සිසු දරුවන් සහ ගුරු අරගලය ගැන සිළුමිණෙන් ප්‍රශ්න 5ක් | Page 2 | සිළුමිණ

සිසු දරුවන් සහ ගුරු අරගලය ගැන සිළුමිණෙන් ප්‍රශ්න 5ක්

1. ගුරු විදුහල්පති වෘත්තීය අරගලය නිසා මාර්ගගත අධ්‍යාපනය හෝ නොලැබීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය පසුබෑමකට ලක් වීම ඔබ දකින්නේ කෙසේද? 
2. ගුරු විදුහල්පතිවරුන් පාසල් නැවත ආරම්භ කිරීමට සහාය ලබා දීම සම්බන්ධයෙන් ඔබේ අදහස? 
3. රටේ ආර්ථික අර්බුදය සැලකීමට ගෙන ඇතැම් ගුරු විදුහල්පතිවරුන් තම භූමිකාව පිළිබඳව අවබෝධයෙන් දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමට කටයුතු කළ බව ඇතැමුන්ගේ අදහසයි. එයට එකඟද? 
4. ගුරු අරගලය අඛණ්ඩව ගෙනයෑමට හේතුව කඩාකප්පල්කාරී පිරිසකගේ මෙහෙයවීමක් බවට මත පළ වෙනවා. ඒ ගැන ඔබේ අදහස? 
5. සියලු වෘත්තිකයන් දේශපාලනික පිල් බෙදීමකින් තොරව යම් කැපකිරීමක් මේ මොහොතේ කළ යුතු යැයි ඔබ සිතනවාද? 

පොදු ජන පෙරමු‍ණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්

1. අධ්‍යාපනය අඩාළ වීමට ගැටලු දෙකක් බලපෑවා. එකක් covid 19 රෝග තත්ත්වය නිසා අපිට අවුරුද්දයි මාස 8 ක් විතර සෞඛය හේතූන් මතත් පාසල් ක්‍රියාත්මක කරන්න බැරි වුණා.ඊළඟට ඒ අතරතුර ඇති වුණ මේ ගුරු වර්ජනය නිසා අධ්‍යාපනයට යම් අඩාළවීමක් වුණා. ඒ නිසා විශේෂයන්ම මේ තත්ත්වය රටක් විදිහට අපි කළමනාකරණය කර ගන්නේ කොහොමද කියන ගැටලුව මේ වෙනකොට මතු වී ඇති අභියෝගයක්.අපි දේශපාලන ව්‍යාපාර විදිහට, රාජ්‍ය පාලනයේ ඉන්න පක්ෂ විදිහට, ආණ්ඩු විදිහටත් මේක අපිට බලපානවා. ආණ්ඩුවට සම්බන්ධ නැති සාමාන්‍ය පුරවැසියන්ටත් මේක බලපානවා. මොකද අවුරුදු දෙකක අධ්‍යාපන කාලපරිච්ඡේදයක් ශිෂ්‍ය ජීවිතෙන් එළියට ගත්තාම ඒක නැවත ප්‍රතිසංස්කරණය කර ගන්න සෑහෙන්න කාලයක් යනවා. මට මතකයි 1988 , 1989 වගේ කාලයේ තිබුණු රටේ තත්ත්වය නිසා අපට අවුරුදු දෙකක විතර කාලයක් අධ්‍යාපනය නැති වුණා. ඒක ඍජුවම දරුවන්ට එදා ඒ බලපෑම යළි සකසා ගන්න මම හිතන්නේ අවුරුදු 10 ක් 15 ක් ගියා. ඒ වගේ තත්ත්වයක් පළමු වතාවටයි මේ පාසල් අධ්‍යාපනයට බලපෑමක් වුණේ.

