ඉන්දියාවේ කුසි­නාරා නුවරට අන්ත­ර්ජා­තික ගුව­න්තො­ටු­පළක් | සිළුමිණ

ඉන්දියාවේ කුසි­නාරා නුවරට අන්ත­ර්ජා­තික ගුව­න්තො­ටු­පළක්

කුසි­නා­රා­ ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පළ විවෘත කිරීමේ උත්සවයට එක්ව සිටි නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි, තරුණ කට­යුතු හා ක්‍රීඩා ඇමති නාමල් රාජ­පක්ෂ සහ දූත පිරිස

 

 

 

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇත්තේ වසර දහස්ගණනක ඈත අතීතයේ සිට පැවත එන සම්බන්ධතාවකි. එය ආගමික, සංස්කෘතික, ආර්ථික, දේශපාලනික සෑම ක්ෂේත්‍රයක් පුරාම විහිදී ගිය සම්බන්ධතාවකි. ඉතිහාසය පුරාම මේ ක්ෂේත්‍රයන්හි සබඳතාවය ශක්තිමත් කිරීම සඳහා රටවල් දෙකම විවිධ ක්‍රියාමාර්ග රැගෙන ඇත.

මේ සබඳතාව ශක්තිමත් කිරීමේ සුවිශේෂී ක්‍රියා මාර්ගයක් පසුගියදා දෙරටේ රාජ්‍ය නායකයන් විසින් ක්‍රියාවට නංවන ලදී. ඒ කුසිනාරා නගරයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීමේ අවස්ථාවයි. කුසිනාරාව යනු ලෝක බෞද්ධයන්ගේ ඉමහත් ගෞරව ආදරයට පාත්‍ර වූ පුණ්‍ය භූමියකි. මහා පරිනිර්වාණ සූත්‍රයට ශ්‍රද්ධාවන්ත බෞද්ධයන් විසින් වැඳ පුදා ගතයුතු යැයි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ මහා පරිනිර්වාණය සිදුව ස්ථානය කුසිනාරා නගරයයි.

ලෝකයේ දස දෙසින් බෞද්ධ ජනතාව මේ සිද්ධස්ථානය වැඳපුදා ගැනීම සඳහා නිරන්තරයෙන් පැමිණෙති. මෙතුවක් කල් කුසිනාරා නගරයට ගමන් කිරීම සඳහා ඍජු ගුවන් සේවාවන් නොතිබිණි. වන්දනාකරුවන් ගමන් කළේ දේශීය ගුවන් සේවාව, දුම්රිය හා අනෙකුත් ප්‍රවාහන සේවාවන් මඟිනි. එසේ තිබියදී කුසිනාරාවට ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලබාදීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත රජය ගනු ලැබූ මේ ක්‍රියාමාර්ගය අගය කළ යුතුය.

පසුගිය ඔක්තෝබර් 20 වන දිනය, වප්පුර පසළොස්වක පොහොය දිනය මේ ගුවන්තොටුපල උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබුණි. මේ උත්සවය සඳහා පළමු ගුවන්යානය පියාසර කරවන ලෙස ආරාධනා කළේ ශ්‍රී ලංකාවටයි. ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන්වහන්සේ සියක් නමක් සහභාගි කරවන ලෙස ඉන්දීය රජය මඟින් ආරාධනා කළේය. ඒ සඳහා ශ්‍රී ලංකාවේ නිකායත්‍රයට අයත් ප්‍රධාන භික්ෂූන්වහන්සේගේ සහභාගීත්වය ඉන්දීය රජය අවධානය කර තිබුණි.

මීට අමතරව කපිලවස්තුපුරයෙන් සොයාගෙන වස්කඩුවේ ශ්‍රී සුභූති මහනාහිමියන්ට පරිත්‍යාග කරන ලදුව වස්කඩුව ශ්‍රී විභූති විහාරයේ වැඩසිටින ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේද වඩමවාගෙන එන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් වස්කඩුවේ මහින්දවංශ මහනායක හිමියන්ට විශේෂ ආරාධනාවක් කර තිබුණි. ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය කාර්යාලය, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හා බුද්ධ ශාසන අමාත්‍යාංශය එකතුව මෙම ඓතිහාසික දූත ගමන සංවිධානය කරන ලදී. නිකායත්‍රයේ ප්‍රධාන ස්වාමීන් වහන්සේලා මෙන්ම ලංකාවේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි ස්වාමීන් වහන්සේලා තෝරා ගැනිණි. අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍යය වෙඬරුවේ උපාලි නාහිමි, මල්වතු පාර්ශවයේ මහාලේඛනාධිකාරි ආචාර්ය පහමුණේ සුමංගල නාහිමි, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ගංතුනේ අස්සජි මහ නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක නැඳගමුවේ විජය මෛත්‍රී මහ නාහිමි, ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර නාහිමි, ශ්‍රී රෝහණ පාර්ශවයේ අනුනායක අතිපූජ්‍යය ඕමාරේ කස්සප නාහිමි සහ කපිලවස්තු ධාතුකරඬුව සමඟ වස්කඩුවේ මහින්දවංශ මහනාහිමියෝද මෙම ගමනට සහභාගි වූහ.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ මැති ඇමතිවරු කීප පළක්ද රාජ්‍ය නිලධාරීන් ද මේ සඳහා සහභාගි විය.

