රටට බරක් වූ වංචා­කාර නයි­ජී­රි­යා­නුවෝ | Page 4 | සිළුමිණ

රටට බරක් වූ වංචා­කාර නයි­ජී­රි­යා­නුවෝ

 

මාජ මාධ්‍යයන් ඔස්සේ මෙරට ජනයා රවටමින් විවිධාකාර ජාවාරම්වල යෙදුණු නයිජීරියානු ජාවාරම්කරුවන් පිරිසක් පිළිබඳ පසුගිය දිනවල වාර්තා විය. මෙරට ජාවාරම්කාරයන් ද අබිබවා යමින් වසර හතර පහකට පමණ කාලයක සිට නීති විරෝධි ලෙස මෙරට රැඳී සිටින මෙකී නයිජීරියානුවෝ එවැනි ජාවාරම් නිසා පොලිසියට කොටුවූ අවස්ථා ද බොහෝය.

 

ඉකුත් සතියේදී පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ධර්මසේනගේ ප්‍රධානත්වයෙන් යුත් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක නුවන් පත්මසිරි ප්‍රමුඛ කණ්ඩායම විසින් ද නයිජීරියානුවෝ තිදෙනෙක් අත්අඩංගුවට ගත්හ.

දෙහිවල ගුවන් පාලම අසල ඒ.ටී.එම් යන්ත්‍රයක් අසලදී සහ ගල්කිස්ස සුපිරි වෙළෙඳසලක් අසලදී දෙදෙනෙක් අත්අඩංගුවට පත්වෙද්දී තවත් අයෙක් ඔවුනගේ පාපෝච්චාරණ මත බෙල්ලන්තර නිවෙසක සිටියදී අත්අඩංගුවට ගැනීමට සමාජ මාධ්‍ය විමර්ශන අංශ නිලධාරිහු සමත් වූහ. අන්තර්ජාලය ඔස්සේ සිදුකළ ලක්ෂ ගණනක මූල්‍ය වංචාවක් නිසාවෙන් ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණ කොළඹ ආයතනයක සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවකගෙන් ලැබුණු පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයෙන් ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගැනිණි. එම නයිජිරියානුවන් තිදෙනා වන්නේ වයස අවුරුදු 25ත් 35ත් අතර ක්‍රිස්ටෝපර් ඒකිනි, යුචි කොලින්ස් සහ එමිකා වික්ටර්ය.

පසුගිය කාලයේ නයිජීරියානුවන් සිදු කළ ජාවාරම් නිසා පොලිස් අත්අඩංගුවට පත් පිරිස 50කට ආසන්නය. ඇතැම් පුද්ගලයන් දෙතුන්වර අත්අඩංගුවට පත්වී ඇත. මේ අතර තවත් වරෙන්තු ලත් නයිජීරියානුවන් 15 දෙනකු පමණ අත්අඩංගුවට ගැනීමට සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය විමර්ශන අංශයෙන් වාර්තා වේ.

නීතිවිරෝධි ලෙස මෙරට රැඳී සිටින නයිජීරියානුවන් ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර්, ඉමෝ වැනි සමාජ ජාලා මාධ්‍ය ඔස්සේත්, කුරියර් සේවාවන් මඟින් තෑගි පාර්සල් ලබා ගැනීම, තෑගි පාර්සල් ලබා ගැනීමට බැංකු ගිණුම්වලට මුදල් බැර කරවා ගැනීම මෙන්ම විද්‍යුත් ලිපිනයන් ‘හැක්‘ කිරීම වැනි විවිධාකාර මාධ්‍යයන් ඔස්සේ සිදුකර තිබෙන වංචාවන් නිසාවෙන් මෙරට වැසියන් ලක්ෂ ගණන්වල සිට කෝටි ගණන් දක්වා මුදල් විනාශ කරගෙන තිබේ. එසේම බොහෝ විට නයිජීරියානුවන්ගේ වංචාවන්ට හසුව ඇත්තේ කාන්තාවන්ය.

