
ආනන්ද විද්‍යාලයේ 135 වැනි ජන්ම සැමරුම වෙනුවෙන් ඔක්තෝබර් 30 වැනිදා පස්වරු 4.30 ට කුලරත්න ශාලාවේදී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පැවැත්වූ දේශනයේ සංක්ෂිප්තයකි මේ. දේශකයා වත්මනෙහි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වන අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා ය. ඔහු කීර්තිමත් ආදි ආනන්දියෙකි. මේ දේශනය සංවිධානය කරනු ලැබුවේ ආනන්දීය ආදි ශිෂ්‍ය සංගමය විසිනි.
අප්පමාදො අමතපදං
(සුචරිතධර්ම විෂයෙහි) නොපමා බව (සිහි නොමුළා බව) නිර්වාණාධිගමයට කරුණු ය. නැතහොත් නිවනට මඟ නො පමාවයි.
අද දිනයේ ආනන්ද විද්‍යාලයේ 135 වන ජන්ම සැමරුම් අවස්ථාවේ දී මාගේ දේශනයේ ආරම්භක වැකිය ලෙසට මා විසින් යොදා ගනු ලැබුවේ ඔබගේ මෙන්ම මගේ ද, ආනන්දයේ හදවත වන් වූ, හික්කඩුවේ ශ්‍රී සුමංගල හා මිගෙට්ටුවත්තේ ගුණානන්ද වැනි මහා යතිවරයාණන් වහන්සේලාගේ අපරිමිත වෙහෙසින් වර්ෂ 1886 දී වාද විවාදයන්ගෙන් පිරි, ගැටුම් සහිත සිරිලක් මවගේ වේදනාවෙන් බිහිවූ ආනන්ද විද්‍යාලයේ ආදර්ශ පාඨය වේ. එදා දවස බෞද්ධ ප්‍රබෝධයත් සමඟ පරමවිඥානාර්ථ බෞද්ධ සංගමයේ ප්‍රමුඛත්වයෙන් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ ද ආධාරයෙන් බිහි වූ ආනන්ද විද්‍යාලයේ තේමා පාඨය ධම්මපදයේ අප්පමාද වර්ගයේ එන ගාථාවක පළමු පද දෙක වේ.
සවිමත් පදනමකින් බිහි වූ ආනන්ද විද්‍යාලය පුරා වසර එකසිය තිස්පහක කාලයක් බුදුහිමිගේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන්ගේ ආදර්ශයෙන් දේශ-දේශාන්තරයේ දැනුම බිහිකිරීමේ ආනන්දනීය ගුරුකුලයක් ලෙස නිර්මාණය විය.
තෙවන ධර්ම සංගායනාවෙන් අප ලද දායාදයක් වන ලාංකික අධ්‍යාපනය, පුරා වසර දෙදහසකට වැඩි කාලයක් වරින් වර නැඟෙමින්-වැටෙමින් පසුකළ ගමන්මඟ විටෙක ආඩම්බරයට හේතු වූවා මෙන්ම විටෙක අපගේ දුකට හේතුවිය. වර්ෂ 1505 න් පටන් ගත් අවාසනාවන්ත කාලය තුළ කඩා වැටෙමින් ගිය ස්වදේශ අධ්‍යාපනය නැවත පණ දෙමින් ජාතියට ජීවයක් ලබා දෙන්නට 1850 ගණන්වල සිට බලගැන්වූ බුද්ධ චීවරයේ දර්ශනය හා ඒ තුළින් ස්වදේශ අධ්‍යාපනයේ පුනරාගමනය සිදු කළ අපේ කාලේ මහා යතිවරයාණන් වහන්සේ නමක් වූ හික්කඩුවේ ශ්‍රී සුමංගලාභිධාන මහ තෙරුන් ස්වදේශීය අධ්‍යාපනය නඟා සිටුවීමටත්, බෞද්ධ පාසල් ආරම්භ කිරීමටත් සිදු කළ අමිල භූමිකාව පැසසීම කාලෝචිත ක්‍රියාවකි.