2. මෙතනදි වර්ජනයක් ක්‍රියාත්මක වෙන නිසා සමහර ගුරුවරුන් මේ සම්බන්ධව ඉන්නේ යම් කිසි එකඟතාවකින් නොවන බව පේනවා.හැබැයි ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මේ ප්‍රශ්නය ගැන අනිත් හැම ආණ්ඩුවකටම වඩා අපි තමයි මේ ගැන අවධානය යොමු කෙරුවේ. අපේ මැතිවරණ ප්‍රකාශයෙත් මේක තියෙනවා. ඒ වගේම මේ රටේ වැටුප් විෂමතා ප්‍රශ්නය වැඩියෙන්ම විසඳල තියෙන්නේ අපේ ආණ්ඩුව. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නෙවෙයි.1994 අපි ආණ්ඩුවට පත් වුණාට පස්සේ හුඟක් අය අහලා ඇති බීසී පෙරේරා වැටුප් කොමිසමක් දැම්මා 1995දී. ඒ වෙනකොට ලංකාවේ ඉහළ තනතුරුවල ඉඳලා ප්‍රධාන තනතුරු ධූරාවලියේ තනතුරු 150 ක් විතර තිබුණා කාණ්ඩ. මේ 150 ක් විතර තිබුණා . තනතුරු, කාණ්ඩ නිශ්චිත ලෙස කළමනාකරණය කරන්නයි ඒ. බී. සී. පෙරේරා කොමිසම දැම්මේ.ඒක දැම්මේත් අපේ ආණ්ඩුව. රිචඩ් පතිරණ ඇමතිතුමා විදුහල්පති ගුරු වැටුප් සංශෝධන ගෙනාවේ 1998 අපේ ආණ්ඩුව කාලේ. ඊළඟට ඊයේ පෙරේදා සාකච්ඡා කරන සුබෝධිනි අතිරේක ලේකම් තුමියගේ මූලිකත්වයෙන් දාපු කමිටුවත් දැම්මේ අපේ ආණ්ඩුවකින්.එතකොට අපි ආණ්ඩුවේ විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ වැටුප් වැඩි කළා. ගොඩක් අය 6%ක් වැඩි කරන්න ඕනේ කිව්වට, අපිට විරුද්ධව පෙළපාලි ගියාට යහපාලන ආණ්ඩුව ආපු වෙලාවේ සතයක්වත් වැඩි කළේ නැහැ. ඒ නිසා අපි තමයි ඒකත් කළේ.මෙතන විශාල මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ගොඩක් අය ඇවිල්ලා ලොකු කතන්දර කිව්වට ඒ අයගේ ආණ්ඩු කාලේ වැටුප් වෙනස් කරලත් නෑ.පහුගිය ආණ්ඩුවෙන් රු.10, 000 ක වැටුපක් හැම කෙනාටම වැඩි කළා ඇරෙන්න වැටුප් සංශෝධන, විධිමත් ලෙස කළේ අපේ ආණ්ඩුවයි.

3. සමස්තයක් විදිහට ගත්තාම ගුරුවරු වැරැදි දේවල් කරන නොවෙයි. වර්තමාන ගුරු පරපුරේ දේශපාලනිකව අපේ පක්ෂයත් සමඟ හිටපු අය අතිවිශෘල සංඛ්‍යාවක් ඉන්නවා. අපිට ඡන්දය දුන්න අයත් ඉන්නවා. අධ්‍යාපන හා සමූපකාර ඡන්දෙදි අපිට අනීත් බලවේග ඔක්කොම පරාජයට පත් කරලා ජයග්‍රහණය කරන්න ශක්තියක් තිබුණා මේ ගුරුවරුන් නිසා.ඒ නිසා මේ ගුරුවරු කියන්නේ අපිට විරුද්ධ අය හැටියට අපි හිතන්නේ නෑ.අපේ පැත්තෙන් කවුරු හරි එහෙම හිතනවා නම් ඒකත් වැරදියි. ඒකත් මං කියන්න ඕනේ.මොකද සම්පූර්ණයෙන්ම සමහර අය මේක නොතේරුම්කමට සමස්ත ගුරු පරපුරටම මේ වෙලාවේ විශාල පහරදීමක් කරනවා නම් ඒක වැරදියි. ඒ නිසා අපි හිතන්නේ මේ ප්‍රශ්නය නිසා ශිෂ්‍යයන්ගේ ජීවිතයට වුණ හානිය ගැන වැටහීමෙන් වැඩ කරන ගුරුවරු ඉන්නවා. එනිසා එතුමන්ලා හැම කෙනෙක්ම අපි ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න අවශ්‍යයි.

4. මම එය දකින්නෙ මෙහෙමයි. සමහර වෘත්තීය සමිති මේ වෙලාවේ කල්පනා කරනවා මේ ගැටලුවෙන් තමන්ගෙ පැත්තට වාසියක් ලබාගන්න.

