පෙරමඟෙන් මතු වූ සන්නිවේදන සලකුණ වස­න්ත­ප්‍රිය රාම­නා­යක | සිළුමිණ

පෙරමඟෙන් මතු වූ සන්නිවේදන සලකුණ වස­න්ත­ප්‍රිය රාම­නා­යක

බොරැල්ල, ජය­රත්න මල්ශා­ලාවේ තබා තිබූ වස­න්ත­ප්‍රිය රාම­නා­ය­ක­යන්ගේ දේහ­යට ඔහුගේ බිරිය මල්ලිකා,  (දකුණු පස) දිය­ණිය රන්දුලා හා  පුත­ණු­වන් චන්දුක ඥාතීන් සමඟ අව­සන් ගෞර­වය දැක්වූ අව­ස්ථාව.
බොරැල්ල, ජය­රත්න මල්ශා­ලාවේ තබා තිබූ වස­න්ත­ප්‍රිය රාම­නා­ය­ක­යන්ගේ දේහ­යට ඔහුගේ බිරිය මල්ලිකා, (දකුණු පස) දිය­ණිය රන්දුලා හා පුත­ණු­වන් චන්දුක ඥාතීන් සමඟ අව­සන් ගෞර­වය දැක්වූ අව­ස්ථාව.

 

ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයකු ලෙස කටයුතු කළ, වසර ගණනාවක් ලංකාදීප පුවත්පතේ “ඉරිදා විග්‍රහය” රචනා කරමින් දේශපාලන විචාරක කලාව ජනප්‍රිය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි වසන්තප්‍රිය රාමනායක (68) අප අතරින් වෙන්වීම මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට බලවත් පාඩුවකි.

දකුණේ උපන් වසන්තප්‍රිය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස මෙන්ම ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයකු ලෙස මෙරට මාධ්‍යවේදින්ටත්, මාධ්‍ය ක්ෂේත්‍රයටත් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළේය.

ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයකු ලෙස දින 52 ආණ්ඩුවේ කාලයේදි ලේක්හවුස් මාධ්‍යවේදීන් රැසකට සාධාරණය ඉටු කර දුන් ඔහුගේ සේවය අගය කටයුතුය.

ඒ “යහපාලන රජය” කළ අසාධාරණයට මෙන්ම, කලක් ලේක්හවුස්හි අසාධාරණයට ලක්ව සිටි ලේක්හවුස් මාධ්‍යවේදින් රැසකට සාධාරණය ඉටු කරන්නට වසන්තප්‍රිය කටයුතු කළේ ඒක පාක්ෂිකව නොවේ. කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ප්‍රමුඛ විද්වත් හා වෘත්තීය ප්‍රවීණයන් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක නිර්දේශ අනුවය. ලේක්හවුස් ආයතනය ඇතුළත අසාධාරණයට ලක්වූ මාධ්‍යවේදීන්ට සාධාරණය ඉටු කිරීමට විද්වත් කමිටුවක් මඟින් නිර්දේශ ලබාගෙන කටයුතු කළ ප්‍රථම අවස්ථාවද මෙය වූ බව පෙන්වා දිය හැකිය.

1953දි ගාල්ලේ උණවටුනේ උපත ලැබූ ඔහුගේ මව ඇග්නස් රාමනායකය. පියාණන් වූයේ ආරියදාස රාමනායකයි. පියාගේ ව්‍යාපාරික කටයුතුවලට වසන්තප්‍රිය සම්බන්ධ වූ අතර ඒ සඳහා නිතර කොළඹ පැමිණියේය. ඒ මඟින් මාධ්‍ය ආයතනවලට ද සම්බන්ධ විය.

වසන්තප්‍රිය රාමනායක ගාල්ලේ විද්‍යාලෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. විගණනය, ගණාකාධිකරණය හා තාක්ෂණික විෂයන් පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලා කිහිපයක් සමත්වූ ඔහු මුලින්ම ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවේ අභ්‍යන්තර විගණක ධුරයකට පත්වී තිබේ. පසුව ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවේ “නිවහන” සඟරාවට විවිධ ලිපි සැපයූ ඔහු ඒ කාලයේම මෙරට පුවත්පත් කිහිපයකටම නිදහස් මාධ්‍යවේදියකු ලෙස ලිපි සපයා තිබේ.

