සුදු­සුම රස්සා­ව­කට යන්න මෙන්න අලුත්ම අත හිත | සිළුමිණ

සුදු­සුම රස්සා­ව­කට යන්න මෙන්න අලුත්ම අත හිත

 

ස්සාවක් නැති අපේ තරුණ තරුණියන්ගේ ප්‍රමුඛ අරමුණ රස්සාවක් ලබා ගැනීමයි. සමහරුන්ට විවිධ සහතික තම උසටත් වඩා තිබුණත් මෙරට වැඩිපුර ඇති වෘත්තීය පුහුණුව අවශ්‍ය රැකියාවලට ඔවුන්ට ඉල්ලුම් කළ නොහැක.

ඒ අඩුපාඩුව සපුරමින් රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ටත් ඔවුන්ගේ කැමැත්ත අනුව වෘත්තීය මාර්ගෝපදේශන මඟින් රැකියාවක් ලබාදීම පහසු කරන වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මක වෙයි.

අපේ තරුණ ගැටලු අවම කරන තරුණයන්ට අලුත් ජවයක් සමඟ සුබ අනාගතයක් ඇති කරන මේ නව වැඩපිළිවෙළ වනාහි ‘වෘත්තීය මාර්ගෝපදේශන සතියයි.’

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂයන්ගේ නායකත්වය ඇතිව ක්‍රියාත්මක මෙම වැඩසටහන මගින් මෙවර තරුණ තරුණියන් 30,000කට පමණ ඍජුවම සෙත සැලසී තිබේ.

“රටට බරක් නොවී - ඔබට සරු හෙටක්” යන තේමාව සමඟම “රට ණය නැති වැඩ කරන පරපුරක්’ යන තේමාවන් ඔස්සේ ක්‍රියාත්මක මෙම වැඩසටහන මගින් තරුණ අසහනය අඩු කිරීමට හොඳ අඩිතාලමක් ලැබිණි.

කොවිඩ් - 19 නිසා සිය අනාගතය පිළිබඳව අවිනිශ්චිතව ගෙදරටවී ගත කළ තරුණ පරපුරට සිය අනාගතය පිළිබඳ තීරණය කළ හැකි ‘වෘත්තීය මාර්ගෝපදේශන සතිය’ පසුගියදා ආරම්භ වූයේ තරුණ තරුණියන් 40,000ක සහභාගිත්වයෙන් යුතුවය.

දිස්ත්‍රික් 25 පුරාම මාර්ගගත ක්‍රමයට පවත්වන ලද මෙම වැඩසටහනේ සුවිශේෂත්වය වනුයේ මේ වැඩසටහන මගින් නව යොවුන් තරුණ පරපුරේ ගැටලු හා අරමුණු හඳුනාගෙන ඒ පිරිසට යහපත් සුබ අනාගතයක් සැකසීමට මූලික අඩිතාලමක් දැමීම බව මෙම වැඩසටහන මෙහෙයවූ මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල ප්‍රනාන්දු පවසන්නීය.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය හා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක විය. දිස්ත්‍රික් 25 ප්‍රාදේශීය ලේකම් කාර්යාල 233ක උදව් ඇතිව පැවැත්වූ මෙම සතිය පසුගිය ඔක්තෝබර් 4 සිට 10 දක්වා පැවැත්විය.

විරැකියාව අවම කර රැකියා නියුක්තිය වැඩි කිරීම මගින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ ප්‍රධාන අරමුණ ඇතිව ක්‍රියාත්මක වූ මේ සති වැඩසටහන තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලැබීය.

