සතුටු කඳුළු මැදින් උපන් සය නිවුන් දරුවෝ | Page 3 | සිළුමිණ

සතුටු කඳුළු මැදින් උපන් සය නිවුන් දරුවෝ

සැමියා උදයංහ සහ බිරිය දිලිනි

- දරුවන් හයදෙනා ඉපදුණේ විනාඩි 2ක් ඇතුළත
- එක් බිලිඳකුට එක් වෛද්‍යවරයෙක් හා හෙදියන් තිදෙනෙක්
- බිලිඳුන් බිහිවුණේ මව්කුසට දින 31ක් සම්පූර්ණ වූ පසුවයි
- මවගේ බර කිලෝග්‍රෑම් 30කින් වැඩි වුණා

ප්‍රභාත් උදයංග මරවනාගොඩගේ මුහුණ වසා පැතිරුණු නිම්හිමි නැති සතුට විස්තර කිරීමට වචන නැත. දෝරේ ගලා යන පිය සෙනෙහස මෙපමණ ගැඹුරු බව ඔහු දැන සිටියේ නැත. ඒ අතරේ ඔහු අනාගතයේදී මුහුණදිය යුතු වගකීම් සමුදායේ බර ද ඔහුට නොදැනුණා නොවේ. විටෙක අවිනිශ්චිත බියකින් ද තවත් විටෙක උතුරා යන ප්‍රහර්ෂයකින් ද ඔහුගේ සිත වෙළා ගනිද්දී ඔහු සිටින්නේ කිරුළ පළන් රජකු මෙනි. ඊට හේතුව ඔහු එක්වර ම නිවුන් දරුවන් සය දෙනකුගේ පියකු වීමයි. කිරි සිනාවකින් නිවස පිරවීමට ප්‍රාර්ථනා කළ ඔහුට එක්වරම කිරි සිනා නඟන බිලිඳුන් සය දෙනකු දායාද වීම ඔහුට දැනුණේ දෙවියන් දුන් තෑග්ගක් ලෙසිනි.

ලංකාවේ ප්‍රථම වරට සිදු වූ සය නිවුන් දරු උපතේ හිමිකරුවා ඔහු ය. හිමිකාරිනිය වන්නේ දරුවන් හයදෙනකුගේ බර කුස දරාගෙන අපමණ වේදනා විඳි දිලිනි වාසනා ය. සය නිවුන් දරුවන්ගේ පියා වන 35 හැවිරිදි ප්‍රභාත් උදයංගගේත් මව වන 31 හැවිරිදි දිලිනි වාසනාගේත් ගම්පියස වන්නේ වව්නියාව යි. එහෙත් උතුරේ පැවැති යුදමය වාතාවරණය හේතුවෙන් දිලිනි වාසනාගේ මුළු පවුලම අනුරාධපුරයට සේන්දු වූහ. දිලිනිගේ පියා පොලිස් නිලධාරියකු වීම ඊට පහසුවක් විය. ගොවිතැනින් දිවි ගෙවන උදයංගගේ පියාටත් මවටත් ගම්බිම් අත්හැර දමා යෑමට නොහැකි බැවින් වව්නියාවේම රැඳුණ ද ප්‍රභාත් උදයංග අනුරාධපුරය බලා පැමිණියේ ශාන්ත ජෝශප් විදුහලට ඇතුළත් වීමට ය. කුඩා වියේ පටන් දැනහඳුනා ගත්ත ද උදයංග අනුරාධපුරයට පැමිණිය ද උදයංග හා දිලිනි අතර සමීප සබඳතාවක් ගොඩ නැඟුණේ නම් නැත.

“එතකොට එයා පුංචියිනේ.“ උදයංග පැවසුවේ සිනාසෙමිනි.

එහෙත් දිලිනිගේ පවුලත් උදයංගගේ පවුලත් අතර පැවැති සමීප සබඳතාව එලෙසම ගලාගෙන ගියේය. ප්‍රභාත් උදයංග පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයෙන් උපාධිය ලබා මීට දස වසරකට පෙර කොළඹට පැමිණියේ ඉංජිනේරුවකු ලෙසින් රැකියාවක නිරත වීමට ය. මේ අතරවාරයේදී දිලිනි වාසනා ද පෞද්ගලික සරසවියකින් තොරතුරු තාක්ෂණවේදී උපාධිය ලබා ගැනීමට සූදානම් වූවා ය.