1927 වර්ෂයේ ජනවාරි මස 20 වැනි දින ගාලු නගරයට ආසන්නයේ වූ හික්කඩුව නම් ග්‍රාමයේ දි පින්බර කුල කුමරුවකුගේ උපත සිදුවන්නේ මෙවන් අවදියක වේ. දොන් නිකුලස් අබේවීර ගුණවර්ධන ලෙසින් පවුලේ පස්වෙනි දරුවා ලෙසට උපදින ඔහු දෙමාපියන්ගේ අවසර ඇතිව සසුන්ගතවීම පිණිස අරුග්ගමුවේ රේවත හිමියන් වෙත පමුණුවන ලදී. ඒ අනුව 1840 වර්ෂයේ දී, එනම් තෙළෙස් විය පත් වූ පසු මේ කුමරුවෝ හික්කඩුවේ සුමංගල නමින් සසුන්ගත විය.
සිය ආචාර්ය ස්වාමීන් වූ රේවත නාහිමියන් සමීපයේ පැවිද්දෙන් වසර හතරක් යන තුරු සිටි සුමංගල සාමණේරයන් වහන්සේ පන්නම්ගොඩ ජේතුත්තර මහතෙරුන් වෙතින් සිංහල-පාලි භාෂා සාහිත්‍යය උගත්හ.
1844 දී ආචාර්යයන්ගේ අදහසක් මත සුමංගල සාමණේරයන් වහන්සේ වලානේ සිද්ධාර්ථ හිමියන් වෙත බාර කරනු ලැබූ අතර 1839 දී වලානේ සිද්ධාර්ථ හිමියන් විසින් ආරම්භකළ රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙන උන් වහන්සේගේ ශාස්ත්‍රලාභය ලැබීමේ පුණ්‍ය භූමිය වනු ලැබීය. ශාස්ත්‍රීය පිපාසාවෙන් පෙළුණු බැවින් පිරිවෙන් අධ්‍යාපනයෙන් නොසෑහුණු සුමංගල සාමණේරයෝ කාශිනාථ නම් බ්‍රාහ්මණ පඬිවරයකුගෙන් සංස්කෘත භාෂාව, තර්ක න්‍යාය ආදී ශාස්ත්‍ර ද ඉගෙන ගනු ලැබීය.
1848 වර්ෂයේ දී මහනුවර උපෝසථාගාරයේ දී උපසම්පදාව ලද සුමංගල හිමිපාණෝ එවක වැඩ සිටි මහා සංඝ පීතෘ වහන්සේලා ද විස්මයට පත් කරමින් පරිවාර පාලිය සම්පූර්ණයෙන් කටපාඩම් දී සංඝසභාව ම අතිශය ප්‍රසාදයට පත්කළහ. එවෙලෙහිම පාලි ගාථා අටක් රචනා කර කියවීමෙන් සංඝසභාව ප්‍රමුදිත කිරීමට සමත් වූ සුමංගල සාමණේරයන් වහන්සේ මහානායක මාහිමිපාණන් වහන්සේගෙන් අටපිරිකරක් ලැබ ආශිර්වාද ලැබීමට ද සමත් විය.
උපසම්පදාවෙන් පසු හික්කඩුවේ සුමංගල හිමියන්ගේ ජීිවිතය සපුරා ලෝවැඩ සඳහා ම යෙදවිණි. තම සේවයේ මූලාරම්භය සනිටුහන් කරමින් ප්‍රථම ජාතික සේවාව වශයෙන් 1858 දී පමණ ගාලු පළාතේ පැවැති අන්‍ය ආගමික බලය මැඬලීමට ලංකෝපකාර නම් වූ මුද්‍රණාලයක් පිහිටුවීම සිදු කළ උන් වහන්සේ එහිදී ලංකාලෝක නම් පුවත්පත හා තවත් කුඩා පොත් සහ සඟරා මුද්‍රණය කරවා බෙදාහරිමින් බෞද්ධ බලය වර්ධනය කිරීමට කටයුතු කරනු ලැබීය. මේ යුගයේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ ද ක්‍රියාකාරකම් සුළුපටු නොවීය. උන් වහන්සේ ද සෑම ඉරු දිනක ම පන්සලේ දී ක්‍රිස්තියානීන්ට විරුද්ධව ධර්මය දේශනා කරනු ලැබූ අතර ඒ තුළින් සර්වඥ ශාසන වෘද්ධිදායක ධම්ම සමාගම පිහිටුවා ගනිමින් බුද්ධාගම ක්‍රිස්තියානියෙන් රැකගැනීමට වැඩපිළිවෙළක් දියත් කරනු ලැබීය. මෙම සමාගම 1862 දී තවත් සිංහල මුද්‍රණාලයක් මිලදී ගෙන ක්‍රිස්තියානිවාද මර්දනය නැමති ග්‍රන්ථය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.