මේක ඒකට හොඳ අවස්ථාවක් කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා ගුරුවරුන්ට සහාය දෙනවා කියලා පෙන්වන්න උත්සාහ කරනවා. වෘත්තීය සමිතිවලට තමන්ගේ වැඩ කරගෙන යන්න නිදහසක් අපේ රටේ තියෙනවා. වෘත්තීය සමිති හැසිරෙන විදිහ එහෙම තමයි. අධ්‍ය­ාපන අමාත්‍යාංශය පැත්තෙන් මේ සඳහා ඉදිරිගාමි ලෙස බොහොම හොඳ විදිහට මැදිහත් වෙලා ගුරුවරුන් වෘත්තීය සමිති අධානග්‍රාහි නම් ඒ ආධානග්‍රාහි වෘත්තිය සමිති වලට ගුරුවරු තල්ලු කරන්නේ නැතිව අපිත් ආණ්ඩුවක් ලෙස මේ ගැටලුව ශක්තිමත්ව කළමනාකරණය කරන්න අවශ්‍යයි. ගුරුවරුන්ගේ වෘත්තීය සමිතිවල අය කවදාවත් ළමයින්ට උගන්වන එක අතෑරලා වැඩ නොකර ඉන්නේ නැහැ; .ඒ ගුරුවරුන් රජය එක්ක හැප්පෙනවා.රජයේ තියන නීතිවලට යන්නේ නෑ.පරිපාලන වැඩ කරන්නේ නෑ.අන්න ඒ වගේ ඒව්ා කරනවා.අත්සන් කරන්නේ නෑ.එකපාරක් තිබුණා ගුරු වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගත්තා ,මොකද්ද ,ළමයින්ට උගන්නනවා අත්සන් කරන්නේ නැතිවුවත් ළමයින්ට උගන්නන ඒක නවත්තන්නේ නෑ.හැබැයි රජයට පාඩමක් උගන්වන්න

කියලා ගුරුවරු අත්සන් කරන්නේ නැතුව හිටියා. ඒත් වැටුප් ගෙවන්න අත්සන් කරන්න ඕනේ. අත්සන් කරන්නෙ නැති වුණාම වැටුප් ගෙවන්න බෑ.වැටුප් නොගෙවා හිටියාම සමාජ ප්‍රශ්න ඇති වෙනවා.ඒ නිසා වහාම ගුරුවරුන් එක්ක සාකච්ඡා කළා. ඉස්සර ගුරු වෘත්තිය ක්‍රියාමාර්ගවල තිබුණා ඒ වගේ වෙනස් තත්වයක්. දැන් ඒක නැති වීම නම් විශාල ප්‍රශ්නයක්. මම හිතන්නේ යම් කිසි ආකෘතියක් හදා ගත්තා නම් හොඳයි. එයත් ඔවුන්ගේ අවධානයට ගත යුතුයි කියලා මං හිතනවා.

5. දේශපාලන වශයෙන් වෙනස් අදහස් දුන්නාට කමක් නෑ. නමුත් මම කියන්නේ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න ඕනේ සමහර කොන්දේසි හා ආචාර ධර්මවලට යටත්වයි. නිසා වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න.ඒ වුණත් සමහර කාරණා ගැන සාරධාර්මිකව සාධාචාරාත්මකව හිතලා වැඩ කරන්න.


ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය

1.වසර දෙකක සිට දරුවන්ගේ අධ්‍යාපනය අඩාළ වුණා. කොවිඩ් වයිරසය පැතිරීමත් සමඟ පාසල් වසාදැම්මත් දරුවන්ට උගන්වන්න රජයට කිසිදු සැලසුමක් තිබුණේ නැහැ. මාර්ගගත අධ්‍යාපනයත් ගුරුවරුන් විසින් ආරම්භ කරන ලද්දක් මිසක; රජය පහසුකම් ලබාදී ආරම්භ කරන ලද දෙයක් නොවෙයි. මාර්ගගත අධ්‍යාපන ක්‍රමයට අවශ්‍ය පහසුකම් ගුරුවරුන්ට හෝ දරුවන්ට තිබුණේ නැති නිසා ඒ අධ්‍යාපනය සාර්ථකයි කියලා අපිට හිතන්න බැහැ. අපිට හිතන්න තියන දේ තමයි, දරුවන්ගෙන් අතිබහුතරයකට අධ්‍යාපනය ඇණ හිටියා කියන කරුණ. මේ ඇත්ත භාර අරගෙන තමයි අපිට ඉදිරියට යන්න වෙන්නේ. අධ්‍යාපනය අඩාළ වූ කාලය ගැන ආණ්ඩුව වගකිව යුතුයි. ඒ අතරම විශාල කාලයක් තිස්සේ නොවිසඳුණු ගුරු අරගලය ආවා. ඒ අරගලය ආරම්භ වන අවස්ථාවෙත් පාසල් වසාදමා තිබුණේ. ඒ නිසා ගුරු අරගලය නිසා අධ්‍යාපනයට පාඩුවක් වුණේ නැහැ. වෘත්තිය සමිති නායකත්වය අත්අඩංගුවට ගැනීමත් සමඟයි ස්වේච්ඡාවෙන් ආරම්භ කළ මාර්ගගත අධ්‍යාපන කටයුතුත් නතර කිරීමට ගුරුවරුන් තීරණය කළේ. දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට ක්‍රමවේදයක් සැලසුම් කිරීම අත්‍යවශ්‍යයි. ඒ හැර වෙනත් විකල්ප නැහැ. සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ පන්තිවලට විශේෂ අවධානය යෙදවිය යුතුයි . කොවිඩ් තවම ඉවර වෙලා නැහැ ; ඒ තත්ත්වයත් හිතට අරගෙනයි මේ දේවල් කළ යුතු වන්නේ; සංචාරක ව්‍යාපාරය විවෘත කර තිිබෙන නිසා කොවිඩ් තවම පවතිනවා කියන අදහසින් අධ්‍යාපනය කෙසේ පවත්වාගෙන යා යුතු ද කියා සැලසුම් කළ යුතුයි. ගුරුඅරගලයත් සමඟ ආණ්ඩුව දැනට අරන් තියන ක්‍රියාමාර්ග නම් හරියන්නේ නැහැ.. ගුරු අරගලයට සාකච්ඡා මාර්ගයෙන් හොඳ විසඳුමක් ලබාදීම අත්‍යවශ්‍යයි.

2. ගුරුවරුන්ට පාසල ආරම්භ කිරීම පිළිබඳව කිසිදු ගැටලුවක් තිබුණේ නැහැ. ඒ අය ඉල්ලන්නේ ඒ අයගේ සාධාරණ ඉල්ලීමයි. වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා, 25 වනවිට රාජකාරියට යන්න. 23, 24 පමණයි; ඒ අය වැඩවර්ජනයක් කරන්නේ. ගුරුවරුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් කටයුතු කරන අතරම දරුවන් වෙනුවෙන් පාසල් ආරම්භ කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි.

3. ගුරුවරුන්ගේ ප්‍රශ්නය විසඳගන්න රටේ ආර්ථික තත්ත්වය විසඳගන්න කුරු බලා ඉන්න බැහැ. ගුරුවරුන් අවුරුදු 23ක් මේ ප්‍රශ්න සමඟ හිටියා. මෙතැනදී වැදගත් වන්නේ ප්‍රමුඛතාවයි. රටේ අනෙක් දේවල්ද දරුවන්ගේ අධ්‍යාපනය ද ප්‍රමුඛ වන්නේ කියා සලකා බැලිය යුතුයි. දරුවන්ගේ ගුණාත්මක භාවය රඳා පතින්නේ ගුරුවරුන් මතයි. ඔවුන් අධෛර්යමත්ව ඉන්නවා නම් අධ්‍යාපනය සාර්ථක වෙන්නේ කොහොමද? හොඳම කුසලතා සහ සුදුසුකම් තිබෙන අය නැතිනම් අපිට ගුරු වෘත්තියේ ගුණාත්මක භාවය ඉහළ දාන්න බැහැ . පසුගිය 2011- 2012 විශ්වවිද්‍යාල ගුරුඅරගලය පිටුපස තිබුණු ප්‍රධාන කාරණාවක් නම් සුදුසුම පිරිස විශ්වවිද්‍යාල තුළ රඳවාගන්නට අවශ්‍ය නම් ඊට හොඳ වැටුපක් අවශ්‍ය බවයි . ගුරුවරුන්ටත් ඒ අදාළ වෘත්තිමය ඇගැයීම් ලබා දිය යුතුයි. එය වැටුපෙන් පමණක් කරන්න අපහසුයි. සේවය ඇගැයීම වැනි දේවල් කළ යුතුයි. මේ පවතින ආණ්ඩුවේ වාමාශික පක්ෂ කිහිපයක් ඉන්නවා. වෘත්තිය සමිති ක්‍රියාකාරින් රැසක් ඉන්න පක්ෂයක එහෙම දේශපාලන ව්‍යාපාරයක් මේ වගේ ගුරුවෘත්තිය අරගලයකදී හැසිරිම කිසිසේත් අනුමත කරන්න බැහැ. මේ විදිහට වෘත්තිය සමිති සමඟ හැප්පෙන එක සහ මර්දනය කිරීම ඉතාමත් කනගාටුදායකයි.