“මම දිලිනිගේ මල්ලිට ගණන් උගන්වන්න ගියා. එතකොට දිලිනිගේ අම්මාට හිතිලා තියෙනවා දිලිනිට මාව විවාහ කරලා දෙන්න තියෙනවා නම් හොඳයි කියලා. ඒ වෙනකොට දිලිනිත් තොරතුරු තාක්ෂණික තත්ත්ව සහතික (Quality Assurance) වශයෙන් රැකියාවක් කරනවා. ඊටපස්සේ දිලිනිගේ අම්මා අපේ අම්මාට අදහස ඉදිරිපත් කළා. අම්මලා දෙදෙනාගෙන් ආපු යෝජනාවට මමත් කැමති වුණා. පොඩි කාලේ ඉඳලා දන්න කෙනෙක් නිසා අමුතුවෙන් හඳුනාගන්න දෙයක් නැහැනේ.“ යනුවෙන් ප්‍රභාත් උදයංග සඳහන් කළේය. බාලේ පටන් ළංවෙමින් දුරස් වෙමින් ගිය උදයංගගේත් දිලිනිගේත් සහෝදරත්වය ප්‍රේමයකට පරිවර්තනය වන්නේ ඔය ආකාරයට ය. අවසානයේදී 2019 මැයි 16 වැනි දින දෙදෙනා අතිනත ගෙන එක වහලක් යටට පැමිණියහ. ඔවුන් අයි.ඩී.එච්. ප්‍රදේශයේ නිවසක් පදිංචියට තෝරාගත්තේ දෙදෙනාම කොළඹ රැකියාවල නිරත වන බැවිනි.

දරුවකුගේ පැතුම විවාහ වී වසරක් පමණ ඈතට කල් දැමූ යුවළ, විශේෂඥ වෛද්‍ය තිළිණ පලිහවඩන හමුවූයේ කිරිකැටියකුගේ සිහිනය ඉක්මනින් සැබෑ කර ගැනීමට ය. වෛද්‍ය උපදෙස් අනුව වැඩි කාලයක් ගත නොවී දිලිනි වාසනා ගැබ් ගත්තාය. “ඔයා ආසා දුවෙකුට ද පුතෙකුට ද“ යනුවෙන් දිලිනි වාසනා විමසන විට දුව හෝ පුතා බාර ගැනීමට උදයංගගේ සිත සූදානම් වූයේ කොයි දරුවාත් තමාගේ ලෙයින් ජනිත වූ දරුවකු නිසාය. එහෙත් ඈ එක්වරම දියණියන් තිදෙනකුත් පුතුන් තිදෙනකුත් ඔහුට දායාද කරනු ඇතැයි ඔහු සිහිනෙනුදු සිතුවේ නැත.

“දිලිනිව පරීක්ෂා කරපු ඩොක්ටර් තිළිණ පලිහවඩන දිලිනිගේ කුස තුළ දරුවන් කීපදෙනකු සිටින බව දැනගෙන ස්කෑනින් පරීක්ෂණයක් කළා. එතනදි තමයි දැනගත්තේ දරුවන් 6 දෙනෙක් ඇගේ කුස තුළ සිටින බව. ඊටපස්සේ තමයි ඩොක්ටර් තිළිණ අපිව මහාචාර්ය ටිරාන් ඩයස්ට යොමු කළේ.“ යනුවෙන් පැවසුවේ ප්‍රභාත් උදයංග ය. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් සිය ආචාර්ය උපාධිය සඳහා එංගලන්තයට ගොස් නිවුන් දරු උපත් පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබා තිබීම ඊට බලපෑ මූලික හේතුව විය. එංගලන්තයේදී නිවුන් දරු උපත් සම්බන්ධයෙන් හැදෑරීම් කර, ප්‍රායෝගික පුහුණුව ලබා තිබුණ ද මහාචාර්ය ටිරාන් ඩයස් සය නිවුන් දරු උපතකට සහභාගි වී තිබුණේ නැත. ලංකාවේ සය නිවුන් දරු උපතක් මෙතෙක් සිදු වී තිබුණේ නැති බැවින් මෙය සැබැවින් ම මහාචාර්යවරයාට විශාල අභියෝගයක් විය.

