
සිරකරුවෝද මනුෂ්‍යයෝය. නමුත් අපේ සිරකරුවන් සියලු දෙනා පසුගිය කාලයේ සිරගෙවල්වල සිටියේ පුදුම තදබදයකිනි. මේ නිසා සමහර සිරකරුවන්ට රාත්‍රි නිදා ගැනිමට සිදුවූයේ ‘රොස්ටර්’ ක්‍රමයට හෝ හරහටය.
ඒ සමඟම මේ තදබදය නිසා වැසිකිළි කැසිකිළි පහසුකම් ස්නානය කිරීමේ පහසුකම් පිළිබඳ වන ගැටලු රැසක් ඇති විය. අවසානයේ කෝවිඩ් 19 නිසාද සිරකරුවන්ට දුක් විඳින්නට සිදුවිය.
නමුත් මේ ගැටලු සියල්ල විසඳීමට රජය පසුගිය මාස 15 ඇතුළත “යුතුකම්” රැසක් ඉටුකර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ, අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ හා අධිකරණ ඇමැති අලි සබ්රිගේ මෙහෙයවීමෙන් දැන් මෙරට බන්ධනාගාරවල රැඳවියන්ට උපරිම පහසුකම් ලබාදීමට ඔවුන්ගේ ආරක්ෂාව සැලසීමට හා සුළු වැරැදි සහිත දඩ මුදල් ගෙවීමට අපහසු රැඳවියන් කොන්දේසි මත අවවාද කොට නිදහස් කිරීමට කටයුතු යොදා ඇත.
අපේ රටේ බන්ධනාගාර පිහිටුවීමේ ඉතිහාසය 1844 දක්වා අතීතයට දිව යයි. ඒ අනුව 1844 අංක 18 දරන බන්ධනාගාර පනත අනුව වැලිකඩ බන්ධනාගාරය 1844 පිහිටුවා ඇත. 1869 දි බන්ධනාගාර නිලධාරින්ට නිල ඇඳුම් පද්ධතියක් සකස් කිරීම ද විනය කොමිෂන් සභාවක් පිහිටුවීම ද සිදුවිය.
1875දි මහර බන්ධනාගාරය පිහිටුවා ඇති අතර 1876දි බෝගම්බර බන්ධනාගාරය ද පිහිටුවන ලදි. 1900දි මහර ගල්වළේ සිරකරු කෝලාහලයක් ඇති විය.
සිරකරු සුබ සාධනයට නව පස් අවුරුදු සැලැස්මක්
1906දි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර වෙනම දෙපාර්තමේන්තුවක් බවට පත්කරන ලදී. 1932දි මැගසින් බන්ධනාගාරය පිහිටවූ අතර 1946දි පරිවාස සේවය ආරම්භ විය. 1950දි ආසියාවේ ප්‍රථම එළිමහන් සිර කඳවුර පල්ලෙකැලේ පිහිටුවා ඇත. තරුණ වරදකරුවන් පිළිබඳ විශෝධන මධ්‍යස්ථානය මීගමුවේ ආරම්භ කළ අතර ඉන්පසු අනුරාධපුරය, මඩකලපුව, ගාල්ල, බූස්ස, මාතර, තංගල්ල, යාපනය වැනි ප්‍රදේශවල සිර කඳවුරු පිහිටුවිය. මෙරට කලක් නැතිව තිබූ මරණීය දණ්ඩනය 1960දි යළිත් නීතිගත කළ අතර 1976දි පල්ලන්සේන එළිමහන් තරුණ විශෝධන මධ්‍යස්ථානය විවෘත වී ඇත. 1993 කුරුවිට වැඩ කඳවුර ද 2002දි වාරියපොළ එළිමහන් කඳවුර ද පිහිටුවා ඇත.
2017දි අගුණකොළපැලැස්ස රිමාන්ඩ් බන්ධනාගාරය නවීන පහසුකම් සහිතව විවෘත කර ඇත. එය 2010 - 2015 රජය මඟින් ඉදිකළ නවීන බන්ධනාගාරයකි.
සිරකරු සුබසාධනය හා පුනරුත්ථාපනය පිළිබඳ අපට අදහස් දැක්වූ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක හා බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක පැවසුවේ 2019දි අපේ රටේ බන්ධනාගාරවල විත්තිකරුවන් රිමාන්ඩ් කළ අය හා සැකකරුවන් 32,000ක් සිටියත් පසුගිය මාස 15 ඇතුළත ඒ ප්‍රමාණය 19,000 දක්වා අඩු කරන්නට කටයුතු කර ඇති බවයි.