4. ගුරුවරුන් ස්වේච්ඡාවෙන් කරපු මාර්ගගත අධ්‍යාපනයෙන් ඉවත් වුණා. මාර්ගගත ක්‍රමය ඒ අයට රජය පැවරූ රාජකාරියක් නොවෙයි. වැටුප් අරගලය සම්බන්ධයෙන් ඒ අයගේ ගැටලු සමාජයට ඉදිරිපත් කිරීමට දීර්ඝ කාලයක් කටයුතු කළා. ආණ්ඩුව විවේචනය කරන සියලු දෙනා කඩාකප්පල්කාරීන් කියලයි මේ ආණ්ඩුව කියන්නේ.. මේ ගුරු වර්ජනය ඇතුළෙත් බහුතරයක් ඉන්නේ මේ ආණ්ඩුවට ඡන්දය දුන්න පිරිසක්. මොන පක්ෂයකටවත් බලහත්කාරයෙන් මිනිසුන් අරගලවලට ගේන්න බැහැ. වෘත්තිය හෝ වෙනත් ගැටලු නොතිබුණා නම් ගුරුවරයා අරගල කරන්නේ නැහැ. ඒ අයගේ නොවිසඳුණු ගැටලු තිබෙනවා. ගුරුවරුන් කියන්නේ විපක්ෂවලට හිතුණ ගමන් පාරට බස්සන්න පුළුවන් අය නොවෙයි. ජාතික ජනබලවේගයට හෝ සමඟි ජනබලවේගයට ඒ අයව පාරට ගන්න බැහැ; ඒ අය පාරට බැස්සේ දේශපාලනයකින් තොරව සාධාරණ ඉල්ලිම් රැසක් දිනා ගන්න. වෘත්තිය සමිති හැටියට සාමජිකයන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදී වෘත්තිය සමිති ව්‍යාපාර මෙහෙයවීම වරදක්. ඒ නිසා වෘත්තිය සමිති නායකත්වය මේ වෙනුවෙන් පෙනී සිටිනවා. ප්‍රශ්න නිර්මාණය කරන්න වෘත්තිය සමිති ව්‍යාපාරයකටවත් දේශපාලන පක්ෂයකටවත් බැහැ. ජනතාව එවැනි ක්‍රියාමාර්ගවලට යොමුවෙන්නේ ඒ අයගේ අයිතිවාසිකම් අහිමි වූ විටයි.

5. වෘත්තිය සමිති ඉන්නේ ආණ්ඩුව සතුටු කරන්න නොවෙයි. සාමාජිකයන්ගේ සාධාරණ ඉල්ලීම වෙනුවෙන් පෙනී සිටීමයි වෘත්තිය සමිති නායකත්වයේ වගකීම. වෘත්තිය සමිති ව්‍යාපාර කියන්නේ ප්‍රජාත්‍රාන්තික ව්‍යුහයක් තුළ නීතියෙන් පිළිගත් ආරක්ෂා වූ සංවිධානයන්. ඒ අය සමඟ ගනුදෙනු කිරීම ආණ්ඩුවේ වගකීමක්. නිහඬව නොසිට ආණ්ඩු වෘත්තිකයන්ගේ ප්‍රශ්න විසඳිය යුතුයි.


සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

1. ඇත්ත වශයෙන්ම දරුවන්ගේ අධ්‍ය­ාපනය විශාල පසුබෑමකට ලක්වුණා. ගුරු අරගලයන් නිසා නොවෙයි ඒ දේ වුණේ. කොවිඩ් වසංගතය නිසා පාසල් වසා දැමීමත් සමඟ මේ ආණ්ඩුවට සැලසුමක් තිබුණේ නැහැ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට. මේ සම්පත් අසමතුලිතභාවය නිසා මුදල් ඇති පිරිසකට එය ඒතරම් ගැටලුවක් නොවෙයි. එහෙත් අඩු ආදායම් පවුල්වල දරුවන්ට මාර්ගගත අධ්‍යාපන කටයුතුවලටවත් සහභාගිවීමට නොහැකිවීම නිසා දැඩි අසීරුතාවට පත්වුණා. ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ට අධ්‍යාපනය අඩාළවීම විශාල ලෙස බලපා තිබෙනවා. මේ අධ්‍යාපනය කඩාකප්පල්වීම සිදුවුණේ මුල ඉඳලා රජයට අධ්‍යපනය පිළිබඳව නිසි කළමනාකාරිත්වයක් තිබුණේ නැති නිසයි. රජයේ සහ පෞද්ගලික රූපවාහිනි සමඟ සම්බන්ධවෙලා දරුවන්ට අධ්‍ය­ාපනය ලබා දීමට කටයුතු කරන්න රජයට පුළුවන්කම තිබුණා.

2. මේ ගැටලුවේ දෙපැත්තක් තිබෙනවා අපේ ගුරුවරුන් අතීතයේ සිට දරුවන්ට කැපවීමෙන් ඉගැන්නුවා කියලා අපි දන්නවා . මේතරම් කැපවීම් කරන ගුරුවරුන්ගේ වැටුප තිබුණේ ඉතාමත් අඩු මට්ටමක. 2015 දී තිබුණේ ඉතාමත් පොඩි වැටුපක්. අපි ඒ වැටුප සියයට 106%ක් දක්වා වැඩි කළා. තවත් වැඩි කරන්න නිර්දේශ කර තිබුණා. 2019 වර්ජන රැසක් ආවා. පරිපාලන සේවය පවා වැඩවර්ජන කරන්න උත්සාහ කළා.

අපි බලයේ ඉන්න කාලයේ මේ වත්මන් ආණ්ඩුව වෘත්තිකයන් පෙලඹෙව්වා උද්ඝෝෂණය කරන්න.අපේ කාලයේ ජනාධිපතිවරයා කැබිනට් අනුකමිටුවක් පත් කළා. එහිදී ගුරුවරුන්ගේ ඉල්ලීම් පිළිබඳව අපි කතා කළා. එපමණක් නොවෙයි සියලු පාර්ශ්වයන්ගේ ප්‍රශ්න ගැන කතා කළා. ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැන විවෘතව සාකච්ඡා කළ යුතුයි. ආණ්ඩුව කොමිසන් පත් කළාට අද වන තුරුත් ගුරුවරුන්ට නිසි විසඳුමක් නැහැ. දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණිය යුතුයි. එක් පැත්තකින් සල්ලි නැහැ කියනවා පඩි වැඩිකරන්න. ඒත් ආරක්ෂක අමාත්‍යාංශයට, මහමාර්ගවලට විශාල මුදලක් වෙන්කර තිබෙනවා. මේ දේවල් එකක්වත් මේ අවස්ථාවේදී ප්‍රමුඛතාව දිය යුතු දේවල් නොවෙයි . ප්‍රමුඛතාව දිය යුත්තේ පවතින ක්‍රමවේද හරහා දරුවන්ට අධ්‍යාපනය ලබන්න හොඳ ක්‍රමවේදයක් සකස් කිරීමයි.

3. එම අදහස අසාධාරණ නැහැ. අපි මධ්‍යස්ථ තැනකට පැමිණිය යුතුයි . දරුවන්ට ආදරය කරන නිසා ගුරුවරුන් නිසි තැනකට එයි කියලා අපි විශ්වාස කරනවා. මේ ගුරුඅරගලය අත් හිටුවීම නිසා ඒ අය උලතියනවා කියන්න උසුළු විසුළු කරන්න හොඳ නැහැ. මේ ප්‍රශ්නය දෙස රජය බලන්නේ සාධාරණ කෝණයෙන් නොවෙයි කියලා ඉතාමත් පැහැදිලියි . ඒ නිසා මූලිකව සාධාරණව ප්‍රශ්න දෙස බැලිය යුතුයි. ගුරුවරුන්ව නිරෝධායනයට අරන් ගිය ආකාරය අපි දැක්කා. එය රටටම අපකිර්තියක් කියලයි මම හිතන්නේ.