“සාමාන්‍යයෙන් දරුගැබට සති 38ක් සම්පූර්ණ වුණාම දරුවාව ගන්න පුළුවන්. කුස තුළ දරු දෙදෙනෙක් ඉන්නවා නම් සති 36 සම්පූර්ණ වුණාම ගන්න පුළුවන්. ඒ විදිහට අපි දන්නවා කුස තුළ සිටින දරුවන්ගේ ගණන අනුව බබාලාව ගන්න විදිහ. ඒත් බබාලා හයදෙනකුව ගන්න කාලය ගැන මටත් ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. ඒ නිසා මමත් එංගලන්තයේ සිටින මගේ ආචාර්යවරයාගෙන් උපදෙස් ගත්තා. බබාලා ගර්භාෂය තුළ සිටින විදිහ නිතරම නිරීක්ෂණය කළා. මෙය මට විතරක් තනිවම කරන්න බැහැ. ඒනිසා මම කණ්ඩායමක් හදාගෙන අපි හැමෝම කණ්ඩායම් හැඟීමෙන් සාමූහිකව වැඩ කළා.“ යනුවෙන් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය ටිරාන් ඩයස් පැහැදිලි කළේය.

සය නිවුන් දරු උපත් මෙහෙයුම සාර්ථක කර ගැනීමට දායක වූ කණ්ඩායමේ නියමුවා වූයේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය ටිරාන් ඩයස් ය. ඊට අමතරව කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන, නව ජන්ම ළදරු විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ, ළදරු රෝග විශේෂඥ වෛද්‍ය බුද්ධිම ජයසිංහ, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය රංජිත් දිසානායක සහ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අසන්ත ද සිල්වා මෙම කණ්ඩායමට අයත් වූහ.

“දවසක් මට මහාචාර්ය ටිරාන් ඩයස් කතා කරලා කිව්වා සය දරු ගැබිනි කාන්තාවක් ඉන්නවා. ඒ අම්මාව රැක බලා ගන්න උදව් කරන්න කියලා. ඊටපසුවයි මම ඇයව පරීක්ෂා කරලා රැක බලා ගැනීමට සම්බන්ධ වුණේ. මේ මවගේ කලලයට සති 24 සම්පූර්ණ වුණ ගමන් අම්මාගේ රුධිර පීඩනය ඉහළ ගියා. ඒනිසා රුධිර පීඩනය ගැන විශේෂ අවධානය යොමු කරන්න සිද්ධ වුණා. ඒවගේම මවගේ මුත්‍රා සමඟ ප්‍රෝටින් පිටවෙන්න පටන් ගත්තා. ඒකත් දවසෙන් දවස ඉහළ ගියා. රුධිර පීඩනය වැඩි වෙන්න පටන් ගත්තා. කුස තුළ සිටින බබාලාව මෝරන්න තියා ගත්තොත් අම්මාගේ ජීවිත අවදානම තියෙනවා. අම්මාව බේරාගන්න කියලා අපි බබාලාව ඉක්මනට ගත්තොත් බබාලාගේ ජීවිත අවදානම තියෙනවා. ඒනිසා දෙපැත්තම සමබර කර ගැනීම අපිට ලොකු අභියෝගයක් වුණා.“ යනුවෙන් විස්තර කළේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන ය.

මීට අමතරව මව්කුසේ සිටින කිරිකැටියන් දෙදෙනකුගේ රුධිර මට්ටම අඩු වන බවක් දක්නට ලැබුණු බව මහාචාර්ය ටිරාන් ඩයස් පැවසීය. දරුගැබේ සිටින බිලිඳුන්ට සති 38 සම්පූර්ණ වන තෙක් නොසිට සති 31න් ගැනීමට වෛද්‍ය කණ්ඩායම තීරණය කළේ එබැවිනි. එහෙත් මෙය වෛද්‍ය කණ්ඩායම මුහුණදෙන සුවිශාල අභියෝගයක් බව සඳහන් කළ යුතුමය. ඔවුන්ගේ ඊළඟ අභියෝගය වූයේ අඩු මාසයෙන් සහ අඩු උපත් බර සහිත කිරිකැටියන් හයදෙනකුට උපත දීම පමණක් නොවේ.

මෙම බිලිඳුන් 6 දෙනා රැක බලා ගැනීමය. කෘත්‍රිම ශ්වසන උපකරණ සහ උණුසුම් උපකරණ, දැඩි සත්කාර ඒකක බිලිඳු ඇඳන් 6ක් ඇතුළු තාක්ෂණික මෙවලම් රාශියක් මේ සඳහා අවශ්‍ය වනු ඇත. එකම රෝහලකින් ඒ සියල්ල සම්පූර්ණ කරගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මහාචාර්ය ටිරාන් ඩයස් කාන්තා සහ දරුවන් වෙනුවෙන් පමණක් කටයුතු කරන නාරාහේන්පිට නයින්වේල්ස් පුද්ගලික රෝහල තෝරාගත්තේ එබැවිනි.

