
වසංගතයෙන් පසු යළි හිස ඔසවන ලෝක ආර්ථිකය තුළ ඇඟලුම් කර්මාන්තයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ජාත්‍යන්තර ඇඟලුම් වෙළඳ ආර්ථිකයේ නව ප්‍රවණතා සහ ශ්‍රී ලංකාවට එහි බලපෑම පිළිබඳ, බ්‍රැන්ඩික්ස් සමාගමේ සමූහ මූල්‍ය අධ්‍යක්ෂ, හසිත ප්‍රේමරත්න සමඟ කළ කතාබහකි මේ.
ඇඟලුම් කර්මාන්තයේ වර්තමාන ගෝලීය තත්ත්වය කෙබඳු ද?
එන්නත්කරණයත් සමඟ බටහිර රටවල් හිතුවට වැඩිය ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයට එමින් පවතිනවා. එම ජනතාව ඇඟලුම් මිලදී ගැනීම සහ සාප්පු සවාරි ආරම්භ කර ඇති නිසා පසු ගිය මාස හය තුළ ගෝලීය ඉල්ලුමේ ඉතා හොඳ වර්ධනයක් ඇති වී තිබෙනවා. අනෙක් පැත්තෙන්, ඇඟලුම් නිෂ්පාදනයේ පුමුඛ රටවල් වන වියට්නාමය, ඉන්දියාව, චීනය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහෝමයක වරින් වර ආ කොවීඩ් රැලි නිසා සමස්ත ගෝලීය සැපයුම ම අඩාළ වී තිබුණා. ඒ වගේම, නැව් ගාස්තු 300-500% දක්වා ඉහළ ගියා. හදපු නිෂ්පාදන ඒ රටවලට යවා ගන්න, නැව් නැති වුණා. ඇමෙරිකාව වගේ බටහිර රටවලට ඇඟලුම් ගෙන්වා ගැනීමේ අඩුවක් ඇති වුණා. දැන් තුන්වැනි කාරණාවකුත් එමින් පවතිනවා. එනම්, පාරිසරික ප්‍රශ්න වලට විසඳුමක් ලෙස, නිෂ්පාදනය අඩු කිරීමට ගෙන තිබෙන තීරණය අනුව, චීනය තමන්ගේ වැඩ කරන දවස් ගණන අඩු කර තිබෙනවා. ඒ අනුව චීනයෙන් ඇමෙරිකාවට යන ඇඟලුම් ප්‍රමාණය අඩු වී තිබෙනවා ඒ නිසා ජාත්‍යන්තරයේ මේ වෙලාවේ තිබෙන්නේ හොඳ ඉල්ලුමක්.
මේ තත්ත්වය ශ්‍රී ලංකාවට හිතකර හෝ අහිතකර ලෙස බලපා තිබෙන්නේ කෙසේද...
ලෝකයේ අනෙක් නිෂ්පාදිත රටවල සැපයුම අඩුවීම තුළ ශ්‍රී ලංකාවට හොඳ ඇණවුම් ප්‍රමාණයක් ලැබී තිබීම හිතකර තත්ත්වයක්. ඒ අනුව ශ්‍රී ලංකාවට ඇති තරම් ඇණවුම් ගලා එමින් තිබෙනවා. පසුගිය දිනවල තිබූ ලොකුම ගැටලුව තමයි කොහොමද මේ ඇණවුම් නිම කර දෙන්නේ කියන එක. අපේ රටේත් එන්නත්කරණය හරියට කෙරුණු නිසා සාමාන්‍ය තරමට නිෂ්පාදන කරගෙන යන්න පුළුවන් වුණා. ඉදිරි හය මාසයක කාලය තුළ හොඳ අපනයනයක් කරන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව අප තුළ තිබෙනවා. නමුත් ප්‍රවාහන ගාස්තු අධික ලෙස වැඩි වීම, ඉන්දියාව පාකිස්ථානය ඉන්දුනීසියාව සහ චීනයෙන් මෙරටට ගෙන්වන ප්‍රධාන අමුද්‍රව්‍ය වන,'කපු යාන්' මිල අධික ලෙස වැඩි වීම, නූල්, බොත්තම්, zipper, හැන්ගර්... වැනි අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම සහ නැව් ප්‍රමාදය ආදිය ශ්‍රී ලංකාවට අහිතකර තත්ත්ව.
ඉදිරියේදී වෙළෙඳපොළ ආර්ථිකය එන්නත්කරණය මත රඳා පවතින තත්ත්වයකට තල්ලු වන බවට ජාත්‍යන්තර මතයක් පවතිනවා ද...
