අග­මැති මහි­න්ද­ගෙන් හා වාසු­ගෙන් නව­ක මන්ත්‍රීවරුන්ට පාඩ­මක් | සිළුමිණ

අග­මැති මහි­න්ද­ගෙන් හා වාසු­ගෙන් නව­ක මන්ත්‍රීවරුන්ට පාඩ­මක්

ණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් යම් යම් උණුසුම් සිදුවීම් මැද පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ තිරය පිටුපස කතා ද දිගහැරිණ.

යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුළ යම් උණුසුම් කතාබස් ඇතිවෙමින් තිබෙන අවස්ථාවක විපක්ෂය උණුසුම් වූයේ සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සිය සංවිධාන ධූරවලින් ඉවත්වීම නිසාය.

යුගදනවි කැබිනට් පත්‍රිකාවට නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට පොදුජන පෙරමුණේ පක්ෂ නායක හමුවේදී එකඟතාව පළ විය.

පසුගිය සති කිහිපය තුළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඇතුළාන්තයේ ද යම් යම් මතභේද හා ගැටුම් තිබුණු බවට දේශපාලන කතිකාව තුළ කතාබහක් ඇති විය.

අගමැති මහින්ද, වාසු අගයයි

ඊට හේතු වූයේ ආණ්ඩු පක්ෂයේ සිටින පක්ෂ 11 කින් සමන්විත මන්ත්‍රීවරු කණ්ඩායමක්, අද රට මුහුණ පා සිටින අර්බුදය පිළිබඳ වෙනම සාකච්ඡා කරන්නට පටන් ගැනීමයි. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළාන්තයේ ද විවිධ මත පළ වූ බව රහසක් නොවේ.

තත්ත්වය මෙසේ තිබියදී ජනාධිපති ගෝඨාභය ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පවත්වන්නට තීරණය කළේය.

එම කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ පසුගිය 24 වැනි ඉරිදා රාත්‍රියේ ජනාධිපති මන්දිරයේය.

මුලින් කතාබහ ආරම්භ කරමින් කතා කළේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයාය.

‘‘පාර්ලිමේන්තුව ඇතුළේ විපක්ෂය දැන් එකතුවෙලා ඉන්නේ. ඒගොල්ලෝ දේශපාලන වාසි ලබාගන්න විවිධ චෝදනා ආණ්ඩුවට නගමින් කථා කරනවා. විවිධ තර්ක වාද විවාද මතුකරනවා. දේශපාලන වාසි ලබාගන්න කරන මේ තර්කවලට අපි ශාස්ත්‍රීය උත්තර දීලා හරියන්නේ නෑ. අපි මේගොල්ලන්ට උත්තර දෙනව නම් දෙන්නත් ඕන දේශපාලන උත්තරවලින්ම විතරයි. ගැලරියට කතා කරනකොට ගැලරියටම උත්තර දෙන්න වෙනවා.’’ ජොනී කීවේය.

කම්කරු ඇමති ඉඩම් ඇමති කෘෂිකර්ම ඇමති ඇතුළු ඇමතිවරු ගණනාවක්ම ඉන් පසුව ඉදිරිපත් වී තම තමන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් ගැන අනෙකුත් මන්ත්‍රීවරු දැනුම්වත් කළහ. ඒ අතරතුර වාසුදේව නානායක්කාර ඇමතිවරයා කතා කළේය.

‘‘ මම අවුරුදු පනහක් දේශපාලනය කරපු පාර්ලිමේන්තු දේශපාලනය ගැන හොඳ අවබෝධයක් තියෙන මන්ත්‍රීවරයෙක්. ආණ්ඩුවක කටයුතු කරන හැටි ගැනත් විපක්ෂයක ඉදිද්දි කටයුතු කළයුතු ආකාරය ගැනත් මට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ අතරේ ආණ්ඩුවේ ම සමහරු මට ඇහුණ කියනවා අපි ආණ්ඩුව ඇතුළේ ඉඳන් ආණ්ඩුවට විරුද්ධව වැඩ කරනවා කියලා.

