ඔවුහු තාමත් වැලිකඩ ය | Page 2 | සිළුමිණ

ඔවුහු තාමත් වැලිකඩ ය

 

 

අගෝස්තු 3 වැනිදා කොතලාවල පනතට එරෙහිව පැවැති ආයුර්වේද වටරවුමේ සිට පාර්ලිමේන්තු සංකීර්ණය දක්වා පැවැති විරෝධතවේදි අත්අඩංගුවට පත් අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සභාපති අමිල සන්දිප, පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත, සිසු ජනතා ව්‍යාපාරයේ ක්‍රියාකාරිනී කෝෂිලා හංසමාලි හා රජරට විශ්වවිද්‍යාලයේ හේෂාන් හර්ෂණ යන පස්දෙනා අත්අඩංගුව ගෙන වැලිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත වී මේ වන විට මාස තුනකට ආසන්න කාලයක් ගතව ඇත.

ගෙවුණු සතියේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ඔවුන්ගේ විභාගයට පැවැත්වූ අතර එදින තීන්දු වූයේ යළිත් ලබන නොවැම්බර් 9 වැනිදා දක්වා ඔවුන් රක්ෂිත බණ්ධනාගාර ගත කිරීමටය.

තලංගම පොලිසිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවට අනුව මේ පස් දෙනාට සමාන චෝදනා එල්ල ව තිබූණි. වසන්ත මුදලිගේට බැරිගේට් තල්ලු කිරීම, ඒවා අල්ලා සිටි පොලිස් නිලධාරින්ව තල්ලු කිරීම හා පාර්ලිමේන්තු ප්‍රවේශයේදී මිනි පෙට්ටි ආකෘතියකට ගිනි තැබීම ඒ චෝදනා අතර වෙයි. අමිල සන්දීපටද ඒ හා සමාන චෝදනා විය. හේෂාන් හර්ෂනටද සමීර කොස්වත්තටද එයාකාරයෙන්ම මිනි පෙට්ටි ආකෘතියට ගිනි තැබීමේ චෝදනාව එල්ල වූ අතර කෝෂිලාට එල්ල වූයේ උද්ඝෝෂකයන් මැදට වී සහභාගිත්වය දැක්වීමේ වරද පමණි. ඒවා ද ගොනු වූයේ ලබාගත් ඡායාරූප හා දර්ශන මඟිනි.

සිසු අරගලවලදී සිසුන් මෙසේ අත්අඩංගුවට පත්වීම, සිරගත වීම අරුමයක් නොවීය. එවැනි අතීතයටද අදාළ අත්දැකිම් බොහෝය. මේ තරුණ පිරිසෙන් බහුතරයක් කොවිඩ් ආසාදිතයන් වූයේ සිරගතව සිටි මේ මාස තුනක කාලයේදීය. සමහරක් සිසුන් අවසන් වසර විභාගයට මුහුණ දුන්නේ ඒ අත්දැකීමෙන්ය. මාස තුනක් ගත වුවද තවමත් ඇප ලබා ගැනීමට නොහැකි වූ මේ තරුණ ජිවිත මේ වන විට මුහුණ දී ඇති අමිහිරි අත්දැකීම් පවසන්නට ඔවුන්ගේ පවුලේ සමීප ඥාතීන් සිළුමිණ හා එක් වූයේ මේ ආකාරයෙනි.

සිසු ජනතා ව්‍යාපාරයේ ක්‍රියාකාරිනී කංකානම්ලාගේ කෝෂිලා හංසමාලි පෙරේරා

බොහෝ දෙනා ඇය අමතන්නේ කෝෂිලා හංසමාලි යන නමිනි. මට ඇය සමඟ මුල්වරට කතා කරන්නට අවස්ථාව හිමි වූයේ වර්ජනයකට එක්වී පොලිස් අත් අඩංගුවට පත්ව ඇය මුලතිව් කඳවුරේ නිරෝධායනය වෙද්දීය. කෝෂිලා තාරුණ්‍යයේ සටන්කාමි චරිතයකි. අගෝස්තු 3 වැනිදා අත් අඩංගුවට පත්ව මේ වන තෙක් රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන්නන් අතර සිටින එකම කාන්තාවද ඇයයි. කෝෂිලා ගැන කතා කරන්නට ඇයගේ වැඩිමහල් සහෝදරිය වන ගුරුවරියක් වූ දිමුතු හංසිකා සිළුමිණ හා එක් වන්නේ මේ ආකාරයෙනි.