මෙම වැඩසටහන පිළිබඳව කරුණු දක්වන තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂයන් පවසන්නේ රටේ ශ්‍රම බළකා‍ය තාක්ෂණය මුසුවූ බහුවිධ කුසලතාවයෙන් සවිබල ගැන්වීම කාලීන අවශ්‍යතාවක් බවයි. මේ පිළිබඳව තවදුරටත් කරුණු දැක්වූ නාමල් රාජපක්ෂයන් තවදුරටත් පවසන්නේ ජනාධිපතිතුමාගේ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය වන ‘සෞභාග්‍යයේ දැක්ම” අනුව ශ්‍රම බළකාය කුසලතා නිපුණතා හා තාක්ෂණික ඥානයෙන් පිරිපුන් මිනිස් බළකායක් ලෙස සවිබල ගැන්වීම මූලික අපේක්ෂාව වී ඇති බවත් එය ඉටුකර ගැනීම පිණිස මේ සතිය ඉතා වැදගත් වන බවයි.

මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව වර්තමාන රජයේ, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ මානව සම්පත සංවර්ධනය සඳහා ශ්‍රම බළකාය තාක්ෂණය මුසු වූ බහුවිධ කුසලතාවයෙන් සවිබල ගන්වමින් විරැකියාව අවම කර රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

ශ්‍රී ලංකාවේ බහුතරයක් උපාධිධාරින්ට සුදුසු රැකියා සොයාගැනීමේ ගැටලුව උද්ගත වී ඇත්තේ නිවැරදි වෘත්තීය මාර්ගෝපදේශයක් නොලැබීම හේතුවෙනි. තමන් කුමන රැකියාවක් කළ යුතු ද කුමන පාඨමාලාවක් හැදෑරිය යුතුද යන දර්ශනය ගොඩනඟාගැනීමේ වෘත්තීය මාර්ගෝපදේශනය අවශ්‍යයි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා අනුමත රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශ ආදී සියලුම ආයතන මගින් අවශ්‍ය දායකත්වය හා සහයෝගය ලබා ගනිමින් ඒකාබද්ධ ප්‍රවේශයකින් යුතුව ආර්ථික, සාමාජයීය හා සංස්කෘතිමය වශයෙන් තාත්වික හා ප්‍රායෝගික ලෙස අරමුණු සාක්ෂාත් කර ගැනීමේ අපේක්ෂාවෙන් යුතුව වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම මෙම සතියේ අරමුණවූ බවද නාමල් රාජපක්ෂ ඇමැතිවරයා පවසයි.

මේ පිළිබඳව කරුණු දක්වන මෙම වැඩසටහන මෙහෙයවූ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල ප්‍රනාන්දු පවසන්නේ මෙරට කොවිඩ් සමයේ මාර්ගගතව පැවැති වැඩිම පිරිසක් සහභාගිවූ රජයට සම්බන්ධ ආයනයක් මෙහෙයවූ සාර්ථකම වැඩසටහන ලෙස මෙම වෘත්තීය මා‍ර්ගෝපදේශන සතිය හැඳින්විය හැකි බවයි.

“වෘත්තීය මාර්ගෝපදේශනය පාසල් කාලයේ සිටම කළ යුතුයි. නමුත් ඒ පිළිබඳව පාසල් දරුවන්, තරුණ තරුණියන්, දෙමාපියන් දැනුම්වත් මදි. අපේ දෙපාර්තමේන්තුවට අනුබද්ධව සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම නිලධාරීන් සිටියත් පසුගිය වසර 10 තිස්සේම වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම ඉතා අඩුයි. ඒ නිසා වෘත්තීය මාර්ගෝපදේශනය දීපව්‍යාප්තව ජනතාව අතරට ගෙන යාමට මෙවැනි සතියක් ආරම්භ කළ යුතුයි කියලා අප අදහස් කළා. එයට නාමල් රාජපක්ෂ ඇමතිවරයාගේත්, අනුරාධ විජේකෝන් අමාත්‍යාංශ ලේකම්වරයාගේත් පූර්ණ සහාය ලැබුණා. ඒ අනුව දීපව්‍යාප්තව ක්‍රියාත්මක කළ වෘත්තීය මාර්ගෝපදේශන සතිය ඔක්තෝබර් 04 - 10 දක්වා සාර්ථකව පැවැත්වුණා. මේ වැඩසටහන මෑත කාලයේදී අඩු වියදමකින් අඩු සංවිධාන කාලයකින් අඩු ශ්‍රමයකින් හා අඩු පිරිසකගේ මෙහෙයවීමෙන් පැවැත්වූ ඉතා සාර්ථක වැඩසටහනක්. මෙයට 40,000ක් ඉල්ලුම්පත් ලැබුණු අතර එයින් 30,000ක් ඉදිරි වැඩකටයුතු සඳහා අප තෝරා ගත්තා.”

