කන්තලේ ප්‍රියංකා බලංගොඩ ආවේ මරුවා තුරුලු කරගෙනද? | සිළුමිණ

කන්තලේ ප්‍රියංකා බලංගොඩ ආවේ මරුවා තුරුලු කරගෙනද?

- පෙම්වතා සමඟ ඔහුගේ නිවෙසේ ජීවත් වී ඇත්තේ දවස් 16 යි
- සුළු සුළු ආරවුල් තිබුණට ඒවා දුරදිග ගිහින් නෑ

පොඩි පොඩි දේවල්වලට අපි රණ්ඩු වුණත් ඒවා දුරදිග ගියේ නෑ; අපි ඉක්මනින් යාළු වුණා. අපි හොඳට හිටියා
- තරුණියගේ පෙම්වතා ගිහාන් උදේශ්

ප්‍රශ්න මෙහෙම කියන්න බෑ තාත්තෙ හවසට කෝල් එකක් ගන්නම් කියලා දුව කිව්වා
- ප්‍රියංකාගේ පියා අනුර බණ්ඩාර පවසයි

කන්න කතා කළාම ආවෙ නැති නිසා කාමරේ වහලෙන් බලද්දි එල්ලිලා ඉන්නවා දැක්කා
- පෙම්වතාගේ අම්මා පී. කේ. සුනීතා කියයි

‘මම බලන්ගොඩ අයියත් එක්ක යනවා.එයා හරි හොඳයි. එයා මාව හොඳට බලා ගන්නවා. මෙහෙ⁣ම කළාට මට සමා වෙන්න. ඔයාල සතුටින් ඉන්න. " යනුවෙන් සිය ජංගම දුරකථන තිරය මත සටහන් කර තබා ඔක්තෝබර් තුන්වැනිදා තමන් හදා වඩා ගත් දෙමාපියන් සහ සිය සහෝදරයා සහ සහෝදරිය අතහැර පැමිණි විසි හැවිරිදි හේරත් මුදියන්සේලාගේ දුෂානි ප්‍රියංකා නැමති තරුණිය ගේ ජීවන ඉරණම කිසිවකුටත් සිතා ගත නොහැකි අයුරින් අවසන් ව තිබුණි.

ෆේස්බුක් අද ඉතා ජනප්‍රිය ය. ලොකු කුඩා කවුරුත් සිය අදහස් නිදහසේ ප්‍රකාශ කිරීම සඳහා මෙන්ම විවිධ නිර්මාණ කුසලතා එළිදැක්වීමට ද යොදා ගන්නේ ෆේස්බුක් මාධ්‍යයයි. ඒ අතර තමන්ට ගැළපෙන ආදරවන්තයකු ආදරවන්තියක සොයා ගැනීම සඳහා ද ෆේස්බුක් භාවිත කළ අපුරු පුවතක අවසානයේ ඛේදනීය සිදුවීමක් ලෙස දුෂානි ප්‍රියංකා ගේ මරණය පිළිබඳව බලංගොඩ පොලිස් පොතේ සටහන් වන්නේ පසුගිය 19 දා රාත්‍රියේය. 

දුෂානි ප්‍රියංකා ගේ අබිරහස් මරණයේ තොරතුරු සොයා ගියේ බලංගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. ඩී. ඩී.පී. ජයකොඩි පවසන අන්දමට සිදුවීම සැකවින් මෙසේය. බලංගොඩ මස්සැන්න හෙලකන්ද නිවසක කාමරයක් තුළ තිබී තරුණියකගේ මළ සිරුරක් හමුවූ බවට බලංගොඩ පොලිස් ස්ථානයට පසුගිය 19 රාත්‍රී පැමිණිල්ලක් යොමු වෙයි. ඒ සැණින් බලංගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා දුන් උපදෙස් පරිදි අපරාධ අංශයේ පොලිස් සැරයන් පුෂ්පකුමාර ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට යොමු කර ඇත.