“අපේ ගෙවල් පාදුක්ක උඩුගම. අපේ පවුලේ සහෝදරයන් තිදෙනෙක්. නංගිට තවමත් වයස අවුරුදු 29 යි. පන්නිපිටිය ධර්මපාල විදුහලෙන් පාසල් අධ්‍යාපනය හමාර කළ ඇය ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයට එක් වන්නේ භූගෝලය විශේෂවේදි උපාධිය හදාරන්න. සරසවියේ ඇය ගත කරන කාලය පුරාවට ශිෂ්‍ය අරගලවලට දායක වුණා. සයිටම්, අධ්‍යාපනය පෞද්ගලිකරණ සටනේදි ඇය ඉදිරියෙන්ම සිටියා. මේ උද්ඝෝෂණ නිසා ඇයට දෙවතාවක් සිරබත් කන්න සිදුවූණා. එක් වතාවක් දින 7 ක්, තවත් වතාවක් දින 14 ක් ඇය සිරබත් කැවා. අපේ නිවසම වාමාංශික දේශපාලන නැඹුරුවක් ඇති පවුලක්. මේ නිසා ඇය දිගටම දේශපාලන කටයුතුවලට දායක වුණ. මමත් අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ වැඩ කළා. දැන් ගුරුවරියක්.

නංගි විශ්වවිද්‍යාල අවසන් වසරේදී නතර වුණා. සයිටම් සටනට සම්බන්ධව නඩු 5-6 ක් ඇයට තිබුණා. ඒත් කාන්තාවත් වුවත් ගේ තුළට සිරවී නොසිටිය යුතුය යන මතයේ ඇය නිතරම සිටියා. ඔය සිදුවීම වූ මොහොතේ ඇය සිටියේ මාත් සමඟ. අන්තරේ උද්ඝෝෂණය ආයුර්වේද වට රවුමේ තිබුණත් අපි දෙන්නා හිටියේ පිටුපසින්, බිම වාඩිවී. ඉන්පසු අපි දෙන්නා ගෙදර ආවා. රාත්‍රි 9.30 ට පමණ පොලිසියේ 7 දෙනෙක් ගෙදරට අවා. පොදු දේපලවලට හානි වූ බව පවසමින් ඇයව අත්අඩංගුවට ගත්තා. මුලින්ම ඇයව වැලිකඩ ගෙනියන බව කිව්වත්, පසුව අපිත් ලැස්ති වුණහම තලංගමට ගෙනියන බව කිව්වා. පොලිසියට යන විටත් නංගිව ගෙනෙන බව පොලිසියවත් දැනගෙන ඉඳලා නැහැ. 4 වැනිදා ඇය උසාවි දාලා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

කොවිඩ් නිසා විටින් විට නඩුවාර පැවැතුණේ නැහැ. මේ නිසා දින 14 න් 14 ට රක්ෂිත බන්ඩනාගාර ගතවීම් දික්වුණා. ඊට හේතුව ලෙස කිව්වේ පොදු දේපල පනත යටත් පාරේ මිණි පෙට්ටියත් පුළුස්සා පොළවට අළාභ හානි කිරීම යි. මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ගැනීමට නොහැකි නිසා මහාධිකරණයට ඇප ඉල්ලීමක් යොමු කළා. එහි තීන්දුව දෙන්නේ ලබන මස 11 වැනිදා. සැප්තැම්බර් 12 වැනිදා නංගිට කොවිඩ් හැදුණා. මිගමුව බන්ධනාගාරයෙන් අඹේපුස්සට ගෙන ගිහින් තියෙනවා. පසුව නංගි ගැන තොරතුරක් ලැබුණේ නැහැ. කොවිඩ් අවසන් වෙලා නංගිව බලන්න ලබුණේ මාස දෙකහාමාරකට පසුවයි. ඒත් නංගිට තවමත් අසනීපයි. නංගිට කිසිම චෝදනාවක් නැහැ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවේ ඇයගේ නමත් නැහැ......“ කෝෂිලාගේ සොහොයුරිය පවසයි. ඇයගේ එකම ඉල්ලිම මේ පස්දෙනාට ඇප ලබා දෙන ලෙසයි.

පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත

චමීර කොස්වත්ත ගැන කතා කරන්නට සිළුමිණ හා එක්වූයේ ඔහුගේ නැගණිය වන මධුරංගිකා කොස්වත්තය. චමීර කොස්වත්ත වුවද ඔහුගේ සම්පූර්ණ නම වූයේ චමීර නිරෝෂන පෙරේරාය. ඔහු අත් අඩංගුවට පත්වන්නේ අගෝස්තු 3 වැනිදා රාත්‍රියේය.

“අයියා 1974 නොවැම්බර් මාසයේ ඉපදුණේ. අපේ පවුලේ හතර දෙනෙක්. අම්මා ගුරුවරියත් තාත්තා මියගියා. වැලිවේරිය කනිෂ්ඨ විදුහලෙන් ප්‍රාථමිකය අධ්‍යාපනය හැදෑරු අයියා ශිෂ්‍යත්වය සමත්වෙලා එන්නේ කොළඹ ආනන්ද විදුහලට. තාත්තගේ අසනීපය නිසා නැවතත් උසස් පෙළට ගම්පහ බණ්ඩාරනායකයට එනවා. උසස් පෙළ සමත්වෙලා අයියා කැළණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්නේ සමාජ විද්‍යා පීඨයට. 1999 විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වෙනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණින් දේශපාලනයට එක්වෙලා පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ පාලක ලේකම් වෙනවා. දේශපාන නිසා අයියාගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළේ නැහැ.

අයියාගේ බිරිඳ හෙද සොහොයුරියක්. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ කරන දරුවෝ දෙන්නෙක් අයියට ඉන්නේ. අයියා අගෝස්තු 3 වැනිදා අත් අඩංගුවට පත් වන්නේ වැලිවේරියේ එයාගේ නිවසට ආ පසුයි. උද්ඝෝෂණය ගැන ප්‍රකාශයක් ගන්න කියලයි අයියව ගෙනි යන්නේ. අයියට තිබුණු චෝදනාව තමයි, පොදු දේපල පත යටතේ අනර්ථයක් සිදු කිරීම හා පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධාකිරීම හා තුවාල සිදු කිරීමයි. මේ අය අත් අඩංගුවට ගත්තේ රූපවාහිනී දර්ශන දිහා බලලයි. නමුත් ඒ වීඩියෝ දර්ශනවල අයියා ඒවාට සම්බන්ධ නොවන වග පැහැදිලිම පේනවා. අයියා ඇතුළු පිරිස තවමත් රක්ෂිත බණ්ධනාගාරයේ. අයියට අගෝස්තු 27 කොවිඩ් පොසිටිව් වෙලා තියෙනවා. මේ අයට හැකි ඉක්මනින් ඇප ලබා දෙන්න......“ ඒ මධුරංගිකා කොස්වත්තගේ එකම ඉල්ලීමය.

ජයවර්ධන පුර විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සභාපති අමිල සන්දිප

අමිල සන්දීප ගැන මාධ්‍යට කතා කරන්නට ඔහුගේ පියා මුලදි අකමැති වුවද පසුව ඔහු සිළුමිණ හා සංවාදයේ යෙදුණේ දරුවා වෙනුවෙන් උපන් දරු දුකද පාලනය කර ගැනීමට නොහැකි තරමේ වේදනාවකිනි. ඔහු අත්අඩංගුවට ගැනෙන්නේ අගෝස්තු 5 වැනිදා දහවල්ය. කුලී රැකියාව කරන මේ පියා, මවත් අහිමි පවුලේ තම දරු තිදෙනා රැක ගන්නට දරන වෙර ඔහුලේ වචනයෙන් දැක්වූයේ මෙසේය. මේ පියා ජි. නිමල්ය.