බෞද්ධ අධ්‍යාපනය පිරිහී තිබූ අවදියක දහ අටවැනි සියවස මැද භාගයේ ජීවත් වූ වැලිවිට සිරි සරණංකර සාඝරාජ මාහිමිපාණන් වහන්සේගේ ඍජු මැදිහත් වීම කරණ කොටගෙන දේශයට අර්ථදායී විශිෂ්ට අධ්‍යාපන සම්ප්‍රදායක නැවත ආරම්භය සිදුවිණි.
උන් වහන්සේගෙන් පසු එකී අධ්‍යයන සම්ප්‍රදාය තහවුරු කළ මෙකල පැවති චරිත අතරින් කරතොට ශ්‍රී ධර්මාරාම නාහිමියනට සහ වලානේ සිද්ධර්ථ නාහිමියන්ට සුවිශේෂ තැනක් හිමි වේ. වලානේ සිද්ධාර්ථ නාහිමියෝ තමාගෙන් පසු මෙරට ප්‍රධාන අධ්‍යාපන සම්ප්‍රදායන් දෙකක සමාරම්භය සිදු කරන සුවිශිෂ්ට චරිත දෙකක් බිහි කරනු ලැබුවේයැයි පැවසීමට හැකිය. ඒ හික්කඩුවේ සුමංගල නාහිමිපාණන් වහන්සේ සහ රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමිපාණන් වහන්සේ වේ.
1865 දී බද්දේගම වාදය හා වරාගොඩ වාදය, 1866 දී උදන්විට වාදය හා 1871 දී ගම්පල වාදය පංච මහා වාදයන්ගේ ප්‍රධාන වාද හතරකි. 1873 වර්ෂයේ දී පවත්වනු ලැබුවේ පානදුරා වාදය වන අතර එය පංච මහා වාද අතර ඉතා වැදගත් වාදයක් විය.
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් වාද කළ මෙම පානදුරා වාදයේ දී තිරය පිටුපසින් සිට ධර්ම කරුණු සම්බන්ධයෙන් විශාල දායකත්වයක් හික්කඩුවේ සුමංගල හිමි විසින් සිදුකරනු ලැබීය. මෙම වාද සියල්ලේම දැකිය හැකි ප්‍රධාන ලක්‍ෂණය වනුයේ වාදයට උපන් හපනකු වූ කාහල නාදයක් හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් වාදයේ පැටලෙන විට ධර්මයෙන් අග්‍රඵල ලැබ සිටි මහා පඩිවර සුමංගල හිමියෝ තිරය පිටුපස සිටිමින් ගුණානන්ද හිමියන්ට වාදයට අවැසි ධර්ම කරුණු සැපයීම වේ.
එම වසරේ දී ම බෞද්ධ ජනයාගේ ආගමික ප්‍රීතිය මෙන්ම අධ්‍යාත්මික පුනරාවර්තනය වෙනුවෙන් මාලිගාකන්දේ දී විජ්ජා උප්පතතං සෙට්ඨා යන ධර්ම පාඨයෙන් විද්‍යෝදය පිරිවෙන හික්කඩුවේ සුමංගල නා හිමියන්ගේ ප්‍රමුඛත්වයෙන් ආරම්භ කරනු ලැබේ.
වෙනත් කරුණකට යාමට මත්තෙන්, හික්කඩුවේ සුමංගල හිමියන් විසින් ආරම්භකළ විද්‍යෝදය පිරිවෙන ගැන කතා කළ යුතු ම වේ.
මෙම පිරිවෙනින් ශාස්ත්‍රාලය ලබාගැනීම සඳහා පෙර අපර දෙදිසාවෙන් ම බොහෝ පිරිස් පැමිණියෝ ය. විද්‍යෝදය පිරිවෙණ ආරම්භ කරමින් ලාංකේය අධ්‍යාපනයට නව දිසානතියක් ඇතිකළ අප නායක හිමියන්ගේ අධ්‍යාපනික දර්ශනය පිළිබඳ නොකියා යා නොහැකිය.