4. මේ ගුරු වැඩවර්ජනය කරන්නේ ගුරුවෘත්ති සමිතියි. ගුරුවෘත්තිය සමිතිවල නොයෙක් දේශපාලන මතවාද දරන පිරිස් ඉන්නවා . සමඟි ජන බලවේගයේ පොදු ජන පෙරමුණේ සහ ජවිපේ අය පමණක් නොවෙයි සියලු දෙනා ඉන්නවා. කඩාකප්පල්කාරී අය ලෙස ඔවුන් මේ වර්ජන මෙහෙයුවේ නැහැ. එදා අපි ආණ්ඩුබලයේ ඉන්න කාලයේ මේ ආණ්ඩුව විපක්ෂයේ ඉන්න කාලයේ සැලසුම් සහගතව උද්ෂෝෂණ මෙහෙයුවා. මේ අවස්ථාවේදී ආණ්ඩුව සදාචාර සම්පන්න ලෙස කටයුතු කළේ නැහැ. අපි ගුරුවරුන්වත් ගොවීන්වත් පෙලඹ වූයේ නැහැ. එදා අපිට විරුද්ධව පාරට බැස්සුවේ විපක්ෂයේ ඉඳගෙන විවිධ මත තියන අය නොවෙයි, සම්පූර්ණයෙන් විපක්ෂයේ මතයයි එදා උද්ඝෝෂණ තුළ තිබුණ්.

5. සියලු දෙනා එකතු විය යුතුයි වගේම සැලසුමක් තිබිය යුතුයි. සමඟි ජන බලවේගයේ විසින් රටේ ඉදිරි වැඩපිළිවෙළ ගැන කල්පනා කරමින් කටයුතු කරනවා. සමාජ වෙළෙඳ පොළ ආර්ථිකයක් ගොඩනැඟීමට අපි ඉදිරියේදී කටයුතු කරනවා. සියලු දෙනාටම අභිමානයක් වන ලෙස දිරිගන්වන්න ඒ මතින් ආර්ථිකය හැඩගස්වන්න අවශ්‍යයි. රජය මෙන්ම ව්‍යවසායකයන් ආයෝජකයන් සේවායෝජකයන් සේවක පක්ෂය සියලු දෙනාටම යම් ගෞරවයක් ඇති වෙන ආකාරයට අපේ ආර්ථික සැලසුම් සකස්කර තිබෙනවා. මේ සියලු පාර්ශ්වයන් ප්‍රතිපත්තිමය කාරණාවලදී එකඟ භාවයෙන් කටයුතු කළ යුතුයි. වෙනත් රටවල අදාළ සියලු පාර්ශ්ව එකතු වෙලා තීන්දු ගන්නවා.

ඒ නිසා සියලු දෙනා කැමැති තැනකට එනවා. අපි සමඟි ජනබලවේගය ඉදිරිපත් කරන සමාජ වෙළෙඳ පොළ දර්ශනය මේ රටට ගැළපෙනවා. මේ රජයට ඒ කිසිදු දෙයක් ක්‍රියාවට නැංවීමට කිසිඳු අවශ්‍යතාවක් නැහැ; මේ ව්‍යූහාත්මක වැඩපිළිවෙළ මඟින් රට නැවත ගොඩනගන්න හැකිවෙයි.

අනවබෝධය නැති කර සමාජ අසාධාරණකම් නැතුව රට ගොඩනඟන්න පුළුවන් ක්‍රමයක් අපි අනුගමනය කළ යුතුයි. විශේෂයෙන් මේ වැඩවර්ජන එමඟින් අඩුවිය හැකියි. වර්ජන නිසා විශාල ලෙස ආර්ථිකයය ඍණාත්මක බලපෑම සිදු වෙනවා. ඒ නිසා ඒ අයගේ අදහස් යෝජනා ගෙන සාකච්ඡා කරමින් තිරසර විසඳුමකට එළැඹිය යුතුයි.

Comments