“මගේ දරුවා හිරේ ඉන්නේ . බලන්න බස් එකේ යන්නවත් මට වත්කමක් නැහැ. පුතා ඉපදුණේ 1997 දී. වදුරඹ ජාතික පාසලින් උසස් අධ්‍යාපනය හදෑරුවා. එයාට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. අම්මා මිය ගිහින්. මම දරුවෝ බලා ගන්නේ කුලී වැඩක් කර උපයන මුදලින්. දරුවා වාණිජ අංශයෙන් උසස් පෙළ සමත් වෙලා දිස්ත්‍රික්කයේ 66 වැනියා වුණා. මේ නිසා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ විෂය ධාරාවට තේරුණා. එයා නේවාසිකාගාරයේ නැවතුණා. කරන්නේ මොනවද කියා අපි දන්නෙ නැහැ. ඒත් එයා සමාජ විරෝධි වැඩ කරන්නේ නැහැ. නායකත්වයක් දරන්න ආසයි. ළමයින් 3000 ක් සිටි පාසලේ නියෝජ්‍ය නායකකමත් එයා දැරුවා.

මම නිතරම එයාට කිව්වා විරෝධි වැඩවලට යන්න එපා කියලා. අගෝස්තු 5 වැනිදා සවස කැම්පස් එක ගාවදි වැගන් ආර් වර්ගයේ වාහනයක් ඇවිත් පුතාව අරගෙන ගිය බව යාළුවෙක් කතා කර කිව්වා. ඊට පසු අපි සොයා බැලුවහම උසාවි දානවා කිව්වා. ඒත් උසාවි එන්නවත් මට වත්කමක් නැහැ. මගේ දවසේ වැටුප රුපියල් 1,500 යි. දවස් තුනකට පස්සේ අදයි වැඩක් ලැබුණේ. නඩු වාර දෙකකට අමාරුවෙන් ආවා. එක දවසක් වැලිකඩ ගියා පුතාව බලන්න. ඒ යනකොට පුතාට හොඳටෝම එපා වෙලා හිටියේ. මම ආයිත් මහ පාරෙන්වත් යන්නේ නැහැ කිව්වා. පුතාට දෙවතාවක් කොවිඩ් හැදුණා. එක් වතාවත් රිමාන්ඩ් එකේ ඉන්දෙද්දි. බලන්නවත් යන්න විදියක් තිබුණේ නැහැ.

 2021 ජූලි මස 8 වැනිදා කොත­ලා­වල පන­තට එරෙහි උද්ඝෝ­ෂ­ණ­යේදී අත් අඩං­ගු­වට පත්ව මුල­තිව් නිරෝ­ධා­ය­න­යට යොමු වූ අව­ස්ථාවේ කෝෂිලා හංස­මාලි (දකුණේ) සිළු­මිණ පුව­ත්පත සමඟ 
සංවා­ද­ය­කට එක් වූ අව­ස්ථාව. ඇය සමඟ නිරෝ­ධා­ය­න­යට යොමු වූ මානෙල් හා නදි­කාද මෙහි වෙති
 
 

පුතා රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටිද්දිමයි, අවසන් වසර විභාගයට පිළිතුරු ලිව්වේ. එයාට හොඳ රස්සාවක් කරන්න ඕනකම තිබුණත් රට හොල්ලන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. අම්මා නැති මේ දරුවෝ හදන්න මම හරියට දුක් විඳිනවා. සාමාන්‍ය පෙළ කරන පුතාට ෆොන් එකක් අරගෙන දෙන්න මට වත්කමක් නැහැ. අපේ පුතාට ඇප ලබා දෙන්න ......“ ඒ තාත්තා විලාප දෙන්නේ උපන් දරු දුක වෙනුවෙනි.