උන් වහන්සේ විසින් උන් වහන්සේගේ එක් උගත් ගෝලයකු වෙත 1877 ඔක්තෝම්බර් මස 17 වන දින සහිත ඉංග්‍රීසි භාෂාවෙන් ලියූ ලිපියෙන් උන් වහන්සේගේ අධ්‍යාපනික දර්ශනය පිළිබඳ අවබෝධයක් අපට ලබාගත හැකියැයි මම සිතමි.
‘උඹ විසින් එවූ ලියුම ලැබුණා. උඹ සිංහල ව්‍යාකරණ කාට නමුත් උගන්වනවා නම් එය ඉතා ආදරයෙන් උත්සාහ ඇතුව කරන්නට ඕනෑ. උඹට විස්තර කරන්නට අපහසු වු තැනක් පැමිණි විට කරුණු විචාරා එවාපන්. ඒ ඇර හැමදාම හැමතැන ම සම්පත් නැමැති ගෙයි දොර අරින යතුර ආචාර සම්පත්තිය බව සිතාපන්. වීර්යවන්ත වීම සැප ගෙන දෙන බව යැයි සිතාපන්. ඒ නිසා ආචාර සම්පත්තියත් වීර්යයත් අඩු නොකොට ක්‍රියා කරන්ට ඕනෑ. එසේ කරන බව දැනගත් විට මගෙන් වැඩිපුර උපකාර ලැබෙන්ට පුළුවනි. නිතර පංචශීලය රැකගන්නට වෑයම් කරපන්‘
උන් වහන්සේ විසින් සිය ගෝලයකුට යැවූ ලිපියේ සඳහන් මෙම කොටසින්ම උන් වහන්සේගේ අධ්‍යාපනික දර්ශනය අවබෝධ කර ගැනීමට අපට හැකියාවක් ලැබේ. එය විද්‍යෝදය පිරිවෙනෙහි මෙන්ම ඉන් පසු ලංකාවේ බිහිවූ සියලු බෞද්ධ පාසල් සියල්ලෙහිම අධ්‍යාපනික දර්ශනය විය. හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා යතිවරයාණන්ගේ කිතුගොස දේශයට පමණක් සීමා වූවක් නොවේ. විදේශයෙහිද උන් වහන්සේගේ කිතුගොස පැතිර ගියෝය. ලංකාණ්ඩුවේ ආණ්ඩුකාරවරයා පවා දෙපා නැමද ගරුබුහුමන් දැක්වීමට තරම් සමාජ බලයක් උන් වහන්සේ සතු විය.
බටහිර ජාතීන් හමුවේ බිඳ වැටෙමින් තිබූ ආගමික හා අධ්‍යාපන පද්ධති නඟා සිටුවීමේ අති දැවැන්ත ව්‍යාපාරය තුළ ස්වදේශීය අධ්‍යාපනයක වැදගත්කම අවබෝධකරගත් උන් වහන්සේ ඒ වෙනුවෙන් පෙළගැසුණු ආකාරය උන් වහන්සේගේ ශාස්ත්‍රීය කාර්ය තුළින් අවබෝධකර ගැනීමට හැකිය. 1862 දී සුදර්ශනය, 1862 දීම බෞද්ධ වාක් සාරය, 1864 දී සුමති සංග්‍රහය, 1866 දී සන්ධි සංග්‍රහය, 1872 දී කාව්‍යයශේකර සන්නස, 1873 දී සිදත් සඟරා සන්නස, 1873 දී සිංහල ව්‍යාකරණ සහිත වර්ණ රීතිය, 1874 දී මාසර්තු ලක්‍ෂණය, 1875 දී පාලි නාමා වයාන වර්ණ ශිල්ප, 1880 දී බටුවත්තුඩාවේ පඬිතුමා සමඟ උම්මග්ග ජාතක සන්නස, එම වසරේ දී බටුවන්තුඩාවේ පඬිතුමා සමඟ පාලි මහා සංඝ ටීකා සන්නස ආදී ග්‍රන්ථ 1880 වර්ෂය වන විට ප්‍රකාශයට පත්කරනු ලැබීය.