එය විය හැකියි. මොකද දැන් දැන් ලොව බොහෝ රටවල් ඇඟලුම් සහ භාණ්ඩ මිලදී ගන්නට පෙලඹෙන්නේ එන්නත්කරණය වැඩිපුර සිදු කර ඇති රටවලින්. මේ වන විටත් ඇඟලුම් මිලදී ගැනීමේදී එන්නත්කරණය වැඩි රටවලට ප්‍රමුඛතාවක් ලැබෙනවා. හේතුව එසේ නොවන රටකින් භාණ්ඩ මිලදී ගැනීමේ අවදානම සහ එම ගනු දෙනු හරහා විවිධ කොවිඩ් රැලි ඇවිත් රටවල් වහන තැනට කටයුතු සිදු වන්නට ඇති ඉඩකඩ නිසා. ඒ අනුව වැඩි ජනගහනයක් එන්නත්කර කර තිබීම, ශ්‍රී ලංකාවට වැඩිපුර ඇණවුම් ලැබෙන්නත් ප්‍රධාන හේතුවක්.
ඉදිරියට එන්නේ ශීත සෘතුව. ඒ සැපයුමට ශ්‍රී ලංකාව සූදානම් ද?
සෑම වසරකම ශීත සෘතුවත් සමඟ ලැබෙන ඉල්ලුමක් තිබෙන බව ඇත්ත. මෙවර ඒ හේතුවටත් වඩා ඉහත කී ගෝලීය තත්ත්වය මත නිෂ්පාදිත රටවල සැපයුම අඩාළ වීම යන හේතුව, ශ්‍රී ලංකාවට ඉතා හිතකර ලෙස බලපා තිබෙනවා. තිබෙන පොඩි පොඩි ප්‍රශ්න ටික විසඳා ගන්නට ලැබුණොත්, අපි වගේම මේ රටේ අපනයනකරුවන් ඒ ඉල්ලුමට සැපයුම දෙන්න සූදානම්.
ජාත්‍යන්තර ඇඟලුම් කර්මාන්තයේ ප්‍රධාන සැපයුම්කරුවන් ලෙස ඉදිරියෙන්ම සිටින රටවල් මොනවා ද?
චීනය අංක එක. දෙවැනියට වියට්නාමය සහ බංග්ලාදේශය. කුඩා රටක් නිසා අපි සිටින්නේ කොහොමටත් පහළින්. එය ගෝලීය ප්‍රතිශතයෙන් 1%ක් තරමේ ප්‍රමාණයක්. නමුත් ජනගහනයට සාපේක්ෂව බැලූ විට (per capita), ඒක පුද්ගල ඇඟලුම් අපනයන ප්‍රමාණය අතින් අපි රටක් ලෙස ඉහළ තැනක සිටිනවා.
ජාත්‍යන්තර ඇඟලුම් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවට තිබෙන තැන කුමක් ද?
Fashion ඇඳුම්, යට ඇඳුම් සහ සංකීර්ණ ඇඟලුම් නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉතා හොඳ පිළිගැනීමක් තිබෙනවා. මීට වඩා හොඳ මිලක් ලබා ගැනීමටත්, අනෙක් රටවල් සමඟ තරගකාරීත්වය පවත්වාගෙන යෑමටත් රටක් ලෙස තවත් 75% ක් පමණ අප ඉදිරියට යන්නත් තිබෙනවා. මොකද, මේ වෙලාවේ රටේ ඩොලර් හිඟයට පිළියම් සෙවිය හැකි ප්‍රධානම අංශය වන්නේ ඇඟලුම් කර්මාන්තය වන නිසා.
දේශීය ආර්ථිකයට සවියක් වීමේ අරමුණු ඇතිව හඳුන්වා දෙන්නට යන “පොකට් ෆැක්ටරි සංකල්පය” පිළිබඳ ඔබේ අදහස කුමක් ද?
ඒ පිළිබඳ මා වැඩි වශයෙන් දැනුවත් නැහැ. නමුත් මේ දේ කියන්න පුළුවන්. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇඟලුම් කර්මාන්තශාලා 200ක් ඇරියා. දැන් ඒවායින් ඉතිරිව ඇත්තේ ඒකාබද්ධ කළ විශාල ෆැක්ටරි කිහිපයක් පමණයි.