රජරට විශ්වවිද්‍යාලයේ හේෂාන් හර්ෂණ

රජරට විශ්වවිද්‍යාලයේ හේෂාන් හර්ෂණද මේ වන විට සිටින්නේ රක්ෂිත බණ්ධනගාරගතවය. මෙම උද්ඝෝෂණයට සහභාගී විම හේතුවෙන් හේෂාන් අත් අඩංගුවට ගන්නේ අගෝස්තු 11 වැනිදාය. ඔහුගේ තොරතුරු පවසන්නට සිළුමිණ හා එක් වූයේ හේෂාන්ගේ වැඩිමහල් සහෝදරයා වන අසංක නිශාන්ය.

“මගේ මල්ලි ඉපදුණේ 1997 වසරේදී අපි ජීවත් වෙන්නේ හංවැල්ලේ. තාත්තා අම්මා සේවය කරන්නේ පෞද්ගලික අංශයේ. මල්ලි ප්‍රාථමිකයේ සිට උසස්පෙළ දක්වා ඉගෙන ගත්තේ බෝමිරිය ජාතික පාසලෙන්. පාසලේ සාමාන්‍ය පෙළ ඉහළම ප්‍රතිපල ගත්තේ මල්ලියි. ඊට පස්සේ උසස් පෙළ ජීව විද්‍යාව අංශයෙන් හදාරලා රජරට විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයට එයා තේරුණා. සරසවියේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාත් වුණා. නමුත් එයාට ශිෂ්‍ය සංගම්වල කිසිදු තනතුරක් තිබුණේ නැහැ.

එදත් කා සමඟ හරි මේවාට යන්න ඇති කියලා හිතෙනවා. හොස්ටල් එකේ සිටි මල්ලි අත් අඩංගුවට ගන්නා දිනය වන විට සිටියේ නිවසේ. මම සිටියේ කඩුවෙල පිහිටි මගේ කාර්යාලයේ. අගෝස්තු 11 වැනිදා පොලිසියේ අය මාව සොයාගෙන මගේ කාර්යාලයට ආවා. ඇවිත් මාව එළියට රැගෙන ගොස් මල්ලිට කෝල් කරන්න කිව්වා. උද්ඝෝෂණය වෙලාවේ ගත්තු මල්ලිගේ ෆෝටෝ එකකුත් පෙන්වුවා. මේ වන විට මල්ලි ගෙදර ඇවිත් විභාගයට සුදානම් වෙමින් හිටියේ. පොලීසියේ අය මාත් සමඟ නිවසට ඇවිත් මල්ලි එක්කගෙන ගියා. ඇහුවහම කිව්වා තලංගම පොලිසියට ගෙනියන්නේ කියලා. පසුවදා ඇප ලබා දෙන බවත් කිව්වා. ඒත් එහෙම වුණේ නැහැ. අදටත් මම උසාවි ගානේ යනවා. මල්ලි ගැන තොරතුරක් දැන ගන්න ලැබෙන්නේ සතියකට වතාවක් පමණයි. වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයේ සිට මල්ලි විභාගය කරලා තිබුණා. දැනට මාස දෙකහාමාරකට වැඩියි. තවමත් මල්ලිට නිදහසක් ලැබුණේ නැහැ.....“ ඒ හේෂාන්ගේ සහෝදරයාය.

අන්තර් විශ්වවිද්‍යාලබල මණ්ඩලයේ

කැඳවුම්කරු වසන්ත මුදලිගේ

අන්තර් විශ්වවිද්‍යාලබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට පත්වූයේ අගෝස්තු 3 වැනිදාය. රජරට විශ්වවිද්‍යාලයේ කලා අංශයේ තෙවැනි වසර සිසුවෙකු වූ ඔහුගේ පදිංචිය මහියංගනයේය. දෙහිගොල්ල මහා විදුහලෙන් අධ්‍යාපනය ලද වසන්තගේ මාපියන් සම්බන්ධ කර ගැනිමට උත්සහ ගත්තද එය අසාර්ථක විය.

Comments