උන් වහන්සේගේ ශාස්ත්‍රීය දැනුම කොතෙක් ද යන්න අවබෝධ කර ගැනීම උදෙසා දීර්ඝකාලයක් සිට පැවති නොයෙක් දෝෂයන්ගෙන් ආකුල වූ මහාවංශය සුද්ධකර සිංහල අනුවාදය සිදුකිරීම සිදුකරනු ලබන්නේ බටුවන්තුඩාවේ ශ්‍රී දෙවරක්‍ෂාතාචාර්යන් වහන්සේ සහ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන් විසින් බව මහාවංශයේ ම දක්වා තිබේ. 1880 මැයි 17 වන දින ඕල්කට් තුමා ලංකාවට පැමිණි අතර ඉන් පසු බුදුදහම වැළදගනු ලැබීය. ඉන් අනතුරුව ලංකාවේ බෞද්ධ ප්‍රබෝධය ඇතිකිරීම හා ප්‍රබෝධය උදෙසා පරමවිඥානාර්ථ බෞද්ධ සංගමය බිහිකරනු ලැබු අතර එම සමාගමේ අනුසාසකත්වය මල්වතු හා අස්ගිරි මහා හිමිවරු, හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා නායක හිමි, මෙහොට්ටිවත්ටත් ගුණානන්ද හිමි, පොතුවිල ඉන්ද්‍රජෝති හිමි, මුල්ලේරියාවේ ගුණරතන හිමි, තලාහේනේ අමරමෝලි හිමි, කොටුවේගොඩ ඥානානන්ද හිමි, හෙයියන්තුඩුවේ දේවමිත්ත නායක හිමි, බුලත්ගම ධර්මාලංකාර හිමි, වැලිතර අඹගහපිටියේ විමලසාර හිමි, මිහිරිපැන්නේ ශ්‍රී සුමනතිස්ස නායක හිමි, දොඩන්දූවේ පියරතනතිස්ස නායක හිමි, වැලිගම ශ්‍රී සුමංගල නායක හිමි, රංදොඹේ ධර්මාලංකාර නායක හිමි, වස්කඩුවේ ශ්‍රී සුභූති නායක හිමි, දෙම්පේ බුද්ධ රක්ඛිත හිමි, වැලිතර අඹගහපිටියේ අසභතිස්ස නායක හිමි, බුලත්ගම ශ්‍රී සුමනතිස්ස හිමි, අඹගහවත්ටත් ශ්‍රී ඉන්ද්‍රාසභ හිමි, ශ්‍රී නන්දාරාමතිස්ස හිමි සහ අක්මීමන ධර්මාරාම හිමි යන යතිවරයන් වහන්සේලා විසින් දරනු ලැබු අතර මෙම සමාගමේ සභාපතිකම හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා විසිනු දරනු ලැබීය. පරමවිඥානාර්ථ සංගමයේ අනුසාසකත්වය නියෝජනය කරනු ලබන යතිවරයන් වහන්සේලා අතරින් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, හික්කඩුවේ සුමංගල හිමි, වැලිගම ශ්‍රී සුමංගල හිමි පංච මහා වාදයන්ට නොනිමි මෙහයක් ඉටු කළ මහා යතිවරයන් වූ අතර ලංකාවේ පළමු බෞද්ධ පාසල බිහි කළ දොඩන්දූවේ පියරතනතිස්ස නායක හිමි ද සිටිනු දැකගත හැකිය.
මේසා වූ යතිවරයන් වහන්සේගේ නම් මා විසින් ඔබ ඉදිරියේ පැවසුවේ ඇයි ද යන්න ඔබ සැමට ගැටලුවක් ඇතිවිය හැකිය. මම එසේ පවසනු ලැබුවේ ඉහත දැක්වූ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, හික්කඩුවේ සුමංගල හිමි, වැලිගම සුමංගල හිමි, දොඩන්දූවේ පියරතනතිස්ස හිමි වරුන් මෙන්ම ඉහත නම් කියූ සියලු යතිවරයන් වහන්සේලා නූතන බෞද්ධ හැගීම් උද්දීපනය කිරීමේ නිහඬ සේවාවක යෙදී සිට ඇති බැවිනි. එවන් වූ සේවාවක් උන් වහන්සේලා විසින් සිදු නොකරනු ලැබුවේ නම්, උන් වහන්සේලා පරමවිඥානාර්ථ බෞද්ධ සංගමයේ අනුසාසකත්වයෙන් පිදුම් නොලබනු ඇත.