නමුත් අපි මේ යථාර්ථය තේරුම් ගත යුතුයි. ආණ්ඩුව ඇතුළේ අපි එකතුවෙලා ඉන්නේ විවිධ දේශපාලන මතිමතාන්තර තියෙන, දේශපාලන විවිධතා රාශියක් ඇති කණ්ඩායම් කීපයක්. එතෙන්දි අපි අපේ ප්‍රතිපත්ති ගැන කතා කරන කොට සමහර වෙලාවට ආණ්ඩුවට විරුද්ධයි වගේ දැනෙනවා ඇති. අපේ ප්‍රතිපත්තිවලට අනුව අපේ හෘදය සාක්ෂියට අනුව අපි කතා කරනවා. අපි විවේචනය කරන්නේ, සමහර වැරදි පෙන්නල දෙන්නෙ ආණ්ඩුව රැක ගන්න මිසක් ආණ්ඩුව කඩලා බිඳලා දාන්න නෙමෙයි.

 

ජනපති, අගමැති හා වාසු ගැන කියූ දේ

වාසුදේව තම කතාවේදී මහින්ද රාජපක්ෂ නම් කෘතහස්ත දේශපාලඥයා සමඟ තමන් ද අවුරුදු පනහකට අධික කාලයක් මේ රටේ දේශපාලනය කළ ආකාරය ද මතක් කළේය.

මේ අවස්ථාවේ දී අගමැති මහින්ද රාජපක්ෂ ද වාසුදේවගේ කතාව ගැන ඇගයීමක් කළේය. ඉන් අනතුරුව කතා කළේ රෝහිත අබේගුණවර්ධන ඇමැතිවරයාය.

‘‘අපි තුනෙන් දෙකක බලයක් සහිතව ආණ්ඩුව භාරගත්ත ශක්තිමත් කණ්ඩායමක්. රට බාර ගත්ත ගමන් කොවිඩ් වසංගතය වගේ නොහිතපු අභියෝගවලට අපිට මුහුණ දෙන්න සිදුවුණා. එහෙම තියෙද්දිත් අපි සාර්ථකව මුහුණ දෙමින් රට ගොඩනගන කාර්යභාරයට ජනාධිපතිතුමාට උර දෙනවා. විපක්ෂය අපිට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරනවා. එහෙම වෙලාවක අපි තුනෙන් දෙකක බලයක් තියෙන ආණ්ඩුවක් හැටියට විපක්ෂයට විරුද්ධ නොවී අපි අපිම විවේචනය කර ගන්නකොට තමයි ආණ්ඩුවේ ශක්තිය පිරිහිලාය කියලා පිටට වැරදි ආරංචියක් යන්නේ.

අපි ඇතුළෙදි අපේ ප්‍රශ්න කතා කරලා විසඳගමු. රණ්ඩු වෙමු, බැණ ගමු. පිටදී ආණ්ඩු පක්ෂයක් විදියට එකට ඉඳගෙන අපිත් දේශපාලන හතුරන් පරාජය කරන සටනට එකතු වෙමු. උදාහරණයක් වශයෙන් පොහොර ප්‍රශ්නෙදි මහින්දානන්ද ඇමතිතුමාව තනි නොකර අපි මේ ව්‍යාපෘතිය වෙනුවෙන් කතා කරමු’’

ඉන් අනතුරුව සුරේන් රාඝවන් හරි අමුතුම කතාවක් කීවේය.

‘‘මම පහුගිය දවස්වල උතුරේ ගොවි ජනතාව හොඳින් වගා කරන පළාත් ගණනාවක සංචාරය කළා. ඒ මිනිස්සු දකුණට ගිහින් කියන්න කියලා හොඳ පණිවිඩයක් කිව්වා. අපට කලට වෙලාවට වතුර ටික දෙන්න. අපිට රසායනික පෝර බේත් කිසිවක් එපා. අපි ඉල්ලන්නේ වතුර විතරයි. ඒ වෙනුවට රටටම අවශ්‍ය හාල්, එළවළු, පලතුරු, අල, ලූනු ටික අපි දෙන්නම්. අන්න ඒ මිනිස්සු මේ ප්‍රශ්නය දිහා බලන විදිය.