“පොකට් ෆැක්ටරි” කියන්නේ ඊටත් වඩා කුඩා ව්‍යාපෘතියක් නම් නවීන තාක්ෂණයට ආයෝජනය කරන්න මේ කුඩා කර්මාන්තශාලාවලට ප්‍රාග්ධනයක් නැහැ. රසායනාගාර පවත්වාගෙන යමින් පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සිදු කරන්නත් ඔවුන්ට හැකියාවක් නැහැ. මිල ගණන්වලින්, තත්ත්වයෙන් හා ප්‍රමිතියෙන් යුතු තරගකාරිත්වයට මුහුණ දීම පිළිබඳවත් ඔවුන්ට ගැටලු තිබෙනවා. මෙවැනි සංකල්ප හොඳයි. නමුත් කර්මාන්තයක් අතරමග වැසී නොයන්නට නම් පවත්වාගෙන යාමේ දී මතුවන ගැටලුවලටත් තිරසාර විසඳුම් තිබිය යුතුයි. අනික මේ ව්‍යාපෘතියේ අරමුණ 2030 වසර වන විට මැෂින් එක් ලක්ෂ පණස් දහසක නිෂ්පාදන ධාරිතාවක් රට තුළ ඇති කිරීම නම් ඒක දීර්ඝ කාලයක්. අනාගත සංවර්ධන සැලැස්මක් ලෙස මෙම සංකල්පය හඳුන්වා දෙනවා නම්, ඒ දශකයකට ආසන්න කාලය තුළ ඇඟලුම් තාක්ෂණය කොයි තරම් වර්ධනය වෙයි ද... තරගකාරී මට්ටමින් ඉදිරියට යන්නේ කොහොමද? කියන කාරණා පිළිබඳවත් මීට වඩා ප්‍රායෝගිකව සොයා බලා පරීක්ෂණ සමීක්ෂණ සිදු කළ යුතුයි.
1980 පටන් ඇඟලුම් කර්මාන්තයේ නියැළුණ ද, තවමත් විදේශ වෙළෙඳපොළ පිරමීඩයේ ශ්‍රී ලංකාව ආවරණය කර ඇත්තේ, එහි මතුපිට පමණයි. ඇයි ඒ
අපි ඇමරිකයන් ඩොලර් බිලියන 5ක ඇඟලුම් අපනයනය කරන රටක්. නමුත් එය ජාත්‍යන්තර අපනයන ඇඟලුම් වෙළෙඳපොළ කොටසින් 1% ක ප්‍රමාණයක් පමණයි. මේක ඩොලර් බිලියන 6-7 දක්වා වර්ධනය කර ගන්න අවශ්‍යයි. නමුත් අද ඒ සඳහා තිබෙන විශාලම ගැටලුව තමයි, සේවක ප්‍රශ්නය. නගරබදව නම් මේ ප්‍රශ්නය තවත් උග්‍රයි. එක් පැත්තකින් රැකියා විරහිත භාවය ගැන කතා කරන අතරම, අනෙක් පැත්තෙන් ඇඟලුම් ක්ෂේත්‍රයට අවශ්‍ය මිනිස් ශ්‍රමය එන්න එන්නම අඩු වෙනවා.
ඇඟලුම් ක්ෂේත්‍රයේ නියැළෙන සේවක පිරිස ලක්ෂ 4ක්. මේ අය එන්න එන්න අඩුවන හේතුව සොයා බැලීම වැදගත්. මොකද, ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ඉඳන් 6 දක්වා අපනයන ආදායම් වර්ධනය කරන්න නම්, 20,% ක වර්ධනයක් ඇති කළ යුතුයි.
ලක්ෂ 4ක් ඉන්න ක්ෂේත්‍රයට, 20,% ක් වැඩි වෙන්න ඕනේ කියන්නේ 80,000ක පමණ අලුත් ශ්‍රම පිරිසක් මේ ක්ෂේත්‍රයට එකතු වෙන්න ඕනේ. නමුත් අලුතින් ක්ෂේත්‍රයට එකතු වන අයගෙන් සෑම මාසයකම 3-5%ක ප්‍රමාණයක් අස් වී යනවා. ඒ නිසා හැම මාසෙම 20,000ක පිරිසක් නැවත අලුතින් ගන්න සිද්ධ වෙලා තියෙනවා. මේ තත්ත්වය කර්මාන්තයට විශාල ගැටලුවක් සහ බාධාවක්.
සේවක ප්‍රශ්නය හැරුණු කොට මේ 1% අබිබවා යන්න තීබෙන ගැටලු මොනවා ද...