මෙයින් අප පෙන්නුම් කළ තව දෙයක් වුණේ කොවිඩ් - 19 පිළිබඳව බය වෙලා හැංඟිලා ඉන්න අවශ්‍ය නැහැ. නව තාක්ෂණයට අනුව අපිට මාර්ගගතව දීපව්‍යාප්තව රටපුරා සාර්ථක වැඩසටහන් කරන්න පුළුවන් බවයි.

“අපේ රට දුප්පත් බවින් තිබිය යුතු රටක් නෙවෙයි. සරුසාර පොළොවක් සමඟ ජවසම්පන්න මානව සම්පතක් අපට තිබෙනවා. ඒ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්න මෙවැනි මාර්ගෝපදේශන සති ඉතා වැදගත්.” අනූෂා ගෝකුල ප්‍රනාන්දු පවසන්නීය. මෙම වෘත්තීය මාර්ගෝපදේශන සති වැඩසටහනේ විනිශ්චය මණ්ඩලයට එක්වූ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සද්ධා උත්පල කන්දගේ පවසන්නේ ගමේ පිපී ගමේම පරවන මල්වැනි ගම්බද නව යොවුන් තරුණ පිරිස ලෝකයටම දස්කම් දක්වන තරුණ තරුණියන් බවට පත්කිරීමට මෙවැනි වැඩසටහන් මහඟු ආරම්භක පියවරක් බවයි.

“මේ වැඩසටහන මගින් හැංඟී තිබුණු කුසලතා වැඩිදියුණු කිරීමට මහඟු අවස්ථාවක් ඇතිවුණා. අපේ තරුණ පරපුර දන්නෙ නැහැ තමන්ට කරන්න පුළුවන් මොනවාද, තමන්ගේ හැංඟී තිබෙන දස්කම් මොනද කියලා. ඒවා උද්දීපනය කර ඉදිරියට ගෙන යාමට මෙවැනි වැඩපිළිවෙළ හුඟාක් වැදගත්. එම සතියේදී වෘත්තීය මාර්ගෝපදේශනය ගැන පමණක් නෙවෙයි තරුණ පිරිසගේ හැංඟී තිබුණු කථිකත්වය, ගද්‍ය පද්‍ය නිර්මාණාත්මක හැකියාව හා චිත්‍රකරණය වැනි දස්කම් පිළිබඳවත් මේ මගින් ඉදිරියට ගෙනයාමට පිටුබලයක් ඇති වුණා. මේක ඉතාම කාලෝචිත වැඩසටහනක්. අපට හිතෙනවා රජය මෙවැනි වැඩසටහනක් මෙතෙක්කල් සිදු නොකළේ ඇයි කියා.”

“මං මේ වැඩසටහනේ ගද්‍ය පද්‍ය පිළිබඳව විනිශ්චය කළා. එහි ප්‍රතිඵලය බලන විට අපට පුදුමයි. වැඩිපුර ජයග්‍රාහකයන් බිහි වුණේ ගම්බදින්. හොඳම කවි නිර්මාණය අපට හමුවුණේ මොනරාගලින්. ඒ අනුව මෙය ශීඝ්‍රයෙන් සමාජගත කළ යුතු වැඩසටහනක්. මේ සඳහා අප වැඩිපුරම සහභාගි කර ගත්තේ ජාතික පාසල්වල 9, 10, 11 ශ්‍රේණිවල දරුවන්. ඒ අය හුඟාක් උනන්දුවෙන් මේ වැඩසටහනට එක්වුණා. මා හිතන්නේ ඉස්සර පාසල්වල තිබුණු ප්‍රාග් වෘත්තීය වැඩසටහන් යළි පාසල්වල ආරම්භ කළ යුතුයි. ඒවා නැතිවීම නිසයි අද සා.පෙළ හා උ.පෙළ හොඳින් සමත් වුණත් තරුණයන් රැකියා සොයමින් අතරමං වන්නේ.” කථිකාචාර්ය සද්ධා උත්පල කන්දගේ පවසයි.