“ගරු ජනපතිතුමාගේත්, අගමැතිතුමාගේත්, අධිකරණ ඇමැති අලි සබ්රිගේත් උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණා. 2020 පටන්ගන්න කොට බන්ධනාගාරවල සිරමැදිරිවල සිටියේ විත්තිකරුවන් හෙවත් වැරදිකරුවන් 6000 - 7000 ක් පමණයි. වැඩිපුර හිටියේ සැකකරුවන් හා රිමාන්ඩ් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතවූ අයයි. ඒ අය අතරින් සුළු වැරැදි තිබුණු අයත් දඩ ගෙවා ගන්න බැරිවූ අයත් යම් යම් කොන්දේසි මත ජනපතිගේ බලතල හා උපදෙස් අනුව නිදහස් කිරීමට කටයුතු කළා. ඊට අමතරව තවත් පිරිසකට ඇප කොන්දේසි ලිහිල් කර ඇප ලබා දුන්නා. ඒ අනුව තමයි රටේම බන්ධනාගාරවල 2019 සිටි 32,000 පිරිස දැන් 19,000 දක්වා අඩුවී ඇත්තේ.
මේනිසා බන්ධනාගාරවල තදබදය අඩු වුණා. කෝවිඩ් 19 තර්ජනය අඩුවුණා. හුඟාක් ප්‍රශ්න විසඳුණා. පරිපාලනයත් පහසු වුණා.
“වත්මන් අධිකරණ ඇමැතිතුමාගේ උපදෙස් මත අලුත් බන්ධනාගාර සංකීර්ණයක් දැන් හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. වැලිකඩ හිරගෙදර රිමාන්ඩ් බන්ධනාගාරය, කාන්තා බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය, බන්ධනාගාර රෝහල ආදී සියලු ආයතන හොරණ මිල්ලෑවට ගෙන යාමට අපි සූදානම්.”
“මේ නව හොරණ බන්ධනාගාර සංකීර්ණය තුළ සිරකරුවන්ට ජගත් මට්ටමේ පහසුකම් ලබාදෙනවා. නෙල්සන් මැන්ඩෙලා රීතිය අනුවයි අපි මේ බන්ධනාගාරය ඉදිකිරීම හා පහසුකම් සැලසුම් කරන්නේ. නාගරික සංවර්ධන අධිකාරියෙන් මෙය ඉදිකරන අතර එහි වැඩකටයුතු ඉදිරි මාසය ඇතුළත ආරම්භ කිරීමට සූදානම්. ඊට අමතරව දකුණේ අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය ද නවීන පහසුකම් ඇතිව දැන් ඉදිවී තිබෙනවා. මහර පල්ලෙකැලේ හා නවබෝගම්බර බන්ධනාගරයන් වලද ජගත් ප්‍රමිතිය අනුව සිරකරුවන්ට පහසුකම් සලසන්න කටයුතු කරනවා.” යැයිද බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි.
දැනට වසර 100කට පමණ පෙර ආරම්භ කළ සමස්ත ලංකා සිරකරු සුබසාධන සංගමයේ උපලේකම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දිනී ජේ. ශීලා වික්‍රමරත්න පවසන්නේ බන්ධනාගාර ගතවුවන් සංඛ්‍යාව 32,000 සිට 19,000 දක්වා අඩු කිරීමට රජය ගෙන ඇති පියවර නිසා බන්ධනාගාරයේ සිටින හා ඉන් පිටතට ගිය රැඳවියන්ට හා සිරකරුවන්ට විශාල සහනයක් ලැබුණු බවයි.
“අපි මේ වැඩපිළිවෙළ අගය කරනවා. හුඟාක් කල් ඉඳන් ඉල්ලපු ඉල්ලීමක් මේක. මේ නිසා බන්ධනාගාරවල තදබදය අඩුවෙලා. කෝවිඩ් රෝගාබාධ වැලඳීමත් අඩුයි. සුබ සාධනයත් හොඳින් සිදුවෙනවා. ඒ සමඟම හොරණ ප්‍රදේශයේ නව බන්ධනාගාර සංකීර්ණයක් ඉදිකිරීමත් අගය කළ යුතුයි. දැනට වැලිකඩ, මැගසින්, රිමාන්ඩ් හා කාන්තා බන්ධනාගාර කොළඹ බොරැල්ල ප්‍රදේශයේ සිරවී තිබීම නිසා ප්‍රශ්න ගොඩක් ඇතිවී තිබෙනවා. මේ බන්ධනාගාර හොරණට ගෙන ගිය විට ප්‍රශ්න ගොඩක් අඩුවේවි. කෙසේ වුවත් හොරණ අලුත් බන්ධනාගාරය ඉදිවූ පසු එයට යාමට ඒමට පොදු ප්‍රවාහන පහසුකම් රජය සැලසිය යුතුයි.”