ඉන්පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කතා කළේය. විපක්ෂය මේ කොවිඩ් අර්බුදය පොහොර ප්‍රශ්නය වගේ ජාතික ගැටලුවලට විසඳුම් හොයන්නේත් දේශපාලනයෙන්. කොවිඩ් අර්බුදය වගේම මේ පොහොර ප්‍රශ්නයත් ජාතික වශයෙන් විසඳුම් හොයා ගන්න ඕන ප්‍රශ්න දෙකක්. පටු අරමුණු තියාගෙන මේවා වලට විසඳුම් කියන්න බැහැ. නමුත් විපක්ෂයේ හැසිරීම කනගාටුදායකයි. දැන් පොහොර ප්‍රශ්නය ගත්තාම ඒක අපි හදිසියේ ගත්ත තීන්දුවක් නෙවෙයිනේ. මහ කන්නයට වගාවට රසායනික පොහොර ගේන් නෑ කියලා අපි ගොඩක් කලින් කිව්වේ. අපිට විසඳුම් හොයා ගන්න කාලය ඕන තරම් තිබුණා. නිලධාරීන් පවා මේ ප්‍රශ්නයෙන් කර ඇරියා මිසක් විසඳුම් හෙව්වේ නෑ.’’

එසේ කියමින් ජනාධිපතිවරයා ඊළඟට වාසුදේව නානායක්කාරගේ කතාව අගය කළේය. වාසුදේවලාගේ හා මහින්ද රාජපක්ෂලාගේ දේශපාලනය අලුත් පරපුර පාඩම් ඉගෙන ගත යුතු අන්දම ජනාධිපතිවරයා විස්තර කර කීවේය. ජය හා පරාජය හමුවේ සටන්කාමිත්වය අත නොහැර දිගින් දිගටම පැමිණි ගමනක හැඩ ගැන ඔහු අගනා විස්තරයක් කළේය.

‘‘අනිත් එක නවක මන්ත්‍රීවරු පුළුවන් තරම් ජනතාව අතරට යන්න. ජනතාව අපිට සමීප වෙන්න අපිත් එක්ක කතාබහ කරන්න හරි කැමතියි. ඡන්දෙට විතරක් ජනතාව ළඟට ගිහිල්ලා ඊට පස්සේ ජනතාව දකිනකොට දුවන්න පටන් ගන්න එපා. මම ඊයෙ ගියා කුලියාපිටිය දුම්මලසූරිය පළාතේ ගමක ගොවිපොළක් බලන්න. හිතුන විශාල වශයෙන් අහිංසක ගැමි ජනතාව රැස් වෙලා අපිව වටකරගත්තා. ඔයාලගේ තියෙන ප්‍රශ්න මට කියන්න කිව්වම ඒ ගමේ අම්මලා කිව්වා අනේ මහත්තයෝ ප්‍රශ්න ගොඩක් තියෙනවා ඕගොල්ලන්ව දැක්කම අපිට ඒ ප්‍රශ්නත් අමතක වෙලා යනවා කියලා. ඔන්න ඕක තමයි ඇත්ත. මහින්ද රාජපක්ෂ, වාසුදේවලා වගේ අය ජනතාව අතරේ රැඳී හිටියේ ළඟට ගිහිල්ලා ජනතාවගේ දුක අහපු නිසයි.’’

බොහෝ මන්ත්‍රීවරුන් මෙහිදී තම තමන්ගේ අදහස් දක්වන්නට වූහ. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ඔවුන්ගේ අදහස් ගරු කරමින් ඒවා අසා සිටියහ. ඇතැම් අදහස්වලට උත්තර දුන්හ.

‘‘ ආණ්ඩුවේ නිලධාරි මහත්තුරු හරියට ප්‍රශ්න තේරුම් ගන්නේ නැතුව එක එක උත්තර දෙනවා. මට පේන්නෙ නෑ කෘෂිකර්ම ලේකම්තුමා වුණත් එක මතයක ඉන්නවා කියලා.’’ අගමැති මහින්ද කීවේය.

 

ජනපති රැගත් හෙලිකොප්ටරය දුම්මලසූරිය විදුහලකට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිරතුරුවම යම් යම් දේවල් නිරීක්ෂණය කර හදාරන්නට කැමති අයෙකි. රසායනික පොහොර භාවිතය අත්හැර කාබනික පොහොර පමණක් භාවිතයෙන් සරුසාර සාර්ථක අස්වැන්නක් ලබාගත නොහැකි යැයි ඇතැමුන් නඟන මැසිවිලි ජනාධිපතිවරයා එකපාර විශ්වාස කළේ නැත. එහෙත් ඒවා එකවරම බැහැර කරන්නට ද ඉක්මන් වූයේ නැත. කොවිඩ් කමිටු රැස්වීමෙන් අනතුරුව මේ ගැන කතාබහ ඇතිවිය.