මාර්ගෝපදේශන සතිය පිළිබඳ කරුණු දැක්වූ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ වි‍ජේකෝන් පවසන්නේ මේ වෘත්තීය මාර්ගෝපදේශන සතිය කොවිඩ් - 19 හමුවේ සමස්ත රාජ්‍ය සේවයටම ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දුන් සුවිශේෂී ආදර්ශවත් වැඩපිළිවෙළක් බවයි.

“තරුණ තරුණියන් 40,000ක් මේ වැඩසටහනට සම්බන්ධ කරමින් සාර්ථකව අපි ඔප්පු කළේ කොවිඩ් වැනි වසංගත අභියෝග රටපුරා තිබුණත් රාජ්‍ය සේවයේ නිලධාරින්ට ඕනෑකමක් ඇත්නම් මාර්ගගතව ඕනෑම ලොකු වැඩක් කරන්න පුළුවන් කියලා. අපි මේ වැඩසටහනට රටේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සම්බන්ධීකරණය සිදුකළා. ඒ අනුව ගම්නියම්ගම්වල තරුණ තරුණියන් මේකට සම්බන්ධ වුණා. මේ වැඩසටහනේදී මෙරට සුප්‍රසිද්ධ විද්වත් පුද්ගලයන් පවා දේශන පැවැත්වූවා. ඒ දේශන මාර්ගගතව තරුණ තරුණියන්ට පමණක් නොව ඔවුන්ගේ දෙමාපියන්ට පවා අහන්නට බලන්නට අවස්ථාව ලැබුණා.”

“මේ වැඩසටහන මාර්ගගත ක්‍රමයට පැවැත්වීම නිසා අපට වැය වුණේ ඉතා අඩු මුදලක්. මේ සාමාන්‍ය ක්‍රමයට පැවැත්වූවා නම් ඒ වගේ තුන්හතර ගුණයක් වැය වෙන්න තිබුණා.

මේ නිසාම අපිට මේ මාර්ගගත ක්‍රමය වියදම් අඩු කාර්යක්ෂම හා ප්‍රතිඵලදායී වැඩක් බවට හැඟී ගියා. මේ වැඩසටහනට තරුණ තරුණියන්, ඔවුන්ගේ දෙමාපියන් දැක්වූ ප්‍රතිචාරයන් ඉතා ඉහළයි. මේ වැඩසටහන යටතේ දේශන වැඩිපුර පැවැත්වුණේ සවස 5 - 6 ත් අතර. ඒ නිසා ඒකට මුළු පවුලටම එක්වීමට අවස්ථාව ලැබුණා. මේ නිසාම මේ වැඩසටහනේ සාර්ථකත්වය නිසාම අප තීරණය කළා මින්පසු ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ සියලු කටයුතු 95%ක් වාගේම මාර්ගගත ක්‍රමයට කිරීමට. තරංගවල ප්‍රශ්න හා තාක්ෂණික ප්‍රශ්න ඇති දුෂ්කර ප්‍රදේශවල පමණයි මින්පසු අපි සාමාන්‍ය ක්‍රමයට සාකච්ඡා, සම්මන්ත්‍රණ හා දේශන පවත්වන්නේ. ආර්ථික, සාමාජික හා මූල්‍යමය වාසි මෙන්ම මානව සම්පත්වල වැඩි ඵලදායිත්වයක් ලබා ගැනීමටත් මේ මාර්ගගත ක්‍රමය සුදුසු බවට මේ වැඩපිළිවෙළේ ප්‍රතිඵල අනුව අපට රටටම කියන්න පුළුවන් ලේකම්වරයා පවසයි.

 

Comments