ගිලිහෙමින් ගිය බෞද්ධ අධ්‍යාපනයට නව ජීවයක් ලබා දුන් පරමධම්මචේතිය පිරිවෙන, විද්‍යෝදය පිරිවෙන, විද්‍යාලංකාර පිරිවෙන මේ වන විටත් බිහි වෙමින් දේශීය අධ්‍යාපනයේ පදනම සකස්කර තිබුණි. බෞද්ධ පාසල් ලෙසට ජිනබ්ධිවිශෝධන විද්‍යාලය හා කෝට්ටේ බෞද්ධ මිශ්‍ර පාසල ආරම්භව තිබුණි.
පරමවිඥානාර්ථ බෞද්ධ සංගමය බිහිවනුයේ මෙවන් අවදියක වේ. පරමවිඥානාර්ථ සමාගම බිහිවීමත් සමඟ අධ්‍යාපනික ප්‍රබෝධයක් ඇතිකරනු ලබන ආකාරය දැකගත හැකි වේ. 1886 වර්ෂයේ ඔක්තෝම්බර් 13 දින හික්කඩුවේ සුමංගල හිමිගේ ප්‍රධානත්වයෙන් පිටකොටුවේ දී බෞද්ධ මහා සම්මේලනයක් පැවැත්වීම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වැදගත් සිදුවීමකි.
ඒ අනුව යමින් 1886 වර්ෂයේ නොවැම්බර් 01 දින පිටකොටුවේ නො.1, මැලිබන් වීදියේ දී ඉංග්‍රීසි පාසලක් පරමවිඥානාර්ථ බෞද්ධ සංගමයේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලබයි. එහි පළමු විදුහල්පති වන්නේ ලෙඩ් බීටර් පියතුමා ය. බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හිමියන්ට අනුව ලෙඩ් බීටර් පියතුමා පුබ්බේනිවාසානුස්මෘති ඥානය ලැබූවෙක් වේ.
එලෙස බිහිවූ ආනන්ද විද්‍යාලයේ සියවන සමරුව වෙනුවෙන් දයානන්ද ගුණවර්ධනයන් විසින් නිර්මාණය කළ ආනන්ද ජවනිකා නාට්‍ය විචාරයක යෙදෙන කුසුම් හේරත් වර්ෂ 2012 දී දක්වන අදහස මා මෙහිදී ඉදිරිපත් කරමි. නාට්‍යයෙහි නිරූපිත මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, දොඩන්දූවේ පියරතන හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි මෙන් ම අනගාරික ධර්මපාල තුමා වැනි ගිහි පිරිස ද නොයෙක් බාධක මධ්‍යයේ ස්ථීර අධිෂ්ඨානයෙන් යුක්ත ව දීර්ඝ ගමනක කෙළවර ආනන්ද විද්‍යාලය බිහිකිරීම මගින් සමාජයට වැදගත් ආදර්ශයක් සපයා ඇත.
කෙසේවෙතත්, කොළඹ ඉංග්‍රීසි පාසලේ කළමනාකාරීත්වය 1892 සිට 1895 දක්වා හිමිවනු ලබන්නේ හික්කඩුවේ සුමංගල හිමියන්ට වේ. මේ කාලයේ විද්‍යාලයේ විදුහල්පති ලෙසට ඒ. ඊ. බුල්ජන්ස් මැතිතුමා ක්‍රියාකරනු ලබයි. මෙම කොළඹ ඉංග්‍රීසි පාසල ආනන්ද විද්‍යාලය ලෙසට නම් කරනු ලබන්නේ 1895 වර්ෂයේ අගෝස්තු 17 වන දිනයේ දී වේ.
මෙහිදී අප සැමගේ අවධානය යොමුකළ යුතු වැදගත් සිදුවීමක් මා පැවසීමට කැමැත්තෙමි. මාගේ අවබෝධයේ ප්‍රමාණයට ආනන්ද විද්‍යාලය නම් තැබීමේ කමිටුව ආනන්ද විද්‍යාලය මුලදී නම් කරන්නට තිබී ඇත්තේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ නමිනි. එයට උන් වහන්සේ දැඩිව විරෝධතාවක් දැක්වූයේ සතෙන් සතේ එකතුකර ගොඩනැගූ මේ පාසලට තමාගේ නම දැමීමට උන්වහන්සේ අකමැති බව ප්‍රකාශ කරමින් වේ.