මට ඕක ගැන හොඳට හදාරන්න ඕන. රජය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් පළාත්බදව කාබනික පොහොර භාවිතයෙන් පමණක් වගා කරන ගොවිපළවල් ආදර්ශ ගොවිපළවල් විදිහට පටන් ගන්න ඕන.’’

දැනටමත් ඒ වගේ ගොවිපොළවල් අප සතුව තියෙනව සර්.’’ නිලධාරීහු පෙන්වා දුන්හ.

පෞද්ගලික අංශයේ නැද්ද ඒ වගේ ගොවිපළවල්. මට එහෙම එකක් බලන්න ඕනේ.’’

ඒ අනුව පසුගිය සෙනසුරාදා උදේ වරුවේ දුම්මලසූරිය ප්‍රදේශයේ උඩුබද්දාව බුන්නැහැපොළ ගම්මානයේ පිහිටි කාබනික පෝර ගොවිපළක් ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට හසු විය.

තරමක් වැහිබර කාලගුණික තත්ත්වයක් යටතේ වුවද ජනාධිපතිවරයාගේ එම නිරීක්ෂණ චාරිකාවට බාධාවක් වූයේ නැත. ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය පහත් කරනු ලැබුවේ දුම්මලසූරිය ජේ.ආර්. ජයවර්ධන මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයටය. ජනාධිපතිවරයා පිළිගන්නට එතනට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද හා මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු ප්‍රදේශයේ මැති ඇමැතිවරු පිරිසක් පැමිණ සිටියහ.

‘‘හොඳ වෙලාවට අද වැස්ස නෑ.’’ මහින්දානන්ද කීවේය. ‘‘හොඳ වැඩක් කරනකොට කොහොමත් වැස්සෙන් කරදරයක් නෑ’’ ජනාධිපති කීවේය.

‘‘මම මේ ඉස්කෝලෙට කලින් ඇවිල්ල තියෙනව වගේ මතකයි. මේ ඉස්කෝලේ කවුරුවත් නැද්ද මෙතන.’’ ජනාධිපතිවරයා එසේ වටපිට බලද්දී ජොන්ස්ටන් ඇමති යමෙකුට සංඥාවක් කර ළඟට කැඳවා ගත්තේය.

‘‘මේ තමයි මේ ඉස්කෝලෙ විදුහල්පතිතුමා.’’

 

කාබනික එළවළු, පලතුරු ජනපතිගේ නිරීක්ෂණයට

‘‘කොහොමද දැන් මේ ඉස්කෝලේ. මොනවද දැන් තියෙන අඩුපාඩු එහෙම මෙතනට’’

ඔබතුමා මීට කලින් ආපු වෙලාවේ ඔය ප්‍රශ්නය අහද්දී අපි කිව්වා, ක්‍රීඩාංගණයක් හදලා දෙන්න කියලා. වැඩි දවසක් යන්න කලින් අපට මේ ක්‍රීඩාංගණය ලැබුණා.

‘‘ මට මතකයි මං අහන්නේ දැන් මොනවද අඩුපාඩු කියලා.’’

‘‘ මේ පිට්ටනිය තණකොළ කපන්න තණකොළ කපන මැෂින් එකක් ලැබුණොත් නං ලොකු දෙයක්.’’ විදුහල්පති කිව්වේ ය.

‘‘ හොඳයි එහෙනම්. ඒකත් ළඟදීම ලැබේවි.Ó ජනාධිපති ගෝඨාභය විශ්වාසයෙන් යුතුව කීවේය.

මේ අතර ගම්මානයේ ගම්වැසියන් පිරිසක් ද එතන වූ බැවින් ජනාධිපතිවරයා ඔවුන් සමඟ ද වචන කිහිපයක් කථා බහ කරන්නට අමතක නොකළේ ය. මොනවද ඕගොල්ලන්ට දැන් තියෙන ප්‍රශ්න’’ සුපුරුදු පරිදි ජනාධිපතිවරයා එම ප්‍රශ්නය අසන විට එතන සිටි කාන්තාවක් කීවේ. අපෙ බුදු සර්ගෙ මූණ දකිනකොට අපේ තියන ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවාÓ කියාය.