ඒ අනුව අනාවරණය වූයේ මෙසේ මියගොස් ඇත්තේ එම නිවසේ දින දහසයක් පදිංචි ව සිටි හේරත් මුදියන්සේගේ දුෂානි ප්‍රියංකා නැමති අවිවාහක තරුණියක බවයි. ඇය මීට දින දහසයක⁣ට ඉහත දී මෙම නිවස ට කැඳවා ගෙන විත් ඇත්තේ මෙම නිවසේ ජයසිංහ මුදියන්සේලාගේ ගිහාන් උදේශ් ජයසිංහ ( 23) නැමති තරුණයෙකි. ඔහු ඇයව සොයා ගෙන ඇත්තේ ෆේස්බුක් හරහා ඇති කර ගත් දැන හැඳුනුම් කමකිනි. පසුගිය 19 වැනිදා ඇය සිය ගෙල වැලලා ගෙන සිය දිවි නසා ගෙන ඇත.

අප සමඟ තොරතුරු පැවසු පොලිස් ස්ථානාධිපතිවරයා ඒ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නිලධාරී කණ්ඩායම සමඟ සාකච්ඡාවක සිටියේය.

කෙසේ හෝ මෙම මරණය ට හේතු වී ඇති නිවැරදි කරුණු අනාවරණය කර ගැනීමට කටයුතු කරන ලෙස සිය නිලධාරීන් ට ඔහු උපදෙස් ලබා දෙන අයුරු දැකගන්නට ලැබුණි.

පොලිස් ස්ථානාධිපතිවරයා මේ පිළිබඳව අප වෙත පැවසුවේ " මස්සැන්න හෙලකන්ද ප්‍රදේශයේ නිවසක ගිහාන් උදේශ් ජයසිංහ නැමති තරුණයා විසින් මෙම තරුණිය මීට දින දහසයකට ඉහතදී කන්තලේ සිට කැඳවා ගෙන විත් අඹුසැමියන් ලෙස ජීවත් වී තිබෙනවා. නමුත් මෙතෙක් නීත්‍යනුකූල ව විවාහ ගිවිසගෙන නැහැ. මේ දෙදෙනා අතර සුළු සුළු අඩ දබර පැවති බව පරීක්ෂණවල දී පෙනී ගියා. සමහර විට ඒ අනුව ඇති වූ සිත් තැවුලක් මත මෙම තරුණිය රෙදි පටියකින් ගෙල වැල ලා ගෙන ඇති බවට සැකයක් පවතිනවා. මේ සම්බන්ධයෙන් රත්නපුර අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් කැඳවා මූලික විමර්ශනයක් පැවැත්වූවා. මෙය සියදිවි නසා ගැනීමක්ද වෙනත් ක්‍රමයකින් සිදු වූ මරණයක් ද යන්න තාම හරියටම අනාවරණය වෙලා නැහැ.

මෙම සිද්ධියේ සුල මුල සොයා බැලීමට මා බලංගොඩින් සමනලවත්ත මාර්ගයේ කිලෝමීටර් හතර හමාරක් දුර ගෙවා මස්සැන්න බස්රිය නතර කරන ස්ථානයට ළඟා වුණු අතර එතැන්සිට නිවාස තුනක් පසු කළ විට දුෂානිගේ අබිරහස් මියයාම සිදු වූ ගිහාන් ගේ නිවස හමුවෙයි. නිවස අවට විසි තිස් දෙනෙකු තැන තැන කතා බහ කරමින් සිටියේ ය.

පසුව තරුණයාගේ මව පී.කේ.සුනීතා ( 43 ) අපට හමුවුවාය. අැය සඳහන් කළේ මෙවැන්නකි.