ඒ අනුව උන් වහන්සේ විසින් විද්‍යාලයේ නම වෙනුවෙන් මිගෙට්ටුවත්ටත්තේ ගුණානන්ද හිමිගේ නම යෝජනා කරනු ලබන්නේය. ඒ අනුව මෙම විද්‍යාලයේ නම වශයෙන් ගුණානන්ද විද්‍යාලය ලෙසට යෝජනා වනු ලැබූවත්, එම යෝජනාවට ද ගුණානන්ද හිමියෝ එකඟ නොවනු ලබන අතර ගුණානන්ද හිමියන්ගේ යෝජනාවක් ලෙසට ආනන්ද විද්‍යාලය ලෙසට නම් කරනු ලබන්නේය. ගුණානන්ද හිමියන් විසින් ආනන්ද විද්‍යාලය ලෙසට මෙම පාසල නම් කරනු ලැබීමේ යෝජනාව ගෙන එනු ලබන්නේ බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේෙග් නම ආනන්ද වන නිසාත් උන් වහන්සේ බුදුන් සමයේ ධර්ම භාණ්ඩාගාරික වන නිසාත්, ඒ අනුව යමින් යම් දිනෙක මෙම විද්‍යාලය ධර්ම භාණ්ඩාගාරයක් ලෙසට ලෝකය තුළ බැබලවීමේ පරම අභිලාෂය ඇතිව වේ.
ගුණානන්ද හිමියන් විසින් ගෙන ආ මෙම යෝජනාව පසුකලෙක සුමංගල හිමියන් අර්ධයකින් පිළිගන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලබන්නේ දේශයේ අභිවෘද්ධිය උදෙසා ජාතික, ආගමික සහ සමාජීය මෙහෙවරක නිරත වූ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ නමෙහි ද ආනන්ද යන කොටස අන්තර්ගත වී ඇති නිසාවෙනි.
කාලය ගෙවී ගියේය. සුපේශල ශික්ෂාකාමී බුහුශ්‍රැත, බෝධිසත්ත්ව ගුණෝපේත හික්කඩුවේ සුමංගල නා හිමියෝ වර්ෂ 1911 අප්‍රේල් මස 29 වන දින අපවත් වූහ. තව තවත් කාලය ගෙවී ගොස් ලාංකික අධ්‍යාපනයට නැවතත් ආලෝකයක් එක්කරමින් කන්නන්ගර යුගයක් බිහි විය. විධිමත් අධ්‍යාපනයට නිදහස එක්වීමෙන් නිදහස් අධ්‍යාපන සංකල්පය ලංකාවේ සතරදිග විහිදී යනු ලැබීය. බෞද්ධ පාසල් විශාල සංඛ්‍යාවක් ඉන් අනතුරුවද බිහි විය. ආනන්ද, නාලන්ද, මලියදේව, ධර්මරාජ වැනි පාසල්වල පමණක් නොව සෑම පාසලකම අධ්‍යාපන දර්ශනය සුමංගල හිමිගේ අධ්‍යාපන දර්ශනයෙන් ආලෝකමත් විය. ඉතිහාසගත පොත් තුළ සුමංගල නම දෙවැනි තැනෙහිවත් නොතබා අප අනුගමනය කරනු ලබන්නේ ගිලිහී යමින් වියැකෙන ජාතියක ප්‍රාණය නැවත පුබුදුවාලූ අතිපූජ්‍ය හික්කඩුවේ සුමංගල නා හිමියන් මේ ලක් දෙරණ තුළ ස්ථාපිත කළ අධ්‍යාපන දර්ශනය වේ.
මෙහිදී මාගේ සිහියට නැගෙන්නේ භාරතීය මහා සාහිත්‍යධර සුවිශිෂ්ට අධ්‍යාපනඥ රබීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ එක් ප්‍රකාශයකි. ‘රැය රහසේ මල් පුබුදුවා දහවලට එහි කීර්තිය බාරගැනීමට ඉඩ හරියි.’