‘‘ ඔබතුමා එක වතාවක් යුද්ධයෙන් රට බේරගත්තා. දැන් ඔබතුමා මේ වසංගත රෝගයෙන් අපි ඔක්කොම බේරගන්න කරන කැපකිරීම අපට පේනවා’’ තවත් අයෙක් කීවේය.

ජනතාව අතරින් නැඟුණු ප්‍රශංසා සිනහ මුවින් බාරගත් ජනාධිපතිවරයා විසින් පසුව ලෙස්ලි agro products පෞද්ගලික සමාගමේ අක්කර 13 ක ගොවිබිම බලන්නට ගියේය. එහි මුලිකවම තිබුණේ පොල් වගාවකි. ඒ හැරුණු විට කාබනික පොහොර යොදා වගා කරන ලද එළවළු සහ පලතුරු වර්ග රාශියක් එම ගොවිපොළේ ක්‍රමානුකූලව සරුසාරව වගා කර ඇති ආකාරය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට හසුවිය.

ජනාධිපති වගාවන් අතරින් යමින් ඒවායේ විස්තර විමසා සිටියේ එම එක එක ඒකක බාරව වැඩ කළ සේවකයන්ගෙනි.

මෙම ගොවිපළ සතුව විශේෂ කාබනික පොහොර නිෂ්පාදනාගාර දෙකක්ද විය. විශේෂත්වය වූයේ එම කාබනික පොහොර නිෂ්පාදනය ගැඩවිලි පණුවන් වර්ගයක් භාවිතයෙන් සිදු කිරීමය. ජනාධිපති ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගත්තේ ක්‍රමානුකූලව එම නිෂ්පාදනාගාරයේ වැඩකටයුතු ගැන සේවකයන්ගෙන් විස්තර විමසන අතරතුරය.

එළිමහනේ වාඩිවී ජනාධිපතිවරයා මාධ්‍ය අමතා විශේෂ ප්‍රකාශයක් ද කළේය.

Òකාබනික ගොවිතැන කරන්න බැරි දෙයක් නෙවෙයි. හැබැයි අමාරු දෙයක්. ඒකට කැපවෙලා වැඩ කළොත් අමාරු නෑ. අන්න ඒක තමයි මේ ගෙවත්ත දිහා බලනකොට අපට පෙනෙන කාරණාව.

අපි මේක කළ යුතුයි. රටේ ජනතාවට වස විසෙන් තොර ආහාර සපයමින් ජනතාව නිරෝගී අනාගත පරපුරක් බවට පත් කරන්න නම් අපට අමාරුවෙන් හරි රසායනික පොහොර අත්හැරලා කාබනික පොහොර වගාව වැලඳ ගන්න සිද්ධ වෙනවා. ඒ අස්සෙ කවුරු හරි බල කරනවා නම් අපට රසායනික පොහොරම ඕන කියලා, රසායනික පොහොරත් එක්ක වකුගඩුවකුත් ඉල්ලන්නයි කියලා තමයි මට කියන්න තියෙන්නේ.’’

ජනපතිට පොපි මලක්

ඉන් අනතුරුව ජනාධිපතිවරයා කාබනික පොහොර යොදා වගා කරන ලද එළවළු සහ පලතුරු මහජනතාවට අලෙවි කිරීම පිණිස තබා ඇති කුටියකට ගොඩවී එළවළු හා පලතුරු මිලදී ගත්තේය.

‘‘ඇත්තටම මම අද මෙතෙන්ට ආවේ කාබනික වගාව ගැන නිරීක්ෂණයක් කරල යන්න. හැබැයි මට අද ඊට එහාට ගිය ලොකු අධ්‍යාපනයක් ලබාගන්න පුළුවන් වුණා. ඒක ලබා දෙන්න උදව් කිරීම ගැන ඔයාලට ස්තුතිවන්ත වෙනවා.’’ කියමින් ජනාධිපතිවරයා එම ස්ථානයෙන් පැමිණියේය.

හෙලිකොප්ටරයට නගින්නට ජේ.ආර්. ජයවර්ධන විද්‍යාලයට පැමිණෙද්දී ජනාධිපතිවරයාට දැක ගැනීමට හැකි වූයේ ගමේ ජනතාව විශාල ප්‍රමාණයක් පිට්ටනියට රැස්වී සිටින ආකාරයයි. හෙලිකොප්ටරයට නගින්නට පෙර එම ජනතාව අතරට ගොස් ඔවුන්ට ආචාර කර පැමිණෙන්නට ද ජනාධිපති අමතක කළේ නැත.