දෙහිවල, ගල්කිස්ස, බොරලැස්ගමුව, වැල්ලවත්ත, මහරගම වැනි පෙදෙස්වල බහුල ලෙස සැරිසරන මෙකී නයිජීරියානුවන් මේ වන විට වත්තල, ජාඇළ, මීගමුව පෙදෙස් දක්වාත් විසිරි සිටින බව විමර්ශන නිලධාරින් විසින් හඳුනාගෙන ඇත. මීට වසර හතරකට පහකට පෙරදී සංචාරක වීසා හෝ මෙරට ප්‍රමුඛපෙළේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල හැදෑරීම් සඳහා ශිෂ්‍ය වීසා ගෙන මෙරටට පැමිණ සිටින මෙකී නයිජීරියානුවෝ වීසා අවසන් වීමෙන් පසුව නීතිවිරෝධි ලෙස රැඳී සිටිමින් සිදු කළ ජාවාරම් පිළිබඳව සිළුමිණ පුවත්පතද අවස්ථා ගණනාවකදීම විශේෂාංග ලිපි මඟින් සමාජය දැනුම්වත් කර ඇත. වරක් 36 හැවිරිදි වියේ පසුවූ නයිජීරියානු ජාතික එම්බුවා ඔගස්ටිනි නමැත්තා සමඟ තවත් නයිජීරියන් ජාතිකයන් දෙදෙනකු සිදු කළ වංචාවක් නීතියේ රැහැනට හසුකර ගත්තේ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසිනි. බොරලැස්ගමුව සහ දෙහිවල ප්‍රදේශවල සිටි එම පිරිස සිංහල බස මනා ලෙස හැසිරවීමට හැකි අයවලුන්ය. ඔවුන් රැඳී සිටියේ වලංගු වීසා බලපත්‍රද නොමැතිව නීති විරෝධි ලෙසිනි. තිදෙනා අත්අඩංගුවට පත් මොහොතේ එකිනෙකා නොහඳුනන ලෙස හැසිරුණත් තිදෙනා කලෙක සිටම මෙරට රැඳී සිටිමින් විවිධ වංචනික ක්‍රියාවන් සිදු කර තිබිණි. එහිදී ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂයෙන් කාන්තාවන් හඳුනාගෙන මුලින් හිතවත්කමක් ගොඩනඟා ගෙන එම වංචනික ක්‍රියාවන් සඳහා මුල පුරා ඇති බව අනාවරණය වී ඇත.

"මම නයිජීරියාවේ විශාල කොම්පැනියක අයිතිකාරයෙක්... මට විශාල දේපළක් තියෙනවා... ළඟදීම මං ලංකාවට පැමිණ ඔයා මැරි කරනවා. මම ලංකාවට ආවට පස්සෙ වියදම් කරන්න ඔයාගේ නමින් ගිණුමක් ආරම්භ කරන්න. ඒ ගිණුමට ඒ.ටී.එම් කාඩ්පතකුත් ගන්න. ඒ ගිණුමට මම සල්ලිත් දාන්නම්. ඔයාගේ නමින් මගේ පාවිච්චියට දුරකතන සිම්පතකුත් අරන් දෙන්න. මං ලංකාවට එනකල් ඔය හැම දෙයක්ම ලංකාවේ ඉන්න මගේ නියෝජිතයාට දෙන්න. මං එයාව එවන්නම් ඔයා හමුවෙන්න..." ආදි වහසි බස් කියමිනි.

හැබැහින් නොදුටු එම පුද්ගලයාගේ කීම මත ඔහුගේ නියෝජිතයා ලෙස පැමිණෙන තැනැත්තාට එම කාන්තාවන් විසින් තමා විවෘත කළ ගිණුමේ ඒ.ටී.එම් කාඩ්පත සහ දුරකථන සිම්පතද ලබා දී ඇත.

