නොසලකා නොහැරිය යුතු වනාතවිල්ලුවේ අර්බුදය | Page 3 | සිළුමිණ

නොසලකා නොහැරිය යුතු වනාතවිල්ලුවේ අර්බුදය

පේ රටේ බොහෝ ප්‍රශ්නවලට විසඳුම් සොයන්නේ අශ්වයා පැන ගියාට පසුවය. පාස්කු ප්‍රහාරකයන් පුහුණු කළ වනාතවිල්ලුවෙ අවි ගබඩාව ගැන අප අමතක නොකළ යුත්තේ ඒ හරහා පාස්කු ප්‍රහාරයේද යම් යම් අල ගිය වැල ගිය තැන් මතු වූ නිසාය.

මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණේ පස් දෙනකුගේ කල්ලියක් පල්ලියේ ඉඩමට කඩා වැදී ප්‍රහාරයක් එල්ල කළ බවයි. මේ වාර්තා පළවීමත් සමඟම ආරක්ෂක අමාත්‍යාංශයේද උපදෙස් සහිතව පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබුණි. ඒ අතර පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා විසින් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලදී. වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්. පී. එම් යූ පතිරන්න විසින් විශේෂ පොලිස් කණ්ඩායමක් යොදා විමර්ශන සිදු කරන ලදී. අපි මේ පිළිබඳව විමර්ශන පවත්වන පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරාගෙන් කරුණු විමසුවෙමු. 

‘‘මේ ප්‍රහාරය පිටුපස තියෙන්නෙ මොන අරමුණක්ද කියල එක්වරම නොපෙනුණත් පල්ලියේ කටයුතුවලට බාධා කිරීමක් තමයි අපට පෙනෙන්න තියෙන්නෙ. නබිතුමාගේ උපන් දිනය වෙනුවෙන් පවත්වන උත්සවයට පෙර කොඩි දැමීමට එහි භාරකාර පිරිස් කටයුතු කිරීමේදී එම භූමිය මැනීමට ආසන්න පිරිසක් පැමිණ අයිතිය තමන්ට තිබෙන බව පැවසීමෙන් පසු මේ ගැටුම හටගෙන ඇති බවයි දැනට වාර්තා වෙන්නෙ. කොහොමත් ආයුධ සහිතව පැමිණ පහරදුන් අය මේ වන විට අත්අඩංගුවට ගෙන තියෙනවා.

නබිතුමාගේ උපන්දින සැමරුමත් බාධාවකින් තොරව එහි පැවැත්වුණා. අපිට වාර්තා වන විදිහට මේ ගැටුම කාලාන්තරයක් තියෙන ඉඩම් ආරාවුලක් බවයි පෙනෙන්නේ. ප්‍රදේශයේ සාමය කඩවන කිසිදු ක්‍රියාවකට අප ඉඩ තබා නැහැ. ඒ වගේම අන්තවාදී හෝ ත්‍රස්තවාදී පිරිස්වලට කටයුතු කරන්න ඉඩකුත් නැහැ.‘‘

මේ සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කරන වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.පී.එම් යූ පතිරන්නගෙන් ද සිළුමිණ කරුණු විමසන ලදී.

‘‘පහර දීමට පැමිණි තිදෙනා මේ වන විට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන්ට ඇප හිමිවූයේ නැහැ. නඩුව යළි 26 වැනිදා කැඳවනවා. මීට පෙරත් මේ අයට විරුද්ධව අදාළ ආගමික ස්ථානයේ භාරකරු විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අපි ඒ අවස්ථාවේ දැනුම් දුන්නා යම් ගැටලුවක් තිබෙනවා නම් අධිකරණ ක්‍රියාමාර්ගයක් කරා යන්නට පුළුවන් කියා. අදාළ ස්ථානයේ හදි හූනියන් වැනි විවිධාකාර එවැනි ක්‍රියාවන් සිදු කරන තැනක්. එක් පාර්ශ්වයකට අයිති ඉඩමට අනෙක් අය පවසා තියෙනවා ඔවුන්ටත් බ්‍රිතාන්‍ය යුගයේ සිට හිමිකම් තියෙන ඔප්පු ආදිය තිබෙන බවට. මේ ගැන විවිධ කතා තියෙනවා. අප කරන්නේ නීතියෙන් අපට ලැබී තිබෙන වපසරියට අනුව පමණයි.‘‘

අපි මේ සම්බන්ධයෙන් ප්‍රහාරයට ලක්වූ අම්බලම් පල්ලියේ අබ්දුල් රෂීඩ්ගෙන් කරුණු විමසුවෙමු.

‘‘නබිතුමාගේ උපන් දිනය වෙනුවෙන් පසුගිය 8 වැනි දින කොඩියක් ඔසවන්න අප තීරණය කර තිබුණා. එම කටයුත්ත නොකරන ලෙස දෙදෙනෙක් අපට පැමිණ දොස් කියා ගියා. නමුත් අපි ඒ වෙනුවෙන් කටයුතු කරා. පසුව 11 වැනි දින නැවත කණ්ඩායමක් ලෙස එම පිරිස ආවා. ඇවිත් කඩුවකින් මගේ අත කපා තුවාල කරා. ඒ විතරක් නෙමෙයි පිස්තෝලයකින් හිසට පහර දුන්නා. මම මේ පිළිබඳව වනාතවිල්ලුව පොලිසියට පැමිණිලි කළා. ඉස්පිරිතාලෙදි මගෙ අතට මැහුම් 3ක් දැම්මා. පිටටත් මැහුම් දැම්මා. ‘‘

