සුනඛයන්ට දරුවන්ට සේ ආදරය බෙදා අබිරහස් ලෙස මිය ගිය ජර්මන් කතක් | සිළුමිණ

සුනඛයන්ට දරුවන්ට සේ ආදරය බෙදා අබිරහස් ලෙස මිය ගිය ජර්මන් කතක්

මෙසේ මිය ගියේ තරුණ කළ ඉතා රූමතියක්ව සිටි ජර්මන් ජාතික සබීන් මතීය

ජර්මන් ජාතික කාන්තාවක වූ සබීන් මතී ගේ සැමියා වෛද්‍යවරයෙකි. දරුවන් නොමැති ඇය තම සැමියාගෙන් වෙන්ව මීට වසර දොළහකට පමණ ශ්‍රී ලංකාවට පැමිණ ඇත. කළුතර වාද්දුව ප්‍රදේශයේ පුද්ගලයකු සමඟ විවාහ වූ ඇය ටික කලකින් එම විවාහයෙන්ද නිත්‍යානුකූලව වෙන් වූවාය. අනතුරුව රඹුක්කන හිරිවඩුන්නට පැමිණ තනිවම ජීවත්වෙමින් ආබාධිත හා අයිතිකරුවන් නොමැති සුනඛයන් රැක බලාගනිමින් සිටියදී පසුගිය 15 දා ජීවිතයෙන් සමුගත්තේ ඇයගේ මරණය සම්බන්ධයෙන් අබිරහසක් ඉතිරිකර තබමිනි.

රඹුක්කන පින්නවල අලි අනාථාගාරය සමීපයේ හිරිවඩුන්න පිටවෙල පිහිටි පර්චස් විස්සක පමණ බිමක අඩක් නිම කළ නිවස ඇයගේ නවාතැන විය. නිවසේ මූලික අවශ්‍යතා තම වියදමින් නිමකර ගත් ඇය එම නිවස වසර හයක කාලයක් සඳහා බදුගෙන ඇත. එම බදු කාලය ලබන වසරේ නොවැම්බර් මාසයේදී නිමවීමට නියමිතය.

ඇය සුනඛයන්ට බෙහෙවින් ආදරය කළාය. රුපියල් දහස් ගණන් වටිනා සුනඛයන්ට නොව ඇයගේ ආදරය හිමි වූවේ මහමඟ රෝගී වූ හා අයාලේ යන සුනඛයන්ටය. ඇයගේ මරණය සිදුවන විටත් එවැනි සුනඛයන් දොළොස්දෙ­‍ෙනක් ඇයගේ නිවසේ රැකවරණය ලැබූහ.

ඇයගේ නිවසේ දිනපතා හාල් කිලෝ දහයක බත් හා කුකුල් මස් හෝ මාළු සැකසිණි. නිවසේ ඇතිකරන සුනඛයන් සඳහා දවසට වේල් දෙකක් හාල් කිලෝ හයක බත් සැපයිණි. ඉතිරි හාල් කිලෝ හතරක බත් හිරිවඩුන්න හා ඒ අවට මහාමාර්ගයේ සිටින සුනඛයන් වෙනුවෙනි. මහාමාර්ගය දෙපස තුවාල ලබා රෝගීව සිටින සුනඛයන් සඳහා සැමදා ඇයගේ නිවසේ දොරගුළු විවෘත විය. තුවාල ලැබූ සුනඛයන් පිරිසිදු කිරීමත්, බෙහෙත් දැමීමත් සිදු කෙරෙන්නේ ඇයගේ දෑතිනි. අයාලේ යන සුනඛයන් කෑගල්ල නගරයට ගෙනගොස් සැත්කම්වලට භාජනය කිරීමද ඇයගේ වියදමින්ම සිදු විය. ඇය විසූ නිවසේ සුඛෝපභෝගී පුටු අමුත්තන් වෙනුවට හැමවිටම වෙන් වූවේ සුනඛයන් වෙනුවෙනි.

සබීන් මතී පදිංචිව සිටි නිවෙස ආසන්නයේ මීටර තුන්සියයක පමණ දුරින් විශ්‍රාමික හමුදා නිලධාරියකු වූ එස්. ජී. දිසානායක පදිංචිව සිටී. ඔහු ත්‍රිරෝද රථ රියදුරකු ලෙස සේවය කරන්නෙකි. මෙම ජර්මන් ජාතික කාන්තාව සමඟ හයර් එකක් යාම සඳහා ඔහුට ඇය හඳුන්වා දෙන්නේ තවත් ත්‍රිරෝද රථ රියදුරෙකි. ටික දිනකින්ම ඇයගේ විශ්වාසය දිනා ගැනීමට ඔහුට හැකි විය. එම විශ්වාසය කෙතරම්ද යත් තම නිවසේ අතිරේක යතුරක්ද ඇය දිසානායකට ලබාදී තිබිණි. ඇයගේ රාජකාරි ඉටුකිරීම වෙනුවෙන් මාසිකව රුපියල් හතළිස් දහසක වැටුපක්ද ඇය ඔහුට ලබාදී ඇත. හදිසියේම මියගිය මෙම කාන්තාව සම්බන්ධයෙන් ඔහු පවසන්නේ මෙබන්දකි.