පසුගිය 26 වැනි අඟහරුවාදා උදේ ජනාධිපති ගෝඨාභය හමුවන්නට විශේෂ අමුත්තෝ පිරිසක් පැමිණියහ. ඔවුන්ගේ අරමුණ වූයේ ජනාධිපතිවරයාට පොපි මලක් පලඳවා මියගිය රණවිරුවන්ට උපහාර දැක්වීමට ය.

ජාත්‍යන්තර පොපි මල් ව්‍යාපාරය ආරම්භ වූයේ පළමු ලෝක යුද්ධයෙන් හා දෙවන ලෝක යුද්ධයෙන් මියගිය ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත රණවිරුවන් සැමරීම සඳහාය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලිකඳු මත වාහන ධාවන පථය ඉකුත් බදාදා විවෘත කෙරුණේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි. නාමල් රාජපක්ෂ මහතා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙනුත්, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විශේෂ ආරාධිත අමුත්තා වශයෙනුත් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ඊට අමතරව පවිත්‍රා වන්නිආරච්චි, සාගර කාරියවසම් සහ රේණුක පෙරේරා යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

 

ප්‍රසන්නට සිදු වූ අකරතැබ්බය

කලම්බු ඩියුන්ස් ලෙස නම් කළ මෙම ධාවන පථයේ ධාවනය කළ හැක්කේ ඒ.ටී.වී වාහනයි. අක්කර හතරක පමණ භූමියක විහිදුණු කිලෝමීටර් දෙකක් පමණ දුරැති මෙම ධාවන පථය ක්‍රේට් ඇඩ්වෙන්චර්ස් පෞද්ගලික ආයතනයේ ආයෝජනයකි.

සංචාරක කර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගයක් වී ඇති රටක් ලෙස ශ්‍රී ලංකාවට මෙම පෞද්ගලික ආයෝජනය වටිනාකමින් ඉහළය. සෞඛ්‍යාරක්ෂිත නව මුහුණුවරකින් සංචාරක කර්මාන්තය යළි නැඟී සිටින මේ අවස්ථාවේ සංචාරකයන්ගේ සිත් ඇද බැඳ ගන්නා මෙවැනි පෞද්ගලික ආයෝජන රටේ ඉදිරි ගමනට සඳහා වැදගත් සාධක වේ. මෙම වැලි කඳු ධාවන පථය මාර්ග තුනකින් යුක්තව ඉදිකර තිබේ.

ධාවන පථය විවෘත කරමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පළමුව වාහනයක නැඟී ධාවන පථයේ ගමන් කළේය. කිලෝමීටර් දෙකක් පමණ දුර වාහනය ධාවනය කළ අමාත්‍යවරයා පැමිණ සිටිය ආරාධිත අමුත්තන් සිටි ස්ථානය ආසන්නයේ වාහනය නතර කර

‘‘ඇමතිතුමා යමු මාත් එක්ක රවුමක්’’ යැයි නාමල් ඇමතිවරයා ප්‍රසන්න රණතුංග ඇමතිවරයාට පැවසීය.

‘‘අම්මෝ මට බෑ’’ ප්‍රසන්න කීවේය.

Òමම එක්කනෙ යන්නේ බයවෙන්න එපාÓ නාමල් පෙරැත්ත කළේය.

‘‘එක දවසක් මට මාර වැඩක් වුණා. ඒ නිසා මම පරිස්සම් වෙනවා’’ ප්‍රසන්න කීවේය.

‘‘ ඒ මොකද්ද’’ ඇසුවේ සාගර කාරියවසම් මන්ත්‍රීවරයායි.

‘‘ වැවකට මාළු පැටව් මුදාහරින වැඩකට ගියාම එතන බෝට්ටු තිබුණ නිසා මම කිව්ව ටිකක් වැව මැදට ගිහින් මාළු වැවට දාමු කියලා. ටිකක් වැව පැත්තට යනකොට බෝට්ටුව පෙරළුණා. එදා ඉඳල මම පරිස්සම් වෙනවා’’ ප්‍රසන්න කීවේය.

‘‘සර්, අද බය වෙන්න ඕනේ නැහැ. නාමල් ඇමතිතුමානෙ කතා කරන්නේ.’’ සාගර කාරියවසම් මන්ත්‍රීවරයා කීය.