‘මගේ සැමියා මියගොස් දැනට අවුරුදු දෙකකට ළඟයි. මගේ දරුවන් දෙදෙනාගෙන් බාල පුතා රැගෙන ආ දුව තමයි මේ මිය ගිහින් ඉන්නෙ. එයා එක්ක ආවෙ මට කලින් කියලා. පසුගිය දහනවවෙනි දා මම ළඟ ගෙදරක පැවැත්වෙන ගෙවැදීමේ උත්සවයක් සඳහා කැවිලි සෑදීමට ගියා. මම රාත්‍රී 8.30 ට විතර ගෙදරට ආවා. ඒ වෙලාවෙ ලේලි සිටි කාමරයේ දොර වසා තිබුණා. මම කතා කළා දුව කෑම කෑවද බලන්න. දිගින් දිගට ම දොරට ගහලා දුවේ දුවේ කියලා කතා කළා. ඒත් කිසි සද්දයක් ඇහුණේ නැහැ. ඒ ගමන් මම පොඩි පුතා මේසයක් මත නග්ගවා කාමරේ පරීක්ෂා කර බැලුවා. පොඩි පුතා කිව්වා අක්කා එල්ලිලා ඉන්නවා කියලා. ඒ ගමන් මම කෑ ගහලා ඒ වෙලාවෙ පාරේ ගිය කළ ඉදුනිල් සම්පත් පුතා ට කතා කරලා ⁣කාමරේ ඇතුළට බැහැලා දොර ඇරියා. ඒ ගමන් ම බෙල්ලේ ගැට ගහලා තිබුණු බෙඩ්ෂීට් පටිය කැපුවා. මම බැලුවෙ දුව බේරගන්න පුළුවන් ද කියලා. ඒ වන විටත් දුව මැරිලා කියලා මට තේරුණා."

පසුව අප මියගිය තරුණියගේ පියා වන 46/ 163 සදාම් නගර් මොල්ලිපොතාන පදිංචි හේරත් මුදියන්සේලගේ අනුර බණ්ඩාර හමු වුණේ බලංගොඩ පොලීසියේ දීය.

" මට දූල දෙන්නයි පුතෙකුයි ඉන්නෙ. මේ මියගිහින් තියෙන්නෙ බාල ම දුව.මම බේකරියක කම්කරුවකු ලෙස වැඩ කරනවා. හරිම දුක් මහන්සියෙන් තමයි අපි ජීවත් වෙන්නෙ. එහෙම දුක් විඳල තමයි දරුවො උස්මහත් කළේ. එහෙම හදාපු පොඩි දුව ගෙදරින් ගිහින් තිබුණේ පසුගිය තුන්වැනිදා. එයා පාවිච්චි කරපු ෆෝන් එකේ " මම බලන්ගොඩ අයියත් එක්ක යනවා.එයා හරි හොඳයි. එයා මාව හොඳට බලා ගන්නවා. මෙහෙ⁣ම කළාට මට සමා වෙන්න. ඔයාල සතුටින් ඉන්න. " කියලා ලියලා තිබුණා. ගියාට පස්සෙ අපිට කීපවිටක් කතා කළ නිසා අපි පොලිසිය ට පැමිණිල්ලක් කළේ නෑ. මම කතා කරලා කිව්වා ඉක්මනට කසාද බඳින්න කියලා. ඒක ට අවශ්‍ය කරන ග්‍රාම නිලධාරී මහත්තයා ගේ ලියුම් ටිකත් තැපැල් කරලා තිබුණේ.