ඇඟලුම් අපනයනයේ යෙදෙන වෙනත් රටවලට මෙන් අවශ්‍ය ප්‍රමාණයට free trade agreements හෙවත්, නිදහස් බදු ගිවිසුම් අපේ රටට නැහැ. තිබෙන්නේ, GSP සහනය පමණයි. 2023 දි ඒකත් නැති වී යාමේ අවදානමක් තිබෙනවා. එය අහිමි වූවොත් අනිවාර්යෙන් අපට නිදහස් වෙළෙඳ ගිවිසුම් තිබිය යුතුයි. දැනට අපේ රටට තිබෙන්නේ, මීට 21 අවුරුද්දකට පෙර ඉන්දියාව සමඟ අත්සන් කළ නිදහස් වෙළෙඳ ගිවිසුම සහ 2005 දී පාකිස්තානය සමඟ අත්සන් කළ ගිවිසුම වැනි වෙළෙඳ ගිවිසුම් දෙක තුනක් පමණයි. මේවාට අනුව ඉතා සුළු ප්‍රමාණයක් පමණයි තීරුබදු රහිතව යවන්න පුළුවන්.
නව වෙළෙඳ ගිවිසුම් පිළිබඳ චීනය, ජපානය සහ ඉන්දියාව සමඟ කතා කරගෙන ගියාට තවම ඒවා අවසානයකට පැමිණ නැහැ. බරපතළම කාරණය, ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව වගේ ප්‍රධාන ධනවත් රටවල් එක්ක අපිට නිදහස් වෙළෙඳ ගිවිසුම් නැහැ. බංග්ලාදේශය ගත්තොත්,එහෙ ඉඳන් යුරෝපයට ඩියුටි ෆ්‍රී. කැනඩාවට ඔස්ට්‍රේලියාවට ජපානයට සහ චීනයට ඩියුටි ෆ්‍රී. අප්‍රිකාවෙත් වියදම අඩුයි. ඒ විතරක් නෙවෙයි, එහෙ ඉඳන් යුරෝපයට ඇමෙරිකාවට ඩියුටි ෆ්‍රී. ඒ නිසා ජාත්‍යන්තර වෙළෙඳපොළට පුළුවන්, තරගකාරී මිල ගණන් යටතේ ඒ රටවලින් අඩුවට ඇඟලුම් මිලදී ගන්න. ඒ වගේම, නිෂ්පාදිත රටවලට පුළුවන් ගිවිසුම අනුව ඒ රටෙන් අමුද්‍රව්‍යයත් අඩු මිලට ගන්න. එහෙම බලද්දි, මේ ධනවත් රටවල් එක්ක නිදහස් වෙළෙඳ ගිවිසුම් නැති අපි හැමදාමත් ජාත්‍යන්තර තරගකාරීත්වය ඉදිරියේ පිටුපස්සේ. බංග්ලාදේශයට අප්‍රිකාවට පුළුවන් නම් ඇයි අපිට බැරි. අවශ්‍ය වන්නේ, මැදිහත් වී එවැනි ධනවත් රටවල් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම. අපේ රටටත් මේ ගිවිසුම් තියෙනවා නම් තමයි, ලෝක තරගකාරිත්වයට මුහුණ දීලා හැමදාමත් මේ එක තැන තිබෙන 1% වෙළෙඳපොළ කොටසින් උඩට යන්න පුළුවන් වෙන්නේ.
ගෝලීය ව ඉදිරියට යන්න, රටේ ව්‍යූහාත්මකව වෙනස් විය යුතු අංශ මොනවාද?
ශ්‍රම බළකාය වැඩි විය යුතුයි. නිදහස් වෙළඳ ගිවිසුම් ක්‍රියාත්මක කළ යුතුයි. තාක්ෂණය වැඩි වශයෙන් භාවිත කොට, ඵලදායිතාව ඉහළ නැංවීමට අදාළ ක්‍රමවේද තව තවත් සකස් විය යුතුයි. ජාත්‍යන්තර මිල ගණන් යටතේ පවත්වාගෙන යෑම සඳහා රට ඇතුළේ ඇඟලුම් ක්ෂේත්‍රයට අදාළ research and development අංශ වර්ධනය කළ යුතුයි.
වැදගත්ම දේ කර්මාන්තය අනාගතයට පවත්වා ගෙන යෑම සඳහා ඉදිරි පරම්පරාව නිර්මාණය කරන ඇඟලුම් ක්ෂේත්‍රය පිළිබඳ අධ්‍යාපනය ලබා දෙන සහ ඔවුන්ට ඉහළට යා හැකි තාක්ෂණික සහ උසස් අධ්‍යාපන පාඨමාලා මීට වඩා තරුණ ප්‍රජාව අතර ජනප්‍රිය කළ යුතුයි. sustainability සංකල්පය ක්‍රියාත්මක කරමින්, පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමට සියලු කර්මාන්ත සඳහා පෙලැඹවීමක් ඇති කළ යුතුයි.