන් පුස් චරිතයක් බවට පත්වෙලා. සිද්ධිය වූ දවසේ මමත් දමින්ද හා දුලංග මන්ත්‍රී තුමන්ලාත් නගර සභාවේ ඉන්න කොට ජයතිලක ක්‍රීඩාංගණයේ මුරකරු කතා කරලා කිව්වා හත් අට දෙනෙක් ඇවිත් කලාපයක් කරන්න යනවා කියලා. මම උපදෙස් දුන්නා ගේට්ටුව වහන්න කියලා. නිරෝධායන නීති අනුව පුද්ගල ඒකාරාශීවීම්වලට අවසර නැති වෙලාවක තමයි මේ අය මේ එකතු වෙලා හිටියේ. අපි එතන්ට යන කොට හිටපු සභාපතිවරයා ලොකු දේශනයක් කරනවා. ලක්ෂ 200 ක වියදමින් ඇවිදින මංතීරුවක් හදන්න යනවා ඒකෙන් ලක්ෂ සීයක් මාටියා ගහන්න යනවා කියලා. එයා මාධ්‍ය ගෙනල්ලා ඉතා සැළසුම් සහගතව මේක කළේ. අපි එතන්ට යනකොට හිටපු සභාපතිවරයාගේ මැරයෙක් ගහන්න පැන්නා.ඊට පස්සේ තමයි මේ ගැටුම අති වුණේ. ටවුම වතුරෙන් යට වෙනවා ඒවා නොකර මංතීරු හදනවා කියලා එයා කිව්වා. සභාපති පුටුවේ අවුරුදු තුනක් එයා හිටියා. ඇයි එයාට ඒක කරන්න බැරි වුණේ. මහින්දාන්ද ඇමැතිතුමාගේ මූලිකත්වයෙන් අපි ඒ ගැටුලුවටත් ස්ථිර විසඳුමක් දෙනවා.මේ සංවර්ධනය බලාගෙන ඉන්න බැරි විපක්ෂය ඒවා කඩාකප්පල් කරන්න කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නිලාම් හා ෂාෆි මන්ත්‍රීවරු එතන හිටියත් ඔවුන් ගැටුමට ආවේ නැහැ. හිටපු සභාපතිවරයාගේ මැරයෝ තමයි පහර දීම සිදු කළේ. පහර දීමෙන් පස්සේ පිරිසක් රෝහල් ගත වුණේ මාධ්‍ය සාකච්ඡාවකුත් පවත්වලයි.ඒකෙන්ම පේනවා මේ අයගේ සැලසුම මොකක්ද කියලා.

 

Comments