මගේ ගෙදර ළඟ ඉඳලා මීටර් තුන්සීයක් විතර දුරින් තමයි නෝනා පදිංචි නිවස තියෙන්නේ. පස්සේ මට හැමදාම එයාගේ හයර් යන්න කතා කළා. නෝනා කියන වෙලාවටම එන නිසා එයා මට ගොඩක් කැමැතියි. පස්සෙ නෝනා මට කිව්වා මාසයකට රුපියල් හතළිස් දාහක් දෙන්නම් එයාගේ වැඩ කටයුතු කරලා දෙන්න කියලා. මමත් කැමැති වෙලා 2017 ඉඳලා නෝනා කියන වැඩ කරලා දෙනවා. මටත් වෙලාවට සල්ලි දෙනවා.

පසුගිය 11 උදේ නෝනා මට කිවුවා කෑගල්ලේ බැංකුවට ගිහින් රුපියල් ලක්ෂ පහක් ගෙනත් දෙන්න කියලා. මම ලක්ෂ පහක් අරගෙන නෝනා කිවුව බඩුත් අරගෙන ඉතිරි මුදල් නෝනා අතට ගෙනත් දුන්නා.

14 වෙනිදා දවල් එකට විතර මම නෝනා බලන්න ආවා. පසුවදා මම වුවමනාවකට කොළඹ යනවා කියලා නෝනාට කීවා. ඊට පස්සේ නෝනා මට කීවා එහෙනම් පරිස්සමින් ගිහින් එන්න.මොකද උඹට මොනවත් වුණොත් මට පාඩුයි.මගේ දේවල් කරලා දෙන්න වෙන කෙනෙක් නැහැ කියලා.මට හොඳට ඉංග්‍රීසි කතාකරන්න බැරිවුණත් නෝනා කියන දේ මට හොඳට තේරෙනවා.

මම එදා (15) උදේ අටට විතර බල්ලන්ට බත් දීලා දවල්ටත් දෙන්න කියලා නෝනාට කියන්න ආවා. උදේට කවදාවත් නෝනා ඉන්න ගෙදර දොර වහලා තියන්නේ නැහැ. එදා දොර ලොක් කරලා තිබුණා. පස්සේ මම ළඟ තියෙන යතුරෙන් දොර ඇරගෙන ගේ ඇතුළට ගියා. යනකොට මේසය උඩ නෝනා ලියපු ලියුමක් තිබුණා.ඊට පස්සේ මට පොඩි සැකයක් ඇති වුණා. මම නෝනා ඉන්න කාමරයට ගිහින් බැලුවා. කාමරයේ ලයිට් එක නිවලා ඒසී එක දාලා තිබුණා. මම ලයිට් එක දාලා බැලුවා. නෝනා ඇඳේ හිටියා. මම එයාගේ අත අල්ලලා බැලුවා. මුළු ශරීරයම සීතල බව දැනුණා. මම ඒ ගමන්ම ළඟ ගෙවල් දෙකක අයටත් කියලා රඹුක්කන පොලිසියටත් දැන්වූවා.“

කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ (SOCO)ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලංග දෙහිමඩුගේ මේ සම්බන්ධයෙන් පවසන්නේ මෙබන්දකි.

“වයස අවුරුදු හැට පහක්වූ මියගිය තැනැත්තියගේ මරණය සිදුවූ ස්ථානයෙන් සැක කටයුතු කිසිවක් හමුවූවේ නැහැ. මළ සිරුර අසලත්, මිය ගිය තැනැත්තියගේ අතකත් බෙහෙත් පෙති වගයක් තිබිලා හමු වුණා. ඇය මියයන්නට ඇත්තේ මෙම බෙහෙත් පෙති පානය කිරීමෙන් බවට අපි සැක කරනවා. ඇයගේ ඥාතීන් පැමිණ සිරුර හඳුනාගත් පසුව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි. ඇයගේ සිරුර දැනට කෑගල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබෙනවා. මෙය මනුෂ්‍ය ඝාතනයක්ද නැතිද යන්න පිළිබඳව අවසන් නිගමනයකට එළඹිය හැකිවන්නේ එම පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුවයි.“

මෙම කාන්තාව භාවිත කළ දුරකතන අංක ඔස්සේ ඇයගේ එරට ඥාතීන් හඳුනා ගැනීමට තානාපති කාර්යාල හරහා කටයුතු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරියේදී කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙනවා.“රඹුක්කන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මැල්කම් පේට් පැවසීය.

Comments