“ඒ සමඟම වයස 16 - 21 අතර තරුණ පිරිසටත් වෙනම බන්ධනාගාරයක් ඇති කළොත් අභ්‍යන්තර ගැටුම් හා ආරවුල් අඩුවේවි. එමෙන්ම නඩු ප්‍රමාද වීම අඩු කළොත් බන්ධනාගාර ගතවන සැකකරුවන් ප්‍රමාණය ද අඩුකර ගත හැකි යැයි ශීලා වික්‍රමරත්න පවසන්නීය. බන්ධනාගාර සුබ සාධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනරාල් වී.ආර්. සිල්වා පවසන්නේ පසුගිය වසර ඇතුළත ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව බන්ධනාගාර තබදය අඩු කිරීමට උපරිම ලෙස පියවර ගත් බවයි.
“ඒ අනුව සුළු වැරදි කළ හා දඩ මුදල් ගෙවීමට බැරිවූ අය යම් යම් කොන්දේසි ඇතිව නිදහස් කළා. ඊට අමතරව සමහර වැරදිකරුවන්ට ඇප කොන්දේසි ලිහිල් කරලා ඇප දුන්නා. හොරණ මිල්ලෑවේ අලුත් බන්ධානාගාර සංකීර්ණයක් ඉදිවෙනවා. එවිට වැලිකඩ හා මැගසින් බන්ධනාගාරවල තදබදය බොහෝවිට අඩු වේවි. ඒ අනුව එම සිරගෙවල්වල සිරකරුවන්ට අක්කර 200 ක භූමි භාගයක තදබදයක් නැතිව කටයුතු කරන්න ඉඩ ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි බන්ධනාගාර රෝහල සහ කාන්තා බන්ධනාගාරයත් හොරණට ගෙනයන්න අප සූදානම්. හොරණ බන්ධනාගාර සංකීර්ණය අදියර තුනකින් තමයි ඉදිවන්නේ. ඉදිකිරීම් කටයුතු ලබන මාසයේ ආරම්භ කිරීමට යෝජිතයි. මෙය මෙරට ලොකුම බන්ධනාගාර සංකීර්ණය වෙනවා.”
“මීට අමතරව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ හා මත්ද්‍රව්‍ය සම්බන්ධව වැරදිකරුවන් 500ක් පමණ පුනරුත්ථාපනය කිරීමට වීරවිල එළිමහන් සිරකඳවුරේ අලුත් වැඩසටහනක් අපි ආරම්භ කරනවා. ඒ වගේම අපේ රටේ බන්ධනාගාරවල ඇතුවන ගැටුම්, කලකෝලාහල ක්ෂණිකව විසඳීමට විශේෂ පුහුණු ආරක්ෂක බළකායක් දැන් පිහිටුවා තිබෙනවා. ඒ සඳහා ආරක්ෂක හමුදාවලින් විශ්‍රාම ගිය හමුදා නිලධාරින් එක්කර ගැනීම සිදු කරනවා” යැයි රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් වී.ආර්. සිල්වා කියයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ට අනුකූලව මෙරට සිරකරුවන්ට සහන සැලසීමට මෙන්ම සැකකරුවන් බන්ධනාගාර ගතවීමේ කාලසීමාව අඩු කිරීමට ඉක්මනින් නඩු විසඳීම සඳහා අධිකරණ අමාත්‍යාංශය කටයුතු රැසක් ක්‍රියාත්මක කරයි. ඒ පිළිබඳව කරුණු දක්වන අධිකරණ අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් නීතිඥ නලීන් සමරකෝන් පවසන්නේ 2021 සිට 2025 දක්වා කාලසීමාවේදී සිරකරුවන්ගේ අයිතිවාසිකම් පදනම් කරගත් නව පස් අවුරුදු ප්‍රතිසංස්කරණ සැලසුමක් ක්‍රියාත්මක කරන බවයි.