පසුකාලයේදී ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව මඟින් නිකුත් කිරීමට ආරම්භ කළ “පෙරමඟ” සඟරාවේ සහය සංස්කාරක ධුරයට පත්වූ මොහු 80 දශකයේ “පෙරමඟ” ජනප්‍රිය කිරීමට කටයුතු කළේය. 1993දී පමණ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දෙසතිය සඟරාවට එක්වූ වසන්තප්‍රිය පසුව එහි නියෝජ්‍ය සංස්කාරක හා ප්‍රධාන සංස්කාරක ධුරවලට පත්විය. ඒ සමඟම එම වකවානුවේදී “දෙසතිය” සඟරාවේ අභිවෘද්ධියට ද මහඟු සේවයක් ඉටු කළේය. 2011දී පමණ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරයට පත්වූ වසන්තප්‍රිය රාමනායක මෙරට ජනමාධ්‍යවේදීන්ගේ උන්නතිය සඳහා මෙන්ම මෙරට සංවර්ධන සන්නිවේදන කටයුතු ජනප්‍රිය කිරීම සඳහා විශාල උනන්දුවකින් කටයුතු කළ බව අපට මතකය.

විශේෂයෙන් 2008 - 2014 වකවානුවේදී මෙරට සංවර්ධන සන්නිවේදනය පිළිබඳ බලවත් උනන්දුවක් දක්වමින් රටේ මහා පරිමාණ සංවර්ධන කටයුතු නිරීක්ෂණය සඳහා මාධ්‍යවේදීන් රැගෙන යන නිරීක්ෂණ චාරිකා රැසක් සංවිධානයට වසන්තප්‍රිය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් පූර්ණ සහය දුන්නේය. එවකට ජාතික සංවර්ධනය පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ආරිය රූබසිංහ, දැනට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (මාධ්‍ය) ලෙස කටයුතු කරන කේ.පී. ජයන්ත, එවකට නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ හිල්මි මොහොමඩ් යන අය ද වසන්තප්‍රිය සමඟ මෙම මාධ්‍ය චාරිකා මනාව සංවිධානය කළ අයුරු අපට අමතක කළ නොහැකිය.

විශේෂයෙන් “මහින්ද චින්තනය” යටතේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය ඇතිව 2005 - 2015 වකවානුවේදී මෙරට සිදු කළ මහා පරිමාණ සංවර්ධන කටයුතු නිරීක්ෂණයට අප ඇතුළු මාධ්‍යවේදීන් 20 - 25 කට පමණ අවස්ථාව ලැබුණේ ඒ නිරීක්ෂණ චාරිකා නිසාය.

සතියකට පිටු 3, 4ක් පුරවන්නට පමණ වුවද ගවේෂණශීලී තොරතුරු හා ඡායාරූප අපට ලබාගන්නට ඔහු පූර්ණ සහාය හා වෘත්තීය දැනුම අප වෙත නොපැකිළව ලබා දුන්නේය. එමඟින් රටේ සිදුවන සංවර්ධන කටයුතු පිළිබඳව පොදු ජනතාවට මනා ලෙස අවබෝධයක් ලබා ගන්නට අවස්ථාව ලැබිණි.

දැනට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රචාරක කළමනාකරු ලෙස කටයුතු කරන කල්‍යාණප්‍රිය රාමනායක ඇතුළු සහෝදර සහෝදරියන් 5 දෙනෙකුගේ පවුලක වැඩිමහල් සොහොයුරා වන වසන්තප්‍රිය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තනතුර දරන සමයේ රටේ සියලු මාධ්‍යවේදින් වෙනුවෙන් විවිධ සුබසාධන කටයුතු රැසක් ද ඉටු කළේය.

වසන්තප්‍රිය රාමනායක පිළිබඳ සිය මුහුණුපොතේ අදහස් දක්වන සිළුමිණ හිටපු කර්තෘවරයකු වූ සුනිල් ජයසේකර පවසන්නේ “වසන්තප්‍රිය රාමනායක තම ආත්මයේ මූලික සාරධර්ම වෙනුවෙන් පෙනී සිටිමින් පරස්පර මතවාදී චරිත සමඟ සබඳතා නිවැරැදිව පවත්වා ගත් මාධ්‍ය නියමුවෙක්” බවයි.