පල්ලිය බාරව කටයුතු කරන අබ්දුල් රෂීඩ් මෙන්ම ඔහුගේ බිරිය වන රිස්වානා සර්කසානා පවසන ආකාරයට මෙසේ ඔවුන්ට වරින් වර මෙම ආගමික ස්ථානය පවත්වා ගෙන යාමට දැඩි ලෙස බාධා කරමින් ආගමික කටයුතුවලට බාධා කරමින් වෙනත් ආගමිකවාදයක් පැතිරවීමට අදාළ පිරිස් කටයුතු කරන බවයි. එහෙත් පහර දීමට පැමිණි පිරිස් එවැනි ක්‍රියාවන් නොකරන බවත් මේ පිරිස කරනා නොමනාකම්වලට ජනතාව අකමැති බවද ඔවුන්ගේ ඥාතියකු වන අයි.එම්. ඉෂාන් චෝදනා කළේය. වහාබ්වාදයේ කතාවක් එලෙසින් සමාජයේ පැතිර ගොස් ඇත්තේද ආගමික කටයුතුවලට බාධා කරන එහෙයිනි.

අදාළ පල්ලිය අයත් භූමිය 2007 වසරේදී හිමිකරු විසින් ආගමික කටයුතු උදෙසා ලබා දී ඇති බවත් එම හිමිකරුගේ වෙනත් පාර්ශ්වයක් විසින් එයින් කොටසක් ලබා ගැනීමට දරන උත්සාහයක් බවත් තවත් පසෙකින් වාර්තා විය.

මේ භූමිය අයිති කොටස මුස්ලිම් ජාතිකයන් අතීතයේ සිට හඳුන්වා ඇත්තේ අම්බලම නැත්නම් අම්බලම පල්ලිය යන නාමයෙනි. වසර 300ක් පමණ ඉපැරණි අම්බලම මොහිදීන් ජුම්මා පල්ලි සූපි මුස්ලිම්වරුන්ට අයත් ඉස්ලාම් පූජණිය ස්ථානයක් බවට දැනට පල්ලිය බාරව කටයුතු කරන පූජකවරයකු වන අබ්දුල් රෂීඩ් පවසයි. 

මෙම ස්ථානය පිහිටි ඉඩම් කොටස අක්කර 5ට ආසන්න බවත් අම්බලම යන නාමය මුලින් සැදී ඇත්තේද මේ ප්‍රදේශයේ පවුල් 60ට ආසන්න පිරිසක් මුල් ජනාවාස ඉදිකර ගැනීමෙන් පසුව බවයි.

මෙම ඉඩම් කොටස තමන්ට අයිතිය ඇති බැවින් දැනට ඔවුන් සතුව සින්නක්කර ඔප්පු ඇති නමුත් මෑතකදී එම ස්ථානයට පැමිණි පහර දුන් පිරිස විසින් එකී ඉඩම බලහත්කාරයෙන් අත්පත් කර ගෙන කටයුතු කිරීම නිසාවෙන් මෙම ආරවුල සිදුව ඇති බව ද වාර්තා වේ. එමෙන්ම ප්‍රහාරයට සම්බන්ධ පිරිස් වෙනුවෙන් කතා කරන ඉෂාන් පවසන්නේ තම ඥාතීන්ට අයත් භූමි කොටසක්ද අදාළ පල්ලියේ භාරකරු විසින් පරිහරණය කරන බවයි.

එම අයිතිය ලබා ගැන්මට කටයුතු කරනවා හැරෙන්නට වහාබ් වාදය පැතිරවීමක් හෝ අන්තවාදය පැතිරවීමක් නොකරන බවත් තමන් ඇතුළු පිරිස මෙම ගම්මානයේ උපන් පාරම්පරික මුස්ලිම්වරුන් බවද ඔහු පවසයි.

මේ සිදුවීම පිළිබඳව වනාතවිල්ලුව පොලිසිය බී වාර්තාවක් මඟින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ පැමිණිලි අංක 84324/21 යටතේය. පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පිට අත්අඩංගුවට ගෙන ඇති තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ තිදෙනා පියා හා පුතුන් දෙදෙනෙකි. ඔවුන් පවසා ඇත්තේ තමන් සහරාම් හෂීන්ගේ න්‍යායන් අනුගමනය නොකරන බවත් මෙම පූජනීය ස්ථානයේ හදි හූනියම් ආදිය සිදු කරන මළවුන් අදහස ස්ථානයක් බවයි.

එමෙන්ම 11 වැනිදා පැමිණ පහර දී ඇත්තේද එය නොනවත්වා සිදු කළ නිසාය. ඉඩම් ආරවුල වෙනම ම කතාවකි. එහෙත් මේ යට යම් සැඟවුණු කතාවක් ඇත්දැයි සොයා බැලිය යුත්තේ අප සඳහන් කළ පරිදි කාත්තන්කුඩියේද පළමුව එළි දුටුවේ මෙවන් පහර දීම් හරහා ආගමික කටයුතු අඩපණ කිරීම බවයි.

ආරක්ෂක අමාත්‍යාංශයේත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේත් විශේෂ පරීක්ෂණ මේ සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙන නමුත් වඩාත් අවධානය යොමු විය යුත්තේ මේ පිටුපස යම් හෝ ආගමික සංවිධානයක් සිටින්නේද යන්න සොයා බැලීමට ය. වනාතවිල්ලුවේ ආයුධ ගබඩාව මෙන්ම පාස්කු ප්‍රහාරයට පෙර තරුණයක් පුහුණු කළ ස්ථානයක් තිබුණු බව ද අප අමතක නොකළ යුතුය.


සේයාරූ - කේ.ප්‍රියංකර කළුපහන 
වනාතවිල්ලුව සමූහ

Comments