මෙහිදී ප්‍රභාත් උදයංග සහ දිලිනි වාසනා යුවළ වෛද්‍ය උපදෙස් පිළිපදිමින් ඊට අවනත වී වෛද්‍ය කණ්ඩායමට සහාය දැක්වීම කෙරෙහි වෛද්‍ය කණ්ඩායම කතා කළේ ප්‍රශංසා මුඛයෙනි. වෛද්‍යවරුන්ගේ දැනුම සහ වෘත්තීය පළපුරුද්ද නිදහසේ පාවිච්චි කිරීමට උදව් කිරීම සම්බන්ධයෙන් කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන ප්‍රභාත් උදයංග සහ දිලිනි වාසනාට ස්තුති කළේය.

නව ජන්ම ළදරු විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ සඳහන් කළේ සය නිවුන් දරු උපතට පෙරහුරුවක් ලෙසින් “ඩමිස්“ යොදාගෙන කටයුතු කළ බවයි.

ඉන් අනතුරුව සය නිවුන් දරු උපත සඳහා මව සිසේරියන් සැත්කමට භාජනය කිරීමේ හෝරාව එළැඹිණි. 2021 ඔක්තෝබර් 21 වැනි දින උදාවත්ම, එනම් රාත්‍රි 12.00 පසු වූ විගස සිසේරියන් සැත්කම ආරම්භ විය. හරියටම රාත්‍රි 12.16ට ප්‍රථමයෙන් ඉපදුණේ ගැහැනු දැරියකි. ඇගේ උපත් බර ග්‍රෑම් 1610කි. ඊටපසුව පිරිමි දරුවන් තිදෙනා උපත ලැබූහ. අවසානයට උපන්නේ ගැහැනු දැරියන් දෙදෙනාය. මොවුන්ගේ උපන් වේලාවන් රාත්‍රි 12.16, 12.17 හා 12.18 ලෙස සඳහන් විය. අවසානයට උපන් බිලිඳියගේ බර ග්‍රෑම් 830කි. විනාඩි 2ක් ඇතුළත දරුවන් 6 දෙනකු බිහි කිරීමේ සැත්කම වෛද්‍ය කණ්ඩායම් විසින් සාර්ථකව අවසන් කළේ 2021 ඔක්තෝබර් 21 වැනි දිනය ශ්‍රී ලංකා වෛද්‍ය ක්ෂේත්‍රයේ අලුත් දවසක් ලෙස සනිටුහන් කරමිනි.

දරුගැබ දරා සිටින කාලයේදී මවගේ බර කිලෝග්‍රෑම් 30කින් ඉහළ යෑමත් මවගේ සිරුරේ වතුර ප්‍රමාණය වැඩිවීමත් හේතුවෙන් මව නිර්වින්දනය කිරීමේ ගැටලුවකට මුහුණපෑ බව සඳහන් කළේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය රංජිත් දිසානායක ය. එමනිසාම මව සිහිසුන් කිරීම වෙනුවට හිරි වට්ටවා සැත්කම සිදු කළ බව නිර්වින්දන විශේෂඥ වෛද්‍ය රංජිත් දිසානායක පැවසුවේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අසන්ත ද සිල්වාගෙන් ලැබුණු දායකත්වය ද සිහිපත් කරමිනි.

මොහොතින් මොහොත හෘද ස්පන්දනය වේගවත් වෙමින් චකිතයෙන් තැති ගැන්මෙන් කාලය ගත කළ ප්‍රභාත් උදයංගගේ සිතටත් හදවතටත් අස්වැසිල්ලක් ලැබුණේ ඉපදී පැයකට පසුව දරුවන් හයදෙනාව සිය දෑසින් දැක ගැනීමෙන් අනතුරුව ය. සිය බිරිය දැක බලා ගැනීමට පමණක් නොව කතාබහ කිරීමට පවා ඔහුට අවස්ථාව ලැබී තිබිණි.

ප්‍රභාත් උදයංගගේ ඊළඟ අභියෝගය වන්නේ පුතුන් තිදෙනාත් දියණියන් තිදෙනාත් රැක බලා ගැනීමය. ඒ සියලු දුෂ්කරතා මධ්‍යයේ ඔහු දරුවන් සයදෙනාව ආදරයෙන් වැලඳ ගැනීමට පෙරමග බලා සිටින්නේ මෙලොව දරුවන් තරම් සම්පතක් තවත් නැති නිසාය.

ඡායාරූප - රුවන් ද සිල්වා

Comments