එම වංචාව පිළිබඳව පොලිස් විමර්ශනවලදී හෙළි වූයේ කෝටිපතියාත් නියෝජිතයාත් එකම පුද්ගලයකු බවත් ඔවුහු මෙරට රැඳී සිටින බවයි. එම නයිජීරියානුවා බැංකු ගිණුම මෙන්ම දුරකථන සිම්පතද භාවිත කරමින් සමාජ ජාලා දුරකතන මාධ්‍ය ඔස්සේ පණිවිඩ, ඊමේල් මෙන්ම දුරකතන පණිවිඩ ද මෙරට ඇතැම් දෙනාට යවමින් සඳහන් කරන්නේ, "මං අහවල් කොම්පැනියෙන් කතා කරන්නෙ... ඔයාට ලක්ෂ ගාණක දිනුමක් ඇදිලා තියෙනවා...නැතිනම් ඔයාට ත්‍යාගයක් එවලා තියෙනවා... ඒක අහවල් තැන තියෙන්නෙ... ඒක ඔයාට ලැබෙන්න සලස්වන්නම්... හැබැයි අපට මුදලක් එවන්න ඕනෙ..."වැනි ප්‍රකාශයි.

අනතුරව කාන්තාවගෙන් ලබාගත් ගිණුම් අංකය එකී උපක්‍රමයට කොටු කරගන්නා පුද්ගලයාට ලබා දෙයි. එසේ ඔහු තව තවත් අයට පවසන්නේ,

"ඔයාට තෑග්ගක් එවලා තියෙනවා... පනස්දාහක් හැටදාහක් ගෙවන්න වෙනවා... ඒක මං මේ කියන ගිණුමට දාන්න.... එතකොට අපට තෑග්ග ගෙදරටම එවන්න පුළුවන්." යනුවෙනි.

මෙවැනි වංචාවන් රැසක්ම පසුගිය කාලයේ මෙරට රැඳී සිටි නයිජීරියන් ජාතිකයන් විසින් සිදුකර තිබිණි.

මාධ්‍ය මඟින් කෙතරම් ජනතාව දැනුම්වත් කළද නයිජීරියානුවන්ට රැවටෙන ජනයාගේ අඩුවක් නම් නොමැති බව විමර්ශන අංශ පෙන්වා දෙති. එසේම නයිජීරියානු ජාවාරම්කරුවන්ගේ වංචාවන්ට බොහෝ අවස්ථාවලදී හසුවී සිටින බවටත් සැලවෙන්නෙ සමාජයේ වැදගත් රැකියාවන්හි නිරත වන වෛද්‍යවරු, ඉංජිනේරුවන්, ගණකාධිකාරිවරුන් වැනි මෙකී නොකී යමක්-කමක් තේරෙන ඇති-හැකි උදවිය වීම ද විශේෂත්වයකි.

වංචාකාර නයිජීරියානුවන් පසුපස පසුගිය කාලය පුරා හඹා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය මෙන්ම මිරිහාන විශේෂ විමර්ශන ඒකකයන්හි නිලධාරින් අනාවරණය කරගෙන ඇති ආකාරයට 100කට ආසන්න නයිජීරියානුවන් පිරිසක් මෙරට තුළ නීති විරෝධි ලෙස රැඳී සිටින බවට වාර්තා වේ. ඒ බොහෝ දෙනෙකුට සිංහල බස ද මනා ලෙස හැසිරවිය හැකිවීම මෙරැටියන් ජාවාරම් සඳහා හසුකර ගැනීමට ඔවුනට මනා රුකුලක් වී ඇත.

පසුගිය කාලය පුරාම සිදු කළ ජාවාරම් නිසා අත්අඩංගුවට පත් නයිජීරියානුවන් මෙන්ම මෙරට තුළ ආගමන විගමන පනත් උල්ලංඝනය කරමින් නීති විරෝධි ලෙස රැඳී සිටින විදේශිකයන් රඳවා තබන ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් පාලනය කරන මිරිහාන විශේෂිත රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින විදේශිකයන් සංඛ්‍යාව 87කි. ඒ අතරින් 44 දෙනෙක් නයිජිරියානුවන්ය. එම නයිජීරියානුවන් පිරිසෙන්ද 28 දෙනෙකුට මෙරටදී සිදු කළ ජාවාරම් නිසාවෙන් නඩු කටයුතු පවතින බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බී. ජී. ගයාන් මිලින්ද සිළුමිණට පැවැසුවේය.