ගමනට පෙර අරලියගහ මන්දිරයේ P.C.R. පරීක්ෂණ සිදුකොට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව ජෛව බුබුලක් ලෙස දූත පිරිස මෙම ගමනට එක්වූහ. එම ගමනට පෙර ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් දූත පිරිස හමුව සිය සුභාශිංසනය එක්කළේය.

ඔක්තෝබර් 20 වන දින අලුයම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් නික්ම ගිය දූත පිරිස කුසිනාරා ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ උත්තර ප්‍රදේශ් මහ ඇමති යෝගී ආධිත්‍ය නාත් තුමන් ඇතුළු අමාත්‍ය මණ්ඩලය සහ රාජ්‍ය නිලධාරීන් විසිනි. ධාතු කරඬුව පෙරටුකරගත් දූත පිරිස සුවිශේෂී ආරක්ෂක විධිවිධාන සහිතව ගුවන්තොටුපළේ සිට පරිනිර්වාණ මංචක මහා විහාරය දක්වා කැඳවාගෙන යන ලදි.

අනතුරුව පැවති උත්සව සභාව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවතිනි. බුදුරජාණන්වහන්සේ අභිධර්මය දේශනා කොට සංකස්ස නුවරට වැඩමවීම සිදුවූ දිනය අභිධම්ම දිවස් නමින් සැමරීමද, කඨින චීවර මාසය ඇරඹීම ද මෙම උත්සවයේ තවත් අරමුණක් විය. චීවර මාසය සංකේතවත් කරමින් මෝදි අගමැතිතුමා අතින් මහාසංඝරත්නයට සිවුරු පූජා කිරීම තායිලන්තය, බුරුමය, කාම්බෝජය, ලාඕසය, කොරියාව, වියට්නාමය වැනි රටවලින් ගිහි පැවිදි බෞද්ධ දූත පිරිස් පැමිණ සිටියද වැඩිම පිරිසකට ආරාධනා කර තිබුණේ ශ්‍රී ලංකාවෙනි.

උත්සව සභාව ඇමතූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය නූතන ලෝකයට අදාළ වන ආකාරයත් එහි ඇති වැදගත්කමත් මැනවින් පැහැදිලි කරන ලදී. විශේෂයෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති ශක්තිමත් සම්බන්ධතාව සිහිපත් කළ අගමැතිවරයා, වැඩම කර වදාළ ගරුතර මහා සංඝ රත්නයට විශේෂ ආදර ස්තුතිය පිරිනැමුවේය.

උත්සව සභාව ඇමතූ නාමල් රාජපක්ෂ ඇමතිවරයා ඉන්දීය රජයට මේ සම්බන්ධයෙන් ස්තුතිය පළකරමින් දෙරට අතර ඇති ඓතිහාසික සම්බන්ධතාවය වඩාත් ශක්තිමත් කරගත යුතු ආකාරය පිළිබඳව අදහස් පළකරන ලදී.

පරිනිර්වාණ මංචකය වැඳ පුදාගත් දූත පිරිස පැමිණි ගුවන්යානයෙන්ම බරණැස බලා පිටත්වූහ. බරණැස ඉසිපතන මූලගන්ධකුටි මහා විහාරයේදී ආගමික වතාවත් සිදුකළ දූත පිරිස උත්තර ප්‍රදේශ සංචාරක අමාත්‍යාංශය මගින් මෙහෙයවනු ලැබූ වැඩසටහන් කිහිපයකට ද සහභාගිවීමෙන් අනතුරුව විසි එක්වන දින ශ්‍රී ලංකාව බලා පිටත්වූහ.

කුසිනාරා නුවර අන්තර්ජාතික ගුවන්තොටුපල විවෘත කිරීම, එයට ශ්‍රී ලංකා දූත පිරිසකට ආරාධනා කිරීම සහ එම දූත පිරිසට සුවිශේෂී වූ ගෞරවයක් දැක්වීම මඟින් ඉන්දීය රජය, ශ්‍රී ලංකාව හා ඇති සම්බන්ධතාව ශක්තිමත් කරගැනීමට ඇති සිය අභිලාෂය ප්‍රකාශ කොට ඇත.

දෙරටෙහිම පොදු උරුමයක් වන බෞද්ධ ධර්මය ඒ සඳහා මඟපෙන්වනු ඇත.

 

Comments