19 උදෙත් මම දුවට කතා කළා. එයාගෙන් මම ඇහුව ඔයාට මොකුත් ප්‍රශ්න තියෙනව ද කියලා. එයා කිව්වා ඒවා මෙහෙම කියන්න බෑ තාත්තෙ හවසට කෝල් එකක් ගන්නම් කියලා. ඒක තමා අවසානෙට ගත්ත කෝල් එක. ඒ නිසා මේ මරණය ගැන අපට සැකයක් තියෙනවා. දුව එල්ලිලා මැරුණේ ඇයි කියලා හිතා ගන්න බෑ. අනේ මහත්තයෝ මට ඊයේ දුව ට කරදරයක් කියලා පණිවිඩයක් ලැබුණු ගමන් රුපියල් විසි දාහක් දීල කන්තලේ ඉඳලා බලංගොඩ ට ආවෙ වෑන් එකක. ඒක තියා ගත්තොත් ලොකු ගානක් ගෙවන්න වෙන නිසා බිරිඳත් එක්ක වෑන් එක ආපහු යැව්වා. අපිට ඉන්නවත් තැනක් නැති වෙලාවෙ බලංගොඩ පොලීසියෙ මහත්තයෙක් ඉන්න හෝටල් කාමරයක් අරන් දුන්නෙ‘

තරුණිය ගෙල වැලලා ගන්නට ඇතැයි සැලකෙන රෙදි පටිය ද බලංගොඩ පොලිස්භාරයට ගෙන ඇත.

ඉන්පසුව අප මියගිය තරුණියගේ පෙම්වතා වන ජයසිංහ මුදියන්සේලාගේ ගිහාන් උදේශ් ජයසිංහ සමඟ කතා කළෙමු.

"මම ත්‍රී⁣රෝද රථයක වැඩ කරනවා. මගේ තාත්තා නැතිවෙලා දැන් අවුරුදු දෙකකට ළඟයි. මම ත්‍රීවීල් එකේ වැඩ කරන ගමන් ෆේස්බුක් එක නිතරම පාවිච්චි කරනවා. මට මෙයාව හමු වුණෙත් ෆේස්බුක් එකෙන්. යාළු වෙලා මාස නවයක් දහයක් ගත වුණා. චැට් කරලා තමයි එයාව හොයාගත්තෙ. එයා හමුවෙන්න මම දෙතුන් පාරක් කන්තලේ ටවුමට ගියා. එයාගේ ගෙදරට ගියේ නෑ. එක්ක එන දවසෙත් මම මඟට ගියේ. ඔක්තෝබර් තුන්වෙනිදා එයාගෙ ගෙදරින් ඇවිත් රෑ එන්න බැරි නිසා අපි හෝටලයක එදා රෑ නතර වුණා. හතරවැනි දා තමයි ගෙදර ආවෙ. අපේ ගෙදර කට්ටි ය එයා ගැන දන්නවා. එයාලා අකමැති වුණේ නැහැ. ආවට පස්සෙ පොඩි පොඩි දේවල් වලට අපි රණ්ඩු වුණත් ඒවා දුරදිග ගියේ නෑ; අපි ඉක්මනින් යාළු වුණා. අපි හොඳට හිටියා.

මම ත්‍රී⁣විල් එකේ හයර් ගියාම පරක්කු වෙනවා. ඒකෙන් තමයි ජීවත් වුණේ.සමහරදාට හයර් ගිහින් පරක්කු වුණාම රණ්ඩු කරනවා. එතකොට මම කිව්ව අපිට ජීවත් වෙන්න මේක කරන්නෙ කියලා. ලොකු රණ්ඩුවක් නෑ.සිද්ධිය වුණ දවසට කලින් දවසෙ පහළ බණ ගෙදරක ගිහින් රෑ එකට විතර මම ගෙදර ආවේ. එයා ෆෝන් එක පොළවෙ ගැහුවා. ඇයි ඔයාට මොනවද වෙලා තියෙන්නෙ කියලා මම ඇහුවා. එයා කියන්නෙ හැම වෙලාවෙම එයා ළඟින් ඉන්න කියලා. එහෙම ඉඳලා බැහැ කියලත් මම තේරුම් කරලා දුන්නා. පැයකින් දෙකකින් එයා ඒව තේරුම් ගත්තට පස්සෙ ආයෙත් හොඳයි.