‘‘ඔව් ඔව් ඒක ඇත්ත. ක්‍රීඩා ඇමතිතුමා නේ. බයවෙන්න ඕනේ නෑ’’ පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරිය ද කීවාය.

එතැන සිටි බොහෝ අයගේ පෙරැත්ත කිරීම මත රණතුංග ඇමතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාගේ රථයට ගොඩ වුණේය.

‘‘බයවෙන්න එපා ඇමතිතුමා. මම ඉන්නවනේ. ඇමතිතුමාව පරිස්සමට අරන් එනවා.’’ කියමින් නාමල් රාජපක්ෂ ඇමතිවරයා වැලි පර මතින් රථය ධාවනය කරන්නට විය.

පළමු වර නාමල් රාජපක්ෂ ඇමතිවරයා ගිය මාර්ගය වෙනුවට වෙනත් මාර්ගයක් ඔහු මෙවර තෝරාගෙන තිබිණි. ඔවුන් පිටිපස්සෙන් සාගර කාරියවසම් මන්ත්‍රීවරයාද තවත් වාහනයක නැඟී ආවේය. එතැන සිටි කිසිදු කාන්තාවක් මෙම වාහන ධාවනයට ඉදිරිපත් නොවීම නිසා ක්‍රේට් ඇඩ්වෙන්චර්ස් ආයතනයේ අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කරන හිටපු ක්‍රීඩා උපදේශිකාවක වන පද්මලතා ගමගේ එම අවස්ථාව ලබාගත්තාය. ඇයද නාමල් ඇමතිවරයා හා අනෙකුත් අය සමඟ වැලි පර මතින් වාහනය ධාවනය කළ ආකාරය සැමගේ සිත් ගත්තේය.

‘‘ඇමතිතුමා, ඉස්සෙල්ලා ගිය පාරට වඩා මේ පාර බාධක වැඩියි’’ නාමල් ප්‍රසන්නට කීවේ අතරමඟ පිහිටි වළක් මතින් වාහනය ධාවනය කරන අතරේයි.

 

නාමල් කියන ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකය

‘‘ඊළඟ වසර 05 තුළ ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක් අපේ රටේ බිහිකරනවා. මෙවැනි ආයෝජන ඒ සඳහා මාවත නිර්මාණය කරන බව අපි විශ්වාස කරනවා යැයි නාමල් ඇමැතිවරයා කීය.

අපි එල්.පී.එල්. තරගාවලිය සාර්ථකව පැවැත්වූවා. ජෛව ආරක්ෂිත බුබුළක් තුළ ක්‍රිකට් සෙල්ලම් කළ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව. අනෙක් සියලුම රටවල් මැදපෙරදිගට සහ යුරෝපයට ගිහින් ක්‍රීඩා කළේ.

මෙසේ ආරම්භ කළ ගමනට ක්‍රිකට්, පාපන්දු, මලල ක්‍රීඩා යන සියල්ල එකතු වූ විට ක්‍රීඩාව තුළ ඩොලර් මිලියන 100 ක් ඉක්ම වූ ආර්ථිකයක් අද වන විට අපිට ලැබී තිබෙනවා.

ඉදිරියේදී සංචාරක ව්‍යාපාරයත් සමඟ ක්‍රීඩාව සම්බන්ධ කිරීමට අපේක්ෂා කරනවා. ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන ගම්මානයක් මහියංගනයේ ආරම්භ කරනවා. ඒ හරහා ක්‍රීඩා උපකරණ ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනවා’’ නාමල් ඇමැතිවරයා කීය.

 

සජිත්ගේ උපදෙස් අනුව නලින් බණ්ඩාර පොස්ටර් අඳී

සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ෙප්‍ර්මදාස පසුගිය සති කිහිපයේම රට පුරා ගොවීන් හමුවීමට ගියේ පොහොර ගැන ගොවීන්ගේ ගැටලු විමසා බැලීමටය. ගොවීන්ගේ ගැටලු විමසීමෙන් නතර නොවූ සජිත් ගොවීන්ගේ ගැටලු පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමට කටයුතු කළේය. ජනාධිපතිවරයා පසුගිය සතියේදී පාර්ලිමේන්තුවට පැමිණෙන බවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට කල් ඇතිව තොරතුරු අනාවරණය වී තිබුණේය.