“නෝර්වේ රාජ්‍යය ඒ සඳහා ආදර්ශයක් කරගෙන සිරකරුවන්ගේ සුබ සාධනය මඟින් ආර්ථිකයට ගන්න පුළුවන් දායකත්වය පිළිබඳව මෙහිදී ප්‍රමුඛ අවධානය යොමු කරනවා. මෙම බන්ධනාගාර හා සිරකරුවන් පුනරුත්ථාපනය ගැන ක්‍රියා කිරීමේදී ප්‍රධාන ලෙසම අපි නෙල්සන් මැන්ඩෙලා රීතිය හා බැංකොක් රීතිය පදනම් කරගෙනයි කටයුතු කරන්නේ.
අලුත් පස් අවුරුදු සැලැස්මේදි ප්‍රධාන ලෙස කරුණු 9ක් කෙරෙහි අපි විශේෂ අවධානය යොමු කරනවා. ඒ අනුව බන්ධනාගාර තදබදය අවම කිරීමටත්, බන්ධනාගාර කළමනාකාර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටත්, බන්ධනාගාර නිලධාරීන්ගේ ධාරිතාව වැඩි කිරීමටත් ප්‍රමුඛත්වය දෙනවා.
අලුත් වැඩපිළිවෙළ ගැන සිරකරු සුබසාධන සංගම් සතුට
ඊට අමතරව බන්ධනාගාර නියාමන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන අතර බන්ධනාගාරවල ආරක්ෂක කටයුතු ශක්තිමත් කිරීමද සිදුකරනවා. රැඳවියන්ගේ සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීමටත් වරදකරු පුනරුත්ථාපන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටත් ඒ මගින් එම ශ්‍රම බළකාය ඵලදායි ලෙස ප්‍රයෝජනයට ගැනීමටත් අපේක්ෂා කරනවා. ඊට අමතරව බන්ධනාගාර ගතවූ කාන්තාවන්ට හා තරුණයන්ට විවිධ ක්ෂේත්‍ර පිළිබඳ පුහුණු කටයුතු විධිමත් ලෙසකිරීමටත් යෝජිතයි.
“බන්ධනාගාර තදබදය අඩු කිරීමට කරුණු 3ක් යටතේ කටයුතු කරනවා. ඒ අනුව බන්ධනාගාර ආඥා පනත සංශෝධනය කිරීම, යටිතල පහසුකම් ලබාදීම, නව තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම මෙහිදී සිදු කරනවා.
හොරණ මිල්ලෑව බන්ධනාගාර ව්‍යාපෘතියේ සම්පූර්ණ වටිනාකම කෝටි 3000කි එහි වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිරකරුවන් සඳහා අක්කර 59ක් වෙන්වේ. සිරකරුවන් 3500ක් සඳහා ඉඩකඩ ඇතිකෙරේ.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින පිරිස සඳහා අක්කර 41ක් වෙන් කෙරේ. එම කොටසේ රැදවියන් 2500ක් සඳහා ඉඩකඩ වැඩි කෙරේ. මෙහි ඉදිකරන නව මැගසීන් බන්ධනාගාරයට අක්කර 36ක්ද. කාන්තා බන්ධනාගාරයට අක්කර 27ක්ද වෙන්කෙරේ.
ඒ සමඟම බන්ධනාගාර රෝහලට අක්කර 9ක භූම්යක්ද ඇදන් 600ක් සහිත ගොඩනැගිලි ඉදිකිරීමට යෝජිතය. බන්ධනාගාර පුහුණු පාසලටද හොරණ මිල්ලෑව බන්ධනාගාර ව්‍යාපෘතියේ අක්කර 17ක් පමණ වෙන්කෙරෙන බව අධිකරණ අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම් නීතිඥ නලීන් සමරකෝන් පවසයි.
2021 වසරේදී යාපනය, පල්ලෙකැලේ, අගුණකොළපැලැස්ස, වාරියපොළ බන්ධනාගාරවල භෞතික සංවර්ධනය සඳහා විශාල මුදලක් වැය කරනවා. ඒ අනුව ඉදිරියේදී බන්ධනාගාර සිරකරුවන්ට පහසුකම් රැසක් ලැබේවි. වැලිකඩ බන්ධනාගාරයේ දැනට එක් සිරකරුවෙක් ඉන්න ඕන ඉඩකඩේ සිරකරුවන් 4 දෙනෙක් ඉන්නවා. වැලිකඩ බන්ධනාගාරය හොරණට ගියහම මේ ප්‍රශ්න මග හැරේවි” යැයි නීතිඥ නලීන් සමරකෝන් පවසයි. මේ සියලු කටයුතු මඟින් සිරකරුවන්ට මනුෂ්‍යයන් ලෙස සැලකීම තවත් දියුණුවී ඔවුන් සැමට සුබ අනාගතයක් ලැබෙනු නොඅනුමානය.