අපි කසාද බඳින්න දුෂානිගෙ ගමෙන් ග්‍රාම නිලධාරී සහතික ඇතුළු ලියකියවිලි ගෙන්න ගත්තා. ඒ ටික තැපෑලෙන් ගෙදර ට ආවේ 20 දා.එතකොට එයා මාව දාලා ගිහින්. මෙහෙම දෙයක් කර ගත්තෙ ඇයි කියලා හිතා ගන්න බෑ"

බලංගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයතිස්සගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර පොලිස් සැරයන් විමලසේන 42921 නුවන් ප්‍රියදර්ශන 37317 යූ.කේ.ආර්.ආයුවර්ධන සහ 42898 විජේසිංහ යන නිලධාරීහූ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණ තවම අවසන් නැත.

බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඩී. එම්. චන්ද්‍රසේන විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ අතර බලන්ගොඩ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය චතුරංග විසින් රත්නපුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ස්ථානීය පරීක්ෂණ පවත්වා බලන්ගොඩ මූලික රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලෙසට නියෝගයක් ලබා දී තිබුණි.

ඒ අනුව 21 දා මෘතදේහයේ පීසීආර් පරීක්ෂණය සඳහා සාම්පල් රත්නපුර මහ රෝහලට යෙමු කර තිබුණත් පුවත්පත මුද්‍රණයට යන සිකුරාදා සවස වනතුරුත් දුෂානි ගේ දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබී තිබුණේ නැත. තවම ඇයගේ මරණය අබිරහසක් ව පවතී.



දුෂානි ප්‍රියංකාගේ කන්තලේ නිවෙස සොයා සිළුමිණ මාධ්‍යවේදිනිය යයි

“සිළුමිණ පුවත්පතේ ඉල්ලීම අනුව මා මියගිය දුෂානි ප්‍රියංකාගේ නිවෙසට ගියේ ඔක්තෝබර් 22 සිකුරාදා පස්වරුවේය. ඒ ඇය පදිංචිව සිටියේ කන්තලේ සාලියපුර අංක 95 දරණ නිවෙසේය. මුළු ගමම ඇයගේ අකල් වියෝවෙන් කම්පාවට පත්ව තිබිණි.

ප්‍රියංකාගේ මව ඩී. එම්. මංගලිකා ඒකනායක ය. ඇය 42 හැවිරිදිය. සිළුමිණ සමඟ ප්‍රකාශයක් කරමින් මංගලිකා කියා සිටියේ මෙය තමනට පමණක් නොව තම ගමටම අතිශය ශෝකජනක අවස්ථාවක් බවය.

මුළු ගම ම මෙම විපතෙන් කම්පාවට පත්ව තිබිණි. ඥාතීන් ඇතුළු ගම්වැසියන් ගණනාවක් සෞඛ්‍ය නිර්දේශ අනුව එම නිවෙසට එක් රොක් වෙමින් තිබිණි. ඔවුනට දුක වාවාගත නොහැකි සේය. දේහය සිකුරාදා පරීක්ෂණය අවසන් වීමෙන් පසුව 23 වන සෙනසුරාදා නිවෙසට ගෙන එන බව පවුලේ අය සිළුමිණට එහිදි ප්‍රකාශ කළේය. ප්‍රියංකාගේ පියා දේහය බාර ගැනීම සඳහා බලංගොඩ පොලීසියට ගොස් තිබිණි.

නිවෙසට එන අයට සංග්‍රහ කිරීමට සම්ප්‍රදායානුකූලව පවුලේ අය කටයුතු කරනු දක්නට ලැබුණි. ගමේ අවමංගල්‍ය සමිතිය විසින් නිවෙසේ කටයුතු වලට ස්වෙච්ඡාවෙන් දායක වනු දක්නට ලැබිණි. නිවෙස ඉදිරිපිට බුලත් හෙප්පුවක් ද විය.

සුමිත්‍රා කුමාරිහාමි, කන්තලේ සමූහ වාර්තාකරු
තුෂාර හෙට්ටිආරච්චි, කහවත්ත

Comments