ඒ අනුව ජනාධිපතිවරයා ඉදිරියේම ගොවීන්ගේ පොහොර ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙසට බල කරමින් විරෝධතාවක් පැවැත්වීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු තීරණය කළහ. පාර්ලිමේන්තුව තුළ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාව දැක්වීමට සියලු කටයුතු සූදානම් කෙරිණි.

විරෝධතාව සඳහා වන පෝස්ටර් පෙර දිනයේදී පාර්ලිමේන්තුවට රැගෙන ආවේ නලින් බණ්ඩාරය. කල් ඇතිවම පාර්ලිමේන්තුවට පැමිණි ඔහු තමන්ගේ අතින්ම පෝස්ටර් සියල්ල ඇන්දේය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා ගැබට පැමිණි වහාම නලින් බණ්ඩාර මන්ත්‍රීීවරයා එම පෝස්ටර් කිසිවෙක්ටවත් නොපෙනෙන්නට සභා ගැබ තුළට රැගෙන ආ අතර විනාඩියක් දෙකක් තුළ ඒ සියල්ල මන්ත්‍රීවරුන්ට ද බෙදා දුන්නේය.

 

රනිල්ගෙන් අලුත් තරුණ මුහුණු 09 ක්

සිරිකොත පක්ෂ මූලස්ථානය ඉකුත් සතියේ විවිධ කණ්ඩායම්වලින් පිරී ගියේ පක්ෂ ප්‍රතිසංවිධානයත් සමඟය. තරුණ කණ්ඩායම්, වෘත්තීයවේදීන් මෙන්ම ආයුර්වේද වෛද්‍යවරුන්ද පැමිණ සිටියේ පක්ෂ කටයුතුවලට සහායදීමටය. නායක රනිල් වික්‍රමසිංහ ද සතිය පුරාම සිරිකොතට පැමිණි බැවින් මෙම පිරිස් සමඟ කතා බහ කිරීමට අමතක නොකළේය. ඔහු වැඩි වේලාවක් ගෙන තිබුණේ තරුණ කණ්ඩායම් සමඟ කතා බහ කිරීමටය.

‘‘ඔව් දැන් අපේ කාලේ වගේ වැඩ කරන්න බෑ. දැන් තියෙන්නේ ඔයාලගේ කාලේ ඒ නිසා අලුත් විදියට අලුත් දෙයක් කරන්න ඔයාලා ඉස්සරහට එන්න ඕනේ.’’ නායකයා කීවේ සිනාසෙමිනි.

තරුණයන් සමඟ පක්ෂයට අලුත් වැඩපිළිවෙළක් සකස් කිරීමේ වගකීම නියෝජ්‍ය නායක රුවන්ට හා උප නායක අකිලට පැවරූ නායකයා තරුණ කොටස් සමඟ පක්ෂය ඉදිරියට ගෙන යන ලෙසට ද උපදෙස් දුන්නේය. එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කරමින් තරුණයන් තිදෙනෙකු පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට පත් කිරීමට නායකයා ගත් පියවර තවත් අංශයකින් ඉදිරියට ගෙන යමින් අලුත් තරුණ මුහුණු 09 ක් ජාතික යොවුන් පෙරමුණට සම්බන්ධ කිරීමට ද කටයුතු කර තිබුණි.

 

පැය 48 ක් තුළ ලබාදුන් සහන වජිර සිහිකරයි

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩසටහන පිළිබඳව කරන්දෙනිය සහ අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසවල ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීමේ රැස්වීම් එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඉරිදා දිනය පුරාවට එම මැතිවරණ කොට්ඨාසවලදී පැවැත්විණි. කරන්දෙනිය රැස්වීමේදී ප්‍රතිසංවිධාන වැඩසටහනට අදාළ පත්‍රිකා බෙදා දී ඒ පිළිබඳව දැනුම්වත් කිරීමේ කටයුතු සිදුකරගෙන යන අතරතුර 2015 දී එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය ලබාගත් ආකාරය හා ඉන් පසුව රටේ ගුරුවරු මෙන්ම රාජ්‍ය සේවකයන් වෙනුවෙන් එම ආණ්ඩුව සිදු කළ මෙහෙවර පිළිබඳව වජිර අබේගුණවර්ධන සිය හඬ අවදි කළේ වෘත්තියවේදීන් ඒ සම්බන්ධව නැඟුව පැනයකට පිළිතුරු දෙමිනි.

Comments