2015 න් පසුව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වසන්තප්‍රිය රාමනායකයන්ගේ මාධ්‍ය ජීවිතය වසර 40කට ආසන්නය.

ලංකාදීප පුවත්පතේ “ඉරිදා විග්‍රහය” දේශපාලන ලිපිය දිගුකලක් රචනා කළ ඔහු ජාතික රූපවාහිනියේ ද දේශපාලන සමාලෝචන වැඩසටහන් රැසක් මෙහෙයවීය. ඔහු දිනමිණ පුවත්පතට ද “රාවන්” යන අනවර්ත නාමයෙන් ලියූ “ගුරුදා ලියැවිල්ල” ද එකල දේශපාලන ලෝකයේ කතාබහට ලක්විය. 1993 සිට 2015 දක්වා වසර 23ක් ඔහු ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අනුබද්ධව කටයුතු කළේය.

විශේෂයෙන් එහිදී “දෙසතිය” සඟරාවේ අන්තර්ගතය හා ගුණාත්මක බව වැඩි කිරීමට මහඟු වෙහෙසක් ගත්බව ‍”දෙසතිය” සඟරාවේ කාර්ය මණ්ඩලය අදත් කෘතවේදීව සිහිපත් කරති. දෙසතිය ආණ්ඩුවේ සඟරාවක් වුවත් වසන්තප්‍රිය එහි සංස්කාරක ධුරය දැරූ කාලය තුළ එහි ආණ්ඩුවේ මතයට මෙන්ම පක්ෂ විපක්ෂ මතවලටද ඉඩකඩ වෙන්කර දුන්නේය. දක්ෂ සංවිධායකවරයකු මෙන්ම කළමනාකරුවකු ලෙස හැඳින්විය හැකි ඔහු ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙස කෙටි කලක් සේවය කළ නමුත් ඒ කාලයේදි ලේක්හවුස් පුවත්පත්වල අන්තර්ගතය හා ගුණාත්මක බව වැඩිදියුණු කිරීමටත් ප්‍රධාන පුවත්පත් සමබර පුවත්පත් ලෙස පළකිරීමටත් අදාළ කර්තෘවරුන්ට නිතරම උපදෙස් දුන්නේය. ජාතික රූපවාහිනියේ ටෙලිනාට්‍ය රැඟුම් පාලක මණ්ඩලයේ ද කටයුතු කළ වසන්තප්‍රිය ලංකා පත්‍ර කලා සංගමයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කරමින් ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ වෘත්තීය ගරුත්වය හා අයිතිවාසිකම් සුරැකීමට ද විවිධ පියවර රැසක් ගත්තේ එකල ජනමාධ්‍ය ඇමැතිවරුන්ගේ ද සහාය ඇතිවය. ශ්‍රී ලංකා චින මිතුදම වර්ධනය කිරීමට ඔහු දැක්වූ සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් චීන ජාතික දින ගෞරව නාම සම්මානයෙන් ඔහු පිදුම් ලැබිය.

වසන්තප්‍රිය රාමනායකගේ දේහය මහජන ගෞරවය සඳහා කොළඹ ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබුණු අතර එම දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය සිකුරාදා සවස බොරැල්ල කනත්ත සුසාන භූමියේදී සෞඛ්‍ය ආරක්ෂිත නීතිරීති අනුව පැවැත්විණි.

මේ අවස්ථාවේදී බලවත් කනගාටුවට පත්වූ වසන්තප්‍රිය රාමනායකගේ ආදරණීය බිරිඳ මල්ලිකා රාමනායකටත්, පුතණුවන් වන චන්දුක රාමනායකටත් දියණිය වන රන්දුලා රාමනායක ඇතුළු පවුලේ සැම වෙත අපේ සාතිශය සංවේගය ද පළ කරමු.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 40ක් කටයුතු කරමින් එම ක්ෂේත්‍රයටත්, රටේ ජනමාධ්‍යවේදින් වෙනුවෙනුත් හැකි සෑම අවස්ථාවකදීම උපරිම අයුරින් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි වසන්තප්‍රිය රාමනායකයන්ට නිවන් සුව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.

(ඡායාරූපය - සුදත් මලවීර)

Comments