එම රැඳවුම් ස්ථානයෙන් පලා යමින් දිගින් දිගටම මෙකී නයිජීරියානුවන් නීතිවිරෝධි ජාවාරම්හි නිරත වීම මෙරට ජනයාට මහත් හිසරදයකි. එම නිසා පසුගියදා ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයාට උපදෙස් දී තිබුණේ එම පිරිස මෙරටින් පිටුවහල් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි. ඒ පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද සිළුමිණට කීවේ, “මිරිහානේ එම රැඳවුම් මධ්‍යස්ථානයේ ආගමන විගමන පනත උල්ලංඝනය කිරීම නිසා රඳවා සිටින විවිධ රටවලට අයත් 87 දෙනෙක් පමණ සිටිනවා. ඒ සංඛ්‍යාව දිනෙන් දින වෙනස් වෙනවා. ඒ අතර නයිජීරියානුවන් 44 දෙනෙක් සිටිනවා. ඉන් 28 දෙනෙකුට සිදුකර තිබෙන වංචාවන් නිසා මෙරට අධිකරණවල නඩු කටයුතු පවතිනවා.

ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ගෙන එම කටයුතු ඉක්මනින්ම අවසන් කර පිරිස මෙරටින් යැවීමට අපි කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයත් එහි ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගෙන් විශාල සහායක් අපට ලැබෙනවා.“

එම රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින විදේශිකයන් නඩත්තුව සඳහා මසකට රුපියල් මිලියන 22කට අධික මුදලක් වැය වේ. ඒසා මුදල් කන්දරාවක් වැය කරමින් නීතිවිරෝධි මෙකි විදේශිකයන් මෙරට රඳවාගෙන සිටීම රටටම මහත් බරකි. එම නිසා හැකි ඉක්මනින් එම පිරිස මෙරටින් පිටුවහල් කළ යුතු වේ. එසේම එම කඳවුරේ නිසි ආරක්ෂාවක් නොමැති වීම නිසා මෙකී විදේශිකයන් සිතූ සිතූ අවස්ථාවන්හි එම මධ්‍යස්ථානයෙන් බැහැරට ගොස් සිදු කරන වංචාවන් ගැන ද පසුගිය කාලයේ අසන්නට ලැබිණි. ඒ පිළිබඳවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ,

“ඇත්තටම මුලින් එතැන නිසි ආරක්ෂාවක් තිබුණේ නෑ... පෞද්ගලික ආරක්ෂක ආයතනයකින් කටයුතු කළේ. එහෙත් 2020 ජනවාරි 01 වැනිදා සිට එම ස්ථානයේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් පාලනය වන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සිදු වෙන්නෙ. පරිපාලනය පමණයි ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් සිදුකරන්නෙ.“

නඩු කටයුතු අවසන් වූ සැණින් මෙකී නයිජීරියානුවන් පිරිස මෙරටින් පිටුවහල් කිරීම රුපියල් කෝටි 4කට අධික මුදලක් වැය වන බවටත් ගණන් බලා ඇත. මෙලෙස නීතිවිරෝධි ලෙස මෙරට තුළ රැඳී සිටින සියලුම විදේශිකයන්ට එරෙහිව නීති දැඩි කරමින් කිසියම් අයෙක් නිතීවිරෝධි ලෙස මෙරට රැඳී සිටියහොත් අය කරනා දඩ මුදල ඩොලර් 500ක් දක්වා ඉහළ නංවා ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද කීවේය. කෙසේ හෝ නයිජිරියානුවන් මෙරට අතහැර සිය මවුරටට යෑමට බොහෝ සේ මැළිකමක් දක්වන බවටත් සැල වේ. රටේ ජනතාවගේ ජීවන බරට තවත් අමතර බරක් එක්කරනා මෙකී විදේශිකයන් හැකි ඉක්මනින්ම මෙරටින් පිටුවහල් කිරීමට ජනපතිවරයා ගත් තීන්දුව අගය කළ යුතුය. එය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීම නිලධාරින්ගේ පරම වගකීම බව අපි ද පසක් කරන්නෙමු.

 

Comments